යාපා පටුනේ පළමු ප්‍රගතිශීලී සටන් පෙරමුණ-06
තරුණ කොංග්‍රසය වෙත තමන් තරමක් දුරට ආකර්ෂනය වූ බවක් හැඟීගියේ යැයි නේරු සිය දීර්ඝ කථාව තුළ සඳහන් කළ අතර, තමන් සංචාරය සඳහා යායුතු සියලු ස්ථාන අතුරින් කුඩා නමුත් හොඳම ස්ථානය යාපනය බව පැවසීය. නේරු සිය දීර්ඝ කතාව තුළ, “තමන් ක්‍රියාවට බට පුද්ගලයන් නොවන්නේ නම් ඔවුන්ගේ සියලු කතාවන්ගෙන්ම පලක් නොවනු ඇතැයි” ඔහු තරුණයන්ට අනතුරු ඇඟවීය. තවද කම්කරුවන්ට විශේෂයෙන්ම ඉන්දියානු සම්භවයකින් යුතු කම්කරුවන්ට ප්‍රමාණවත් අවධානය යොමුවී නොතිබෙන බව ඔහු යාපනයේදී අවධාරණය කළේය. තවද ශ්‍රමිකයාගේ ජාත්‍යන්තර ස්වභාවය අවධාරණය කළ ඔහු සමාජීය, ආර්ථික හා දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රියාමාර්ගයක් සකස් කරගන්නා ලෙස තරුණයන්ගෙන් ඉල්ලා සිටියේය.
1931 වසරේ සිට 1934 මැද භාගයේ අලුතින් නාමයෝජනා කැඳවනු ලබන තුරු ගතවූ සම්පූර්ණ කාලය කිසිසේත්ම වර්ජනයට පක්‍ෂව හා විපක්‍ෂව රැස්වීම් පැවැත්විණි. 1931 ආණ්ඩුවේ ඒජන්තවරයා නිකුත් කළ වාර්තාව අනුව නේරු වර්ජනයට අනුමැතිය පළකිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වර්ජන ව්‍යාපාරය පිළිබඳව නේරුගේ උණුසුම් පිළිගැනීම අපේක්‍ෂාවෙන් සිටි පිරිස් අපේක්‍ෂාභංගත්වයට පත්වූ බව සඳහන් කෙරිණි. එහෙත් තරුණ කොංග්‍රසය තම ආස්ථානය වෙනස් නොකළ අතර 1932 හා 1933 සැසිවාර තුළ වර්ජන තීන්දුව ගැන ප්‍රමුඛ ලෙස සඳහන් කෙරුණු අතර සී. ඊ. කොරයා මහතා සහ කේ. බාලසිංහම් මහතා තම තමන් සහභාගි වූ සැසිවාරවලදී තමන්ගේ මූලාසන දේශන තුළදී වර්ජන තීන්දුව දෘඪතර විශ්වාසයෙන් යුතුව යුක්ති යුක්ත කළහ.
1934 ජූලි මාසයේදී මැතිවරණය පැවැත්විණි. වර්ජනයට සහභාගි වූ නමුත් තරුණ කොංග්‍රසයේ අරමුණු හා පරමාදර්ශයන්ට බැඳීමක් නොතිබුණු අපේක්‍ෂකයන් සමහරෙක් මැතිවරණයට තරග කොට ජයග්‍රහණය කළහ. වෛතියලිංගම් දුරෙයිස්වාමි සහ කේ. බාලසිංහම් 1934 මැතිවරණයට තරග නොකළහ. මැතිවරණය පැවැත්වීම හා අලුතින් නාම යෝජනා කැඳවීමේ දිනයක් ඉල්ලා උද්ඝෝෂණය කළ අපේක්‍ෂකයන්ගේ ජයග්‍රහණයද තරුණ කොංග්‍රසය දශකයකට ආසන්න කාලයක් තිස්සේ යාපනයේ දේශපාලන හා සමාජ ජීවිතය තුළ අත්කරගෙන සිටි අග්‍රස්ථ තත්ත්වයෙන් ප්‍රායෝගිකවම පහකර දැමීය.
