පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා විසින් රැස්වීම් ශාලාව ඇමතූ අයුරු.
හිරු නොබසින අධිරාජ්‍ය ලෙස විරුදාවලිය ලත් මහා බි්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අපගේ මාතෘ භුමිය දීන බවින් මිදි නිදහස් රාජ්‍යයක් බවට පත්වූයේ 1948 පෙබරවාරි 04 වැනිදාය. ඒ වසර 133ක් අධිරාජ්‍යවාදයේ යටත්විජිතයක්ව පැවතීමෙන් පසුවය. 1947 දී බි්‍රතාන්‍ය රාජාණ්ඩුව විසින් ලංකා ස්වාධීනතා රාජාඥාව නිකුත් කරමින් 1948 පෙබරවාරි 04 දා සිට ලංකාව බි්‍රතාන්‍ය කිරීටයට යටත් ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් කරන ලදී. මෙම නිදහස් පනත හෙවත් රාජාඥාව ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමත් සමග නීතිගත විය. ඒ අනුව 1815 දී බි්‍රතාන්‍යයන් හට ගිවිසුමකින් පවරා දුන් මාතෘ භූමිය 1948 පෙබරවාරි 04 වැනිදා නිදහස් අසිරියෙන් ආලෝකමත් විය. මාතෘ භූමියේ අසිරියත්, ශ්‍රී විභූතියත් නිදහසේ රැව්පිළිරැව් දෙන්නට විය.
මේ ලියැවෙන්නේ අදින් වසර 72කට පෙර ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවුණු ඒ වාසනාවන්ත මොහොතේ මතක සටහනයි.
1948 පෙබරවාරි 04 වැනි දින පෙරවරු 7.30ට එළඹි සුබ මොහොතින් පළමු රාජ්‍ය තාන්ත්‍රික කටයුත්ත ලෙස කොළඹ රජ වාසලේ පැවති චාම් උත්සවයකදී නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා ලෙස ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මුවර් මහතා, අග්‍රවිනිශ්චයකාර ශ්‍රීමත් ජෝන් හොවාර්ඞ් සහ ලංකාවේ කැබිනට් මණ්ඩලය ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ අවස්ථාවේදී කපිතාන් ඩී. ජේ. කුටේගේ නායකත්වයෙන් යුතු රාජකීය ලංකා කාලතුවක්කු හමුදාවේ පළමුවන වෙරළාරක්ෂක රෙජිමේන්තුවේ ආචාර වෙඩිමුර 19 ක් තබන ලදි.
අනතුරුව නව අග්‍රාණ්ඩුකාරවරයා කැබිනට් මණ්ඩලය සමඟ සාමුහික ඡායාරූපයකට පෙනීසිටි අතර පෙ.ව 9.35ට ගුවන් විදුලියෙන් ජාතික ඇමතීය. “මෙරට වාසීන්ට මෙතෙක් තිබුණාට වඩා උසස් නිදහසක් ලබා දෙන්නට මේ උදා වූ නිදහසට නොපුළුවන් වුවහොත්, එබඳු නිදහසකින් පලක් නැත්තේය” යැයි ලංකාවේ අභිනව අග්‍රාණ්ඩුකාරවරයා ගුවන් විදුලිය මගින් කළ සභාවේ දී ප්‍රකාශ කළේය. පෙ.ව 9.45ට නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වන ඩී. එස්. සේනානායක මහතා සිංහලෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් ගුවන් විදුලිය මගින් ජාතිය අමතා කතා කළේය. එහිදී ‘ලංකාව ලබාගත් නිදහස බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ආධ්‍යාත්මික නිදහසට දෙවැනිකොට සැලකිය හැකි යැයි” ප්‍රකාශ කළේය.
ලංකා නිදහස් පනත වලංගු වීමත් සමගම මෙතෙක් අග්‍රාණ්ඩුකාරවරයාගේ බාරයේ තිබූ ලංකාවේ ආරක්ෂක කටයුතු හා විදේශ කටයුතු පිළිබද වගකීම් අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා වෙත පැවරීමෙන් නිදහස පරිපූර්ණත්වයට පත් කරන ලදි.
