සිංහල රාජ්‍ය භාෂාව කිරීමටත් බුදු දහම රාජ්‍ය ආගම කිරීමටත් ජන නායකයෝ කාලාන්තරයක සිටම කැසපට කැවූහ. එහෙත් බි්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව සිටින තුරු එම සිහිනය සැබෑ නොවීය.
1948 දී ඩොමීනියන් තත්ත්වයට යටත්කර මෙරටට නිදහස පැවරූ සමයේත් මෙම සිහිනය ඈත් වූවා මිස සැබෑ නොවිණ. සිංහල රාජ්‍ය භාෂාව විය යුතු යැයි ජේ. ආර්. ජයවර්ධන ඇමතිවරයා ගෙන ආ යෝජනාව කාලයේ වැලිතලාවෙන් වැසී ගියේය.
1956 දී බණ්ඩාරනායක මැතිඳුන්ගේ ප්‍රධාන පොරොන්දු අතර සිංහල රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීමත් බුද්ධාගමට ප්‍රධාන තැන දීමත් සඳහන් වූ අතර එතුමා ජයග්‍රහණය ලද විගසම එම පොරොන්දු ඉටු කළේය.
එහෙත් ප්‍රතිගාමීහු එම යෝජනා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන් අතර භාෂා විරෝධී අරගලවලට එය තෝතැන්නක් විය. උතුරේ දෙමළ විප්ලවවාදියෝ සිංහල ජනතාව අවුස්සනසුලු ප්‍රකාශ හා අරගල කරමින් රාජ්‍ය පාලනයට බාධා කළහ.
එපමණක් නොව මෙරට අධිකරණ ක්ෂේත්‍රයට විශාල අසාධාරණයක් සිදුවෙමින් පැවතිණි. මෙරට දී ගනු ලබන තීන්දුවලට එරෙහිව අභියාචනා කළ යුතු වූයේ එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයටය. එනම් රැජිනගේ උසාවියටය. එබැවින් ස්වාධීනව අධිකරණමය තීන්දු ගැනීමේ හැකියාව බි්‍රතාන්‍ය පාලනය විසින් උදුරා ගැනිණ.
යුද හමුදාවේ පොලිසියේ බලවතුන් පිරිසක් ලවා ප්‍රතිගාමී දේශපාලනඥයන් විසින් මෙහෙය වූ රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයේ ප්‍රධාන පියවරක්ව තිබුණේ ආණ්ඩුවේ ප්‍රධානියා වූ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පැහැරගෙන යාමය.
ඇගේ වාසනාවටත් රටේ වාසනාවටත් එම කුමන්ත්‍රණය අසාර්ථක විය. එහෙත් ආණ්ඩුවේ ප්‍රධානියා පැහැරගෙන යාමට හා නිත්‍යානුකූල ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණ කිරීම යන චෝදනාවලින් විත්තිකරුවන්ට ගැලවීමක් නොවීය.
ලංකාණ්ඩුවේ නායකත්වයට එරෙහිවවීම යනු බි්‍රතාන්‍ය කිරීටයට එරෙහිවීමක් ලෙස එදා සැලකිණි. නමුත් සිදුවූයේ වෙනත් දෙයකි. මෙරට අධිකරණයේදී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට වැරදිකරුවන් වී දඬුවම් නියමවූ පිරිස එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයට අභියාචනය කළ අතර අනතුරුව නිදොස් කර නිදහස් කරනු ලැබිණ.
1948 ට පෙර රාජ්‍ය අණ පනත් ව්‍යවස්ථාව, රාජ්‍ය ලාංඡනය ආදී සැම තැනකම පළ වුණේ බි්‍රතාන්‍ය කිරීටයේ සලකුණයි. අපේ ජාතික කොඩියේ මුදුණේ තිබුණේ ද බි්‍රතාන්‍ය ඔටුන්නයි. පළාපෙති කවය මැද සිංහයා කොටු වී සිටි අතර ඔටුන්න පහළින් ලංකා යන්න සිංහලෙන් දෙමළෙන් හා ඉංග්‍රීසියෙන් පළ විය.
1970 දී සමඟි පෙරමුණු ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වාමාංශික කඳවුරේ සමඟිය තුළින් බිහි විය. බි්‍රතාන්‍ය කිරීටයට හා අණසකට යටත් නොවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වාමාංශිකයන් ගෙන ගිය සටන මල්ඵල ගැන්වුණේ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආශිර්වාදය නිසාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ඇමති බලතල ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා වෙත පැවරුණ සිලෝන් හෙවත් ශ්‍රී ලංකාව ස්වාධීන ජනරජයක් බවට පත් කිරීමේ මූලික එකඟතාව මත පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව ලෙසින් මහජන නියෝජිතයෝ ඒකරාශී වූහ.
කොළඹ රාජකීය විදුහලේ නව රඟහලේ දී රැස් වී නව ජනරජ ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනිණ. 1972 මැයි 22 වැනිදා දහවල් 12.43 ට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදි ජනරජයේ ප්‍රථම අගමැතිනිය ලෙස දිවුරුම් දුන්නාය. එතැන් සිට සිලෝන් සහ ලංකා යන වදන් මැකී ගොස් ශ්‍රී ලංකා යන වදන ඉස්මතු විය.
මෙරට නඩු තීන්දුවල අභියාචනා කටයුතු සඳහා උපරිමාධිකරණය වන එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලය වෙත යාමේ තත්ත්වය ද වෙනස් කෙරිණි.
1948 දී ඊනියා නිදහස යටතේ ඩොමීනියන් තත්ත්වය තුළින් මෙරට රැජිනගේ නියෝජිත තනතුර ලෙස සැලකුණේ අග්‍රාණ්ඩුකාර ධුරයයි. 1972 ජනරජ ව්‍යවස්ථාව තුළින් එම නිලයේ බලතල වෙනස් කර ජනාධිපති ධුරය ලෙස හඳුන්වන ලදි.
මේ වන විට 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය පිළිබඳ සැඟවුණු හස්තයක් ලෙස චෝදනා ලැබ සිටි අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක වෙනුවට ලකිසුරු විලියම් ගොපල්ලව ලකිසුරු ධුරයට පත් කිරීමට අගමැතිනිය සමග මහ රැජින එකඟ වූවාය. ඒ අනුව 1972 වන විට ලකිසුරු තනතුර දැරු විලියම් ගොපල්ලවයන් වෙත ජනාධිපති ධුරය පිරිනමන ලදි.
එතුමා බෞද්ධ නායකයෙකු ලෙස එකල ප්‍රසිද්ධියට පත්ව සිටි අතර සිංහල ජාතික බෞද්ධාගමික නායකයකු රාජ්‍ය ප්‍රධානියා වීම කෙරෙහි ජනතා ප්‍රසාදය හිමි විය. එහෙත් එතුමා ජනපති තනතුර ඉසුලුවේ නාමික වශයෙනි. සියලු බලතල අගමැතිනිය වෙත පවරා තිබිණි.
එංගලන්ත මහ රැජින වෙත පක්ෂපාත වන බවට එතෙක් කළ දිවුරුම ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවට යනුවෙන් වෙනස් වූයේ එදා සිටය.
මේ සමගම සිංහල රාජ්‍ය භාෂාව ලෙසත් බුදු දහම ප්‍රධාන ආගම ලෙසත් සැලකීමට එකඟ වූ අතර දේශීය අනන්‍යතාව ආරක්ෂා වන අයුරින් සියලු තීන්දු තීරණ ගැනීමේ හා ක්‍රියාත්මක කිරීමේ බලය ජනරජයට හිමි විය.
වහාම ක්‍රියාත්මක වන සේ ජනරජය කොඩිය හා ලාංඡනය ද වෙනසට පාත්‍ර විය. ජනරජ ලාංඡනය සැකසීම සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් නිශ්ශංක විජේරත්නයන් වෙත භාර වූ අතර ආචාර්ය නන්දදේව විජේසේකර, මහාචාර්ය සෙනරත් පරණවිතාන, එම්. ආර්. ප්‍රේමරත්න රෝලන්ඞ් ද සිල්වා හා මැකී රත්වත්තේ සෙසු සාමාජිකයෝ වූහ.
මේ අනුව ජනරජ ලාංඡනය විශාල පරිවර්ථනයකට යොමු විය. පළා පෙති වළල්ල මැද සිංහ රූපය ප්‍රතාපවත්ව නැගී සිටියේය. එම වළල්ල උසුලාගෙන සිටියේ වී කරල් සහ පුන්කළසකිනි.
දෙපසින් ඉර සහ සඳුගේ ලාංඡන විය. රාජ්‍ය ලාංඡනය මුදුනේ වූයේ වෙනදා මෙන් රැජිනගේ කිරීටය නොව ධර්ම චක්‍රයයි. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පැවති සෙනට් මන්ත්‍රි මණ්ඩලය අහෝසි කෙරිණි. එය ව්‍යවස්ථාදායක මණ්ඩලය බවට පත් කර ජාතික රාජ්‍ය සභාව වූ අතර පසු කලෙක ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව විය.
ජාතික ගීය ලෙස ආනන්ද සමරකෝනුන් පද රචිත ‘ශ්‍රී ලංකා මාතා’ නම් ගීතයම යොදා ගැනිණ.
ජනරජ ගීතය නිර්මාණය කිරීමේදී නම් තරමක ගැටලුකාරී තත්ත්වයක් උදා විය. ඒ සඳහා සංස්කෘතික අමාත්‍යාංශය මගින් ගීත රචනා තරගාවලියක් සංවිධානය කරන ලදී. ගලා ආ ගීත නිබන්ධන අතරින් අන්තිමට තෝරා ගනු ලැබුවේ මහගමසේකරයන් විසින් රචිත ‘රත්නදීප ජන්ම භූමි, ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි’ ගීතයයි.
අද මෙන්ම එදා ද රාජ්‍ය තන්ත්‍රය අරක්ගෙන සිටි පණ්ඩිත නිලධාරීහු මෙම ගීතයට එරෙහි වූහ.
‘කෝ මිස්ට සේකර මේ ගීය ලස්සන වුණාට මෙතන නෑනෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කිසිම දෙයක් සඳහන් වෙලා. ඒක හරි නෑ නේද?’
අදාළ නිලධාරියා මහගමසේකරයන්ට තම පාණ්ඩිත්වය පෙන්වීය. කෙළින් මිනිසකු වන මහගමසේකර පුටුව පස්සට ඇද නැගී සිටියේ මෙසේ කියමිනි.
‘එහෙනම් ඔහෙලා ජනරජ ව්‍යවස්ථාවට තනුවක් දාගෙන ගායනා කර ගන්නවා’
මහගමසේකර සංස්කෘතික අමාත්‍යාංශයෙන් පිට වී ගියේ මෙවැනි අපතයන් සමග කිසිදා එක් නොවන අදිටනිනි. අද දක්වාම ජනරජ ගීයක් නිර්මාණය නොවුණේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
2019 මැයි මස 22 වැනිදාට ජනරජය බිහි වී වසර 47 කි. එය ශ්‍රී ලංකාව විදේශ ආධිපත්‍යයයෙන් සැබැවින්ම අදහස් වූ දිනයයි.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාආරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි