නුවර පා ගමන ඉඹුල්ගොඩින් නතර වෙයි


අග්‍රාමාත්‍ය ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුව තවදුරටත් අමතමින් මෙසේද කීවේය. 

“උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව ද්‍රවිඩ භාෂාව කථා කරන හෙයිනුත් විරුද්ධ පක්‍ෂයේ සිටින මගේ මිත්‍රවරුන් කිහිප දෙනෙකු විසින් ව්‍යක්ත ලෙස පක්‍ෂග්‍රාහීව කථාකරන සමූහාණ්ඩු ක්‍රමයට (ෆෙඩරල් ක්‍රමයට) අප තුළ කැමැත්තක් නැති හෙයිනුත් උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙසෙන, සිංහල අධ්‍යාපනය නොලැබුවා විය හැකි, ජනතාවගෙන් විශාල කොටසකට සේවය කරන සිංහල නිලධාරි මහතුන් ද්‍රවිඩ බස උගතහොත් ඉතා වැදගත් විය හැකිය යනු මගේ විශ්වාසයයි. මම භාෂා හතරක් දනිමි. ඊටත් වඩා භාෂා ගණනක් දැන සිටියේ නම් ඒ ගැන මට ප්‍රීතිවිය හැකිව තිබුණි. එසේ වුවද මෙම විස්තරවලින් එකක් මා ලවා ස්ථිර කරවා ගැනීමට මගේ ගරු මන්ත්‍රීවරුන් ප්‍රයන්ත දරාවි යයි මම නොසිතමි. පනත් කෙටුම්පත සම්මත වූවාට පසු රාජ්‍ය සේවකයන් පිළිබඳ ප්‍රශ්නය සහ අනෙකුත් කරුණු ගැන සලකා බලන බවට සහතික කර කියා සිටින අතර මෙම පනතේ මූලික අරමුණ සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කිරීම බව පෙන්වා දීමට කැමැත්තෙමි. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් දෙමළ ජනතාවගේ සිත් තුළ යම් කිසි වේදනාවක් ඇතිවීමෙන් රටේ අසමගිය ඇතිවියහැකි නිසා කරුණු හතරක් මගින් ඔවුනට සාධාරණය ඉටු කළ යුතුයයි අගමැතිතුමා යෝජනා කළේය. එයින් සියලු දෙනා සතුටට පත් වනු ඇතැයි එතුමා අපේක්‍ෂා කළේය.


I උතුරු - නගෙනහිර පළාත්වල දෙමළ මව්බස ලෙස සලකන දරුවන්ගේ අධ්‍යාපනය තමන්ගේ භාෂාවෙන් කරගැනීමට ඉඩදීම (විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වාම) 
II පළාත් පාලන ආයතනවල කටයුතු රජය සමග කර ගැනීමේදී දෙමළ භාෂාවෙන් කිරීමට ඉඩදීම.
III තැපැල් මගින් රජය සමග ලිපි හුවමාරු කර ගැනීමේදී දෙමළ භාෂාවෙන් ලිපි යැවීමටත් එම භාෂාවෙන් පිළිතුරු ලබා ගැනීමටත් ඉඩ දීම.
IV රාජ්‍ය සේවය සඳහා භාෂාව භාවිත කිරීමේදී තමා ඉගෙන ගත් භාෂාව යොදාගැනීම සහ රාජ්‍ය භාෂාව වශයෙන් සිංහල භාෂාව ඉගෙන ගැනීම මගින් භාෂා ප්‍රවීණතාව ලබාගැනීමට සාධාරණ කාලයක් සිංහල නොදන්නා අයට ලබාදීම.


