“ශ්‍රී ලංකාද්වීපයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීන් වන අපි 1970 මැයි මස 27 වැනි දින පවත්වන ලද මහා මැතිවරණයේදී ශ්‍රී ලංකාවාසී ජනතාව විසින් දෙන ලද වරම අනුව ක්‍රියාකරමින් වර්තමාන ආණ්ඩුක්‍රම පනත ප්‍රදානය කිරීමේදී බි්‍රතාන්‍ය කිරීටය සහ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව විසින් පවරාගෙන ක්‍රියාත්මක කරන ලද බලය සහ අධිකාරය කෙරෙනුදු, ඉහත කී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙනුදු නොව ශ්‍රී ලංකාවාසී ජනතාව කෙරෙන් ස්වකීය අධිකාරය ලබා ගන්නා වූද සියලුම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස ඇතුළු සමාජවාදී ප්‍රජාතන්ත්‍ර සමාජයක පරමාර්ථ සපුරාලීමට බැඳුණු නිදහස් ස්වෛරී, ස්වාධීන ජනරජයක් ලෙස ශ්‍රී ලංකාද්වීපය ප්‍රකාශයට පත් කරන්නා වූද ශ්‍රී ලංකාද්වීපයේ මූලික නීතිය බවට පත් වන්නාවූද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාද්වීපය සඳහා සම්මත කරගැනීමේ පැනවීමේ සහ ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කාර්ය සඳහා ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයක් බවට සංස්ථාපනය වීමටත් ආඥා කිරීමටත්, ප්‍රකාශනය කිරීමටත් මෙයින් තීරණය කොට ඒ අනුව ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලය වශයෙන් අප සංස්ථාපනය වන ආඥා කරන හා ප්‍රකාශනය කරන අතර එසේ සංස්ථාපනය වී එකී වරම ක්‍රියාත්මක කිරීම පිණිස හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමැති විසින් හෝ ඔහු වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන කර්තව්‍යයන් සලකා බලනු පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රී වන්නිආරච්චිගේ දොන් ස්ටැන්ලි තිලකරත්න හෝ ඔහු නොමැති නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊබ්‍රහිම් අදාම් අබ්දුල් කාදර්ගේ සභාපතිත්වය යටතේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභා ශාලාව තුළ ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලය මීළඟට රැස්විය යුතු දිනය සහ වේලාව ජූලි මස 28 වැනි දින පෙරවරු 10.00 වශයෙන් නියම කරමු.”
ඉහත කී යෝජනාව අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් 1970 ජූලි මස පෙරවරු 11.00 ට කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහල ශාලාවේදී ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී ඉහත සඳහන් යෝජනාව ඉදිරිපත් කළාය. එවකට මුදල් ඇමැති සහ යටියන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා එකී යෝජනාව ස්ථිර කළේය. එහි පරමාර්ථය වූවේ ශ්‍රී ලංකාව ස්වෛරී, ස්වාධීන, නිදහස් ජනරජයක් බවට පත් කිරීමය.
උඩරට ප්‍රධානීන් සහ බි්‍රතාන්‍ය ආණ්ඩුකාර සර් රොබට් බ්‍රවුන්රින් අතර 1815 මාර්තු දෙවැනි දින අත්සන් කරන ලද ගිවිසුම අනුව ශ්‍රී ලංකා මාතාව එතෙක් භුක්ති විඳින ලද නිදහස ස්වෛරී භාවය, අහෝසි වූවේය. අපේ මාතෘභූමියේ පරමාධිකාරී බලය බි්‍රතාන්‍යයේ තුන්වැනි ජෝර්ජ් මහ රජතුමා වෙත පැවරුණි. ඉන්පසුව මේ රට පාලනය කෙරුණේ බි්‍රතාන්‍යයේ සිහසුන දරන තැනැත්තා හෝ තැනැත්තිය විසින් පත්කර එවනු ලැබූ ආණ්ඩුකාරවරයෙකු මගිනි. වරින්වර ඇතිවූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මත යම් යම් වෙනස්කම් සිදුවූ බව සැබෑය. එයිනුත් 1834 ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව පිහිටුවීමේ කෝල්බෘක් ආණ්ඩුක්‍රමය එයිනුත් දුරට ගමන් කරමින් 1931 සර්වජන ඡන්ද බලය සහිතව රාජ්‍ය මන්ත්‍රණ සභාව ක්‍රියාත්මක කරන ලද ඩොනමෝර් ආණ්ඩුක්‍රමය මුල් තැනක් ගනී. එය මෙරට දේශපාලනයේ හා ව්‍යවස්ථා පරිණාමයේ ඉතා වැදගත් අවස්ථාවන් ලෙස සැලකේ. ඉක්බිති 1947 සෝල්බරි ආණ්ඩු ක්‍රමය බිහි කිරීමත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමත් එහි උපරිම තලයට ළඟාවීමක් වූවේය. 1948 පෙබරවාරි 04 වැනිදා ලංකාවට නිදහස ප්‍රදානය කරන ලද අතර එම නිදහස් ආණ්ඩුව තුළ වුවද රාජ්‍යයේ ඉහළම නායකයා වූයේ බි්‍රතාන්‍ය කිරීටයෙන් පත්කරන ලද අග්‍ර ආණ්ඩුකාරවරයාය. නිදහස ප්‍රකාශයට පත් කරන ලද දිනයේ අග්‍රාණ්ඩුකාර ධුරය භාරගත්තේ හිටපු ආණ්ඩුකාරවරයා වූ හෙන්රි මන්ක් මේෂන් මුවර් මහතාය. ඔහුගෙන් පසු සෝල්බරි සාමි සහ සර් ඔලිවර් ගුණතිලක සහ විලියම් ගොපල්ලව යන මහත්වරු එම තනතුරු දැරූහ. මහජන ඡන්දයෙන් තේරුණු අගමැතිවරයා පසෙක සිටියදී ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය නායකධුරය හිමි වූයේ පෙර කී පරිදි අග්‍රාණ්ඩුකාරවරයාටය. බි්‍රතාන්‍ය කිරීටය වෙනුවෙන් ඔහු අත්සන් කරන තුරු පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරන පනතක් වුවද නීතිගත වූවේ නැත. විශේෂයෙන්ම මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කර හදිසි නීතිය පැනවූ අවස්ථාවේදී සන්නද්ධ සේනාවන්හි සේනාධිනායක වූයේ ඔහුය. එකල පැවැති ක්‍රමය අනුව රාජ්‍යාරක්ෂක අමාත්‍යධුරය දැරුවේ අගමැතිවරයා වුවද සෑම අතින්ම අග්‍ර ආණ්ඩුකාරවරයා සිටියේ අගමැතිට ඉහළිනි. 1958 ජාතිබේදවාදී කලබල අවස්ථාවේදී අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර්ගේ ක්‍රියාකලාපය බෙහෙවින්ම මතභේදයකට ලක්විය. බොහෝ කටයුතු පිළිබඳව සර් ඔලිවර් ක්‍රියා කළේ තම අභිමතය පරිදිය. ඒ නිසා නොයෙක් විට නොවිය යුතු දේ සිදුවූ බව පැරැන්නෝ කියති.
