නීති සිසුවා පැවිදි බිමට


විදේශ රාජ්‍ය නායක හමුවක දී.

 

 

හික්කඩුවේ ශ්‍රී සුමංගල ලුණුපොකුණේ ධම්මානන්ද ආභිධම්මික මේධානන්ද, බුරුමයෙන් රත්මලානට වැඩම කර සිටි බුරුම ජාතික චක්කින්ද රාමඤ්ඤ නිකායේ සුමනතිස්ස, වැලිතර සිරිසුදස්සන, බුරුමයෙන් වැඩම කර සිටි ආභිධම්මික අන්දර සිරිධම්ම සහ පැලෑදනේ ශ්‍රී වජිරඤාණ හිමිවරුන්ගේ ධර්ම දේශනා අසා පැහැද “කවිධජ කේශර” නමින් නිශ්ශංක නීති ශිෂ්‍යයා පැවිදි විය.


බුරුමයට වැඩම කොට වනවාසී ජීවිතයක් ගත කළ කවිධජ කේශර හිමියන් තම පියා බලවත්සේ රෝගාතුර වූ බව දැන ගත් පසු ශ්‍රී ලංකාවට වැඩම කළහ. වියපත් දෙමව්පියන් රැක බලා ගැනීමට වෙනත් සහෝදරයෙක් නොමැති වීම නිසා 1917 දී නැවත ගිහි ජීවිතයට ඇතුළත් විය. 


ඔහු 1919 දී එංගලන්තයේ මිඞ්ල් ටෙම්පල් නීති විශ්වවිද්‍යාලයෙන් හා ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ ශාන්ත ඇඞ්මන් හෝලි ආයතනයට බැඳී නීතිය හදාරා අධිනීතීඥවරයකු ලෙස සමත්ව 1923 දී ශ්‍රී ලංකාවට පැමිණියේය.


මේ රටේ මහත් ආන්දෝලනයට ලක්වූ කොළඹ මහ නගර සභාවේ කන්දයියා නැමති ලිපිකරුවෙක් සිය බිරිය මරා දැමීම ඇතුළු නඩු ගණනාවකට පෙනී සිටිමින් තම දක්ෂතාවන් පෙන්වීම නිසා එච්. ශ්‍රී නිශ්ශංක අධිනීතිඥවරයා ගැන රටට දැන ගැනීමට වැඩි කාලයක් ගත නොවීය.


මොහුගේ දක්ෂතා ගැන පැහැදුණු හයවැනි ජෝර්ජ් රජු රාජනීතිඥ පදවිය ඔහුට පිරි නැමුවේය.


දේශපාලනයට පිවිස හෙතෙම කොළඹ නගර සභාවේ උතුරු වැල්ලවත්ත නාගරික කොට්ඨාසයට ඉදිරිපත්ව නිතරගයෙන් ජය ගැනීමට සමත්විය. 


1928 ජනවාරි මස විසිවැනි දින ලංකා හමුදාවේ සී.එල්.අයි. කොටසේ උප ලුතිනන්වරයෙක් ලෙස පත්වූ නිශ්ශංක මහතා 1930 ජූලි තිස්වැනි දින ලුතිනන් පදවියට පත්විය. අයුක්තිය අසාධාරණය දුටු විට අනුකම්පා විරහිතව පහරදීම මොහුගේ සිරිත විය. දකුණු කොළඹ මන්ත්‍රී රාජනීතිඥ ආර්. එල්. පෙරේරා මහතාට රජයෙන් සිදු කළ අසාධාරණයකට විරෝධය පෑමක් වශයෙන් නිශ්ශංක මහතා 1931 පෙබරවාරි විසි එක් වැනි දින ලුතිතන් තනතුරෙන් ඉල්ලා අස්විය.


ඕලන්ද කාලයේ අවසන් ආණ්ඩුකාරවරයාගේ මිනිබිරියක් වූ මියුරිස් ක්‍රිස්ටෝපර් මෙනෙවිය සමග 1929 දී නිශ්ශංක තරුණයා විවාහ විය.


