නිවටයන්ගේ පාවා දීමෙන් දැයට අහිමි වූ එඩිතර සඟරුවන


දෙවැනි නිදහස් අරගලය වෙනුවෙන් තම ජීවිතය රට වෙනුවෙන් පූජා කළ කුඩාපොළ හිමි අපෙන් වෙන්වී වසර 169 ක් ගතවෙමින් පවතී. (1848.08.26 - 2017.08.26* මේ ලිපිය පළ වන්නේ ඒ නිමිත්තෙනි.


1848 වසරේ ඇරඹි 2 වැනි නිදහස් අරගලයට නායකත්වය දුන් වීර සිංහල ජාතිමාමක ජාති හිතෛෂී නායකයින් අතර වීර පුරන්අප්පු, කරෝ අප්පු, දීනිස් ගොන්ගාලේගොඩ බණ්ඩා ආදීන් සමග උරෙන් උර පරදේශක්කාර පර සුද්දන්ගෙන් මේ මාතෘ භූමිය නිදහස් කර ගැනීමේ අභීත සටනට එක්වූ තවත් වීරෝදාර භික්ෂුවක් වන්නේ කුඩාපොළ හිමියන් ය. ගිහි නායකයන් සමග එකට ගැටෙමින් තම මව්බිමට නිදහස ලබාදීමේ උදාර මෙහෙවරට සංඝ පීතෘවරයකු ලෙස ගිහියන්ට නොදෙවෙනි වෙමින් සටන් මෙහෙයවූ කුඩාපොළ හිමිට මරණය උරුම වීමේ කතා පුවත හිත් කම්පා කරවන අනුවේදනීය ඉතා හැඟීම්බර අවස්ථාවකි.


2 වැනි නිදහස් අරගලය පුරාම සිංහලේ බලලෝභී, තනතුරුලෝභී බත් බැලයන්ගේ පාවාදීම්වල අඩුවක් නොවීය. තමාට, තම පුතාට, බෑනාට තනතුරක් ලබා ගැනීමේදී පටු අරමුණු නිසා රටකට උදාකර ගැනීමට තිබූ නිදහස අපි අහිමි කර ගත්තෙමු.


2 වැනි නිදහස් අරගලයට නායකත්වය දෙන ලද පුරන් අප්පුත්, සිංහලේ රජකම් ලැබ සිටින ගොන්ගාලේගොඩ බණ්ඩාත් අල්ලා ගතහොත් සිංහලේ සටන අවසන් කළ හැකි බව ඉංග‍්‍රීසි යුද්ධ නායකයන් තීරණය කරන ලදී. මහනුවර දිසාපති බුලර් මහතාට සේනාධිනායක චිරාප්ට් මහතා දැනුම් දුන්නේ සිංහලයින්ට තාන්න මාන්න ලබාදීමේ පොරොන්දුව මත සිංහලයින් අතින්ම සිංහල නායකයින් අල්ලා ගන්නා හැටියටය.

1848 ජූලි මාසයේ දිනෙක මහනුවර මහා දිසාපති බුලර් මහතා උඩුදුම්බර, පහත දුම්බර, හේවාහැට ආදී ප‍්‍රදේශවල කෝරාලවරුන් හා රටේ මහතුන් දිසාපති මැදුරට කැඳවා ගොන්ගාලේගොඩ බණ්ඩාත්, පුරන්අප්පුත් අල්ලා ගැනීමට තොරතුරු සපයන කෙනෙකුට විශාල තෑග්ගක් දෙන බව ප‍්‍රකාශ කරන ලදී. මෙම රැුස්වීමට දුම්බර රටේ මහත්වරුන් වූ මඩුගල්ලේ හා හල්පේත් නොපැමිණි නිසා ඔවුන් දෙදෙනාම එදින නිලයෙන් පහ කරන ලදී. මෙම පුරප්පාඩු වූ තනතුරු දෙක තමාටත් තම පුතාටත් ලබා දෙන්නේ නම් සිංහලේ රජු අල්ලා දීමට තමන්ට හැකියැයි පල්ලමේ කුඹුරේ බස්නායක නිලමේ දිසාපතිතුමාට දැන්විය. සතුටට පත් දිසාපති තැන මේ නිලමේට අවශ්‍ය හමුදාව සැපයීමට මහනුවර සේනාධිනායක ටී. ඒ. චිරාප්ට දැන්විය. ඉන් දින දෙකකට පසුව දිසාපති හමුවූ පල්ලමේ කුඹුරේ බස්නායක නිලමේ, ගොන්ගාලේගොඩ බණ්ඩා ගල්ලෙනක සැඟවී සිටින බව දැන්වීය. නිලමේ පෙන්නූ තැනට සේනාව යවා රජු අල්ලා ගැනීමට ගියත් එතන කිසිවෙක් නොවීය. 


