පරාජිත සටනේ මහා ජයග්‍රහණ


1971 අප්‍රේල් අරගලයට ලබන 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයටත් 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිල මතය අවධාරණය කරනු පිණිසය.

 

 

 

1971 අරගලය පරාජය වුවද ඉන් සමාජයටත් ධනපති ආණ්ඩුවටත් කළ බලපෑම අති විශාල විය. පුද්ගලයෙකු සතුව තබා ගත හැකි ඉඩම් ප්‍රමාණය අක්කර 50 ට සීමා කරමින් හා වතු සමාගම් රජයට පවරා ගනිමින් 1975 දී සිදුකෙරුණු ඉඩම් ප්‍රතිසංස්කරණය සඳහා 1971 අරගලය බලපා තිබුණි. 1972 දී එතෙක් පැවති ව්‍යවස්ථාව වෙනස් කොට නව ව්‍යවස්ථාවක් ද සම්මත කර ගැනිණි. එමගින් ලංකාව ජන රජයක් බවට නම් කළ ද එම ව්‍යවස්ථාව ගැටලු රැසක් නිර්මාණය කර තිබුණි. කෙසේ වෙතත් 1975 න් පසු ලංකාවේ දේශපාලනය ක්‍රමානුකූලව වෙනස් වන්නට විය.


බලයේ සිටි සමගි පෙරමුණේ ප්‍රබල කොටස්කරුවෙක් වූ ලංකා සම සමාජ පක්ෂය 1975 දී අභ්‍යන්තර අර්බුද හේතුවෙන් ආණ්ඩුවෙන් ඉවත් විය. ඒ අතරම මේ කාලයේ බරපතළ ආර්ථික අර්බුදයක් ද රට තුළ විය. 1973 දී පමණ ආරම්භ වු එම අර්බුදය නිසා අත්‍යවශ්‍ය ආහාර හිඟ වු අතර බොහෝ භාණ්ඩ ජනතාවට මිලදී ගැනීමට සිදුවුයේ සලාක ක්‍රමයකටය. සහල් මිරිස් ප්‍රවාහනයට පවා සීමා පැනවිණි. මේ සමග සමගි පෙරමුණු ආණ්ඩුවේ පිරිහීමද ආරම්භ විය. වංචා දූෂණ ද ඊට බලපෑවේය. 1976 අග පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වු වීරසූරිය ඝාතනය කිරීම සමග ආණ්ඩු විරෝධී ශිෂ්‍ය අරගල පැතිරෙන්නට විය. ඒ අතර ඇති වු දුම්රිය වැඩ වර්ජනය නිසා ආණ්ඩුවේ තත්ත්වය තවත් අර්බුදකාරී විය. මේ අතර කොමියුනිස්ට් පක්ෂය ද ආණ්ඩුවෙන් ඉවත් විය. සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක් ගෙන ඒමට සැලසුම් කළ අතර එයට මුහුණ දීමට නොහැකි නිසා බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුව කැඳවීම කල් දැමීය. එහි ප්‍රතිඵලය වුයේ, එතෙක් මසක් පාසා පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් සම්මත කර ගනිමින් පවත්වාගෙන ආ හදිසි නීතිය යළි දීර්ඝ කිරීමට නොහැකි වීම නිසා එය අහෝසි වීමය. 1976 අග හදිසි නීතිය අහෝසි වීමත් සමග ඒ වන විට හදිසි නීති රෙගුලාසි යටතේ රඳවාගෙන සිටි 71 අරගලයට සම්බන්ධ බොහෝ දෙනා නිදහස් කිරීමට ආණ්ඩුවට සිදු විය. සිර දඬුවමක් ලබමින් සිටි අය හැර අන් සියල දෙනා මේ අයුරින් නිදහස් වූහ. සමහරු තම සිර දඬුවම් කාලය අවසන් වූවාට පසු ද රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටි අය වූහ. මේ අනුව උපතිස්ස ගමනායක, සෝමවංශ අමරසිංහ යන සහෝදරවරු ඇතුළු සහෝදර සහෝදරියන් රැසක් නිදහස්ව එළියට පැමිණියහ. ඒ සමගම හදිසි නීතිය යටතේ පවත්වාගෙන ගිය පක්ෂ තහනමද අහෝසි විය. මේ සමග ජ.විපෙ. යළි ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසියේය. 