රැස්වීම් ශාලාවේ රාජකීය අමුත්තන් වෙනුවෙන් තනා ඇති විශේෂ වේදිකාව.
පෙබරවාරි 04 වැනි දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද අතර පෙබරවාරි 10, 11 සහ 12 යන දිනයන්ද රජයේ නිවාඩු දිනයන් ලෙස නම් කරන ලදි. ඒ අනුව පෙබරවාරි 4 වැනි දින සිට 16 දින දක්වා රාජ්‍ය උත්සව මාලාවක් සංවිධානය කර තිබුණි. නිදහස් උත්සවය නිමිති කොටගෙන සිරකරුවන් 1883 දෙනෙකුට නිදහස හිමි වූ අතර මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවන් 9 දෙනෙකුද නිදහස ලැබීය. 4 සහ 5 දෙදින තුළ සත්ව ඝාතන ස්ථානයන් ද වසා දමන ලදි. සෑම රාජ්‍ය ආයතනයකම, පෞද්ගලික ආයතන සියල්ලකම ද, ආගමික ස්ථාන හා නිවෙස්වල ද සිංහ කොඩිය ඔසවා තිබු අතර ලංකා ස්වාධීනතා පනත පිළිබඳව සියලු විස්තර පුවත් පත් හරහා ජනතාවට දැන ගැනීමට සලස්වන ලදි. පෙබරවාරි 4 වැනිදා පැවැත්වීමට නියමිත වැඩසටහන්, ග්ලෝස්ටර් ආදි පාදවරයාගේ පැමිණීම පිළිගැනීම ආදිය සියලු කරුණු රටේ සන්නිවේදනය කරන ලද්දේ පුවත්පත් මගින් වීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ යුතුය.
1948 පෙබරවාරි 04 වන දින නිදහස ලැබූ නමුත්, එදින ඒ සම්බන්ධයෙන් නිල උත්සවයක් නොවීය. එදින ඒ සම්බන්ධයෙන් සිදු වූ එකම නිල කටයුත්ත වූයේ, බි්‍රතාන්‍ය ආණ්ඩුව විසින් ලංකා අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ නිර්දේශය පරිදි පත්කරන ලද අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මුවර්තුමාගේ දිව්රුම් දීම, ආගමික උත්සව පැවැත්වීම හා වෙනත් උත්සව පැවැත්වීමකි. ඒ අනුව නිදහස් දිනය සම්බන්ධ නිල උත්සවය පැවැත්වූයේ 1948 පෙබරවාරි මස 10 වන දිනයේදීය.
නිදහස් උත්සව මාලාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ එංගලන්තයේ 6 වැනි ජෝර්ජ් රජුගේ බාල සොහොයුරා වූ ග්ලෝස්ටර් ආදි පාද තුමාය. එතුමා 1945 සිට 1947 දක්වා ඕස්ටේ්‍රලියාවේ අග්‍රාණ්ඩුකාර ධුරයද, අල්ස්ටර් හි අර්ල් පදවිය ද සහ බි්‍රතාන්‍යයට අයත් රටවල ළමා සංගම් පිළිබඳ ජාතික සංගමයේ සභාපති ධුරය ද දරා තිබේ. ලංකාව බි්‍රතාන්‍යයේ යටත් විජිතයක් වූ පසු බි්‍රතාන්‍යයට ගෙන යන ලද රාජසිංහ රජුගේ සිංහාසනය, ඔටුන්න ඇතුළු කෞතුක භාණ්ඩ 1934 දී ශ්‍රී ලංකාවට නැවත බාරදෙනු ලැබුවේද ග්ලෝස්ටර් ආදිපාද වරයාගේ මැදිහත්වීමෙනි.