එක්දහස් නවසිය පනස් නවයේ සැප්තැම්බරයේදී සිදුවූ බණ්ඩාරනායක ඝාතනයෙන් පසු විජයානන්ද දහනායක මහතා අගමැතිධුරයට පත්වූ අවස්ථාවේදී එම ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මෙහෙය වූවේ සර් ඔලිවර් බවට නොයෙක් විට චෝදනා නැගුණි. 1960 ජූලි මැතිවරණයෙන් පසු සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව පිහිටුවීමෙන් පසු මෙම මතභේද දිග්ගැස්සුනි. 1962 ආණ්ඩු විරෝධී හමුදා කුමන්ත්‍රණය ගැන පරීක්ෂණ පවත්වාගෙන යාමේදී සමහර සැකකරුවන් ප්‍රකාශ කර තිබුණේ මෙය අග්‍රාණ්ඩුකාරවරයාත් තවත් ප්‍රබලයන් කීප දෙනෙකුත් දැනුවත්ව සිදු කෙරුණු බවයි. නම සඳහන් වූ අනෙක් නායකයන් ඒ වන විට බලයේ නොසිටි නිසාත් එය පිළිගත යුතු මට්ටමේ ප්‍රකාශයක් නොවූ නිසාත් ඉවත දැමුණි. එහෙත් ලකිසුරු වශයෙන් ද හැඳින් වූ රාජ්‍ය නායකයාගේ නම එයට සම්බන්ධ වීම බරපතළ ගැටලුවක් මතු කළේය. අග්‍රාණ්ඩුකාරවරයා තනතුරෙන් ඉවත් කර විලියම් ගොපල්ලව මහතා එම තනතුරේ පිහිටුවන ලෙස කියන අගමැතිනියගේ රහස් පණිවුඩය රැගෙන අගමැති ලේකම් බ්‍රැඞ්මන් වීරකෝන් මහතා ලන්ඩනයට ගොස් දෙවැනි එලිසබෙත් මහ රැජිණ හමු විය. අගමැතිනියගේ සන්දේශය භාරගත් මහ රැජිණ සර් ඔලිවර් තනතුරෙන් ඉවත් කර විලියම් ගොපල්ලව මහතා අග්‍රාණ්ඩුකාර ධුරයට පත් කළාය.
යුද හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුද හිටපු නාවික හමුදාපතිවරයාද සමග සිදුකළ හමුදා කුමන්ත්‍රණය පිළිබඳ නඩුව අධිකරණයේ විභාග වී ඉන් දහ දෙනෙක් වැරදිකරුවන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබුණු අතර ඔවුනට දීර්ඝ කාලීන සිර දඬුවම් සහ දේපල රාජසන්තක කිරීමටද නියෝග කරන ලදී. එකල පැවැති නීති ප්‍රතිපාදන අනුව බි්‍රතාන්‍යයේ රාජාධිකරණයට අභියාචනා කිරීමේ බලය මෙම චූදිතයන්ට හිමි විය. රාජාධිකරණයේ විනිශ්චය කාර සාමිවරුන්ගේ තීරණය වූවේ මෙරට ක්‍රියාත්මක වූ සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වන වගන්තියේ සඳහන් වන කරුණු ප්‍රකාරව, විත්තිකරුවන්ට දඬුවම් දීමට නීති පැනවීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට බලයක් නොමැති බවයි. මෙය ජනතාව අතර ඉමහත් සංවාදයකට බඳුන් වූ බරපතළ මාතෘකාවක් විය. තම රටේ පාලනයට අදාළ වන නීතියක් පනවා ක්‍රියාත්මක කිරීමට රටේ ජනතාව විසින් තෝරාපත් කරන ලද පාර්ලිමේන්තුවට බලයක් නැත්නම් 1948 පෙබරවාරි 04 වැනි දින මේ රටට ලැබුණා යැයි කියන නිදහස කුමක්දැයි ජනයා විමසූහ. 1970 මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණේ මැතිවරණ වේදිකාවේදී මෙම තත්ත්වය නිතර කතා බහට ලක්විය. ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයේද රටට හිතකර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ පොරොන්දුව ඇතුළත් කර තිබුණි. මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් සහිතව රජයක් පිහිටුවීමට සමගි පෙරමුණට හැකියාව ලබාදීම නිසා එය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිණිස ලබා දුන් ජනතා වරමක් ලෙස සලකන ලදී. 1972 ශ්‍රී ලංකාවේ පළමු ජනරජ ව්‍යවස්ථාව පනවා ක්‍රියාත්මක කරන ලද්දේ එකී ජනතා වරමින් ලද බලය සහ අධිකාරය උපයෝගී කරගෙනය. එය නීතිමය අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමකි.
ලෝකයේ ඕනෑම රටක ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී එයට බලය ගලා එන මූලාශ්‍රයක් තිබිය යුතු යැයි සංකල්පයක් පවතී, එය දෙඅකාරයකින් පැවතිය හැකිය. පළමුවැනි ක්‍රමය වන්නේ පවතින (අහෝසි කරනු ලබන) ව්‍යවස්ථාවෙන් නව මූලික නීතියට බලය උකහා ගැනීමයි. දෙවැන්න මහජනතාව වෙතින් ලබාගන්නා බලය මත නව ව්‍යවස්ථාවක් සකස් කිරීමයි. කෙසේ වුවත් 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව පැනවීමේදී ජනතාව වෙතින් ලබා ගන්නා ලද යෝජනා ගැන ද විශේෂ අවධානය යොමු කරන ලදී. මෙම යෝජනා පදනම් කර ගනිමින් දීර්ඝ ක්‍රියාවලියකින් පසු 1972 මැයි 22 වැනිදා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීම ආරම්භ විය.