මින් කෝපයට පත් වූ බුලර් දිසාපති නිලමේ දෙසට හැරී ඔහුට දඬුවම් කිරීමට සැරසෙන විට ඔහු කීවේ තමාට මේ ව්‍යාජ තොරතුරු ලබාදුන්නේ සංඝයා වහන්සේ නමක් බවයි. දිසාපතිගේ අණ පරිදි කාහල්ලේ ගල් ලෙනක සිටි මේ භික්ෂූන් අත්අඩංගුවට ගන්නා ලදී. සතුරු රජු පිළිබඳව සත්‍ය හෙළි කරන්නේ නම් අභය දානය දෙන බව දිසාපතිවරයා ප‍්‍රකාශ කර සිටියේය. සතුරු රජු ගැන තමා කිසිවක් නොදන්නා බව භික්ෂුන් වහන්සේ නැවත නැවතත් ප‍්‍රකාශ කරන ලදී. එහෙත් එය පිළිගැනීමට දිසාපති සූදානම් නොවීය.


රැුජිණගේ ආණ්ඩුවට සත්‍ය ප‍්‍රකාශ නොකිරීමේ වරදට බස්නායක නිලමේගේ තොරතුරුවලට අනුව රාජද්‍රෝහී සිරකරුවකු වශයෙන් පිටිතල හයා බැඳගත් එම භික්ෂූන් වහන්සේ රැුගත් පිරිස මහනුවර බලා පිටත් වූහ. කාහල්ලේ ගල් ගුහාවේදී අත්අඩංගුවට ගන්නා ලද්දේ කුඩාපොළ හිමියන්වයි.


පසුවදා මහනුවර යුද අධිකරණය ඉදිරියට පැමිණ වූ කුඩාපොළ හිමියන්ට විරුද්ධව චෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබුණි. යුද්ධාධිකරණයේ නිලධාරීහූ 5 දෙනෙකු යටතේ නඩු විභාගය ආරම්භ වූහ.


1. මේ රටේ සාධාරණ උතුම් වූ ඉංග‍්‍රීසි ආණ්ඩුවට කැරලි ගසන නායකයා හා ඔහුගේ රාජද්‍රෝහී ක‍්‍රියාවලට අනුබල දීම, ඔහුට රැුකවරණය දීම.


2. සිතාමතා හෝ අනුදැනුම ඇතිව පසුගිය 17 වැනිදා එංගලන්තය රැුජිණගේ යටත් වැසියෙකු වූ කිරි බණ්ඩාට රාජද්‍රෝහිවීමේ ගිවිසුමකට පැමිණෙන ලෙස බලකර කියා සිටීම.


මේ පිළිබඳව යුෂ්මතාට කීමට යමක් ඇත්දැයි යුධාධිකරණය දන්වා සිටි අතර තවමත් කැරලි නායකයා අල්ලා දීමට සහාය වී ජීවිත දානය ලැබීමට ඉඩකඩ පවතින බව දැනුම් දෙන ලදී. ඉහත චෝදනා දෙකටම තමන් නිවැරදිකරු බවත් කැරලි නායකයා සිටින තැනක් තමන් නොදන්නා බවත් එක් වරක් පමණක් ඔහු දැක ඇතැයි ප‍්‍රකාශ කරන ලදී.


