‘සියලූ සත්වයෝ ආහාරය නිසා යැපෙති’ යි බුදුන් වහන්සේ දේශනා කළහ. එමෙන්ම කුසගින්නේ සිටි අසරණ ගොවියාට උන්වහන්සේ ධර්ම දේශනා කරන ලද්දේ ඔහුට ආහාර ලබා දීමෙන් පසුව යැයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. සෑම දෙනෙකුටම මේ සා වැදගත්කමක් දරන ආහාරය ගැන මිනිසුන් උනන්දුවක් දැක්වීම අත්‍යන්තයෙන්ම සාධාරණය. කෑම බීම මිල ඉහළ යාමක් සිදු වුවහොත් මිනිසුන් කලබලවන්නේත්, අරගල කරන්නේත් සමහර විට ජීවිතය පරදුවට තබා සටන් වදින්නේත් ඒ නිසාය.
එමෙන්ම බදුබර වැඩිවීමද මහජනයා කෝප ගන්වනසුලූ ක‍්‍රියාවකි. පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා ආදී නායකයන්ගේ මෙහෙයවීමෙන් 1848 දී මේ රටේ ඇති වූ අරගලය, බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහි විමුක්ති සටනක් බවට පසුව පරිවර්තනය වුවද එය ආරම්භ වූයේ බදු බරට එරෙහි විරෝධතාවක් වශයෙනි. සුද්දන්ගේ පාලනය වෙනුවෙන් එවකට ආණ්ඩුකාර වෛකවුන්ට් ටොරින්ටන් සාමිවරයා විසින් ප‍්‍රකාශයට පත් කරන ලද තුවක්කු බද්ද, ඇඟ බද්ද, මාර්ග බද්ද, සහ බලූ බද්ද ආදී අලූතින් පනවන ලද අය බදු වලට එරෙහි විරෝධතාව පසුව සුදු පාලනය මෙරටින් පලවා හරින විමුක්ති අරගලයක තරමට මෝරා ආවේය. සම්ප‍්‍රදායික ආයුධවලින් සන්නද්ධ වූ ගැමි තරුණයෝ බලගතු ගිනි අවි දැරූ බි‍්‍රතාන්‍යයන්ට විරුද්ධව එඩිතරව යුද වැදුණු නමුදු ඉතා දරුණු මර්දනයකට ගොදුරු වූවෝය.
එයින් පසුව ශ‍්‍රී ලංකාවාසීන් ප‍්‍රචණ්ඩ අරගලයකට යොමු වූ අවස්ථාව ලෙස ඉතිහාසයේ සඳහන් වන ප‍්‍රථම සිදුවීම වනුයේ වමේ පක්ෂ විසින් දියත් කරන ලද 1953 අගෝස්තුවේ පැවැත් වූ සමස්ත මහා හර්තාලයයි. රජයට විරුද්ධව සිදු කරන සාමකාමී විරෝධයක මුහුණුවරින් එය ආරම්භ කරන ලදදේ වුවද රජය විසින් ගන්නා ලද දැඩි මර්දනකාරී පිළිවෙත නිසා ප‍්‍රචණ්ඩත්වයට යොමු වීමෙන් වටිනා මිනිස් ජීවිත නවයක් අහිමි වී ගියේය. රාජ්‍ය මර්දනය නිසා එම සටන පරාජය වූවාසේ සලකනු ලැබුවත් එහි දීර්ඝකාලීන ප‍්‍රතිඵලය වූයේ එම රජයේ විනාශයයි. එම ක‍්‍රියාවලිය සිදු වී වසර හැට හතරක් සපිරෙන මෙම වකවානුව ඒ ගැන සිතා බැලීමට කදිම අවස්ථාවක් වනුයේ එදා පසුබිම අද වන විට නැවතත් ගොඩනැගෙමින් පවතින බවට සමහරුන් ප‍්‍රකාශ කරන බැවිනි.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය මහාමාන්‍ය ඞී. ඇස්. සේනානායක මහතා අසුපිටින් වැටී අභාවයට පත්වීම රටම කම්පාවට පත් කළ සිදුවීමක් වූවේය. එසේ පුරප්පාඩු වූ අගමැති ධුරයට හිටපු අගමැතිවරයාගේ පුත් ඩඞ්ලි සේනානායක මහතා පත් කර ගනු ලැබීය. අවංක සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන නායකයකු වශයෙන් ප‍්‍රකටව සිටි ඩඞ්ලි සේනානායක මහතා රාජ්‍ය නායකත්වයට පත්වීම බහුතර ජනතාවගේ ඉමහත් ප‍්‍රසාදයට හේතුවිය. එහෙත් අගමැති අභාවය සිදුවන විට රජයේ දෙවැන්නා ලෙස කටයුතු කළ සර් ජෝන් කොතලාවල මහතා එම පත්කිරීම ගැන එකඟවූයේ නැත.
ඔහුගේ අදහස වූවේ සභානායක වශයෙන් කටයුතු කරන තමාට අගමැතිකම නොදීම වරදක් බවයි. එවකට අග‍්‍රාණ්ඩුකාර ධුරය දැරූ සෝල්බරි සාමිවරයා තමාට රාජ්‍ය නායකත්වය ලබා නොදීමෙන් තමාගෙන් පළිගැනීමක් කළ බව ඔහු විශ්වාස කළේය. ඒ නිසා ආණ්ඩු පක්ෂ රැුස්වීම්වලදීත් කැබිනට් මණ්ඩල රැුස්වීමේදීත් බාහිර සමාජයේදීත් සර් ජෝන් වෙතින් පළවූවේ දැඩි නොරිස්සුම් සහගත ක‍්‍රියා පිළිවෙතකි.
මෙය රජයේ පැවැත්මටත් විශේෂයෙන්ම රට පාලනය කරන එක්සත් ජාතික පක්ෂයේ සමගියටත් බාධාවක් බව වටහා ගත් අගමැති ඩඞ්ලි සේනානායක මහතා පිරිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිළිවෙතක් අනුගමනය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර නැවතත් මහා මැතිවරණයක් කැඳවීය. එමගින් ඔහු අපේක්ෂා කළේ අගමැතිවරයා වශයෙන් තමාට දිගටම කටයුතු කිරීම සඳහා ජනවරමක් ලබාගැනීමයි. එම මැතිවරණයේදී ජයග‍්‍රහණය අක්කර ගැනීම සඳහා ඉටු කළ නොහැකි කිසිදු පොරොන්දුවක් දීමට ඩඞ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂයට අවශ්‍යතාවක් නොතිබුණි.
එයට ප‍්‍රධානම හේතුව වූවේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් මේ රටට නිදහස ලබා ගැනීමේ විමුක්ති සටනේ අසහාය නායකයා වශයෙන් ඞී. ඇස්. සේනානායක මහතා ලබා තිබුණු යශෝකීර්තියයි. ඒ නිසාම ‘ජාතියේ පියා’ ලෙස ජනතාවගෙන්ම ලබා තිබුණු විරුදාවලියද දරා සිටි එතුමාගේ හදිසි වියෝගය නිසා ඇති වූ ජන අනුකම්පාව සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂය වෙත ආකර්ෂණය වී තිබුණි. විරුද්ධ පක්ෂය හේදව සිටියේය. ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා අලූතෙන් බිහි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාව අතර තහවුරු වී නොතිබුණි. සම සමාජ කොමියුනිස්ට් හා විප්ලවකාරී සම සමාජ යන වාමාංශික පක්‍ෂ වුවද අසමගියෙන් යුතුව එකිනෙකා විවේචනය කරමින් සිටියහ. මේ සියල්ලම නිසා යූ.ඇන්.පී. ජයග‍්‍රහණය පැහැදිලිවම දක්නා ලදි.
එහෙත් සම්ප‍්‍රදායික මැතිවරණ දේශපාලනයට ගරු කළ පක්ෂයේ සමහර කොටස් නව රජය බලයට පත්වීමෙන් පසුව ආහාර සුලභ කරන බවටත් ඒවායේ මිල පහළ දමන බවටත් ඇඟවීම් කර තිබුණු බවද නොරහසකි. පක්‍ෂයේ නිල පුවත්පත වූ සියරට ‘ඉරහද පවත්නා තුරු හාල් සේරුවේ මිල ශත විසි පහයි’ යනුවෙන් සඳහන් කර තිබුණේ එබැවිනි.