1939 දී බෞද්ධ සමිති මහ සම්මේලනයේ සභාපති පදවිය භාරගත් නිශ්ශංක මහතා එවකට දුර්වල තත්ත්වයේ තිබූ එම සමිතිය ක්‍රියාකාරී මට්ටමකට පත්කරලීමට සමත් විය. 1935 ජපානයේ පැවති අන්තර් ජාතික බෞද්ධ මහා සම්මේලනයට ශ්‍රී ලංකා නියෝජිතයා හැටියට සහභාගීවූ නිශ්ශංක මහතා ථෙරවාදී ත්‍රිපිටක ධර්මය ජපන් භාෂාවට ජරිවර්තනය කළ යුතු යැයි යෝජනා කොට ක්‍රියාත්මක කළේය.


නාගරික මන්ත්‍රීවරයකු ලෙස කොළඹ මහ නගර සභාවට වැදගත් යෝජනා රැසක්ම ඉදිරිපත් කළේය.


එවකට තිබූ පාට ඡන්ද පෙට්ටි ක්‍රමය අහෝසි කොට එක පෙට්ටියකට දැමිය යුතු යැයි ද කළ වැදගත් යෝජනාවකි.


දුප්පත් සහ අසරණයන් රජයෙන් නඩත්තු කළ යුතු බවත් නගර සභාවේ සෑම මාවතක්ම ආහාර නිපදවන රුක් වලින් සෙවණ කළ යුතු බවත් ඔහුගේ තවත් යෝජනා කිහිපයකි.


නගරයේ සෑම තැනකම නිදහස් කියවීම් ශාලා ආරම්භ කිරීම, කිරි පට්ටි නගරයෙන් ඈත් කර තැබීම, නිදහස් අධ්‍යාපනය පිණිස පාසල් නගර සභාවල ආරම්භ කිරීම, කොළඹ නගරයේ සෑම පාරකම තිබෙන ඉංග්‍රීසි ජාතිකයන්ගේ නම් වෙනස් කොට ලාංකික නම් ඒ වෙනුවට යෙදීම, කොළඹ නගරය පුළුල් කරන විට කැලණි ගඟ දෙපස එක දොරටුවකට කෙළින් කිරීම, නගර සභා නිලධාරීන් විසින් කරනු ලබන සියලු ගනුදෙනු සිංහල භාෂා දෙකෙන්ම කිරීම, විදුලිය රිය ගාස්තු වැඩි නොකිරීම, ඉතාලි ඇබීසියන් යුද්ධ කාලයේදී කොළඹ වරායට පැමිණෙන ඉතාලි නැව්වලට ආහාරවත්, වතුරවත් වරායේ කම්කරුවන්වත් නොදිය යුතුයි, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යන යෝජනා ඉදිරිපත් කළේය.


පොලිස් කොමිසන් සභාවේ කොමසාරිස් ලෙස නිශ්ශංක මහතා පත්විය. එහිදී ද වැදගත් යෝජනා රැසක් ඉදිරිපත් කිරීමට ඒ මහතා අමතක නොකළේය. 


කාන්තා පොලිස් හමුදාවක් ඇති කිරීම, ආරක්ෂක නිලධාරීන් විශේෂයෙන් මේ සඳහා පත් කළ යුතු බවත් මෙම සේවිකාවෝ සෑම පොලිස් මුලාදෑණින්ගේ පළාත්වලට පත් කළ යුතු බව ද එතුමා කළ තවත් යෝජනාවකි.


ස්ත්‍රී පක්ෂයට අයත් සෑම සිරකරුවෙක්ම කාන්තා සේවිකාවන්ගේ භාරයේ සිරකර තැබිය යුතු බවත් ඔවුන්ගේ සම්පූර්ණ ආරක්ෂාව කාන්තා නිලධාරීවරියකගේ වගකීම පිට තැබිය යුතු බව ද යෝජනාවේ සඳහන් විය.