එයට අනුව රාජ්‍යයේ නාමය ලංකාව වෙනුවට ශ්‍රී ලංකාව යනුවෙන් හැඳින්වුණු අතර 1815 සිට බි්‍රතාන්‍ය කිරීටය කෙරෙහි පැවැති අවනත බව සහ යටත් බව සම්පූර්ණයෙන්ම අහෝසි වූවේය. අපේ රට නිදහස් ස්වෛරී ස්වාධීන ජන රජයක් බවට පත් විය. එහෙත් එම පරිවර්තනය ක්‍රෝධයෙන්, වෛරයෙන් හෝ ලේ වැගිරීමෙන් සිදු වූවක් නොවේ. එතෙක් ශ්‍රී ලංකාවේ අග්‍ර රාජිණිය වූ බි්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින “ශ්‍රී ලංකා ජනරජය බිහිවීමත් ඔබ එහි ජනාධිපති පදවියට පත් වීමත් නිමිත්තෙන් යහපත් අනාගතයක් සඳහා මගේ හෘදයාංගම සුබපැතුම් පිළිගන්න.” යැයි ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති විලියම් ගොපල්ලව මහතාට සුබපැතුම් පණිවුඩයක් එවමින් කියා සිටියාය. මෙම ව්‍යවස්ථාව බොහෝ නීති විශාරදයන්ගේ ප්‍රශංසාවට ලක්වූන බව එකල කියවුනි. එහි සරල බව කෙටි බව මෙන්ම පැහැදිලිකම ඊට හේතු වූ බව කියැවුණි.
එක්දහස් නවසිය හැත්තෑ හතේ බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන රජය එම ජනරජ ව්‍යවස්ථාව ඉවත්කර විධායක ජනාධිපති ධුරයක් හඳුන්වා දෙන තවත් ව්‍යවස්ථාවක් පනවන ලදී. එය අතිශය මත භේදයට ලක්වෙමින් පසුගිය වසර හතළිහ තුළ ක්‍රියාත්මක වූන බව අපි දනිමු. එමගින් රටට මුහුණ දීමට සිදුවූ අවුල් සහගත තත්ත්වය කොතෙක් ද යත් එම කෙටි කාල පරිච්ජේදය තුළ දහනව වතාවක් සංශෝධනය වීමෙන් මනාව පෙනී යයි. විසි වැන්නක් ද ඉදිරිපත් විය. ඒ නිසාම එම ව්‍යවස්ථාව ඉවත් කර අලුතෙන් සම්පාදනය කරගැනීමේ කටයුතු දැන් සිදු කෙරෙමින් තිබේ. රටේ මූලික නීතිය බවට පත්වන්නා වූ ව්‍යවස්ථාවක් සකස් කරගැනීමට සූදානම් වන රටකට ලෝකයේ සාර්ථකව ඉදිරියට යන රටවල්වල නීති රාමුව දෙස අවධානය යොමු කිරීමට සිදුවීම අනිවාර්ය සාධකයකි.