පක්‍ෂ නායකයින් නොවන සමහර ග‍්‍රාමීය කථිකයෝද මැතිවරණ වේදිකාවේදී එවැනි ප‍්‍රකාශ කළහ. සියල්ල සිදුවන්නේ අපේක්ෂා කරන අයුරින් නොවේ. මැතිවරණ ජයග‍්‍රහණය එක්සත් ජාතික පක්ෂයට හිමි වූ නමුදු නව රජයේ මුදල් ඇමති පදවියට පත් ජේ. ආර්. ජයවර්ධන මහතාට මුහුණ දීමට සිදුවූයේ බලවත් අභියෝගයකටය. ලොව පුරා මහා ආර්ථික අසහනයක අඳුරු වලා පැතිරෙමින් තිබුණි. එකල මහ බැංකුවේ අධිපතිව සිටි ජෝන් එක්ස්ටර් මහතාද ඒ ගැන කලින්ම අනතුරු හැඟවූවේය. කලින්ම මැතිවරණය පැවැත්වීමට එයද හේතුවක් වූ බවද කියනු ලැබේ. දෙවන ලෝක මහා යුද්ධය පැවති යුගයේ ජනතාවට හිඟයකින් තොරව ආහාර සැපයීම සඳහා ඇති කරන ලද සහල් සලාකය පවත්වාගෙන යාම රජයට මහත් බරක් විය. යුද සමයේදී සහ ඉන් පසු කොරියානු යුද්ධය කාලයේ අපට විදේශ විනිමය ගලා ආ රබර් කර්මාන්තයේ ආදායම් නැවතී තිබුණු පරිසරය හමුවේ රටේ විනිමය සම්පත් සිඳීයාම මුදල් ඇමතිවරයාට මහත් ගැටලූවක් නිර්මාණය කළේය. අස්වාභාවික කාලගුණ විපර්යාසයක් ද මෙයට බලපෑ බව කියනු ලැබේ. ආහාර හිඟයේ අනිවාර්ය ප‍්‍රතිඵලයක් ලෙස මිල ඉහළ යාම තවත් ගැටලූවක් විය. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය වැනි දැවැන්ත සුබසාධන ව්‍යාපාර පවත්වාගෙන යන අතරවාරයේ සහල් සහනාධාරයද ලබාදීම අසීරු බව මුදල් ඇමතිවරයාගේ තක්සේරුව විය. 1953 වසරේ අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතා මෙසේ පැවසීය.
‘අතීතයේදී වියදම් කළ පමණටම ආර්ථික සංවර්ධනය සඳහා ප‍්‍රමාණවත් මුදල් වෙන් කිරීමට නව අයවැයෙන් රජය යෝජනා කරයි. වර්තමාන පරිභෝජනයට වඩා අනාගත සංවර්ධනය අපගේ අරමුණයි. මේ නිසා සමාජ ශුභසාධන කටයුතු කෙරෙහි යොමුකර ඇත්තේ පෙරට වඩා අඩු අවධානයකි. අධ්‍යාපනය සෞඛ්‍ය සේවය වැනි සමාජ ශුභසාධන අංශවලට අතීතයේදී මෙන්ම රජයේ සහයෝගය ලැබෙනු ඇත. අපේ සමාජ හා ආර්ථික සංවර්ධන වැඩ සටහන් කිසිම බාධාවකින් තොරව දිගටම පවත්වාගෙන යනු ඇත. එහෙත් මුදල් හා වෙනත් මුල්‍යමය හිඟ පාඩු ජනතාවගේ ඉතිරි කිරීම්වලින් පියවීමට හැකි මට්ටමකට සීමා කර ඇත්තෙමු. රජයේ අයවැය තවදුරටත් අපගේ බාහිර වත්කම් සිඳී යෑමට හේතුවක් නොවනු ඇත.