1965 දී අර්ධ රහසිගත සංවිධානයක් ලෙස ආරම්භ වු ජ.වි.පෙ. 1970 අග ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසියද මර්දනය නිසා ප්‍රසිද්ධ දේශපාලනය තුළ දිගටම ක්‍රියාත්මක වීමට ඊට නොහැකි විය. 1971 මාර්තු මාසයේ දී පක්ෂ තහනමත් 71 අප්‍රේල් අරගලයේ පරාජය හා පක්ෂය සිර ගත වීමත් සමග පක්ෂයේ එක් පරිච්ඡේදයක නිමාව සටහන් විය. ඉන්පසු ආරම්භ වුයේ, ප්‍රසිද්ධ දේශපාලනය තුළ බහුජන ව්‍යාපාරයක් ලෙසත් සංවිධානාත්මක පක්ෂයක් ලෙසත් ජ.වි.පෙ. ගොඩනැගෙන කාල පරිච්ඡේදයයි. එය ආරම්භ වුයේ 1976 දෙසැම්බර් මාසයේදී එතෙක් පැවැති තහනම ඉවත් වීමත් සමගය. 


1976 දෙසැම්බර් හදිසි නීතිය ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පක්ෂ තහනම ඉවත් වුවද සහෝදරවරුන් කීප දෙනෙකු නිදහස් වී එළියට පැමිණියද මර්දන වට පිටාව වෙනස් වී තිබුණේ නැත. එසේම 71 අප්‍රේල් මර්දනය හා ඒ සමග සමගි පෙරමුණු ආණ්ඩුව සමාජය තුළ වැපුරූ අතිශය දුෂ්ට බොරු හා අවලාද ප්‍රචාරය නිසා පොදු ජනයාද පක්ෂය දෙස බැලුවේ සැකමුසු ඇසිනි. අනෙක් අයට සමාජය තුළ පක්ෂයේ පැවැත්ම සඳහා දේශපාලනික ඉඩක් පැවැතියද භෞතික පහසුකම් අවම ලෙස හෝ තිබුණේ නැත. ඒ නිසාම සිර ගෙවල් වලින් නිදහස් වී ආ අයට මුලින්ම සිදුවුයේ ආරක්ෂා වීමට හා එළියේ සමාජය තේරුම් ගනිමින් ඒ තුළ තම කටයුතු ආරම්භ කිරීමටය. 
එහෙත් මේ වන විට සතුරා ඉක්මන් වෙමින් තිබිණි. දේශපාලනයේදී පංති සතුරාටත් වඩා විසකුරු වන්නේ, නිර්ධන පන්ති ව්‍යාපාරයට ද්‍රෝහී වී ඉන් පලා ගිය වුන් බව අද මෙන් එදා ද ඔප්පු වෙමින් තිබිණි. සිර ගෙවල් තුළ කෑගල්ල කණ්ඩායම ලෙස පෙනී සිටි පැටි්‍රක් ප්‍රනාන්දු, වසන්ත දිසානායක සරත් ප්‍රනාන්දු, ජස්ටින් ප්‍රනාන්දු ඇතුළු පිරිස පක්ෂයේ නම තමන් වෙතට ගෙන ජ.වි.පෙ. නමින් කටයුතු කිරීමට සැලසුම් සකස් කොට ඒවා ක්‍රියාවට නංවමින් සිටියහ. ඔවුන්ගේ කණ්ඩායමේ පිරිසක් නිදහස්ව සිටි අතර ඔවුන් වෙත මර්දනය එල්ල වී තිබුණේ නැත. ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ නමින් පුවත් පත් සාකච්ඡාවක් පවත්වන්නට යන බවට තොරතුරු දැන ගැනීමත් සමග පක්ෂයේ නිල අයිතිය රැක ගැනීම සඳහා වහාම මැදිහත් වීම අත්‍යවශ්‍ය විය. හිර ගෙදර සිටි රෝහණ විජේවීර සහෝදරයා විසින් නිදහස් වු සිය සහෝදරවරුන්ට උපදෙස් එවා තිබුණේ වහාම පුවත් පත් සාකච්ඡාවක් පවත්වා පක්ෂයේ නිල අයිතිය රැක ගන්නා ලෙසය. 


මේ අනුව 1977 පෙබරවාරි මස ජ.වි.පෙ.  වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස උපතිස්ස ගමනායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පුවත් පත් සාකච්ඡාවක් පවත්වා ජ.වි.පෙ. නිල අයිතිය තහවුරු කර ගන්නා ලදී. එම පළමු පුවත් පත් සාකච්ඡාව පැවැත්වුණේ නීතිඥ එම්. බී. රත්නායක සහෝදරයාගේ නිවසේදීය. ඒ සමගම 1977 මාර්තු මුල කොළඹ හයිඞ්පිටියේ ප්‍රසිද්ධ රැලියක් ද පවත්වනු ලැබීය. මෙම රැලියේ ප්‍රචාරක කටයුතු කිරීම, වේදිකාව සෑදීම යන සියලු දේ කිරීමට සිදු වුයේ ගමනායක සහෝදරයා, සෝමවංශ සහෝදරයා, රාගම සෝමේ සහෝදරයා හා කෙලී සේනානායක ඇතුළු කීප දෙනෙකුටය. රැලියට ජනතාව සහභාගී වුයේද කිසියම් බියකිනි. ජනතාව කොළඹ හයිඞ්පිටියට ඇතුල් වන්නට පැකිළුණහ. එවැනි ඉතා දුෂ්කර කොන්දේසි තුළ වුව ජ.විපෙ. ඒ මගින් සිය අලුත් පරිච්ඡේදය ඇරඹීය. ඉන් පසු රටේ ස්ථාන කිහිපයක රැලි කිහිපයක් පැවැත් වු අතර 1977 මැයි පළමු වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජ.වි.පෙ. පළමු මැයි දින රැලිය ගමනායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ - දෙමටගොඩ පිටියේදී පැවැත්විණි. මැයි දින පෙළපාළියක් පැවැත්වීමේ හැකියාවක් නොවීය. 


ජ.වි.පෙ. මෙසේ තම නමේ අයිතිය තහවුරු කර ගැනීමත් සමග පක්ෂයේ නම කොල්ලකෑමේ සතුරු කුමන්ත්‍රණය තාවකාලිකව පරාජය වු අතර කෑගලු කණ්ඩායම ඉන් පසු ජනතා සංගමය නමින් පෙනී සිටියේය. පසු කලෙක දියස අධ්‍යයන කවය නමින්ද මින් කිහිප දෙනෙක් කටයුතු කළහ. පසුව දිය වී යනතෙක් ඔවුන්ගේ මුළු භාවිතයම ගොඩ නැගී තිබුණේ ජ.වි.පෙ. විරෝධය මතය. 


1971 න් පසු සෑම අප්‍රේල් 05 වැනිදාකම පක්ෂයේ අධ්‍යාත්මය රැක ගත් අය තමන් සිටින ස්ථානය කුමක් වුවත් අප්‍රේල් විරුවන් සිහිකර සමරුවක් පැවැත්වීමට අමතක නොකළහ. 1977 දක්වාම එම සමරු පැවැත්වුයේ රහසිගතවය. බොහෝ විට සිර ගෙවල් තුළය. එහෙත් 1977 අප්‍රේල් සමරුව නිමිති කරගෙන පක්ෂයේ නව මධ්‍යම පුවත් පත ලෙස නියමුවා ආරම්භ කිරීමට පක්ෂය තීරණය කළේය. 


පුවත්පත ආරම්භ කිරීම සඳහා වන කිසිදු සම්පතක් මේ වන විට පක්ෂය සතුව තිබුණේ නැත. මුදල් සොයා ගැනීමේ සිටම තිබුණේ බරපතළ අභියෝගයන්ය. පුවත්පත සඳහා අවශ්‍ය මුදල් වලින් විශාල කොටස දරන ලද්දේ සිරගතව සිටි සහෝදරවරුන් විසිනි. ඔවුහු සිර ගෙවල් තුළ දී ලේ දන් දී මුදල් එකතු කර ගත්හ. ඊට අමතරව නිවෙස් වලින් තමන් බැලීමට එන වාරගණන අඩු කරවා එම ගමන් ගාස්තු ද රතු කුරුස සංවිධානයෙන් ඔවුන්ට ලබා දුන් ටී ෂර්ට් විකුණා ලබා ගත් මුදල් ද එකතු කර පුවත් පත් අරමුදල ගොඩනැගූහ. වුවමනාව තිබෙන්නේ නම් විප්ලවවාදීන්ට කළ නොහැකි කිසිවක් නැති බව ඔවුහු උගැන්වූහ. 


පුවත් පතේ ආකෘතිය හා ලිපි වලින් සෑහෙන ප්‍රමාණයක් සකස් කර එවා තිබුණේ සිරගෙදර සිටම රෝහණ විජේවීර සහෝදරයා විසිනි. ඉන් පසුව මතු වු ප්‍රධාන ප්‍රශ්නය වුයේ මුද්‍රණාලයක් සොයා ගැනීමය.


බොහෝ මුද්‍රණාල හිමියන් ජ.වි.පෙ පුවත් පතක් මුද්‍රණය කිරීමට බිය වු අතර සමහර මුද්‍රණකරුවෝ එකඟ වුවත් පසුව පොලිසියෙන් කෙරුණු බලපැම් නිසා පුවත් පත මුද්‍රණය කිරීම ප්‍රතික්ෂේප කළහ. අවසානයේ රහස් පොලිස් බාධක නොසලකා පුවත් පත් මුද්‍රණය කර දීමට එකඟ වුයේ රාජගිරියේ තුසිත මුද්‍රණාලයේ හිමිකරු හා මරදානේ ජයන්ත වීරසේකර මාවතේ ස්ටාර් ප්‍රින්ටර්ස් ආයතනයේ හිමිකරුය. ඔවුනට කෙරෙන ගෞරවයක් ලෙස එය සඳහන් කළ යුතුය. කෙසේ හෝ අවසානයේ 77 අප්‍රේල් මස නියමුවා මංගල කලාපය එළි දැක්වීමට පක්ෂය සමත් විය. 


මීළඟට 1977 මහ මැතිවරණය පැවැත්විණි. එහිදී හැකි තැන්වල තරග වැදීමට පක්ෂය තීරණය කළේය. මේ වන විට ජ.වි.පෙ. මැතිවරණ කොමසාරිස්වරයා පිළිගත් පක්ෂයක් ලෙස ලියාපදිංචි කර තිබුණේ නැත. එනිසා ජ.වි.පෙ. පිළිගත් පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කරන මෙන් කොමසාරිස්වරයාට ඉල්ලුම්පත්‍රයක් යොමු කළේය. එම ඉල්ලුම්පත්‍රය ප්‍රතික්ෂේප විය. එබැවින් පක්ෂයේ අපේක්ෂකයන්ට 1977 මහ මැතිවරණයට තරග වැදීමට සිදු වුයේ ස්වාධීන අපේක්ෂකයන් ලෙසය. ඒ අනුව සීනුව ලකුණින් ආසන 04 ක් සඳහා පක්ෂය විසින් අපේක්ෂකයන් ඉදිරිපත් කරන ලදී.


තංගල්ලට විජිත රණවීරත් බටහිර අනුරාධපුරයට චන්ද්‍රපාලත් හොරොව්පතානට රණතුංගත් හක්මනට රොබට් ජයසේකරත් තරග වැදුණි. මැතිවරණ ව්‍යාපාරය ඉතාම දුෂ්කර එකක් විය. එහිදී පක්ෂයේ අපේක්ෂකයන් හතර දෙනා ලබා ගත් ඡන්ද ප්‍රමාණය මෙසේය. 


තංගල්ල විජිත රණවීර 1234, බටහිර අනුරාධපුරය චන්ද්‍රපාල 797, හොරොව්පතාන කේ. රණතුංග 687 සහ හක්මන රොබට් ජයසේකර 724, මෙලෙස ප්‍රසිද්ධ දේශපාලන පොරපිටිය වෙත ක්‍රමයෙන් ඇතුළත් වු ජ.වි.පෙ. ඒ තුළ දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගත්තේ 1977 අග රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු පිරිස නිදහස් වීමත් සමගය.

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්