ශ්‍රී ලංකාවේ වර්තමාන ජාතික අවශ්‍යතාව වී ඇත්තේ ණය බරින් මිදී ශීඝ්‍ර සංවර්ධන මාර්ගයකට අවතීර්ණවීම මගින් ආර්ථික ජයග්‍රහණ අත්පත් කරගැනීමයි. එමෙන්ම පසුගිය තිස් අවුරුදු යුද්ධයෙන් ඇතිවූ මානසික වේදනාවන් සහ ජාතික දේහයේ සිදුවූ තුවාල අකාමකා කොටගෙන ජාතික එකමුතුව හා සංහිඳියාව සපුරා ගැනීමේදී අප නිදසුනට ගත යුතු රටක් වන්නේ ජපානයයි. ආසියාතික රාජ්‍යයක් වශයෙනුත් කෘෂිකර්ම සහ ධීවර කර්මාන්තය මූලික ජීවනෝපාය කරගත් ජාතියක් වශයෙනුත්, විශේෂයෙන් දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී යුද වැදී අන්ත පරාජයට පත්ව වැනසුණු රාජ්‍යයක් ලෙසත් පැවැති ජපානය ඒ සෑම අංශයකින්ම ශ්‍රී ලංකාවට සමානාත්වයක් දක්වයි. අප නිදහස ලබද්දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගනිමින් පෙරට ගිය ජපන් රට දැවැන්ත කාර්මික සංවර්ධනයක් සහ ආර්ථික ශක්තියකින්ද යුතුව නැගී සිටියේ කෙසේද? යන්න මේ මොහොතේ සලකා බැලීම ඉතා උචිතය. ජපන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේ මෙසේ සඳහන් වේ. “ජපන් ජනතාව වන අප සියලුම ජනතාවන් සමග සහයෝගයේ විපාකත් මෙම දේශය පුරා නිදහසේ ආශිර්වාදයත් අප හට මෙන්ම අපගේ මතු පරපුරටද සාක්ෂාත් කරගත යුතු බව අදිටන් කරගෙන ඇති අතර රජයේ ක්‍රියාවන් තුළින් යුද්ධයේ බිහිසුණු බව අප කරා යළි නොඑළඹිය යුතු බව තීරණය කර ඇත. ජපන් ජනතාව වන අප සැමදා සාමය ආරක්ෂා කරන ගමන්ම මිනිස් සබඳතා පාලනය කරන උදාර අදහස් දැඩිව ධාරණය කොටගෙන ඇති බව හා ලොව සාමයට ළැදි පොදු ජනතාව සතු යුක්ති ධර්මයත්, භක්තියත් කෙරෙහි විශ්වාසය තබමින් සුරක්ෂිත බව හා පැවතුම් රැකගැනීමට අදිටන් කරගෙන ඇති බව ප්‍රකාශ කරමු. සාමය සුරැකීමේ ප්‍රයන්ත දරමින් ජාත්‍යන්තර සමාජයේ ගෞරවණීය තත්ත්වයක් අත්කර ගැනීමට අපේක්ෂා කරමු.
එහි නව වැනි වගන්තියෙන් කියැවෙන්නේ යුක්තිය මත පදනම් කොටගත් අන්තර් ජාතික ප්‍රජාවේ සාමය අවංකව අපේක්ෂා කරමින් ජපන් ජනතාව සඳහටම අන්තර් ජාතික ආරාවුල් නිරාකරණය කරගැනීමේ මාර්ගයක් වශයෙන් යුද්ධය පිටුදකින බවයි.
සම්ප්‍රදාය මත ගොඩ නැගුණු සීමිත බලයක් සහිත රාජාණ්ඩුවක් එරට ක්‍රියාත්මක වේ. ව්‍යවස්ථාවට අනුව අධිරාජයා රාජ්‍යයේ මෙන්ම ජනතාවගේ ඒකීයත්වයේද සංකේතයයි. පරමාධිපත්‍යය රඳාපවතින්නේ ජනතාව කෙරෙහිය. අධිරාජයා නාමමාත්‍රික නායකයා වේ. ඔහු සිය කාර්යයන් ඉටුකරනුයේ කැබිනට් මණ්ඩලයේ උපදෙස් හා අනුමැතිය ඇතිව වන අතර පාර්ලිමේන්තුව හෙවත් ඩෛයට් සභාව ඉහළම බලය දරයි. රටේ අගමැතිවරයා ඩෛයට් සභාව බහුතර කැමැත්තෙන් පත්කර ගන්නා එම පාලනය සම්බන්ධයෙන් අගමැතිවරයා ප්‍රමුඛ ඇමැති මණ්ඩලය ජනතාවට වග කිව යුතුය.
ජපානය ඒකීය රාජ්‍යයකි. එහි නීති සම්පාදන කාර්යය ඩෛයට් සභාව සතුවන අතර එය ඉහළ සහ පහළ යන මන්ත්‍රණ සභා දෙකකින් යුක්තය. එහි උත්තර සභාවේ කාර්ය පටිපාටිය බොහෝ සෙයින්ම ලංකාවේ පැවැති සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ තත්ත්වයට බොහෝ සෙයින්ම සමාන වේ.
