ලංකාවේ දේශපාලන පක්ෂ හැට දෙකක් පිළිගෙන ඇති බවත් තවත් පක්ෂ සියයක් පමණ ඒ සඳහා අයදුම්කර ඇති බවත් මාධ්‍ය වාර්තා කළේය. මේ ඒගැන අතීත කතාවකි.
එක්දහස් නවසිය පනස් නවයේ සැප්තැම්බර් මස විසි හයවැනි දින සිදුවූ එවකට අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ඝාතනය නිසා රට තුළ නිර්මාණය වූයේ අර්බුදකාරී දේශපාලන තත්ත්වයකි. අගමැති ධුරයට පත් විජයානන්ද දහනායක මහතා කටයුතු කරගෙන ගියේ තමා නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගෙන තිබුණු ප්‍රතිපත්තියට පටහැණිවය. බණ්ඩාරනායක ඝාතනයේ පරීක්ෂණ නිසිපරිදි සිදු කිරීමට ඔහු ඉඩ නොදෙන්නේ යැයිද අත්අඩංගුවට ගැනීමට නියමිත අය ආරක්ෂා කරන්නේයැයිද විපක්ෂය නිරන්තරයෙන් ඔහුට චෝදනා එල්ල කළේය. වෙනකක් තබා ඔහු එම අපරාධය පිළිබඳ කුමණ්ත්‍රණයට සම්බන්ධයැයි කියන්නෝද වූහ.
මහත් බලාපොරොත්තු ඇතිව මහජන එක්සත් පෙරමුණු රජය බලයට පත් කළ ජනතාවට මේ සිදුවන්නේ කුමක් දැයි වටහා ගත නොහැකි විය. ඔව්හු අන්දමන්දව සිටියහ. පනස් හයේ ජයග්‍රහණය ලබා ගත්තේ යූ.ඇන්.පී විරෝධී සියලු බලවේගයන්ගේ එකමුතුකමින් බව බලයට පැමිණි පසු බොහෝ දෙනා අමතක කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිලිප් ගුණවර්ධන මහතා නායකත්වය දුන් විප්ලවකාරී සමසමාජ පක්ෂය, දහනායක, මහානාම සමරවීර ආදීන්ගේ භාෂා පෙරමුණ සහ තවත් ස්වාධීන පිරිස් ගණනාවකගේ එකතුවෙන් මහජන එක්සත් පෙරමුණ නමැති සන්ධානය ගොඩනගා තිබුණි. එවකට ප්‍රබල වාමාංශික පක්ෂ දෙකක් වූ ලංකා සමසමාජ පක්ෂය හා ලංකා කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ සමඟ නිතරඟ ගිවිසුමක් යටතේ මැතිවරණ සටනට එළඹුණු නිසා ඡන්ද බෙදී යාමකින් තොරව පැවති රජය පෙරළා දැමීමට හැකිවිය. එහෙත් රජය පිහිටුවන ලද දිනයේ සිටම මෙම සමගිය බිඳී යන ආකාරයෙන් කටයුතු සිදුවිය.
මෙම මැතිවරණය පැවැත්වූයේ එදා ක්‍රමයට අනුව දින තුනකටය. පළමු දිනයේම වැඩි වාසිය මහජන එක්සත් පෙරමුණට බව පෙනෙන්නට තිබුණි. එය තරග පැවති ආසන 43 න් ආසන 27ක් දිනාගෙන සිටියේය. එක්සත් ජාතික පක්ෂයට මුල් දිනයේ ලැබුණේ ආසන අටක් පමණි. නිතරඟ ගිවිසුමේ අනෙක් පක්ෂ දෙකටද වැඩි ආසන ගණනක් ලැබී තිබුණ අතර සුළඟ හමන්නේ කුමන දිසාවකටද යන්න පැහැදිලිව දක්නට තිබුණි. ඊළඟ දින දෙකේදී එක්සත් ජාතික පක්ෂයට එකම ආසනයක්වත් ලැබුණේ නැත. එය අටකටම සීමා වී තිබුණි. සමසමාජ පක්ෂයට ආසන 14ක් හා කොමියුනිස්ට් පක්ෂයට ආසන තුනක්ද හිමිවිය.
