හතරවැනි ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ ධුරකාලය 1994 සිට 2000 දක්වා වුවත් ඇය 1994 දී ජනාධිපති -වරණයක් පවත්වා දෙවන ධුර කාලය සඳහා 1999 දෙසැම්බර් 22 දිවුරුම් දුන්නත් දෙවැනි ධුරකාලය 2000 සිට වසර හය අවසන්වන 2006 දක්වා බවට රජය නීති තර්කයක් ගෙන එන ලද අතර හෙළ උරුමයේ ඕමල්පේ සෝභිත හිමියෝ මේ පිළිබඳව අර්ථ නිරූපණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියහ.
අගවිනිසුරු, සරත් එන්. සිල්වා ප්‍රමුඛ විනිසුරුවරු පස්දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කරන ලද්දේ ජනාධිපතිනියගේ නිලකාලය 2005න් අවසන් වන බවය. ඒ හේතුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා 2005 ඔක්තෝබර් 07 වනදා පස්වන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවන ලදි.
නාමයෝජනා සඳහා 14 දෙනකු ඇප මුදල් තැන්පත් කළ ද නියමිත දිනයේ නාමයෝජනා ඉදිරිපත් කරනු ලැබුවේ 13 දෙනෙක් පමණි. ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දීමට තීරණය කළේය.
1. මහින්ද රාජපක්ෂ මයා - එක්සත් ජනතා නිදහස් සන්ධාන
2. රනිල් වික්‍රමසිංහ මයා - එක්සත් ජාතික පක්ෂය
3. සිරිතුංග ජයසුරිය මයා - එක්සත් සමාජවාදී පක්ෂය
4. අශෝක සුරවීර මයා - ජාතික සංවර්ධන පෙරමුණ
5. වික්ටර් හෙට්ටිගොඩ මයා - එක්සත් ලංකා පොදුජන පක්ෂය
6. චමිල් ජයනෙන්ති මයා - නව වමේ පෙරමුණ
7. අරුණද සොයිසා මයා - රුහුණු ජනතා පක්ෂය
8. විමල් ගී ගනගේ මයා - ශ්‍රී ලංකා ජාතික පෙරමුණ
9. අනුරද සිල්වා මයා - එක්සත් ලලිත් පෙරමුණ
10. ජේ. ඒ. අජිත් කුමාර මයා - ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සංධානය
11. විජේඩයස් මයා - සමාජවාදී සමානතා පක්ෂය
12. නෙල්සන් පෙරේරා මයා - ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ
13. එච්. ශාන්ත ධර්මද්වජ මයා - එක්සත් ජාතික විකල්ප පෙරමුණ
2004 ඡන්ද දායක ලැයිස්තුව අනුව ඡන්දය දීමට සුදුස්සන් නම් කෙරුණ අතර ඒ අනුව ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව 13,327,160 ක් විය. මෙය 2004 අප්‍රේල් පැවැති මහ මැතිවරණයට වඩා 3.3% කින් වැඩිවීමත් වූ අතර 1999 ජනාධිපති වරණයට වඩා 13.1% කින් වැඩිවීමක් විය.
දෙවැනි වරට ජනාධිපති ධුරයට තරග කළ එ.ජා.පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා 2001 දෙසැම්බර් මස පැවැති මහ මැතිවරණයෙන් ජය ලබා අගමැති වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ඉදිරියේ 2001 දෙසැම්බර් 10 වනදා දිවුරුම් දෙනු ලැබීය. 1978 ව්‍යවස්ථාව අනුව විධායක ව්‍යවස්ථාදායක බල අරගලය ප්‍රථම වරට විද්‍යමන වූයේ මින් පසුවය. එ.ජා.පක්ෂ පාර්ලිමේන්තුවක් හා එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපතිවරයෙක් අතර පැවැති මෙම අරගලය හේතුවෙන් 2003 නොවැම්බර් 04 වැනිදා ජනාධිපතිනිය එජාපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක අභ්‍යන්තර කටයුතු හා ජනසන්නිවේදන යන අමාත්‍යාංශ 03 පවරාගනු ලැබීය.
ඒ තුළින් වඩා උග්‍ර වූ බල අරගලය හේතුවෙන් 2004 පෙබරවාරි 07 දින පාර්ලිමේන්තුව විසුරුවා 2004 අප්‍රේල් 02 මහ මැතිවරණයත් පවත්වනු ලැබීය. එම මැතිවරණයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එ.ජා. පක්ෂ ආණ්ඩුව පරාජයට පත්වී ජනතා විමුක්ති පෙරමුණ හා එක් වූ සමගි පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් බලයට පත්විය. එහි අගමැතිවරයා වශයෙන් පත්වූයේ මෙවර ජනාධිපතිධුරයට එ.ජ.නි. සන්ධානයෙන් තරග කරන මහින්ද රාජපක්ෂ මහතාය.
2005 නොවැම්බර් 17 පැවැති ජනාධිපතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 4,887,152 ක් හෙවත් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50.29% ක් ලබා ජය ලබා ගත්තේය. ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහ ලබාගන්නා ලද්දේ ඡන්ද 4,706,366 හෙවත් 48.43% කි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ඉතා සුළු වැඩි ඡන්ද ප්‍රමාණයක් සමගින් සිදුවිය. තරග කළ අනෙකුත් අපේක්ෂකයන් 11 දෙනාගේම ඇප මුදල් රාජසන්තක විය. මහින්ද රාජපක්ෂ මහතා 2005 දෙසැම්බර් 19 වැනිදා අග්‍රවිනිශ්චයකාර සරත් එන් ද සිල්වා ඉදිරියේ දිවුරුම් දී වැඩ භාර ගනු ලැබුවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ ශ්‍රී ලංකාවේ ආණ්ඩු පරිපාලනයෙන් මිදී එල්.ටී.ටී ත්‍රස්තවාදි පාලනයකට නතුව තිබියදීය. 18 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය යෙදී තිබුණ අතර ජනාධිපති ධුරය ඔහුගේ 60 උපන් දිනයට ලැබුණු තෑග්ගක් බඳුවිය.
මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට වඩා ඡන්ද 180,786 ක් ලැබුවත් ජනාධිපති ලෙස පත්වීම සඳහා අවශ්‍ය දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාව වූ 9,717,039 ක් හරි අඩක්වන 4,858,519 වඩා ලබාගත හැකි වූයේ ඡන්ද 28,632 කි. ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට දිස්ත්‍රික්ක 22 න් 11 බැගින් ජයගෙන තිබුණි. මහින්ද රාජපක්ෂ මහතා ගම්පහ, කළුතර, ගාල්ල, මාතර. හම්බන්තොට, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 11 ජය ගත්තේය. සුළු ජාතීන් වැඩි ප්‍රමාණයන් සිටින යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, පුත්තලම, නුවරඑළිය. බදුල්ල හා වන්නි මෙන්ම කොළඹ, මහනුවර හා මාතලේ ජයගන්නා ලද්දේ රනිල් වික්‍රමසිංහ මහතාය. යාපනය අර්ධද්වීපයෙන්, වන්නි ප්‍රදේශයෙන් එල්.ටී.ටී සංවිධානය විසින් කරන ලද බාධා කිරීම් හා තැතිගැන්වීම් හේතුවෙන් ඡන්දය දීමට ඡන්ද පොළට පැමිණියේ ඉතා සුළු සංඛ්‍යාවකි. යාපනය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 701,938 ක් වුවත් ඡන්දය ප්‍රකාශකර තිබුණේ 8524 ක් හෙවත් 1.21% ක් පමණි. වන්නියේ එම ප්‍රමාණය 34.30% විය. ප්‍රධාන පක්ෂ දෙක හැරුණු විට අනෙක් පක්ෂ 11ම අපේක්ෂකයන් ලබාගෙන ඇත්තේ ඡන්ද 123,521 ක් පමණි. එ.ජා.පක්ෂයේ බළකොටුවක් වන කොළඹ දිස්ත්‍රික්කය එජා. පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් වැඩි ඡන්ද 35,196 ක් තරම් අඩු මට්ටමක විය. ප්‍රථිඵල අනුව පැහැදිලි වූ එක් දෙයක් වූයේ එල්.ටී.ටී.ඊ සංවිධානය උතුරු - නැගෙනහිර ඡන්ද දැමීම නොවැළැක්වීනම් ඇතැම්විට රනිල් වික්‍රමසිංහ මහතා ජයලැබීමේ ඉඩ තිබෙන බවය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස වැඩ භාර ගනිද්දී එ.ජා.නි සන්ධානයේ රත්නසිරි වික්‍රමනායක මහතා අගමැති වශයෙන් වැඩභාර ගන්නා ලදි.
බණ්ඩාරගම සමරසේන මුදලිගේ ඡායාරූපය : අන්තර්ජාලයෙනි