පළමු වතු කම්කරු සමිතිය බිහිවෙයි


ඩී. ඇම්. මනිලාල් සහ ඔහුගේ පවුලේ අය

 

 

ඉතාම සූරා කනු ලැබූ කම්කරු පංති කොටස වූයේ වතු කම්කරුවන්ය. තම ආර්ථික තත්ත්වයට විරුද්ධව එල්ල වුණු තර්ජනය තේරුම් ගත් වතු හිමියෝ වෘත්තීය සමිති සටන් මර්දනය කිරීම සඳහා යුහුසුලු වූහ. ඒ අනුව වෘත්තීය සමිතියෙන් වතු හිමියන්ගේ සංගමය වෙත ලැබුණු කිසිදු ලිපියකට පිළිතුරු නොයවන ලෙස වතු අධිකාරීන්ට නියෝග කරන ලදී. එසේම සමිතියෙන් ලැබුණු සියලු පෙත්සම් නොතකා හරින ලෙස වතු හිමියෝ ඉන්දියානු ආණ්ඩුවේ නියෝජිත කේ. වී. ඇස්. මෙනන් ගෙන් ද ඉල්ලීම් කළහ. නමුත් ඒ ඉල්ලිම් ප්‍රතික්ෂේප කළ ඔහු කුමන සංවිධානයෙන් එවනු ලැබූවද කම්කරුවන්ගේ අත්සන් හෝ ඇඟිලි සලකුණු සහිත පෙත්සම් සම්පූර්ණයෙන් නොතකාහැරීම දුෂ්කර බැව් කීවේය. ඇතැම් මහේස්ත්‍රාත්වරුන් වතු කම්කරුවන්ගෙන් තමන්ට ලැබුණු පෙත්සම් වතු අධිකාරීන් වෙත යැවූ අවස්ථාද විය. මෙම ක්‍රියාවන් ‘යුක්තිය විහිළුවකට හැරවීමක්” ලෙස නඬේස අයියර් විසින් හෙළාදකින ලදී.


1936 දී හැටන් ආසනය නියෝජනය කළ නඬේස අයියර් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වූයේ වතු කම්කරුවන් වැඩි බහුතරයකගේ කැමැත්ත ලබා ගනිමිනි. ලෝක වෙළඳපොළේ තේ මිල පහත වැටී ඇති බව පවසමින් වතු හිමියෝ කම්කරුවන්ගේ වැටුප් කප්පාදුවට සැරසුණු සෑම මොහොතකම නඬේස අයියර් එය පරාජය කිරීමට පෙරමුණ ගත්තේය. වතුවල නිතර ඇතිවන වැඩ වර්ජන ගැන කැමැත්තක් නොදැක්වූ වතු හිමියන් 1933 දී යෝජනා කර සිටියේ කම්කරු සමිති රජයේ ලියාපදිංචි කළ යුතු බවය. එසේ නොමැතිව වැඩ වර්ජනය කිරීම නීතිවිරෝධී ක්‍රියාවන් ලෙස සලකන ලෙස වතු හිමියෝ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ. 1935 දී මේ ඉල්ලීමට අනුමැතිය ලැබුණු අතර වතු කම්කරුවන් නියෝජනය කළ පළමු වෘත්තීය සමිතිය වූ නඬේස අයියර්ගේ සමස්ත ලංකා ඉන්දීය වතු කම්කරු සම්මේලනය 1937 ජනවාරි 19 වැනිදා ලියාපදිංචි කරන ලද්දේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
30 දශකය අගභාගය වන විට වතු කම්කරුවන් ඔවුනට එතෙක් එල්ල වූ පීඩනයට එරෙහිව නැගී සිටින්නට වූ අතර ඊට එරෙහිව වතු හිමියන් පොලිසිය කැඳවීමෙන් වතු කම්කරුවන් හා පොලිසිය අතර ගැටුම් තත්ත්වයන් නිරන්තරයෙන් වර්ධනය විය. බොගවන්තලාව, කොටියාගල වත්තේ වතු අධිකාරියට එරෙහිව වතු කම්කරුවන් දහසකගේ වර්ජනයෙන් ඇරඹි උද්ඝෝෂණ රැල්ල අනෙකුත් වතු කරාද පැතිරිණි. ඒ අනුව මුල්ඔය වත්තේ සටනින් එක් වතු කම්කරුවෙකු පොලිසිය වෙඩි තබා මරා දමන ලදී. රම්බොඩ වත්තේ වර්ජනයට කම්කරුවෝ හත්සියයක් දෙනා එක්ව සිටියහ. මෙම අවධියේ ලංකා සම සමාජ පක්ෂයද වතු කම්කරුවන් අතර සිය දේශපාලන කටයුතු ලංකා වතු කම්කරු සංගමය ඔස්සේ දියත් කරන ලදී. විශේෂයෙන් සම සමාජ පක්ෂයට හිතවත් සහකාර වතු පාලකයෙකු වූ මාර්ක් බ්‍රෙස්ගර්ඩල් ගේ මැදිහත් වීම වතු කම්කරුවන් අතර උද්යෝගයක් ඇති කරන්නට සමත් විය. බදුල්ල වේවැස්ස වත්තේ බලය අල්ලා ගැනීමට වතු කම්කරුවන් සමත් වීමත් සමග පරිපාලනය විසින් පොලිසිය කැඳවුවද, පොලිස් බලඇණි සතුව තිබූ ගිනිඅවි තමන් සන්තක කර ගැනීමට කම්කරුවෝ සමත් වූහ. එහෙත් එම වත්තේ කම්කරු සමිතිය මෙහෙය වූ ලංකා සම සමාජ පක්ෂ නායකයෝ මෙය අනුමත නොකළහ. ඒ අනුව ලබාගත් ගිනිඅවි යළි පොලිසියට ලබා දීමට කම්කරුවන්ට සිදුවිය. කෙසේ වුවද පැතිරෙන සටන්කාමී තත්ත්වයෙන් සසල වූ වතු හිමියෝ ඊට විසඳුමක් ලෙස වතු වෘත්තීය සමිති සමග සාකච්ඡා කරන්නට තීරණය කළහ. වතු ක්ෂේත්‍රයේ සාමකාමී වටපිටාවක් නිර්මාණය කර ගැනීම වතු හිමියන්ගේ ඒකායන අරමුණ විය. ඒ අනුව එවකට ප්‍රබලම වෘත්තීය සමිතිය ලෙස සැලකුණු නඬේස අයියර්ගේ කම්කරු සමිතිය හා ලංකා සම සමාජ පක්ෂයට අනුබද්ධ කම්කරු සමිතිය සමග සාකච්ඡා ආරම්භ වූ අතර අනතුරුව ලංකා ඉන්දීය කොංග්‍රසයේ වෘත්තීය සමිතිය සමගද සාකච්ඡා කරමින් වතු හාම්පුතුන් හා වෘත්තීය සමිති අතර සාමුහික ගිවිසුමක් අත්සන් කිරීමට එකඟත්වයකට පැමිණෙන ලදී.