කුඩාපොළ හිමියන් වරදකරු කිරීමට සාක්ෂි දීමට පල්ලමේ කුඹුරේ බස්නායක නිලමේත් ඔහුගේ පුතාත් වීදියවැල්ලේ විදානේ නොහොත් බූටාවත්තේ කංකානමුත් වූහ. සාක්ෂි විභාගයෙන් පසු යුධාධිකරණය සිය තීන්දුව ප‍්‍රකාශයට පත්කරන ලදී. උතුම් වූ ඉංග‍්‍රීසි ආණ්ඩුවට විරුද්ධව සටන් කරන කැරලි නායකයා සමග සබඳකම් පැවැත්වීම, කැරලි නායකයාට අනුබල දීම, යටත් වැසියෙකු ද්‍රෝහි ගිවිසුමකට බැඳවීම යන චෝදනා යටතේ යුෂ්මතාට රාජද්‍රෝහියෙකුට උරුම දඬුවම මෙහිදී නියම කරමු. මේ තීන්දුව අනුව 1848 අගෝස්තු 26 වැනිදා උදේ 7.00 ට යුෂ්මතා වෙඩි තබා මරා දැමිය යුතු යැයි මේ යුද්ධාධිකරණය තීරණය කරන ලදී.


මේ තීරණය ආපසු හැරවීමට මහනුවර නීතිඥ ස්මිත් මහතා උත්සාහ කළේය. සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සියල්ලම සිතමතා ගොතා කී බොරුවලින් පිරී ඇති බවත් මෙම තීරණය අසාධාරණ බවත් ටොරින්ටන් සාමිට පැවසූ විට ඔහු ඉතා කෝපාවිෂ්ට වී ලෝකයේ ඇති සාධාරණම අධිකරණය යුධ අධිකරණය බවත් තමාට විරුද්ධව එන නඩුවක් වුවද යුධාධිකරණය ඉදිරියේ අසන ලෙස දන්වා සිටි ආණ්ඩුකාරවරයා ඔය සිරකරුවාගේ නිර්දෝෂිකම හෙට උදේ 7.00 ට ඔප්පු වේවි යැයි ප‍්‍රකාශ කරන ලදී. අගෝස්තු 26 වැනිදා උදේ 7.00 ට කුඩාපොළ හිමියන් දෑතේ විලංගු සහිතව මහනුවර යුධාධිකරණ පෝරකය වෙතට ගෙන එන ලදී. එතනදිත් ඝාතක හමුදාවේ ප‍්‍රධානී කපිතාන් පෙන්වික් භික්ෂුව දෙසට හැරී කැරලි නායකයා සිටින තැන දැන්වත් අපට කියා ජීවිත දානය ලබන්න යැයි කීවේය. කුඩාපොළ හිමි දුන් පිළිතුර වූයේ තමා කලින් කළ ප‍්‍රකාශයම තවදුරටත් සත්‍ය බවයි. ඒ හැර වෙන කිසිවක් නොදන්නා බවයි. කපිතාන් පෙන්වික්ගේ අණ නිකුත් විය.


ඝාතක හමුදාවේ මාරක වෙඩි පහරවල් සියල්ලම කුඩාපොළ හිමියන්ගේ සිරුර පසාරු කරගෙන යත්ම උන්වහන්සේ එතනම ඇදවැටුණේය. ආත්මාර්ථකාමී බලලෝභී තනතුරුලෝභී බත් බැලයන් තමන්ට ඉංග‍්‍රීසි ආණ්ඩුවෙන් ලැබීමට නියමිත වරදානයකට මුවා වී ජාතියේ නිදහස පතා තම භික්ෂූත්වය පසෙක තබා කරන ලද උතුම් ජීවිත පූජාව මේ දෙරණ මත රතු ලේ මතින් අවසන් විය. මේ ලක් දෙරණ රතු පැහැයෙන් තෙත් කිරීමට තරම් උන්වහන්සේගේ උණුසුම් රුධිරය සමත්වීම අද භික්ෂු පරපුරටත් ආදර්ශමත් ජීවිත පූජාවකි. තම දේශයේ නිදහස පතා සටන් කළ අභීත නායකයා පාවා නොදීම තම මරණින් තම නායකයා පිදීමට තරම් උන්වහන්සේ එඩිතර විය. තම සේවාව වටහාගෙන නිල් කොළ රතු පාට නොබලා ඉටු කරන්නේ නම් එය කුඩාපොළ හිමියන්ට කරන උත්තම පූජාවක් නොවේද? රටේ සිටින පාට පාට දේශපේ‍්‍රමී භික්ෂූන් අතරට කුඩාපොළ හිමි වැනි හිමිවරුන් තවත් දහස් ගණනින් බිහි වේවායි පතමි.

 

උපාලි උඩුගමසූරිය