මා මුදල් ඇමතිකම ඉසිලූ හය වසර තුළ මගේ සිත අවුල් කළ ආර්ථික සහ මුල්‍යමය ප‍්‍රශ්න බොහෝය. එහෙත් ඒ කිසිත් මින් වසරකට පෙර අපගේ බාහිර වත්කම් සිඳීයාමට පටන් ගත් අවස්ථාවේදී මුහුණ පෑ දුෂ්කරතාව තරම් සිතට වධ දුන් අවුලක් හෝ තැවුලක් හෝ අකරතැබ්බයක් වූවේ නැත. මීට එකම පිළියම අයවැය පරතරය පියවීම බව මම දනිමි. ආහාර සහනාධාරය කපා නොහැර මෙම පියවර ගත නොහැක” එය එසේ සිදුවිය. ආහාර සහනාධාරය කපා හැරීම නිසා සහල් සලාකයේ සහල් සේරුවක මිල ශත විසිපහේ සිට ශත හැත්තෑ පහ දක්වා ඉහළ ගිය අතර සීනි මිලද වැඩිවිය. බලධාරින් කුමක් පැවසුවද තුන් ගුණයකින් සහල් මිල ඉහළ යාම දුප්පත් ජනතාවට දරාගත නොහැකි පීඩාවක් විය. සහල් ශත විසි පහටම දීම සහතික කළ මැතිවරණ පොරොන්දුවද මෙහිදී පාරාවළල්ලක් බවට පත් වූ බව නොකිවමනාය. පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාර සැපයීම නතර කිරීමත්, දුම්රිය සහ තැපැල් ගාස්තු වැඩි කිරීමත් එම අයවැය මගින් සිදු කරන ලදි. 1953 ජූලි මස 23 වැනි දින මෙම අයවැය ලේඛනය ඉදිරිපත් කරද්දීම දැවැන්ත විරෝධතා රැුලියක් පාර්ලිමේන්තුව ආසන්නයේම ගාලූමුවදොර පිටියේ පැවැත්වුණි. උද්වේගකාරී වාමාංශික පිරිස් පාර්ලිමේන්තුවට කඩා වැදීමට පවා උත්සාහ කළහ.
මෙම විශාල ජනතා රැුලියට කඳුළු ගෑස් ගසා බැටන් ප‍්‍රහාර එල්ලකර විසුරුවා හැරීමට පොලිසිය ක‍්‍රියාකිරීම නිසා ජනයා අතිශය කෝපයට පත්වූහ. පිරිසකට තුවාල සිදුවිය.
මේ අතර මෙම අධික බදු බර සහ මිල වැඩි කිරීමට මෙන්ම ජනතා විරෝධතා මර්දනය කිරීමට ජාතික විරෝධතා දිනයක් පැවැත්වීමටත් ලංකා සම සමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය හා විප්ලවකාරී සම සමාජ පක්ෂයත් ඒ. ඊ. ගුණසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු පක්ෂයත් තීරණය කරන ලදි. එම පක්‍ෂවල ඉතාම බලවත්ව පැවති වෘත්තීය සමිති සම්මේලනයන්ද මෙම අරගලයට එක්වීමට තීරණය කළහ. සමස්ත මහා වැඩවර්ජනයක් මෙන්ම කඩ සාප්පු වසා දමා, නිවෙස්වල කළු කොඩි එසවීම, විරෝධතා රැුස්වීම්, පෙළපාළි පැවැත්වීම ආදී නොයෙක් ආකාරයේ විරෝධතා පැවැත්වීම අරමුණ විය. පාසල්, පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා මෙන්ම රජයේද සියලූ අංශවල සේවකයන්ට මෙම විරෝධතාවට එක්වන ලෙස ආරාධනය කරන ලදි. නියමිත දිනය වූවේ අගෝස්තු දොළොස් වැනිදාය. එය හැඳින්වූවේ හර්තාලය නමිනි.
මෙය කම්කරුවන්ගේ වැඩවර්ජනයකට එහා ගිය පොදු සටන් පෙරමුණක් ලෙස අරගලය මෙහෙයවීම සංවිධායකයන්ගේ අරමුණ විය.
මෙම ආරංචිය ලැබුණු වහාම රජය ද තමන්ගේ පැත්තෙන් ගත යුතු සියලූම ආරක්ෂක පියවරවල් ගන්නා ලදි. මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය ක‍්‍රියාත්මක කර ආරක්ෂක හමුදාවලට සහ පොලිසියට වැඩි වැඩියෙන් බලතල පවරනු ලැබීය. වැඩ වර්ජන නීති විරෝධී බව ප‍්‍රකාශයට පත් කළ අතර තම සාප්පු වසා දැමුවහොත් ඒවායේ වෙළඳ බලපත‍්‍ර අවලංගු කරන බව නිවේදනය කළේය. 1947 මහා වැඩවර්ජනය පරාජය වීම නිසා දහස් ගණනකට රැුකියා අහිමි වූ බව මතක් කර දෙමින් කම්කරු පංතිය බිය ගැන්වීමේ ව්‍යායාමයක්ද දියත් විය
මෙම අරගලයේ ප‍්‍රථම පියවර ආරම්භ වුවේ බළපිටිය ප‍්‍රදේශයෙනි. බළපිටිය, අම්බලන්ගොඩ, රන්දොඹේ ආදී ප‍්‍රදේශවල දුප්පත් ජනතාව ස්ත‍්‍රී පුරුෂ භේදයෙන් තොරව හාල්මිල වැඩිකිරීමට විරුද්ධත්වය දක්වමින් ගාලූ පාරට පැමිණ මහා මාර්ගයේ ළිප් බැඳ රොටි පිලිස්සීමට පටන් ගත්හ. පොලිසිය පැමිණි විට ඔවුහු අවනත නොවූහ. පොලිස් නියෝග ප‍්‍රතික්‍ෂේප කර ඔවුනට අභියෝග කළහ. මෙම සටන එතනින් නොනැවතී මාදම්පේ, අකුරල, තොටගමුව, කරන්දෙණිය, ඌරගහ, අහුන්ගල්ල ආදී ප‍්‍රදේශවල පමණක් නොව කොළඹ නගරය සහ තදාසන්න පෙදෙස් කරාද කැලණිවැලි මිටියාවතේ හෝමාගම, කඩුවෙල, අවිස්සාවේල්ල දක්වාද වාමාංශික බලය පැවති සෑම ප‍්‍රදේශයක් කරාද පැතිර ගියේය. නාගරික කම්කරු පන්තිය සම්පූර්ණයෙන්ම පාහේ සටන් මගට පිවිසියහ. දුම්රිය ගමනාගමනය, වරාය, රජයේ කාර්යාල, පාසල් පද්ධතිය, කොළොන්නාව තෙල් සංකීර්ණය, රජයේ වැඩපොළ ආදී ස්ථානවල කටයුතු මුළුමනින්ම නැවතී තිබුණි. පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා සියල්ලම වැඩවරා සිටි අතර වෙළඳසැල් බොහොමයක් වසා දමා කළු කොඩි ඔසවා තිබුණි. දොළොස්වැනිදා හර්තාලය අතිශයින්ම සාර්ථක බව පෙනෙන්නට තිබුණි. රජයද කම්පනයට පත්විය.
අරගලයේ සාර්ථකත්වය දැකීමෙන් පොලිසිය කෝපයට පත් විය. මර්දනය ඇරඹුණි. පිටකොටුව, කිරුළපනේ ආදී ස්ථානවල ගැටුම් ඇතිවිය. පොලිස් වෙඩි තැබීම්වලින් රට පුරා පුද්ගලයෝ නව දෙනෙක් මරු වැලඳගත්හ. මෙම අරගලය සංවිධානය කළ වාමාංශික නායකයන්ට පවා තත්ත්වය පාලනය කර ගත නොහැකි විය. අගෝස්තු 12 වැනිදාට පමණක් සීමා කර තිබුණු හර්තාලය පසු දිනද පැවැත්වුණි. පොලිසිය සහ හමුදාව යොදවා සිදුකිරීමට ගිය මර්දනය නිසා එවැනි බැ?රුම් මගකට රට යොමු වූ බව කාගේත් මතය විය.
පිටකොටුවේ ඇඞ්වින්, රත්ගම ඇල්බදුරගේ අල්විස්, ඌරගහ ඇල්. එම්. රූබල්, දොම්පෙ, ඇස්. කේ. ඒ. පියසේන, දොම්පෙ ඇස්. කේ. ඒ. වික‍්‍රමසිංහ, දොම්පෙ කේ. ඒ. සාදිරිස්, මෝදර ඩග්ලස් නිකුලස්, කිරුළපනේ ටී. ඩග්ලස්, දොඩම්දුව ටී. එම්. පනාගොඩ යන පුද්ගලයෝ නව දෙනා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූහ. අගෝස්තු 13 වැනිදා සවස වන විට රජය අපහසුතාවට මුහුණ දී සිටි බව දක්නට ලැබුණි. ඇමති මණ්ඩලය රැුස්වුණේ කොළඹ වරායේ නවතා තිබුුණු එච්. ඇම්. ඇස්. නිව්ෆවුන්ඞ්ලන්ඞ් නමැති යුද නෞවුකාවේදීය. රටේ කිසිදු තැනක් ආරක්ෂිත නොවන බවක් ආණ්ඩුව සැලකුවා වැනිය. ඉහළ ගණයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු වූ අගමැති ඩඞ්ලි සේනානායක මහතා ඉල්ලා අස්වූවේය. මිනිස් ජීවිත විනාශ වෙද්දී පාලන බලයේ රැුඳී සිටීමට තමාට අවශ්‍ය නැතැයිද මෙහි වගකීම තමා බාර ගන්නා බවත් ඔහු ප‍්‍රකාශ කළේය. අයවැය ලේඛනය ඉදිරිපත් කළ මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතාද ඉල්ලා අස්වූ අතර පසුව කෘෂිකර්ම ඇමති ධුරයට පත් කරනු ලැබීය. ඉහළ ගිය ආහාර මිල යම් පමණකින් අඩුකිරීමද සිදුවිය. එම යුගය වන විට යූ.ඇන්.පී. රජය එම පක්ෂයේ බලවතුන් විසින් හඳුන්වනු ලැබුවේ ‘මහාමේරුව’ තරම් ශක්තිමත් බවටය. එහෙත් එය එසේ නොවන බවත් එය පෙරළාදැමිය හැකි බවත් හර්තාලය නිසා යූ.ඇන්.පී. විරෝධිහු වටහා ගත්හ. එය සිදු කිරීමට නම් බෙදී වෙන්වී සිටින වාමාංශික බලවේග සියල්ලම එක්සත් විය යුතු යැයිද ඔව්හු වටහා ගත්හ. ඒ සඳහා කටයුතු කරන්නැයි එම පක්ෂවල බිම් මට්ටම නායකත්වයට බලකරන්නට පටන් ගත්හ.
1956 මහා මැතිවරණය වන විට මෙම වමේ සමගිය අතිශයින්ම මෝරා තිබුණි. සමගියද ඇතිවූ බව දක්නට තිබුණි. ආණ්ඩු වෙනස සිදුවිය. එයට ප‍්‍රධාන වශයෙන්ම බලපෑවේ අගෝස්තු මහා හර්තාලයේ ප‍්‍රතිඵලය යැයි කියනු මම අසා ඇත්තෙමි.
වසර හැට හතරක් ගෙවී ගොස් තිබේ. බොහෝ දේ වෙනස්ව ඇත. ආහාර සහනාධාරය දැන් නැත. එදා ශත විසි පහක් වූ සහල් සේරුව කිලෝවක් වී රුපියල් සියයට නැග ඇත. එදා පැවති ශක්තිමත් වෘත්තීය සමිති ව්‍යාපාරයද අද නැත. පැරණි වාමාංශික බලයද අතිශය දුර්වල වී ඇත. එදා දැකැත්ත සහ මිටිය ලාංඡුනයෙන් සංකේතවත් කළ ගොවි කම්කරු ජනතාවද අද නැත. නව තාක්‍ෂණයේ දියුණුවත් සමග පරිගණක යුගයට එළඹී ඇති වැඩ කරන ජනතාව ලේ වගුරුවමින් සටන් බිමට එනු ඇතිද යනු සැක සහිතය. මක්නිසාද යත් ලෙනින් කීවාක් මෙන්ම පන්ති සටනේ ජීවගුණය වාස්තවික තත්ත්වයන් අනුව වෙනස්ව ඇති බැවිනි. එහෙත් අනාදිමත් අතීතයකට පෙර බුදු වදන වූ පරිදිම සියලූ සත්වයෝ ආහාරය නිසා යැපෙති.
සෝමසිරි වික‍්‍රමසිංහ