මෙම පසුබිම හමුවේ පාර්ලිමේන්තුවේ දෙවැනි වැඩි ආසන ගණන හිමිකරගත් තනි පක්ෂය වශයෙන් සිටි ලංකා සමසමාජ පක්ෂයට විපක්ෂ නායක පදවිය හිමි විය. රුවන්වැල්ල මන්ත්‍රී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා විපක්ෂ නායක ධුරය භාර ගත්තේය. එම වකවානුවේ ජනතාව අතර දැඩිි අවධානයට ලක්ව තිබූ සමාජ ගැටලුව වූයේ භාෂා ප්‍රශ්නයයි. මේ පිළිබඳව රජය සහ වමේ මිතුරු පක්ෂ දෙක සිටියේ අහසට පොළව මෙන් අන්ත දෙකකය. සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව විය යුතුයැයි රජය කියා සිටියේය. එය ක්‍රියාත්මක කිරීමටද කටයුතු කළේය. සිංහල, දෙමළ භාෂා දෙකටම සමතැන දිය යුතුයැයි සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ දෙක අදහස් කළේය. මෙම කටයුත්ත නීතිගතකිරීමේදී මෙම දෙපිරිස අතර මතභේදය උග්‍ර විය. මේ වන විට සමසමාජය එක්තරා නිවැරදි නොවන තක්සේරුවකට එළඹ සිටි බව පෙනෙන්නට තිබුණි. “එක්සත් ජාතික පක්ෂය මරණයට පත්ව ඇත. එය මිනී පෙට්ටියට දමා ඇණ ගසා අවසානය. බණ්ඩාරනායක රජයද සියලු අතින්ම අනාගෙනය. විශාල අගාධයකට යමින් සිටී. හැකි ඉක්මනින් එය වළපල්ලට තල්ලු කර දැමිය යුතුය. ඊළඟවාරය සමසමාජයටය.”
එම යුගයේ වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ සුවිශාලම බලය හිමිව තිබුණේ සමසමාජයටය. දිනක් ඇතුළත රටම අඩපණ කළ හැකි සමස්ත ලංකාවම අරාජික කළ හැකි වැඩවර්ජනයක් කැඳවීමට ඔවුනට ශක්තිය තිබුණි. කොමියුනිස්ට් පක්ෂයටද සෑහෙන ශක්තියක් පැවති බව වර්තාවන්හි සඳහන් වේ. කෙටි කාලයක් ඇතුළත මෙවැනි වර්ජන සිය ගණනක් පැවති බව කියනු ලැබේ. භාෂා ප්‍රශ්නය මත සිංහල, දෙමළ ජනවර්ග දෙක අතර ගිනි ජාලාවක් ඇතිව තිබූ පසුබිම තුළ සිය ගණනක් වූ මෙම මහා වැඩවර්ජන නිසා ජන ජීවිතය අවුල් විය. මෙම වැඩවර්ජන විසඳීමට අගමැතිවරයා පෞද්ගලිකවම මැදිහත් විය. මෙය ඇමතිවරුන්ටද ප්‍රශ්නයක් විය. කම්කරු ඇමති ටී. බී. ඉලංගරත්න මහතා ප්‍රතිපත්තිමය වශයෙන් බණ්ඩාරනායක අගමැතිවරයාට අතිශයින්ම පක්ෂපාත අයෙකු වූවත් අගමැතිවරයාගේ මෙම දුර්වල හැසිරීම ගැන දැඩි අප්‍රසාදය පළ කළේය. තමාගේ විෂය පථයේ කටයුතු කිරීමට තමාට ඉඩ දෙන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. කෙස් වුවත් සමසමාජය මේ වන විට කටයුතු කරමින් සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජය වළ පල්ලට යවා තමන්ගේ අවස්ථාව ළඟාකර ගැනීමටය. ඇන්. ඇම්. කටයුතු කළේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විරුද්ධ පක්ෂයේ නායක වශයෙනි.
කුඹුරු පනත සහ සමූපකාර බැංකු පනත ආදී කටයුතු කිරීමට යාමේදී රජය තුළ ඇතිවූ මත භේද නිසා පිලිප් ගුණවර්ධන, පී. එච්. විලියම් සිල්වා යන ඇමතිවරු දෙදෙනා සමඟ මන්ත්‍රී පිරිසක් රජයෙන් වෙන්වීම නිසා එම කණ්ඩායම ක්‍රියාත්මක වූයේ මහජන එක්සත් පෙරමුණ යන නමිනි. සමහර ප්‍රදේශවල එම පක්ෂයටද පුළුල් බලයක් තිබුණු බව පැහැදිලිය. එයට හේතුව වූයේ එහි ප්‍රාදේශීය නායකයන්ගේ ශක්තියවූවා නිසැකය. එහි මූල කඳවුර වූ හේවාගම් කෝරලය ප්‍රමුඛ කැලණිවැලි මිටියාවතේ, අවිස්සාවේල්ල, කොට්ටාව, හෝමාගම වැනි ප්‍රදේශත්, එවකට මහජන එක්සත් පෙරමුණ නියෝජනය කළ ලක්ෂ්මන් රාජපක්ෂ, ඩී. ඒ. රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ ආදීන්ගේ නිජබිම වූ ගිරුවා පත්තුව සහ යාබද මාගම් පත්තුවද ඩී. ඇෆ්. හෙට්ටිආරච්චි නිසා සබරගමුවේ සමහර ප්‍රදේශද ආදී වශයෙන් ඔවුන්ටද පක්ෂයක් වශයෙන් සෑහෙන ශක්තියක් තිබුණි.
බණ්ඩාරනායක රජය තුළ නොයෙක් හේතු නිසා මතභේද ඇති කරගත් මන්ත්‍රීවරු තමන්ගේ නායකත්වයෙන් පක්ෂ පිහිටුවාගෙන තිබුණි. දණ්ඩගමුව මන්ත්‍රී අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතාගේ සමාජවාදී මහජන පෙරමුණ, වැලිමඩ මන්ත්‍රී කේ. ඇම්. පී. රාජරත්න මහතාගේ ජාතික විමුක්ති පෙරමුණ, මාවනැල්ල මන්ත්‍රී සී. ආර්. බෙලිගම්මන මහතාගේ ලංකා ජාතික සංගමය, ගම්පහ මන්ත්‍රී ඇස්. ඩී. බණ්ඩාරනායක මහතාගේ බෝසත් බණ්ඩාරනායක පෙරමුණ, නාවලපිටිය මන්ත්‍රී ආර්. ඊ. ජයතිලක මහතාගේ ලංකා ස්වාධීන සම්මේලනය, පදිරිප්පු මන්ත්‍රී ඇස්. යූ. එදිරිමාන සිංහම් මහතාගේ දෙමළ කථා කරන්නන්ගේ පෙරමුණ ආදී වශයෙන් නව පක්‍ෂ රැසක් පිහිටුවාගෙන තිබුණි. මෙයට අමතරව සමසමාජ පක්ෂයෙන් මොරටුව ආසනය නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරයෙකු වූ සෝමවීර චන්ද්‍රසිරි මහතාද ශ්‍රී ලංකා ජාතික පෙරමුණ නමින් තවත් පක්ෂයක් පිහිටුවන ලදී.
මෙහි ආරම්භයේදීම සඳහන් කළ අයුරින් ශ්‍රී ලකා නිදහස් පක්ෂය සමඟ භේද වූ අගමැති දහනායක මහතාද ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමින් පක්ෂයක් පිහිටුවා ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක පදවියට බණ්ඩාරනායක රජයේ ඉඩම් ඇමති ධුරය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලෙසද කටයුතු කළ සී. පී. ද සිල්වා මහතා පත්කරගනු ලැබීය.
මිනී පෙට්ටියටද ඇණ ගසනු ලැබූ බවට ප්‍රකාශ වුණු එක්සත් ජාතික පක්ෂයට ජේ. ආර්. ජයවර්ධන මහතා දැඩි පරිශ්‍රමයකින් කැප වී කටයුතු කළ නිසා ඊට නව පණක් ලබාදීමට සමත් විය. අසාර්ථක වූ නමුදු නුවර දක්වා ගිය පා ගමන පාක්ෂිකයා ධෛර්ය ගන්වනසුලු ක්‍රියාවක් විය. මෙවැනි ක්‍රියා නිසා ලැබූ දිරි ගැන්වීම් මත 1959 අගභාගයේ පැවති කොළඹ නගර සභා මැතිවරණය ජයගෙන එහි බලය ලබා ගැනීමට එම පක්ෂයට හැකිවීම නිසා එම පක්ෂයට ශූභවාදී බලාපොරොත්තු ඇතිකර ගැනීමට හැකි වාතාවරණයෙන් ගොඩ නැගෙමින් තිබුණි. මෙයට තවත් ප්‍රබල සාධකයක්ද තිබුණි. 1956 මහා පරාජයෙන් පසු නායක සර් ජෝන් කොතලාවල මහතා දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් ඉවත්ව මහා බි්‍රතාන්‍යයේ පදිංචියට ගියේය. එහෙත් දොඩන්ගස්ලන්ද ආසනයේ මන්ත්‍රී ධුරය අත්නොහැර ඉඳ හිට පාර්ලිමේන්තුවට පැමිණීමට පමණක් වග බලා ගත්තේය. 1953 අගෝස්තුවේදී ඇති වූ හර්තාල් සිදුවීම් නිසා අගමැති ධුරයෙන් ඉවත්ව ආගමික කටයුතු කෙරෙහි පමණක් යොමුව සිටි ඩඞ්ලි සේනානායක මහතා නැවත යූ.ඇන්.පී. නායකත්වය වෙත පොළඹවා ගැනීමට එහි ජ්‍යෙෂ්ඨයෝ සමත් වූහ. “ජනරංජන ජන නායකයා” යැයි විරුදාවලි ලැබූ ඩඞ්ලි සේනානායක මහතා පාක්ෂිකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් අවංක හා දක්ෂ නායකයෙක් වූයේය.
පනස් නවයේ දෙසැම්බර් 03 වැනිදා අගමැති විජයානන්ද දහනායක මහතාගේ උපදෙස් පිට අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූවේ නව මැතිවරණයකට මඟ පාදමිනි. නාමයෝජනා භාර ගැනීමට පෙර නව පක්ෂ ලියාපදිංචිය සඳහා ඉල්ලුම්පත්‍ර භාර ගැනීම සිදුවිය. නව පක්ෂවලින් ලැබුණු අයදුම්පත් පරීක්ෂා කළ එදා මැතිවරණ කොමසාරිස්ව සිටි ෆීලික්ස් ඩයස් අබේසිංහ මහතා පක්ෂ විසිතුනකට පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් තම අනුමැතිය දුන්නේය. පක්ෂ හතරක් පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය. එදා තත්ත්වයේ හැටියට පක්ෂ විසි තුනකට අනුමැතිය හිමිවීම ජනතාව තුළ මවිතය දනවන කරුණක් වූවේය. මේ පුංචි රටට මෙපමණ පක්ෂ කුමකටදැයි මිනිස්සු විමසූහ.
මෙයට වසර පනස් හතරකට පෙර 1960 මාර්තු 19 වැනිදාට මැතිවරණය පැවැත්වීමට නියමිත විය. නාමයෝජනා භාරදීමේදී පෙර සඳහන් කළ සියලුම පක්ෂ පාහේ බලය පතා තරඟ වැදුනි. දිවයින පුරා රැස්වීම් තබමින් ජනයා ඇමතීමට එම පක්ෂවල නායකයෝ වගබලා ගත්හ. ප්‍රථමවරට ගුවන් විදුලිය මඟින් ජනතාවට තම ප්‍රතිපත්ති පහදාදීමට පක්ෂවලට අවස්ථාව ලැබුණි. ඡන්ද දායකයන්ට මෙය මහා අවුල්සහගත පසුබිමක් නිර්මාණය කළේය. කුමන පක්ෂයකට ඡන්දය දෙන්නේදැයි තීරණය කර ගැනීම ඉතා දුෂ්කර විය. පොදුවේ සලකන විට සෑම ආසනයකටම පාහේ අපේක්ෂකයන් හය හත් දෙනා ඉදිරිපත්ව සිටියහ.
බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඝාතනය නිසා ශෝකයට පත්ව සිටි එම පක්ෂයේ අනුගාමිකයන් ඇමතීම සඳහා අගමැති බිරිඳ ශ්‍රී.ල.නි.ප. වේදිකාවට කැඳවා ගැනීමට හැකිවීම යම් පමණක වාසියක් විය. කුල මල කියා ගනිමින් පක්ෂ නායකයන් මැතිවරණ වේදිකාවේ කළ කථා පනස් වසරකට පසු අදටත් රැව් පිළිරැව් දෙනු අසන්නට දකින්නට ලැබේ. “මගේ සැමියා නොමරා මැරුවේ ඇන්. ඇම්.” ය යන්න එවැන්නකි. මැතිවරණය සඳහා යොදා ගෙන තිබෙන දිනය අයෝග්‍ය නිසා අනිටු ප්‍රතිඵල ලැබෙන බව ජ්‍යොතිෂවේදීහුද ප්‍රකාශ කළහ. මධ්‍යම රාත්‍රිය වන විට ආසනවල ඡන්ද ප්‍රතිඵල ගුවන් විදුලියෙන් නිකුත් කිරීම ආරම්භ වූයේය.
පාසැල් සිසුන්ව සිටියත් දේශපාලන ක්‍රියාකාරීත්වය ගැන යම් පමණක උනන්දුවක් දැක් වූ අපි පෑන් සහ කොළ රැගෙන ජයග්‍රාහකයන් ලියා ගැනීමට සූදානමින් සිටියෙමු. අංක 43 සෙන්කඩගල ආසනය එක්සත් ජාතික පක්ෂයේ ඇන්. විමලසේන මහතා ජයගත් බව ප්‍රකාශයට පත්විය. ප්‍රතිඵල අසමින් සිටි මගේ මාමා උද්දාමයට පත් විය. “ඩඞ්ලි හාමුත් මහ සේනානායක උන්නැහැ වගේම ලක් කාරයා. උන්නැහැ මේ සැරේ අගමැති වෙනවාමයි.” “සේනානායකවරුන්ට පක්ෂ මගේ මාමා අනාවැකියක් කීව හැටි පනස් හත් වසරකට පසු මට අදත් මතකය.” ආණ්ඩුව කාට ගියත් කමක් නැහැ. ගම්පහ ඇස්. ඩී. දිනුවොත් මට ඇති.” මගේ පියා කීවේය. ඔහු පක්ෂපාත වූවේ බෝසත් බණ්ඩාරනායක පෙරමුණේ සමනලයා ලකුණටය. ඇස්. ඩී. ගම්පහ දිනුවේය. එයද පිළිගත් දේශපාලන පක්ෂයකි.
කිසිම පක්ෂයකට බහුතර ආසන සංඛ්‍යාවක් නොමැති අයුරින් ජනතාව තීන්දුව ප්‍රකාශ කර තිබුණි. එක්සත් ජාතික පක්ෂය ආසන පනහක්, ශ්‍රී ලකා නිදහස් පක්ෂය ආසන හතළිස් හයක්, උතුරේදී සහ නැගෙනහිරදී ෆෙඩරල් පක්ෂයට ආසන දාහතරක්, ලකා සමසමාජ පක්ෂයට ආසන දහයක් සහ මහජන එක්සත් පෙරමුණට දහයක් බැගින් ලැබී තිබුණි. ඉතිහාසයේ ප්‍රථම වරට අගමැතිවරයෙකු තම ආසනයෙන් පරාජයට පත්වීම සටහන් කරමින් දහනායක මහතා සිය සුපුරුදු ගාල්ල ආසනයෙන් පරාජයට පත් වූ අතර ඔහුගේ නායකත්වයෙන් තරඟ කළ ලංකා ප්‍රජාතන්ත්‍රා වාදී පක්ෂයේ අපේක්ෂකයන් 101 දෙනෙකු අතරින් ජයග්‍රහණය කර තිබුණේ හතර දෙනෙකු පමණි. අලුතෙන් පිළිගත් දේශපාලන පක්ෂ අතරින් බෝසත් බණ්ඩාරනායක පෙරමුණේ නායක ඇස්. බී. බණ්ඩාරනායක (ගම්පහ), ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායක සෝමවීර චන්ද්‍රසිරි (කැස්බෑව), සිංහල ජාතික සංගමයේ නායක සී. ආර්. බෙලිගම්මන (මාවනැල්ල), සමාජවාදී මහජන පෙරමුණේ නායක අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල (කුලියාපිටිය) තම ආසන රැක ගැනීමට සමත්වූහ.
මන්ත්‍රීවරුන් 151කින් සමන්විත වූ ව්‍යවස්ථාදායකයේ බහුතරය ලැබීමට නම් මන්ත්‍රීන් 75ක් ඉක්මවිය යුතුය. මෙම පසුබිම දැන දැනම ආණ්ඩුකාරවරයාගේ ආරාධනය ලැබූ ඩඞ්ලි සේනානායක මහතා අගමැති වශයෙන් දිවුරුම් දුන්නේය. පසුදින අට දෙනෙකුගෙන් සමන්විත ඇමති මණ්ඩලයක්ද පත්කර ගන්නා ලදී. තවත් කණ්ඩායම් රජයට සම්බන්ධ කරගෙන රජය ස්ථාවර කර ගැනීමට අපේක්ෂාවෙන් විවිධ පාර්ශ්ව සමඟ එ.ජා.ප. නායකයෝ සාකච්ඡා ඇරඹූහ. ප්‍රධාන ඉලක්කය වූයේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කළ පෙඩරල් පක්ෂය සතු මන්ත්‍රී පිරිස රජයට සම්බන්ධ කර ගැනීමටය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයද ආසන පනස් නවයක පාර්ලිමේන්තු බලයක් සහිතව සී. පී. ද සිල්වා මහතාගේ නායකත්වයෙන් රජයක් පිහිටුවීම සඳහා ෆෙඩරල් පක්ෂය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබුණි. එම පක්ෂයද තම ඉල්ලීම් වැඩි වැඩියෙන් ලබාගැනීම පිණිස කේවෙල් කිරීමට මෙම අස්ථාවර දේශපාලන තත්ත්වය උපයෝගී කර ගන්නා ආකාරයක් පිළිබිඹු විය.
