පක්ෂ විනයෙන් දඬුවම් විඳි මහජන නියෝජිතයන්ගේ පුරාණයෙන්


 

 

දේශපාලන පක්ෂ ගණනාවක්ම තම පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරික්ෂණ පවත්වමින් සිටින බව මාධ්‍ය මගින් වාර්තා විය. ඒ පක්ෂ විනය කඩ කිරීම් නිසාය. එක්සත් ජාතික පක්ෂයේ අජිත් පී. පෙරේරා හා සුජීව සේනසිංහ යන මහත්වරුන්ට එරෙහිව විනය පරික්ෂණ පවත්වන බව නිවේදනය වූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් වූ පස් දෙනෙකුට විරුද්ධව ද පරික්ෂණ පැවැත්වෙන බව කියති. එමෙන්ම පක්ෂ විනය කඩ කළ එජාපයේ ද මන්ත්‍රීවරුන් පස් දෙනෙකු එම පක්ෂයෙන් නෙරපා ඇති බව ද අසන්නට ලැබුණි. මේවා ඉදිරියට යාවි ද නැති ද යන්න ගැන අදහසක් අප තුළ නැත. මන්ද කිවහොත් පවතින නව තත්ත්වයන් මත පක්ෂවල එම අදහස් වෙනස් විය හැකි බැවිනි. පක්ෂ විනය කඩ කිරීම ගැන පවත්වන පරික්ෂණවල අවසාන ඉලක්කය වනුයේ එම චෝදනාවලින් වැරදිකරුවකු වුවහොත් අදාළ සාමාජිකයාගේ මන්ත්‍රී ධුරය අහෝසි කර පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමීමයි. 


එහෙත් එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. දීර්ඝ අධිකරණ ක්‍රියාවලියකට පවා යොමු විය හැකි අන්දමේ තත්ත්වයකට මෙම කාරණය ඉදිරියට ගෙන යාමට සිදුවේ. පසුගිය දිනක එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ මෙම විනය ක්‍රියාදාමය සම්පූර්ණ කිරීමට වසර දෙකක්වත් ගතවන බවයි. එය සත්‍යයකි. මෙම පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් ඉතිරිව ඇත්තේ ඉතා කෙටි කලකි. එමෙන්ම නව ජනාධිපතිවරයෙකු පත් වූ වහාම එය විසුරුවා හැරීම නිසැකය. තමාට අවශ්‍ය පරිදි රජයක් පිහිටුවා ගැනීමට මෙන්ම බහුතරය සකස් කර ගැනීමට ද අවශ්‍ය බැවිනි. මෙයට පෙර පත් වූ ජනාධිපතිවරුන් බොහෝ විට ක්‍රියාකර ඇත්තේ ඒ අයුරිනි. ඒ නිසා එස්. බී. අදහස් කරන්නට ඇත්තේ විනය පරික්ෂණ මගින් වැරදිකරුවකු කර තමන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන තෙක් පාර්ලිමේන්තුවේ වර්තමාන සංයුතිය නොපවතින බව විය හැකිය.
මෙවැනි පසුබිමකට මුහුණදුන් පැරණි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකුගේ අත්දැකීමක් මගේ මතකයට නැගේ. මෙම විනය පරික්ෂණ පිළිබඳ ක්‍රියාවලිය සාකච්ඡා කෙරෙන මෙවැනි අවස්ථාවක එම සිදුවීම පිළිබඳව අවධානය යොමු කිරීම අතිශයින්ම කාලෝචිතය. හැම දෙනාම කියන දේවල් අසමින් කුකුසට පත්වන පාඨක සිත් සතන්වලට පවතින යථාර්ථය වටහා ගැනීමට ද මෙමගින් ඉඩ සැලසෙනු නොඅනුමානය. මා මෙහිදී පාඨක අවධානය සඳහා යොමු කිරීමට අපේක්ෂා කරනුයේ 1980 දශකයේ දී ගම්පහ මන්ත්‍රී ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කර මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ගත් ක්‍රියාමාර්ග සහ එය අසාර්ථක වූ ආකාරයයි. එසේම ඒ සඳහා ක්‍රියාත්මක වූ නීතිමය වත්පිළිවෙත් අදට ද එසේම යැයි මම සිතමි. මෙම ප්‍රශ්නය වටහා ගැනීමට නම් ඇස්. ඩී. බණ්ඩාරනායක නමැති චරිතය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා තිබීම වැදගත්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමෙන් පසු මුහුණදුන් ප්‍රථම මැතිවරණය වූ 1952 දී එම පක්ෂයෙන් ආසන දිනාගත් මන්ත්‍රීවරුන් නව දෙනාගෙන් එක් අයෙකු වූ ඇස්. ඩී. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨතමයෙක් වූවේය. වරද දුටු තැන කිපෙන, හිතවත්කම්, පක්ෂ පාට නොබලා එය විවේචනය කරන තමන්ට කුමන පාඩු සිදුවුවත් සත්‍යය වෙනුවෙන් පෙනී සිටින විරල ගණයේ මහජන නියෝජිතයෙකි. වරක් පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.
“ගරු කතානායකතුමනි, නිදහස කියන එකක් පරසුද්දන් මේ රටේ අටවා දැනට අවුරුදු විසි එකක් ගත වී තිබෙනවා. මේ හයවැනි පාර්ලිමේන්තුවයි. ආණ්ඩු හයක් මේ දක්වා මේ රටේ ඇති වී තිබෙනවා. අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයෙහි පවතින මෙම සැලැස්ම යටතේ අවුරුදු විසි එකක් ගතවීත් මේ රටේ ජනතාවට පාර්ලිමේන්තුව තුළින් නිදහසක් හෝ විමුක්තියක් ලබා ගැනීමට තවමත් බැරි වුණා. කඳුකර ප්‍රදේශයේ ඉඩම් වැඩි හරියක් මුඩුබිම් පනත යටතේ අක්කරය ශත විසිපහ, පනහ ගණනේ අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට අසු වී තිබෙනවා. එසේම නගරබද පළාත්වලත් බැංකු, පැක්ටරි ආදියෙන් වැඩිහරියක් තවමත් පවත්වාගෙන යන්නේ අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණය යටතේයි. අවුරුදු විසි එකකට පසුව බලන විට දැන් මේ රට රුපියල් කෝටි 640කට අධිරාජ්‍යවාදීන්ට උගස් කර තිබෙන බව පෙනෙනවා. ලෝක බැංකුවට අවුරුදු පතා කෝටි තිස් දෙකක් පොලිය පමණක් ගෙවනවා. පාර්ලිමේන්තු පාලනයක් තුළයි මෙසේ සිදු වී තිබෙන්නේ. ඒනිසා මේ රටත් ජාතියත්, අනාගත පරම් පරාවත් ක්‍රමානුකූලව ප්‍රපාතයට වැටී ගෙන යන බව පැහැදිලි වශයෙන්ම අපට පෙනී යනවා.


අද මේ රටේ රැකීරක්ෂා නැති තරුණයන් විසි ලක්ෂයක් ඉන්නවා. තරුණයන් කියන්නේ අනාගත පරම්පරාවයි. මේ අය ගැන මා ඕ සේතුං සහෝදරයා කියන්නේ තරුණයන්  යනු උදේ  හතටත් අටටත්  අතර පායන ඉර වගේ වැදගත් කොටසක් බවයි. අද ඔවුන් අතරමං වෙලා, නිකමුන් වෙලා සිටිනවා. අපේ රටේ තරුණ පරම්පරාව නිකමුන් පිරිසක් බවට පරිවර්තනය වෙලා තිබෙන්නේ පාර්ලිමේන්තු ක්‍රමය යටතේ ඇති වූ ආණ්ඩු ක්‍රමයක් තුළ බව කියන්න ඕනෑ. ගෙයක්, ගෙයක් පාසා බැලුවොත් අද හැම ගෙයකම වාගේ හතර පස් දෙනෙක් රක්ෂාවල් නැතිව ඉන්න බව පෙනී යනවා ඇති. මෙයින් වැඩි දෙනා ජ්‍යෙෂ්ඨ විභාගය පාස්වෙලයි ඉන්නේ. උපාධිධාරින් 15,000 ක් දෙනා රස්සාවල් නැතිව අද අතරමං වෙලා. නිකමුන් බවට පරිවර්තනය වෙලා ඉන්නවා. අපේ සමාජයේ ළමයින් තිස් දෙලක්ෂයක් දෙනා පාඨශාලාවල ඉන්නවා. අපේ සම්ප්‍රදාය අනුව, පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය අනුව ඒ ළමයින්ට කිසිම අනාගතයක් නැහැ.”

 

 


“ඇස්. ඩී. ගේ තවත් ප්‍රකට ප්‍රකාශයක් වූවේ පර සුද්දන් විසින් අටවා අපේ රටේ ජනතාවගේ කැමැත්තෙන් තොරව පවටා ඇති වෙස්ට් මිනිස්ටර් ක්‍රමයේ පවතින දෙකට බෙදා පාලනය කිරීමේ ක්‍රමය අත්හැරිය යුතු බවයි. ප්‍රධාන ජන වර්ගය වූ සිංහලයා ප්‍රධාන පක්ෂ දෙකකට බෙදී බලය සඳහා සටන් කරද්දී අනෙකුත් පිරිස් තම කේවල් කිරීමේ ශක්තිය උපයෝගී කර ගනිමින් කරනු ලබන බලපෑම නිසා මෙරට නුදුරු අනාගතයේදීම විශාල විනාශයකට මුහුණපානු ඇතැයි” යන්නයි. ඒ නිසා කොතෙක් අපහසු වුවත්, ප්‍රතිවිරෝධතා පැවැතියත් ප්‍රධාන පක්ෂ දෙක එක්ව ජාතික රජයක් පිහිටුවා නැගී එන බෙදුම්වාදී යුද්ධයට සමගියෙන් මුහුණ දිය යුතු යැයි ඔහු ප්‍රකාශ කළේය. එම යුගයේ හැටියට බොහෝ දෙනා මෙවැනි ප්‍රකාශයන් සැලකුවේ අපරාධකාරී නන් දෙඩීමක් ලෙසය. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ මෙම ප්‍රකාශය පුවත්පත්වලින් දැකීමෙන් මහත් සේ කෝපයට පත්වූහ. තම පක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටිමින් කළ මෙම අනුවිත අදහස් දැක්වීම පක්ෂයේ විනය කඩකිරීමක් ලෙස සැලකූ ඔවුහු එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස ඇස්. ඩී. බණ්ඩාරනායක මහතාට දැන්වූහ. ශ්‍රීලනිපයේ  එවකට ලේකම් සෝමසාර දසනායක මහතාගේ අත්සනින් එවා තිබුණු ලිපියක සඳහන් වූවේ මෙම විනය විරෝධී ක්‍රියාව නිසා පක්ෂයට සිදු වූ හානිය සලකා එම ප්‍රකාශය ගැන නිදහසට කරුණු දක්වන ලෙසය. එයට පිළිතුරක් යැවීමට ගම්පහ මන්ත්‍රීවරයා උනන්දුවක් නොදැක්වීය. මේ ගැන එවකට එම පක්ෂයේ මින්නේරිය ආසන සංවිධායක වූ රත්න දේශප්‍රිය සේනානායක මහතා පක්ෂ මහ ලේකම් සෝමසාර දසනායක මහතා වෙත 1982.11.10 ලිපියක් යොමු කරමින් කියා සිටියේ ‘මෙවැනි කඩාකප්පල්කාරී ප්‍රකාශ නිසා පක්ෂයට හානියක් සිදුව ඇති බවත් පක්ෂ ව්‍යවස්ථාවේ 14 (¼) වන වගන්තියේ ප්‍රකාර විනය පියවර ගත යුතු බවත් දන්වා සිටියේය. මේ අනුව 1982.11.24 දින රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී ගම්පහ මන්ත්‍රී ඇස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ දේශපාලන හැසිරීම් පිළිබඳව තීරණයක් ගන්නා ලෙසත් එය පක්ෂ විනයට අනුකූල නොවන නිසා ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන ලෙසත් රත්න දේශප්‍රිය සේනානායක මහතා මධ්‍යම කාරක සභාවේ දී යෝජනා කළේය. එම යෝජනාව නීතිඥ වී.ඩබ්ලිව්. කුලරත්න මහතා විසින් ස්ථිර කරන ලදී. යෝජනාව සම්මත විය.


මේ වන විට ශ්‍රීලනිපය විශාල මත භේදයකට ලක්ව සිටියේය. පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම වූ අටදෙනා දෙකට බෙදී සිටියහ. මැදවච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සේනානායක, නුවරඑළිය - මස්කෙළිය දෙවැනි මන්ත්‍රී අනුර බණ්ඩාරනායක මැද කොළඹ තුන්වැනි මන්ත්‍රී හලීම් ඉෂාක් යන මහත්වරුන් සහ 1977 මහා මැතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කර හාරිස්පත්තුව දෙවැනි මන්ත්‍රීවරයා ලෙස පත්ව පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුණු ආර්. පී. විජේසිරි මහතා ද යන පිරිස ශ්‍රීලනිප (මෛත්‍රී) පිලට අයත් වූහ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි වීමෙන් පසු අත්තනගල්ල මන්ත්‍රී ධුරයට පත් ලක්ෂ්මන් ජයකොඩි, කොත්මලේ මන්ත්‍රී  ආනන්ද දසනායක සහ ගම්පහ මන්ත්‍රී ඇස්. ඩී. බණ්ඩාරනායක යන තිදෙනා පමණක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාර්ශ්වය ගනිමින් නායකත්වයට පක්ෂපාතිත්වය දැක්වූහ. ඔවුහු  සිරිමා පිලේ මන්ත්‍රීවරුන් ලෙස හැඳින් වූහ.

 

 


මතු සම්බන්ධයි.

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි