පස මිතුරන්ගේ ගජ මිතුරු දේශපාලනය


 

වේදිකාවේදීන්, පාර්ලිමේන්තුවේදීත් කොටින්ම කියනවානම් නිවසේදී පවා බල ලෝභීව කුළල් කා ගන්නා ඇන කොටා ගන්නා දේශපාලකයන් අද බහුලය. එමෙන්ම විවිධ පක්‍ෂවලට අයත් මෙම දේශපාලකයන් එකිනෙකාට චෝදනා කරමින් කරන කතා ද අමිහිරිය. අසංවරය. බොහෝවිට පාර්ලිමේන්තුවේ දී සිදුවන දේවල් ඉතාමත් අසෝබනය. හිරිකිතය.


ඈත අතීතයේ දී ලංකාවේ සිටි බොහෝ දේශපාලකයන් ජනතාවට රජයේ සේවකයන්ට විශේෂයෙන්ම ළමා පරපුරට ඉමහත් ආදර්ශයක් දෙමින් ක්‍රියාකළ හැටි කතා කළ හැටි අපට මතකය.


අද මන්ත්‍රී පදවි ඇමති තනතුරු ලබාගන්නා ඇතැම් දේශපාලකයන් හැසිරෙන්නේ වළං කඩයට පැන්න හරක් වගේ යයි කිවහොත් එය නිවැරදිය. තැන නොතන නොබලා කටට ආ වචනයක් ජනතාව ඉදිරියේ මුදා හැරීමට ඔවුන් සමත්ය. පාර්ලිමේන්තුව නම් පාසල් සිසුන් නැරඹිය යුතු නැති ස්ථානයක් බවට අද පත්වී තිබේ. ඒ තරම්ම එහි හුවමාරු වන වචන අසභ්‍යය  අසීලාචාරය කැතය.


එමෙන්ම රටේ කුමන හෝ වැඩදායක පොදු යමක් ඉදිරිපත් කළ විට ද එය ක්‍රියාත්මක කිරීමට සැරසුණ විට ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම එය කඩාකප්පල් කිරීම ඇතැම් දේශපාලකයන්ගේ එම අරමුණයි. හොඳ දේට හොඳයි, කීමටත් නරක දේට නරකයි කීමටත් මේ අමන දේශපාලකයන් පෙලඹෙන්නේ නැත.


ඉදිරිපත් කරන එම සත් ක්‍රියාවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සෙතක් ශාන්තියක් අත්වනවාට ඔවුන් අකමැතිය. ඊට හේතුව එම සත් ක්‍රියාව මාර්ගයෙන් තම විරුද්ධ දේශපාලන ප්‍රතිවාදියා, වඩාත් ජනතාව අතරේ ජනප්‍රිය වීමත් ඔහුගේ ස්ථාවරය වඩාත් ශක්තිමත් වීමත් නොරුස්සන නිසාය. ඉන් තම අනාගත දේශපාලන ගමනට බාධාවන නිසාය. මොව්හු රට ගැන නොව තමා ගැන පමණක් සිතන ආත්මාර්ථකාමී දේශපාලකයන්ය.


අතීතයේ දී ලංකාවේ සිටි බොහෝ දේශමාමක, ජාති මාමක, අවංක දේශපාලකයන් මුදල් පසුපස හඹා ගියේ නැත. ඔවුන් රටේ පොදු ප්‍රශ්නයක දී සියලු මතිමතාන්තර, වාද භේද ඉවතලා එකට එක්වී සමගියෙන් යුතුව මුළු රටටම බලපාන ප්‍රශ්න විසඳාගත් අයුරු අපට මතකය. අද මෙවැනි දෑ සිදු නොවේ. හොඳම උදාහරණය 2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයයි. මෙම ප්‍රහාරයේ දී ලංකාවේ බොහෝ දේශපාලකයන් එකමුතු කමකින් තොරව, බලලෝභීව, එකිනෙකා ගහ මරා ගනිමින් ක්‍රියාකළ අයුරු නින්දා සහගතය. අසෝබනය, මෙම ප්‍රහාරය සිදුවෙද්දී මා ලංකාවේ සිටි බැවින් එම කටයුතු මම සියැසින් දුටුවෙමි.


මා මේ ලියන්නට යන්නේ 1954 ඔක්තෝබරයේ ලංකාවේ අගමැති සර් ජෝන් කොතලාවල සහ ඉන්දීය අගමැති ශ්‍රී ජවහර්ලාල් නේරු අතර දිල්ලි නුවර දී පැවැත් වූ සාකච්ඡාවක් පිළිබඳවය.


ඉන්දීය සම්භවයක් ඇතිව ලංකාවේ උඩරට වතුකරයේ විසූ ලක්‍ෂ සංඛ්‍යාත ඉන්දීය වතු කම්කරුවන්ගේ ප්‍රශ්නය විසඳීමට මෙම සාකච්ඡාව පවත්වන ලදී. මෙම සාකච්ඡාව පැවැත්වීමට පෙර එනම් 1954 ජනවාරි මාසයේදී අගමැති සර් ජෝන් කොතලාවල ඉන්දියාවට ගොස් ඒ පිළිබඳව ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා කළත් ලංකාවේදී ඔහුට එරෙහි බොහෝ දේශපාලකයන් ඊට එරෙහිවීම නිසා ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකි විය.


සර් ජෝන් කොතලාවල අගමැතිවරයා පසු බැස්සේ නැත. ඔහු යළිත් 1954 ඔක්තෝබරයේ නේරු අගමැති හමුවීම සඳහා දිල්ලි නුවරට යාමට සැලසුම් කළේය. ඒ වන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක එක්සත් ජාතික පක්‍ෂ රජයෙන් ඉවත් වී එම රජයට එරෙහිව මහජන මතයක් රටපුරා ගොඩ නැංවීමට ක්‍රියා කරමින් සිටියේය. කොටින්ම කියනවා නම් බණ්ඩාරනායක විපක්‍ෂනායකවරයා කොතලාවල අගමැතිගේ ප්‍රධාන විරුද්ධවාදියාය.


එමෙන්ම හිටපු අගමැති ඩඞ්ලි සේනානායක ද එජාප රජයේ සිට කොතලාවලට එරෙහිව ක්‍රියා කළ ප්‍රධාන පුද්ගලයෙකි. තමාට අගමැතිකම අහිමි වූයේ කොතලාවලගේ යටිකූට්ටු වැඩ නිසා බව ඩඞ්ලි අවබෝධ කරගෙන සිටියේය.


මේ අනුව ජෝන් කොතලාවල අගමැතිවරයාගේ ප්‍රධානතම හතුරන් දෙදෙනා වූයේ බණ්ඩාරනායක සහ ඩඞ්ලිය. ජෝන් කොතලාවල මේ දෙදෙනාටම නේරු අගමැතිවරයා හමුවීමට ඉන්දියාවට තමා සමග පැමිණෙන ලෙස ආරාධනා කළේය. බණ්ඩාරනායක සහ ඩඞ්ලි මේ ආරාධනාව පිළිගෙන කොතලාවල සමග ඉන්දියාවට ගියේය. තිදෙනාම එකම ගුවන් යානයක ගියහ. ඔවුහූ සියලු දේශපාලන වාද භේද ඉවත දැමූහ. කුළුපග මිතුරෝ ලෙස හැසිරුණහ. දිල්ලියේ එකම හෝටලයක නැවතුණහ.


නේරු අගැමැතිවරයා සමග මෙව්හූ දෙරටටම බෙහෙවින් බලාපන වතු කම්කරු ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කළහ. වතුකම්කරු නියෝජිතයන්ද දිල්ලි නුවරට කැටිව යාමට ජෝන් කොතලාවල අමතක කළේ නැත.


මෙම සාකච්ඡාව පැවැත්වුණේ 1954 ඔක්තෝබර් 10 වැනිදාය. කොතලාවල බණ්ඩාරනායක, ඩඞ්ලි, ශ්‍රී නේරු සහ එවකට ඉන්දීය මහ කොමසාරිස් දේශායි ආදීහු මෙම සාකච්ඡාවට සහභාගි වූහ. කොතලාවල සමග ඉතා සහයෝගයෙන් බණ්ඩාරනායක සහ ඩඞ්ලි මෙහිදී කටයුතු කළහ. ඔවුන් මෙහිදී ගහමරා ගත්තේ නැත. එකිනෙකාට චෝදනා කර ගත්තේ නැත. පරුෂ වචනයෙන් බැණ ගත්තේ නැත.


ලක්ෂ 7ක් පමණ ඉන්දීය වතුකම්කරුවන් ලංකාවේ උඩරට ප්‍රදේශවල සිටි අවධියකි ඒ. ඉන් තුන් ලක්‍ෂයක් ශ්‍රී ලංකාව විසින් බාර ගැනීමටත් අනික් පිරිස් ඉන්දියාව බාර ගැනීමටත් මෙහිදී එකඟ විය. ඒ කරුණු ඇතුළත් කොන්දේසි 8 කින් සමන්විත ලේඛනය කොතලාවල හා නේරු අත්සන් කළේ බණ්ඩාරනායක මෙන්ම ඩඞ්ලි අත්පොළසන් ගසද්දීය. මේ ගිවිසුමේ අඩුපාඩු සැදීමට බණ්ඩාරනායක සහ ඩඞ්ලි, කොතලාවල අගමැතිවරයාට පූර්ණ සහය ලබා දුන්හ.


මේ අතීත දේශපාලන නායකයින් තිදෙනා ලංකාවට පැමිණියේ ද එකටමය. ලංකාවට පැමිණ එකට දේශපාලනය කළහ. එහෙත් මෙම ගිවිසුම පිළිබඳව එකිනෙකා විවේචනය නොකළහ. එකිනෙකා අතර කුළල් කා ගැනීමක් සිදු නොවීය.


ලංකාවේ හිටපු අගමැතිවරුන් තිදෙනෙකු අතීතයේ දී හැසිරුණේ මෙසේය. වත්මන් ඇතැම් දේශපාලකයන් ඔවුන් ආදර්ශයට ගන්නා බවක් පෙනෙන්නට නැත. මෙම සිද්ධිය සිදුවී වසර 2කින් බණ්ඩාරනායක අගමැති තනතුරට පත් වූයේය. එදා සිටියේ උගත් නැණවත් ඕනෑ තරම් දේපළ තිබූ හොඳ පවුල් පසුබිමකින් යුත් දේශපාලකයන්ය.

 

 

සිරි හීන්පැල්ල ලියයි
ඡායාරූප අන්තර්ජාලයෙනි