ආගම දහම ගැන වැඩි අවධානයක් යොමු කළ නිශ්ශංක මහතා 1931 ජනවාරි දහසය වැනි දින ගලපිටමඩ රජයේ පාසලේ දී සල්ගල සේනාසනාරක්ෂක සමිතිය පිහිටුවා සල්ගල ආරණ්‍ය සේනාසනය ඇති කළේය. මොහුගේ උත්සහයෙන් පිහිටුවූ බියගම දහම්සිල් උපාසිකාරාමය 1936 ඔක්තෝබර් දහවැනි දින විවෘත කරනු ලැබූවේ ඩී. ඇස්. සේනානායක මැතිනිය ලවාය. එහි ස්ථීර ගොඩනැගිලි 1938 පෙබරවාරි එකොළොස් වැනි දින විවෘත කරවනු ලැබුවේ කොල්ඩිකොට් ආණ්ඩුකාරවරයා විසිනි.


1945 අගෝස්තු මාසයේ දී “හෙළදිව පත්‍රය සහ සංඛනාදය” සඟරාව පත්වාගෙන යමින් පුවත්පත් කලාවට ද හෙතෙම අත ගැසුවේය. හෙළදිව මුද්‍රණාලය සීමාසහිත සමාගමක් බවට පත්කර එහි සේවය කළ සේවකයන් අතරේ කොටස් බෙදා දීමට ද නිශ්ශංක මහතා නිර්ලෝභී විය.


“අපේ ලංකාව” එංගලන්තය, ඉතිහාසය යන ග්‍රන්ථ නිර්මාණය කරමින් ලේඛන කලාවේද දස්කම් පෑවේය.


ජාතික දේශපාලනයට පිවිසි නිශ්ශංක නීතිවේදියා “මහනුවර සමාජවාදී පෙරමුණ” නමින් අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තේය. 1947 අගෝස්තු විසිතුන් වැනි දින සිට සැප්තැම්බර් විසි වැනිදා පැවති ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්ඩල මැතිවරණයට කුරුණෑගල කොට්ඨාසය නියෝජනය කරමින් ජයගත්තේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වෙමිනි.


1951 ජූලි දොළොස්වැනි දින එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී 1951 සැප්තැම්බර් මස දෙවන දින “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය” පිහිටුවීමේදී මූලිකවී කටුයතු කළ නව දෙනාගෙන් ප්‍රබලයකු වූයේ එච්. ශ්‍රී නිශ්ශංක මහතාය.


මූලික සාකච්ඡාවලින් පසු කොළඹ වැල්ලවත්තේ පිහිටි නිශ්ශංක මහතාගේ ‘යමුනා’ නිවෙසේ දී පැවති අවසන් සාකච්ඡාවේ දී පක්ෂයට නමක් යෝජනා කරන වාරයේදී “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය” යන නම යෝජනා කළේය. ඒ මහතාගේ නමට යෙදෙන “ශ්‍රී”, “නි” යන අකුරු දෙක උපයෝගී කරගනිමින් තබන ලද එම නම විරුද්ධත්වයකින් තොරව ඒකමතිකව කවුරුත් පිළිගත්හ.
දක්ෂ චිත්‍ර ශිල්පියකු වූ නිශ්ශංක මහතා පක්ෂයේ ලාංඡනය “අත” ලකුණත් වර්ණය ලෙස නිල් පාටත් යෝජනා කළේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා රට පුරා ප්‍රචාරය කොට රාජ්‍ය බලය ලබා ගන්න තුරු ජීවත් වීමට තරම් වාසනාවක් නිශ්ශංක මහතාට හිමි නොවීය.


රටටත්, ජාතියටත්, ආගමටත් විශාල සේවාවක් ඉටු කළ රාජනීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතා 1954 පෙබරවාරි 26 වැනි දින දැයෙන් සදහටම සමුගත්තේය.

ඡායාරූප හා විස්තර බලපිටියේ
එස්. ඒ. වයි. ද සිල්වා