මේ සියල්ල මෙසේ සිදුවන අතරේදී අප විසින් වටහාගත යුතු ප්‍රධානම කාරණය වන්නේ ජපන් රට දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී ලද නින්දා සහගත පරාජය තුළින් ලද අපකීර්තිය සහ අවමානය මකාගැනීම සම්බන්ධයෙන් ඇතිවූ ජාතික උද්‍යෝගය සහ අනලස්ව වැඩ කිරීම එම රටේ ආර්ථික සංවර්ධනයට මහත් සේ බලපෑ බවයි. එය එරට ඉතිහාසය හැදෑරීමේදී අපට දක්නට ලැබෙන වැදගත්ම පණිවුඩයයි.
අපේ කිට්ටුම අසල්වැසියා වන්නේ ඉන්දියාවයි. ව්‍යසනයක් අනාදිමත් කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට අතිමහත් ව්‍යසනයක් සිදුකළ රාජ්‍යය වන්නේ ද ඉන්දියාවයි. එරටින් හමන සුළඟ අපට වැස්ස ලබා දෙයි. සම්බන්ධය එපමණටම කිට්ටුය. එරට දේශපාලන ස්ථාවරභාවය මෙන්ම අස්ථාවර භාවයත් නිසැකවම අපට යහපත් හෝ අයහපත් හෝ ප්‍රතිඵල ලබා දේ. භූගෝලීය වශයෙන් මෙන්ම ජනගහනය අතින්ද දැවැන්ත රාජ්‍යයක් වූ ඉන්දියාව එක් රටක් වශයෙන් පවත්වා ගෙන යනු ලබන්නේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි. භූමි ප්‍රමාණයේ සහ ජනගහනයේ විශාලත්වය පමණටම අභ්‍යන්තර සහ බාහිර ප්‍රශ්න රැසකට මුහුණ දෙන රටක් වශයෙන් ඉන්දියාව ප්‍රසිද්ධය. ජාතිය, භාෂාව, ආගම, කුලය ආදී නොයෙකුත් භේදවලින් භින්නව සිටින එරට එකට බැඳ තබන ප්‍රධානතම බැම්ම වනුයේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. පුරාණයේ සිට පැවත එන මහා රාජ්‍ය සහ කුඩා රාජ්‍ය සිය ගණනකින් යුක්ත වූ භාරතය මෝගල් අධිරාජ්‍ය සමයේ බි්‍රතාන්‍යය යටතට පත් විය. එසේ වුවත් කුඩා රාජ්‍යයන් පාලනය කළ මහා රාජාවරු ඉතා බලවත් සුවිශේෂී වරප්‍රසාද සහිත සමාජ කණ්ඩායමක් වූහ. 1947 ඉන්දියාව නිදහස ලබන විට පැවැති ප්‍රාන්ත සමූහයක් ඒකරාශි කර ඉන්දියාව නමැති ඒකාබද්ධ රාජ්‍ය පිහිටුවන ලදී. නැගෙනහිර බෙංගාලය, නැගෙනහිර පන්ජාබය, වයඹ දිග ප්‍රාන්තය, සහ බලුකිස්ථානය යන ප්‍රාන්ත වෙන්කර පාකිස්ථානය නම් වූ වෙනම රාජ්‍යයන් ඇති කරන ලද්දේ අධිරාජ්‍යවාදී උවමනාව මතය. එදා පටන් මෙම රාජ්‍ය දෙක බලවත් සතුරෝ වෙති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ප්‍රකාශ කර ඇති ආකාරයට ඉන්දියාව අනාගමික රාජ්‍යයකි. බහුතරය හින්දූන් වුවත් විශාල සංඛ්‍යාවක් වන මුස්ලිම්වරුද සුළු වශයෙන් ඇති ෂික්, කතෝලික සහ ක්‍රිස්තියානුවන්ද ආරක්ෂා කිරීමට රාජ්‍ය බැඳී සිටී.
සෝමසිරි වික්‍රමසිංහ