නිදහස් උත්සව මාලාවේ ප්‍රධානතම උත්සවය වූයේ 1948 පෙබරවාරි 10 වැනිදා පැවැත් වූ ප්‍රථම පාර්ලිමේන්තු සභාවාරයයි. මෙම උත්සවය පැවැත්වීමට මහනුවර මඟුල් මඩුවේ හා පුරාණ ඇතන්ස් නුවර හර්තොන් ශාලාවේ ආකෘතිය ඇසුරෙන් කොළඹ ටොරින්ටන් චතුරස්‍ර භූමියේ රැස්වීම් ශාලාවක් ඉදිකර තිබුණි. එහි ප්‍රධාන දොරටුව මකර තොරණකින්ද, පොළවට බුමුතුරුණු ද යොදා සකසා තිබුණි. උත්සවය පැවැත්වෙන වේදිකාවේ ග්ලෝස්ටර් ආදිපාදවරයා අසුන් ගත්තේය. ආසනවලට ඉහළින් විශේෂ පීඨයක් තනා තිබුණු අතර ඒ පීඨය මත වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිංහාසනයයි.
අග්‍රාණ්ඩුකාරතුමාගේ නිල නිවසේ සිට ග්ලෝස්ටර් ආදි පාදතුමන් හා එම දේවිය ටොරින්ටන් චතුරස්‍ර භූමියට පැමිණියේ විශේෂ පෙරහැරකිනි. අනතුරුව නියෝජිත මන්ත්‍රී ගොඩනැගිල්ල අසලින් කොළඹ නගරාධිපතිවරයා ප්‍රමුඛ නාගරික මන්ත්‍රීවරු ද, පසුව විශේෂ අමුත්තන්, නියෝජිත මන්ත්‍රීවරු සහ සෙනෙට් සභිකයන් ද පිරිස් පෙරහැරට එකතු වූහ. අලුත්කඬේ සිට පෙරහැරකින් පැමිණි අධිකරණ විනිශ්චයකාරවරු ද පර්සන් හන්දියේ දී මහ පෙරහැරට එකතු වූහ. පෙරහැර නැරඹීමට මග දෙපස විශාල ජනකායක් එක්ව සිටියහ.
පෙරවරු 10.30ට පමණ ග්ලෝස්ටර් ආදි පාදතුමා උත්සව භූමියට පැමිණි අවස්ථාවේ රාජකීය ලංකා කාලතුවක්කු හමුදාවේ පළමුවන වෙරළාරක්ෂක රෙජිමේන්තුව විසින් වෙඩිමුර 21ක් පැවැත්වීය. අනතුරුව ලංකා පාබළ හමුදාවත්, නාවික ස්වේච්ඡා සේවක හමුදාවත් ගෞරව පෙළපාළි පැවැත් වූ අතර පෙරහැර මගින් රැගෙන ආ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔටුන්න සහ අසිපත සිංහාසනය මත තැන්පත් කිරීමෙන් පසුව සියලු දෙනා රැස්වීම් ශාලාවේ අසුන් ගත්හ. නව පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් සභාව යනුවෙන් කොටස් 2 කින් සමන්විත විය.
ශ්‍රී ලංකාවේ ඩොමීනියන් පාර්ලිමේන්තුව විවෘත කරනු ලබන අවස්ථාවේ ග්ලෝස්ටර් ආදිපාදවරයා සිය අසුන්හි හිඳගෙන රාජාසනයේ කතාව පැවැත්වීය. රාජාසනයේ කතාවෙන් පසුව නියෝජිත මන්ත්‍රණ සභාවේ සභානායකවරයා වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාද සෙනෙට් සභාවේ සභාපතිවරයා වූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාද, ස්තූති කතා පැවැත්වූහ. පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව රැස්වීම් ශාලාව ඉදිරියේ සවිකරණ ලද සිංහ කොඩිය බෙරවාදන මධ්‍යයේ අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා විසින් ග්ලෝස්ටර් ආදිපාදවරයා ඉදිරියේ ඔසවන ලදි.