අටවැනි වාර්ෂික සැසිවාරයන්හිදී සාමාජික සහභාගිත්වය ප්‍රශස්ථ මට්ටමක පැවතිණි. එහිදී සම්මත කෙරුණු යෝජනා වර්ජන තීරණයේ නිවැරැදිභාවය යළි තහවුරු කළ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ එක් වසරක අත්දැකීම ප්‍රතිසංස්කරණවල අප්‍රමාණවත් බව ඔප්පු කර ඇතැයි තිරසර ලෙස ප්‍රකාශ කෙරිණි. 1933 තරුණ කොංග්‍රසයේ නවවැනි වාර්ෂික සැසිවාරය යාපනයේදී පවත්වන ලද්දේ ප්‍රජාගණවාදය වර්ධනය වෙමින් තිබූ වාතාවරණයක් තුළය. නව වන වාර්ෂික සැසිවාර පවත්වන ලද මොහොත වන විට තරුණ කොංග්‍රසයට එරෙහි විරෝධය වඩාත් ප්‍රබල බවට පත්ව තිබිණි. අලුතින් නාම යෝජනා කැඳවීමේ දිනයන් ලබාගැනීමට ආණ්ඩුකාරයාට අභියාචනයක් ඉදිරිපත් කිරීමට සහාය ලබාගැනීමට ප්‍රයත්නයන් දරනු ලැබ තිබුණි.
සැසිවාරයේදී කේ. බාලසිංහම් මහතා සභාපති දෙසුම පැවැත්වීය. පිළිගැනීමේ කමිටුවේ සභාපති වූ සෑම් ඒ. සභාපති පිළිගැනීමේ කතාව පැවැත්වීය. දකුණේ සිට පැමිණි සුප්‍රකට වැදගත් පුද්ගලයෝ තිදෙනෙක්ද වූහ. ෆ්‍රැන්සිස් ද සොයිසා, ඩබ්. දහනායක සහ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක යන මහත්වරුද සැසිවාර අමතා කතා කළහ. 1935 දී තරුණ කොංග්‍රසයේ අනුග්‍රහය යටතේ බොහෝ විට යාපනයේ රැස්වීම් ඇමතීම වාමාංශික ව්‍යාපාරයේ නායකයන්ගේ සිරිතක් බවට පත්විය. රටේ අනෙක් පළාත් තුළද තරුණ කොංග්‍රසයේ වැදගත් පුද්ගලයෝ වාමාංශික නායකයන් සමග එකම වේදිකාවක පෙනීසිටියහ. ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, එස්. ඒ. වික්‍රමසිංහ හා ඩබ්. දහනායක යන අය යාපනයට නිතර පැමිණි අමුත්තෝ වූහ. එමෙන්ම වාමාංශික ව්‍යාපාරයේ නායකයන්ට පමණක් තරුණ කොංග්‍රසයේ වේදිකාව සීමා නොවූ අතර 1939 සැසිවාර අමතා කතා කළ ජේ. ආර්. ජයවර්ධන ද, 1941 ඔක්තෝබර් මස තරුණ කොංග්‍රසයේ රැස්වීමක් ඇමතූ ඩී. ඇස්. සේනානායක ද වූහ.
1920 ගණන් අග භාගයේත්, 1930 ගණන්වල මුල් අවධියේත්, ජාතික ස්වාධීනත්වය සඳහා අරගලයේ පෙරමුණේම සිටියේ යාපන තරුණ කොංග්‍රසයයි. ඒ අනුව තරුණ කොංග්‍රසය හා දකුණේ ජාතිකවාදීන් විසින් රට ඉදිරියේ තැබූ පරමාදර්ශය වූයේ නිදහස් හා එක්සත් ලංකාවකි. 1935 වාමාංශික ව්‍යාපාරය නැගී ඒමෙන් පසුව පවා ජාතිකත්වයන් පිළිබඳ ගැටලුවට යොදවා තිබුණේ අප්‍රමාණවත් අවධානයකි. තරුණ කොංග්‍රසය ලාංකීය ජාතිකවාදයකට පූර්ණ වශයෙන් කැපවී සිටියේය. 1956 වසර වන විට තරුණ කොංග්‍රසයට අයත්ව සිටි පුද්ගලයන් කරා පරාජයේ, ඉච්ඡා භංගත්වයේ හැඟීමක් රැගෙන ආයේය. තරුණ කොංග්‍රසයේ සම්භවය දෙස හැරී බලන හැන්ඩි පෙරිම්පනායගම්, “හොඳ හිත හා යහපත පිරි ඉතිරී යන දේශයක් දෙස මහත් ඕනෑකමින් බලා සිටියේ යැයි” කනගාටුවෙන් යුතුව සඳහන් කළේය.
විශේෂයෙන් යාපන තරුණ කොංග්‍රසය සිය වර්ජන ප්‍රතිපත්තියට දකුණෙන්ද සහාය ලබාගැනීමට අපේක්ෂා කළත්, ඒ සඳහා වන විධිමත් වැඩපිළිවෙළක් ඔවුන්ට නොතිබුණි. උතුරේ ආසන හතරකට අපේක්ෂකයන් තරග නොකිරීම ඔවුන් ලද ජයග්‍රහණයක් වුවද, මැතිවරණයෙන් පසුව එය යාපනය අර්ධද්වීපයට පමණක් සීමා වූ දෙයක් බව යාපනේ ජනයාට පෙනුණ විට එය ඔවුන් තුළ ආස්වාදයක් ඇතිකරනවා වෙනුවට කලකිරීමක් හා අතෘප්තියක් ඇතිකිරීමට හේතු විය. එසේම තරුණ කොංග්‍රසයේ නායකයන්ගේ පළිගැනීමට කුලවාදී බලවේග සමග සාම්ප්‍රදායික දෙමළ දේශපාලනඥයෝද එම ව්‍යාකූල තත්ත්වය උපරිම ලෙස ප්‍රයෝජනයට ගත්තෝය. තරුණ කොංග්‍රසයට තිබුණු පිළිගැනීම අවසන් කරන්නට සාම්ප්‍රදායික නායකයන්ටද අවශ්‍ය වී තිබුණි.
ඒ අනුව ඇතිවූ ගැටුම්වල අවසාන ප්‍රතිඵලය වූයේ තරුණ කොංග්‍රසයට තිබුණු පිළිගැනීම අහිමිවන තත්ත්වයක් ඇතිවීමය. මැතිවරණය වර්ජනය ආශ්‍රයෙන් ඇතිවූ අර්බුදයට සාර්ථක ලෙස මුහුණ දී එම තත්ත්වය ජයගන්නට යාපන තරුණ කොංග්‍රසයේ නායකයෝ අසමත් වූහ.
එසේම 1956 සිංහල පමණයි පනත, 1958 දෙමළ විරෝධි කෝලාහල හා 1961 සත්‍යග්‍රහ තුළින් කූටප්‍රාප්තියට පත් දෙමළ ප්‍රතිවිරෝධය දැක්වීමේ ව්‍යාපාරය යන සිද්ධීන්ගෙන් පසුව දෙමළ ජාතිකවාදයේ නැග ඒමට දෙමළ ප්‍රජාගණවාදය අවස්ථාව ලබාදුන්නේය. තරුණ කොංග්‍රසය දීප ව්‍යාප්ත ජාතිකවාදයකට නැතහොත් “ලාංකීය ජාතිකවාදයකට” කැපවී සිටි නමුත්, සිංහල හා දෙමළ ප්‍රජාගණවාදය මතුවී ඒම මගින් මේ අරමුණ පරාජයට පත්වීම අභාග්‍යයක් විය. දෘෂ්ටිමාදය හා දේශපාලනය මට්ටමෙන් සලකා බලන කල්හි සමස්තයක් වශයෙන් තරුණ කොංග්‍රසය වාමාංශික ව්‍යාපාරය සමග බද්ධ විය යුතුව තිබුණි. එහෙත් ගාන්ධියානු පරමාදර්ශ වාදය හා මාක්ස්වාදී සමාජවාදය අතර වූ ප්‍රතිවිරුද්ධතාවන් අතිශය තියුණුවීම මෙවැන්නක් සිදුවීමට ඉඩ නොහළේය.
යාපන තරුණ කොංග්‍රසයේ සාමාජිකයෝ විශේෂයෙන්ම සංස්කෘතිය හා බුද්ධිය අතින් දැවැන්ත පුරුෂයෝ වූහ. ඔවුහු සරල ජීවිත ගතකළහ. ස්වාර්ථය නොතකා ලාංකීය ප්‍රජාවගේ යහපත වෙනුවෙන් සිය කාලය හා කුසලතා නොමිලයේ පරිත්‍යාග කළහ. තම විචිත්‍රවත් ජීවිතයට අදාළ කවර හෝ ලේඛනයක් කිසිදාක සුරක්ෂිත කර නොතැබුවේ මන්දැයි හැන්ඩි පෙරින්පනායගම් ගෙන් විමසූ විට ඊට පිළිතුරු වශයෙන් ඔහු කියා සිටියේ, තමන් තම ජීවිතයෙන් වැඩි කොටස ගෙයින් ගෙට සංක්‍රමණය වෙමින් මුළුමනින්ම වාගේ “සංචාරක ජීවිතයක්” ලෙස ගෙවූ බවයි.
යාපන තරුණ කොංග්‍රසයේ ඉතිහාසය යාපන තරුණයෙන්ගේ අභිලාෂයන් ප්‍රකාශයට පත්වූ, රටේ ඉතිහාසයෙහි ඉතා වැදගත් කාලපරිච්ඡේදයක් සමග පොර බදයි. ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවෙහි නිරත වන සියලු ප්‍රජා ගණයන් එක හා සමාන හවුල්කරුවන් වන එක්සත් ශ්‍රී ලංකාවක් පිළිබඳ හැන්ඩි පෙරින්පනායගම් ගේ දැක්ම අද දවසටත් අදාළව පවතී.
එම්. තාරික්
ඡායාරූප : අන්තර්ජාලයෙනි