හතරවැනි පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස්වූයේ කතානායකවරයෙකු පත්කර ගැනීම සඳහාය. රජය පාර්ශ්වයෙන් නාත්තන්ඩිය මන්ත්‍රී ස්ර් ඇල්බට් ඇෆ්. පීරිස් මහතාගේ නම යෝජනා කරන ලදී. විපක්ෂයෙන් ඉදිරිපත් කරන ලද්දේ කටුගම්පල මන්ත්‍රී ටී. බී. සුබසිංහ මහතාගේ නමය. මේ පිළිබඳව වූ ඡන්ද විමසීමේදී විපක්ෂයෙන් යෝජනා කෙරුණු ටී. බී. සුබසිංහ මහතාට වැඩි ඡන්ද තිස් තුනකින් කතානායක ධුරය හිමිවිය. මෙරට පාර්ලිමේන්තුවේ විපක්ෂ නියෝජිතයකු එම තනතුරට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් විය.
ඊළඟ පියවර වූයේ රාජාසන කථා ස්තූති යෝජනාව සම්මත කර ගැනීමයි. එය ඉතා දුෂ්කර කාරියක් ලෙස ආරම්භයේ සිටම දක්නට ලැබුණි. එය එසේම සිදුවිය. එම විවාදය අවසානයේදී පැවැති ඡන්ද විමසීමේදී රජයට පක්ෂව ඡන්ද 61ක්ද විරුද්ධ පක්ෂයට ඡන්ද අසූ පහක්ද ලැබීමෙන් ආණ්ඩුව පරාජයට පත්විය. ඉන් අනතුරුව අගමැතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස අග්‍රාණ්ඩුකාරවරයාට උපදෙස් දුන්නේය. ඒ අනුව 1960 අප්‍රියෙල් 22 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අතර යළිත් මැතිවරණයක් පැවැත්වීමට 1960 ජූලි 20 වැනි දිනට නියම විය. ඩඞ්ලි සේනානායක රජය මාසයකින් බිඳ වැටුණි.
රට අස්ථාවර විය. එකම වසරක් තුළ මහාමැතිවරණ දෙකක් පවත්වන්නට සිදුවීම නිසා අධික මුදල් නාස්තියක් සිදු වූ අතර ජූලි 20 වැනිදා ඡන්දයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බහුතර බලයක් සහිතව බලයට පත්විය. අර්බුදය නිමා විය.
නව දේශපාලන පක්ෂ බිහිවීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය පෝෂණය කිරීමට ඉවහල්වන ක්‍රියාවලියක් ලෙසද සමහර විද්වත්හු මත පළ කරති. එහෙත් වැඩි වශයෙන්ම සිදුවන්නේ තමන්ගේ ශක්තිය නොදැන දේශපාලන තරගයට එන පක්ෂ සහ අපේක්ෂකයන් නිසා ජනමතය විකෘති වී අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වීම බව පෙර සඳහන් කළ නිදසුනෙන් පෙන්නුම් කෙරේ. වර්තමානයේ තත්ත්වය තවදුරටත් සංකීර්ණ වී තිබේ. දේශපාලන පක්ෂවල නාමය සහ ඡන්ද සලකුණ කුලියට දීම වැනි සිදුවීම් දක්නට ලැබේ. ඡන්දයක් පැවැත්වීමේදී සුළු පක්ෂවලට හිමිවන වරප්‍රසාද ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන්ට පිරිනමා වාසි ගන්නා ආකාරයද යම් යම් අවස්ථාවලදී දකින්නට ලැබී ඇත.
රටක දේශපාලන සදාචාරය බිඳ වැටීම යනු බරපතළ ඛේදවාචකයකි. එවැන්නකට අනුබල දීමද පාපකර්මයකි. නොයෙක් නොයෙක් මාතෘකා පෙරට දමමින් නව පක්ෂ බිහි කරන අයට එය මතක් කර දිය යුතුය. මක්නිසාදයත් ජනතාව ද දැන් පෙරටත් වඩා දැනුම්වත්ව සිටින නිසාය.
සෝමසිරි වික්‍රමසිංහ