මෙම අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයා සිංහල භාෂාවෙන් ජාතිය ඇමතූ අතර එහි දෙමළ භාෂා පිටපත් බෙදාහරින ලදි. මෙම අවස්ථාවෙන් පසු ටොරින්ටන් චතුරස්‍රය නිදහස් චතුරස්‍රය නමින් හඳුන්වන ලදි.
ග්ලෝස්ටර් ආදිපාදතුමා විසින් රාජාසනයේ කතාව කියවීමට පෙර එය අග්‍රාමාත්‍යවරයා විසින් ආදිපාදතුමා අතට පිළිගැන්වූ අයුරු.
මාතෘ භූමියට නිදහස ලැබීම නිමිති කොටගෙන පෙබරවාරි 12 වැනිදා මහනුවර නගරයේ උත්සව කිහිපයක්ම සංවිධානය කර තිබූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේද ග්ලෝස්ටර් ආදිපාදතුමාය. ඒ අනුව 11 වැනිදා පෙරවරු 9.30ට ආදිපාදතුමා හා දේවිය ද, අග්‍රාණ්ඩුකාරතුමා හා ආර්යාව ද, අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ සෙනෙට් සභිකයන්ද හා මහජන මන්ත්‍රීවරු ඇතුළු පිරිස කොළඹ සිට මහනුවර බලා පිටත් වූහ. ආදිපාද යුවළ රැගත් රිය පෙරහැර නැරඹීමට විශාල ජනකායක් මඟ දෙපස රැස්ව සිටියහ. මිරිස්වත්ත හන්දියේ දී ඇතුන් 40 දෙනෙකු විසින් රිය පෙරහැරට කුංචනාද පවත්වන ලදි. එසේම ගම්බද කාන්තාවෝ රබන් ගසමින් ගෞරවය මුසු ප්‍රීතිය පළ කළහ.
සභානායක එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් ආදිපාදතුමා වෙනුවෙන් හොරගොල්ල වලව්වේ දී පිළිගෙන තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි. එතැනින් නැවතත් පිටත්වූ රිය පෙරහැර ආදිපාදතුමාට හා දේවියට දිවා භෝජනය සඳහා කෑගල්ලේදී නවත්වන ලදි. කෑගල්ලේ දී රාජකීය අමුත්තන්ට භෝජන සංග්‍රහය පවත්වන ලද්දේ ශ්‍රීමත් ජෙරාඞ් විජේකෝන් මහතා විසිනි. අනතුරුව රාජකීය පෙරහැර කඩුගන්නාවට ආසන්න වූ අවස්ථාවේ මධ්‍යම පළාතේ ආණ්ඩුවේ ඒජන්ත එස්. එස්. අමරසිංහ මහතා විසින් අමුත්තන් පිළිගන්නා ලද අතර මහනුවරට සම්ප්‍රාප්ත වූ ආදිපාද යුවළ මහනුවර ‘පිනික්ස්’ වත්තේදී මහනුවර නගරාධිපති ඒ. සී. එල්. රත්වත්තේ මහතා සහ එම මැතිනිය විසින් පිළිගන්නා ලදි. වත්තේ වූ විශාල මන්දිරයේ දී නාගරික සභා රැස්වීමක් ද පවත්වන ලදි. එදින ආදිපාදතුමා සහ දේවිය මහනුවර රජමැදුරේ රාත්‍රිය ගත කළහ.
පෙබරවාරි 12 වැනි දින පෙරවරු 10 ට ආදිපාද යුවළ මල්වතු අස්ගිරි නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මහා සංඝයා වහන්සේලා හා අදිකාරම් දිසාපති ආදි උඩරට ප්‍රභූන් ඇතුළු මහජනයා ආදිපාදතුමා සහ දේවිය මහනුවර මඟුල් මඩුවේදී පුරාණ සිංහල චාරිත්‍රානුකූලව ගෞරවයෙන් පිළිගනු ලැබූහ. මේ අවස්ථාවේ දී මහ අධිකාරම් ටිකිරි බණ්ඩා පානබොක්කේ මහතා රාජකීය යුවළ පිළිගනිමින් කතාවක් කළේය.