මෙම යෝජනා ෆෙඩරල් පක්‍ෂයේ කැලඹීම සතුටුදායක අන්දමින් සංසිඳුවීමට හේතු විය. එනිසා භාෂා ගැටලුව ගැන සාකච්ඡා කිරීමට නොපමාව එකගතාව පළ විය. උණුසුම් වාතාවරණය පහව යන බවක් දන්නට ලැබුණි. 1957 ජූනි 26 වැනිදා ඇස්. ජේ. වී. චෙල්වනායගම්, එම පක්‍ෂයේ ලේකම් දොස්තර ඊ. ඇම්. වී. නාගනාදන්, වඩුක්කොඩෙයි මන්ත්‍රී ඒ. අමිර්තලිංගම් යන මහත්වරුන්ද රජය වෙනුවෙන් අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ මුදල් ඇමැති ස්ටැන්ලි ද සොයිසා යන මහත්වරු සාකච්ඡාවකට සහභාගි වූහ. සාකච්ඡා ඉතාමත් සුහද ලීලාවෙන් හොරගොල්ලේ අගමැති නිවසේදී පැවති අතර එය ඉතා සාර්ථක වූ බව දැනගන්නට තිබුණි. ෆෙඩරල් පක්‍ෂය එම එකඟතාවට යහපත් ප්‍රතිචාර දක්වමින් තමන් එතෙක් රටපුරා පවත්වාගෙන ගිය සත්‍යග්‍රහ ව්‍යාපාර නවත්වා දැමීමටත් සාකච්ඡාවට අදාළ කරුණු දැන දෙපාර්ශ්වය අතර ගිවිසුමක් අත්සන් කිරීමටත් එය ඒකාබද්ධ නිවේදනයක් මගින් රටට ප්‍රකාශ කිරීමටත් සාකච්ඡාකරුවෝ එකඟවූහ. 1957 ජූනි 26 දා අත්සන් කළ එම ගිවිසුම පිළිබඳ දෙපක්‍ෂයේ එකඟ තත්ත්වයෙන් නිකුත් වූ නිවේදනය මෙසේ විය.


පොදු ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රකාශය
උත්සන්න වෙමින් සහ රටේ නොසන්සුන් තත්ත්වයක් ඇති කරමින් පවතින මතභේද නිරාකරණය කිරීම් වස් ෆෙඩරල් පක්‍ෂයේ නියෝජිතයෝ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කීපයක් පැවැත්වූහ.


සාකච්ඡාවලට මුල් අවස්ථාවේ ෆෙඩරල් පක්‍ෂයේ ඇතැම් ඉල්ලීම්වලට එකඟවීමට අගමැතිවරයාට නොහැකි බව පෙනී ගියේය.
ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකිරීම හෝ ස්වාධීන කොට්ඨාස ඇතිකිරීම හෝ රාජ්‍ය භාෂා පනත අවලංගු වන කිසිදු පියවරක් ගැනීම හෝ ඒ ගැන සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව තමාට නොහැකි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එවිට පැන නැගුණ ප්‍රශ්නය වූවේ ෆෙඩරල් පක්‍ෂය සිය මූලික ප්‍රතිපත්තිවලින් හෝ පරමාර්ථ වලින් හෝ කිසිවක් අත් නොහැර හෝ පාවා නොදී හෝ වැඩපිළිවෙළක් සකස් කිරීම ගැන සොයා බැලිය හැකිද යන්නයි.


ෆෙඩරල් පක්‍ෂය අදහස් කරන ඇතැම් කරුණු සාධාරණ අයුරින් ලබාදීම් වස් අවශ්‍ය විධිවිධාන සැලැස්විය හැකිදැයි සොයාබැලීම සඳහා ආණ්ඩුව විසින් කෙටුම්පත් කර ඇති රට සභා පනත පරීක්‍ෂණයට භාජනය කරන ලෙස ආග්‍රාමාත්‍යවරයා යෝජනා කළේය. 
ඒ අනුව ඇති කර ගත් ගිවිසුම වෙනම ලේඛනයකට ඇතුළත් කර ඇත.