මෙම සාමුහික ගිවිසුම 1942 දී අත්සන් තබන ලද අතර මූලික යෝජනා හතක් ඇතුළත් විය. ඒ අනුව වෘත්තීය සමිතියකට බැඳීම කම්කරු අයිතියක් ලෙස සලකමින් ඕනෑම ඉල්ලීමක් එහි නියෝජිතයෙක් සමග සාකච්ඡා කිරීමට එකඟතාවක් ඇති කරගන්නා ලදී. එසේ විසඳුමක් ලබාගත නොහැකි වූ විට කම්කරු දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම, මැදිහත්කරුවකු මගින් සමථකරණයෙන් හා බේරුම්කරුවකු මගින් ආරවුල් විසඳා ගැනීම ඇතුළු මූලික කරුණුවලින් සමන්විත විය. ලංකා ඉන්දීය කම්කරු සම්මේලනය වෙනුවෙන් වර්නන් ගුණසේකරද, ලංකා - ඉන්දියා කොංග්‍රස් කම්කරු සංගමය වෙනුවෙන් ජී. ඇස්. මෝතා යන අය ගිවිසුමට අත්සන් තැබූහ. මෙම සාමුහික ගිවිසුම මගින් කම්කරු ව්‍යාපාරය දුර්මුඛ කරමින් වැඩ වර්ජනවලින් රැකවරණය ලබා ගැනීමට වතු හාම්පුතුන්ට හැකියාව ලැබුණි.