මඟුල් මඩුවේ උත්සවයෙන් පසුව රාජකීය අමුත්තන් ඇතුළු පිරිස පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියට සම්ප්‍රාප්ත වූහ. එහිදී විශ්වවිද්‍යාලයේ කුලපති අයිවර් ජෙනිංග්ස් මහතා ග්ලෝස්ටර් ආදිපාදතුමාට විශ්ව විද්‍යාලයේ ගෞරවනීය ආචාර්ය උපාධියක් පිරිනමන ලද්දේය. එසේම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක, සෝල්බරි සාමි සහ දොස්තර ඇන්ඩි්‍රයස් නෙල් යන මහත්වරුන්ටද ආචාර්ය ජෙනිංග්ස් මහතා විසින් එම උපාධියම පිරිනමන ලදි. උපාධි පිරිනැමීමේ උත්සවයෙන් අනතුරුව විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ග්ලෝස්ටර් ආදිපාදවරයා විසින් මුල්ගල තබන ලදි. එදින රාත්‍රි 9ට පමණ ආදිපාද යුවළ දළදා මැදුරට පිවිසි අතර දියවඩන නිලමේ පී. බී. නුගවෙල මහතා විසින් ඔවුන් පිළිගෙන පත්තිරිප්පුව කරා ඔවුන් කැඳවාගෙන යන ලදි. අනතුරුව එළඹුණේ පත්තිරිප්පුවේ දී සිංහ කොඩිය එසවීමේ ඓතිහාසික අවස්ථාවය. වසර 133කට පමණ පෙර බි්‍රතාන්‍යයන් විසින් එම ස්ථානයේ දී පහතට හෙළන ලද ජාතික කොඩිය එදින අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා යළිත් ඉහළට එසෙව්වේය. සතුටින් ඉපිල ගිය ජනයා ඒ මොහොතේ සාදුකාර නැගූහ. දළදා මාලිගාව ඇතුළු මුළු මහනුවරම එදා නිදහසේ අසිරියෙන් ආලෝකමත් විය.
පසුදින එනම් පෙබරවාරි 13 වැනිදා ග්ලෝස්ටර් ආදිපාද යුවළ පොළොන්නරුව කරා පිටත්ව ගියහ. එහිදී පුරා විද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණ විතාන මහතා විසින් රාජකීය අමුත්තන් පිළිගන්නා ලදි. පොළොන්නරුවේ ඓතිහාසික ස්ථාන නැරඹීමෙන් අනතුරුව ඩී. එස්. සේනානායක මහතා සමග මින්නේරිය නව ජනපදය කරාද ඔවුන් කැඳවාගෙන යන ලදි. පෙබරවාරි 14 වන දින රාජකීය පිරිස අනුරාධපුරයට සම්ප්‍රාප්ත වූහ. එහිදී ශ්‍රී මහා බෝසමිඳුන් දැකබලා ගත්හ. අනතුරුව පුත්තලම නගරයට ද, හලාවත නගරයට ද සහ මීගමුව නගරයට ද රාජකීය පිරිස සම්ප්‍රාප්ත වූහ. ඒ සෑම නගරයෙහිම උත්සවය සඳහා විශාල තොරන් ඉතා අලංකාර ලෙස සරසා තිබුණේය. එම උත්සව සඳහා මහජනතාව ද විශාල පිරිසක් සහභාගි වූහ. පෙබරවාරි 15 දින පස්වරු 4ට පමණ රාජකීය පිරිස කොළඹට සම්ප්‍රාප්ත වූහ. පසුදින ඔවුන් වෙනුවෙන් නිදහස් උත්සව පෙරහැරක්ද සංවිධානය කර තිබුණි. පෙබරවාරි 16 වැනිදා ග්ලෝස්ටර් ආදිපාද යුවළ සඳහා කතානායක ඒ. එෆ්. මොලමුරේ මහතා විසින් ස්වකීය වාසස්ථානය වන “මුට්ටාස් මහල්” හි රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදි. එදින රාත්‍රියේ ආදිපාද යුවළ වෙනුවෙන් පැරණි සිංහල නැටුම් හා නාට්‍ය ඇතුළත් සංදර්ශනයක් නිදහස් චතුරස්‍ර රැස්වීම් ශාලාවේ පවත්වන ලද අතර එය නිදහස් උත්සව මාලාවේ අවසාන කටයුත්ත විය.
