නූලෙන් වැළකුණු ගුටි බැට හුවමාරුව


 

 

1981 පැවැත්වූ සංවර්ධන සභා මැතිවරණය ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණ ක්‍ෂේත්‍රයේ සුවිශේෂී පෙරළියක් ඇති කළ ඡන්ද විමසීමකි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පාලන සමයේ පළාත් පාලන විෂයයද භාරව සිටි අගමැති ආර්. ප්‍රේමදාස මැතිතුමා විසින් මෙම සංවර්ධන සභා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමෙන් පසු එහි ප්‍රථම ඡන්ද විමසීම තමයි 81 වසරේ පැවැත් වුණේ. එතෙක් පැවති සුළු නගර සභා - ගම් සභා වෙනුවට ඇති කළ මෙම ඡන්ද ක්‍රමයේ දී දිස්ත්‍රික්කයක තිබූ සුළු නගර සභා හා ගම්සභා සියල්ල වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන සභාව යනුවෙන් එක සභාවක් බිහි විය.


දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණයට එකක් අඩුවෙන් සංවර්ධන සභා මන්ත්‍රීවරුන් පත්වූ අතර  උදාහරණයක් වශයෙන් එවකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ති්‍රීවරුන් 4 දෙනෙක් සිටි නිසා සංවර්ධන සභාවට ඡන්දයෙන් පත්වූයේ 3 දෙනෙකි. එම තුන්දෙනා පත්කර ගන්නා ලද්දේ දිස්ත්‍රික්කයේම ඡන්දයෙනි. මේ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තරග නොකරන ලද අතර ජනතා විමුක්ති පෙරමුණ  තරඟ කළේය. ඒ අනුව හම්බන්තොට, දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්‍ෂයෙන් මා ඇතුළු දෙදෙනෙක්ද ජනතා විමුක්ති පෙරමුණෙන් එක් නියෝජිතයෙක්ද තේරී පත්වූහ.


මෙම දිස්ත්‍රික් සභාවට පළාත් පාලන විෂයට අමතරව වෙනත් සංවර්ධන කටයුතු සඳහා ද බලතල තිබීම විශේෂත්වයක් වශයෙන් සඳහන් කළ හැකිය. සංවර්ධන සභාවේ සභාපතිවරයා ඡන්දයෙන් පත්වූ තිදෙනාගෙන් එක් අයෙකු වූ අතර සංවර්ධන සභාවේ විධායක  සභාවේ සභාපතිවරයා දිසා ඇමැතිවරයාය. දිසා අමාත්‍ය තනතුරද මෙම ක්‍රමය යටතේ වඩා බලසම්පන්න විය. දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල කටයුතුවලට අමතරව දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම අනුමත කර  ක්‍රියාත්මක කිරීම කෙරෙහිද සංවර්ධන සභාව සැලකිලිමත් විය.


මෙම වැඩ පිළිවෙළ මෙසේ ක්‍රියාත්මක වෙද්දී 1982 ජනමත විචාරණ ඡන්ද  විමසීම පැවැත්විණි. එහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම - තංගල්ල - බෙලිඅත්ත - මුල්ගිරිගල යන ඡන්ද කොට්ඨාසවලින් එක්සත් ජාතික පක්‍ෂය පරාජයට පත්විය. ජනමත විචාරණයෙන් ආණ්ඩුවේ කාලය දික්කර ගැනීම සමස්ත ලංකාවෙන් වැඩි ඡන්දයෙන් අනුමත වුවද තවත් ප්‍රදේශ කීපයක ආසන කිහිපයක් සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන 4ක්ම පරාජයට පත්විය. මේ නිසා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ දැන්වීම අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලා අස්වූහ. මේ අනුව අතුරුමැතිවරණයකට මග පෑදුණ අතර ඒ අනුව ඡන්දයකට මුහුණ දීමට සිදුවිය. එවකට හම්න්තොට  දිසා ඇමති වූයේ තිස්සමහාරාම පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර පී. එම්. බී. සිරිල් මහතායි. එතුමාට ද ඉල්ලා අස්වීමට සිදුවූ නිසා වැඩබලන දිසා ඇමති වශයෙන් පත් කරන්න ලද්දේ මාතර දිසා අමාත්‍ය වශයෙන් එවකට සිටි අභාවප්‍රාප්ත කීර්ති අබේවික්‍රම මැතිතුමායි. 


ඒ නිසා අපගේ හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන සභාවේ විධායක සභා රැස්වීමේ මුලසුන ගන්නා ලද්දේ කීර්ති අබේවික්‍රම මැතිතුමයි. මෙම සංවර්ධන සභා විධායක රැස්වීමේ ලේකම් වශයෙන්  දිස්ත්‍රික්කයේ මහ දිසාපතිවරයා කටයුතු කළ අතර එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වශයෙන් ක්‍රියාත්මක වැඩ කොටසක් ඉටුකරන ලද්දේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන සහකාර කොමසාරිස්වරයාය. දිනක් විධායක සභා රැස්වීම ඉතා උණුසුම් විය. දිස්ත්‍රික්කයේ මාර්ග සකස් කිරීමක් සම්බන්ධව ඇතිවූ සාකච්ඡාවේදී එවකට හම්බන්තොට පළාත් පාලන සහකාර කොමසාරිස් ජිනදාස මහතා හා මා අතර ඉතා උණුසුම් වාග් ප්‍රහාරයක් ඇති විය. දෙදෙනාම ඉතා තදින් වචන හුවමාරු කර ගත්හ. අන්තිමට ගුටිබැට හුවමාරු වන මට්ටමට වචන හුවමාරුව දුරදිග යද්දී මුලසුනේ සිටි කීර්ති අබේවික්‍රම දිසා අමාත්‍යතුමා වහා නැගිට තමන්ගේ පෞද්ගලික ලේකම්ට කතා කොට එතුමාගේ ලිපි ලේඛන හා මුද්‍රා ආදිය සියල්ල ගෙන්නා ගෙන වහාම එතැනින් පිටවූයේ “තවත් මේ සභාවට එන්නේ නැහැ, ජනාධිපතිතුමාට පැමිණිලි කරනවා” කියමිනි. රැස්වීමේ වැඩ ඉන් නිමාවිය. සියලු නිලධාරීනුත් පිටව ගියහ. මාත් ජිනදාස මහතාත් අතර ඇති වූ අමනාපය සති දෙක තුනකින් නිමා විය. ජනාධිපතිතුමාට පැමිණිලි කිරීම කෙසේ වෙතත් කීර්ති අබේවික්‍රම මැතිතුමා සති කීපයකින් නැවතත් දිසා අමාත්‍ය කාර්යාලයට ඇවිත් වැඩ කළේය. ළඟදී මට කොළඹදී ඉහත කී නිලධාරි මහත්මා හමුවිය. අපි ඉතා සුහදව කතා කළෙමු. 80 ගණන්වල සිට එතුමාත් මමත් විවිධ තැන්වල රාජකාරි කළ නිසයි හුඟකලකින් හමුවීම සිදුවූයේ. කොහොම වුවත් අප දෙදෙනාම 82 වර්ෂයේදී හම්බන්තොටදී වූ එම සිද්ධිය ගැන මතක් කරමින් විහිළු තහළු කරමින් කතා කළෙමු. රාජකාරි අවස්ථාවල දී ඇතිවන ආවේග ඉතා තාවකාලික හා දිගට තබාගත යුතු දේවල් නොවන බව ශිෂ්ට සමාජයේ වැදගත් ලක්‍ෂණයකි.