භාෂා ප්‍රශ්නය සම්බන්ධයෙන් ෆෙඩරල් පක්‍ෂය අවධාරණයෙන් එල්බගෙන සිටියේ සම තත්ත්වය ලබාගැනීමේ ප්‍රතිපත්තිය මතය, එහෙත් ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා අනුගමනය කරන ප්‍රතිපත්තිය අනුව කරුණු සකස් කිරීමෙන් ඔවුහු එකඟත්වයකට පැමිණියහ. ද්‍රවිඩ භාෂාව ජාතික භාෂාවක් වශයෙන් පිළිගනු ලැබීමේ සහ උතුරු හා නැගෙනහිර පළාත්වල පාලන කටයුතු ද්‍රවිඩ භාෂාවෙන් කිරීම පිළිබඳව වැදගත්කම ඔවුහු පෙන්වා දුන්හ.


කලිනුත් සඳහන් කළ පරිදි රාජ්‍ය භාෂා පනත අවලංගු වන කිසිදු පියවරක් ගැනීමට නොහැකි බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

 


දෙමළ භාෂාව පාවිච්චි කිරීම
දෙමළ භාෂාව ලංකාවේ සුළු ජාතිකයන්ගේ භාෂාවක් වශයෙන් පිළිගැනෙන නිර්දේශ යෝජිත නීතිවලට අඩංගුවිය යුතු යැයිද රාජ්‍ය භාෂා පනතේ තත්ත්වයට හානියක් නොවන පරිදි උතුරු හා නැගෙනහිර පළාත්වල පාලන භාෂාව ද්‍රවිඩ භාෂාව බවට පත්කිරීමේ නිර්දේශ අග්‍රාමාත්‍යවරයා විසින් ස`ඳහන් කරන ලද සිව් වැදෑරුම් ක්‍රමයට ඇතුළත් කළ යුතු යැයිද උතුරු හා නැගෙනහිර ද්‍රවිඩ භාෂාව කථා නොකරන සුළු ජාතිකයන් සඳහා අවශ්‍ය නිර්දේශ ඇති කළ යුතු යැයිද සාකච්ඡාවලින් පසුව ගිවිස ගන්නා ලදී.


ඉන්දියානු සම්භවයක් ඇති ජනයාට ලංකා පුරවැසිභාවය දීම පිළිබඳ ප්‍රශ්නය ගැනත් පුරවැසි පනත සංශෝධනය කිරීම ගැනත් සිය අදහස අගමැතිවරයාට ඉදිරිපත් කළ ෆෙඩරල් පක්‍ෂයේ නියෝජිතයෝ ඉක්මනින්ම මෙම ප්‍රශ්නය විසඳන ලෙස බලකර සිටියහ.
මේ ප්‍රශ්නය ගැන ඉක්මනින්ම සලකා බලන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ තීරණ අනුව තමන්ගේ සත්‍යග්‍රහ ව්‍යාපාරය අත්හිටුවන බව ෆෙඩරල් පක්‍ෂය ප්‍රකාශ කළේය.


රට සභා පිළිබඳව අග්‍රමාත්‍යවරයාත් ෆෙඩරල් පක්‍ෂයත් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය මෙසේ විය. 


(අ) රට සභා ප්‍රදේශ උප ලේඛනයක් මගින් පනතෙන්ම විස්තර කිරීම.
(ආ) උතුරු පළාත එක් රට සභා ප්‍රදේශයක් බවට පත් කරන අතර නැගෙනහිර පළාත රට සභා දෙකකට හෝ ඊට වැඩි ගණනකට ගැනෙන ප්‍රදේශවලට බෙදීම.
(ඇ) පළාත් සීමා ඉක්මවාවූවද රට සභා ප්‍රදේශ දෙකකට හෝ ඊට වැඩි ගණනකට ඒකාබද්ධ විය හැකි වනසේ පනතේ විධිවිධාන සැලසීම.

ඉතිරි කොටස ඉදිරියට...

සෝමසිරි වික්‍රමසිංහ