පෙබරවාරි 17 වැනි දින පෙරවරු 8.30 ට පමණ අග්‍රාණ්ඩුකාරතුමා හා එම මැතිනියද, අග්‍රාමාත්‍යවරයා ද විසින් ග්ලෝස්ටර් ආදිපාද යුවළ කටුනායක ගුවන් තොටුපොල කරා ආචාර පෙළපාළියකින් කැඳවාගෙන යන ලදී. එහිදී ආදිපාද යුවළ ඔවුනට ශුභ ප්‍රාර්ථනා කළ අතර තමන් ලංකාවට පැමිණි ‘එන්ඬේවර්’ ගුවන් යානයට නැගීමට පෙර රැස්ව සිටි පිරිසට අත්වනමින් ආචාර කිරීමට ද අමතක නොකළහ. එසේම ලංකා වාසීන්ගේ භත්‍යාදර පිළිගැනීම ගැන පැසසුම් ලබා දෙමින් දිවයිනෙන් පිටත්ව යාමට පෙර පණිවුඩයක් ද තැබුවේය.
1948 නිදහස් දින උත්සවයේදී ගායනා වූ ජාතික ගීය වූයේ “ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා ජය ජය” යන ජාතික ගීයයි. එය පී.බී. ඉලංගසිංහ නොතාරිස් මහතා විසින් රචනා කරන ලද අතර සංගීතවත් කළේ ලයනල් එදිරිසිංහ මහතාය. එම ජාතික ගීය ගායනා කිරීම එදිනට සීමා වූ අතර ආනන්ද සමරකෝන් මහතා රචනා කර සංගීතවත් කරමින් ස්වර්ණ ද සිල්වා මහතා ගයනා කරන ලද “නමෝ නමෝ මාතා” ජාතික ගීය ලෙස පිළිගෙන ගායනා කරන ලද්දේ 1949 දෙවන නිදහස් දින උත්සවයේ සිටය.
ග්ලෝස්ටර් ආදිපාද යුවල රැගත් රිය පෙරහර යන අවස්ථාවේ මග දෙපස පිරී සිටි ජනතාව.
ලංකාවාසීන් වන අප අපේ නිදහස් දිනය ලෙස සලකනු ලබන්නේ බි්‍රතාන්‍යයන් ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලබාදුන් දිනයයි. එම නිදහස යම් සීමා මායිම් ද දැකගත හැකි වුණි. නිදර්ශනයක් ලෙස ලාංකිකයෙකුට යුක්තිය හා සාධාරණත්වය උදෙසා බි්‍රතාන්‍යයේ ප්‍රිවි කවුන්සිලය දක්වා ගමන් කළ හැකිව තිබුණු අතර තවදුරටත් ලංකාව බි්‍රතාන්‍ය කිරීටයේ පාලනයට නතුව තිබුණි.
1948 පෙබරවාරි 04 වැනිදා මෙම ඩොමීනියන් තත්ත්වයේ නිදහස එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව උත්සවාකාරයෙන් සමරන ලදි. 1972 වර්ෂයේ දී ලංකාව ඩොමීනියන් තත්ත්වයේ පාලකයෝ සම්පූර්ණයෙන් ඉවත් වී ජනරජයක් බවට පත් වූ නමුත් ජනරජ දිනයට වඩා උත්කර්ෂවත් අයුරින් සමරනු ලබන්නේ ඩොමීනියන් නිදහස දිනාගත් දිනයයි.
එම්. තාරික්
ඡායාරූප අන්තර්ජාලයෙනි