ඊට අමතරව එතෙක් වතු හාම්පුතුන්ට හිසරදයක් ගෙන දුන් වතු කම්කරු නායක නඬේස අයියර් වතු ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීමට සූක්ෂ්ම කුමන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වෙමින් තිබිණි. ඒ අනුව වතු කම්කරුවන් ඔහු කෙරෙහි තිබූ බැඳීම බිඳලීම සඳහා නාදන් නමැත්තෙක් ලවා “ඌරියන්’ නමින් පුවත්පතක් පළකරවා එය වතුකම්කරුවන් අතර බෙදාහැරීමට වතු පාලකයෝ කටයුතු කළහ. ඒ සඳහා වන සියලුම වියදම් වතු පාලකයන් විසින් දරන ලදී. එසේම නඬේස අයියර්ගේ දේසභක්තන් පුවත්පත පළ කරන ලිපිවලට පිළිතුරු හා අවලාද ව්‍යාපාරයක් ඌරියන් පත්‍රය හරහා දියත් කෙරුණි. නඬේස අයියර් හා වතුකම්කරුවන් අතර භේද ඇති කිරීමට ඔහුගේ බ්‍රාහ්මණ වංශික පසුබිමද ඉතා නින්දිත අයුරින් යොදා ගැනීමට වතු පාලකයෝ කටයුතු කළහ. මේ ක්‍රියාවන් තුළින් ව්‍යවස්ථාදායක සභාවේදී වතු කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් නඬේස අයියර් නැගු හඬට තිත තැබීමේ ප්‍රයත්නය සාර්ථක වූයේය. ඒ අනුව 1947 දී පැවැති මැතිවරණය සඳහා මස්කෙළිය ආසනයෙන් තරග කළ නඬේස අයියර් පරාජය විය. 


සිංහල ජනතාවටද වතුකරයේ සේවය කිරීමට අවස්ථාවක් උදාකර දිය යුතු යැයි නඬේස අයියර් සඳහන් කළේය. අක්මීමන, අකුරැස්ස සහ කටුගස්තොට වැනි ප්‍රදේශවල නියෝජිත කාර්යාලයන් පිහිටුවා ඒ පිළිබඳව දැන්වීම්, අත් පත්‍රිකා ආදිය මුද්‍රණය කොට බෙදාහැරිය බව 1938 දී ප්‍රකාශයට පත් කරන ලද පරිපාලන වාර්තාවේ සඳහන් වේ. සියයට විසිපහක ප්‍රතිශතයක් සිංහල ජනතාව කම්කරුවන් ලෙස සෑම වතුයායකම සේවය කළ යුතු බවත් එසේ කිරීමෙන් වතුකරයේ ඉන්දීය කම්කරුවන්ගේ මනෝභාවය, කෘතගුණභාවය හා වහල් චින්තනය වැනි කරුණු වටහා ගෙන එකිනෙකා අතර අන්‍යොන්‍ය අවබෝධය ඇතිකර ගැනීමට ඉවහල් වන බවත්, ඔහු තරයේ විශ්වාස කළේය. වාර්ගික ඒකාබද්ධතාව තහවුරු කර ගැනීමට ඇති එකම මාර්ගය එය බවද වැඩිදුරටත් පැවසීය.


දක්ෂ ග්‍රන්ථ සංස්කාරකවරයකු වූ නඬේස අයියර් දමිළ හා ඉංග්‍රීසි බසින් කෘතීන් පහළොවක් පමණ එළිදැක්වීය. එම කෘතීන්ගෙන් එකක් වන ‘කම්කරුවාගේ නීති පොත’ නමැති කෘතියෙන් පමණක් පිටපත් දස දහසක් මුද්‍රණය කරන ලදී. ඔහු විසින් සංස්කරණය කරන ලද තවත් කෘතියක් වූ ‘වතු සාම්රාජ්‍ය’ නමැති කෘතිය වතු අධිකාරීන් හා කංකානම්වරුන් එක් වී සියල්ල මිලට ලබාගෙන පුලුස්සා විනාශ කරන ලදී. එම කෘතිය වතු හිමියන්ගේ සුඛෝපභෝගී ජීවිතය ජනතාවට හෙළි කිරීම උදෙසා ලියන ලද්දකි.


පීඩිත වතු කම්කරු ජනතාවට ඉමහත් මෙහෙයක් සිදු කළ කේ. නඬේස අයියර් මහතා 1947 නොවැම්බර් 7 වන දින අභාවප්‍රාප්ත වූ අතර අවසන් කටයුතු කොළඹ කනත්තේදී සිදු කරන ලදී. වතු හිමි පාලකයන්ගේ කුරිරුකම් බිඳහෙළමින් වතු කම්කරුවන්ට නිදහස සොයා තම කාලය ශ්‍රමය මෙන්ම සියලු දේ කැපකළ ප්‍රතාපවත් මිනිසෙකු වූ නඬේස අයියර්ගේ කාර්යභාරය සදාණුස්මරණීය බව ගෞරවයෙන් සඳහන් කළ යුතුය.

 

 

එම්. තාරික්