පළාත් පාලන ඇමතිට “සුබ මංගලම්”


 

පළාත් පාලන යන වචන ඇහුණු සැණින්ම අපගේ සිහියට නැගෙන්නේ රටට විහිළු සපයන එක්තරා ආයතනයකි. තමන්ගේ නියමිත කාර්යභාරය සපුරාගැනීමට අපොහොසත්ව විවිධ වැල්වටාරම් කියාපාමින් සිටින එම ආයතනය මහ ජනතාවගේ මෙන්ම වෙනත් පාර්ශ්වවල ද දැඩි විවේචනයන්ට ගොදුරු වෙමින් තිබේ. මෙම ලිපිය මගින් අප උත්සාහ කරන්නේ එම සිදුවීම් ගැන විස්තර කිරීමට නොවේ.

 

හිටපු කීර්තිමත් පළාත් පාලන ඇමැතිවරයකු ගැනත් රටේ ඉතිහාසය වෙනස් කිරීමට ද සමත් වූ එතුමාගේ විවාහ මංගල්‍යය සම්බන්ධයෙන් වූ රසවත් කතා පුවත පාඨක ඔබ වෙත ඉදිරිපත් කිරීමටය. එම විවාහය සිදුවූවේම පළාත් පාලනය නිසාම වීම නිසා මෙම කතාව මාතෘකාවට අදාළ වේ.


ඩොනමෝර් කොමිසමේ නිර්දේශය පරිදි ශ්‍රී ලංකාවාසී ජනතාවට 1931 දී සර්වජන ඡන්ද බලය හිමි විය. ආසන පනහකින් යුතු රාජ්‍ය මන්ත්‍රණ සභාවක් පිහිටුවන ලද අතර එම මන්ත්‍රීන් කමිටු හතකට බෙදන ලදී. එම කමිටුවක සභාපතිවරයා අදාළ ක්‍ෂේත්‍රයේ ඇමැතිවරයා ලෙස සලකනු ලැබීම එකල ප්‍රතිපත්තිය වූවේය. 1931 දී පිහිට වූ පළාත් පාලන කටයුතු භාර කාරක සභාවේ සභාපතිවරයා වූවේ සී. බටුවන්තුඩාව මහතාය. එහි දෙවැනියා වශයෙන් සලකනු ලැබුවේ එවකට වේයන්ගොඩ ආසනය නියෝජනය කළ රාජ්‍ය මන්ත්‍රීවරයා ද වූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාය. 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීන් පත් කර ගන්නා අවස්ථාව වනවිට බටුවන්තුඩාව මහතා මිය පරලොව ගොස් තිබුණු නිසා එවර පළාත් පාලන කාරක සභාවේ සභාපති ලෙස තෝරා ගත්තේ එම වාරයේදීත් නිතරගයෙන්ම වේයන්ගොඩ ආසනයට පත්ව ආ බණ්ඩාරනායක මහතාවය.


බි්‍රතාන්‍ය අධිරාජ්‍ය පාලනය පැවති එම යුගයේ රාජ්‍ය සේවයේ දේශියකුට ලබාගත හැකි ඉහළම තනතුර ලෙස පිළිගනු ලැබූ මහමුදලි පදවිය දැරූ සර් සොලමන් ඩයස් බණ්ඩාරනායකයන්ගේ සහ එම පතිනි ඬේසි ඇස්ලින් ඔබේසේකර ළමාතැනියගේ එකම පුත්‍රයා ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්ය. බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ දී ලබන ලද අධ්‍යාපනයෙන් පසු බැරිස්ටර්වරයකු ලෙස සමත්ව මව්බිමට සැපත්වීමෙන් පසු නීති වෘත්තියේ යෙදෙන අතරේ ඔහු දේශපාලන ක්‍ෂේත්‍රයට යොමු වීමෙන් මෙසේ ඇමැති ධුරයකට පත්වූයේය. රාජ රාජ මහාමාත්‍යාදීන් නිතර ආ ගිය හොරගොල්ල වලව්ව නමැති සුඛෝපභෝගී මහා මන්දිරය ද ඇතුළත් පියා සතු අක්කර දහස් ගණනක අති විශාල දේපළකට මෙන්ම මව්පිය උභය පාර්ශ්වයෙන්ම ලද මහේශාක්‍ය ඥාති පරපුරක් ද සිටියාවුවත් ඇමැති පදවිය ලැබෙද්දීත් බණ්ඩාරනායක මහතා සිටියේ අවිවාහකවය. සිංහල මහා සභාව නම් තමාගේම දේශපාලන සංවිධානයක් ගොඩ නගාගෙන එය දීපව්‍යාප්තව ප්‍රචාරය කිරීමටත් මන්ත්‍රීවරයකු වශයෙන් කොට්ඨාසයේ ජනතාවට විශේෂයෙනුත් පොදුවේ සමස්ත ලංකාවටත් සේවය කිරීමට කාලය වැය කළා මිස තමන්ට විවාහයක් කර ගැනීමට මෙම තරුණ දේශපාලනඥයා උනන්දුවක් නොදැක්වීය. දුගී දුප්පත් පවුලක වූවත් ධනවත් සුපිරි පැලැන්තියේ වූවත් ඕනෑම මට්ටමක දෙමාපියෝ විවාහයක් කරදී තම දරුවන් යහපත් ජීවිතයක් ගත කරනු දැකීමට කැමති වෙති. වංශාධිපති බණ්ඩාරනායක මහමුදලිතුමාට ද තම පුත්‍රයා විවාහය ගැන උදාසීනව ඒ ගැන තැකීමක් නොකර සිටීම බලවත් සේ සිත් රිදවන කරුණක් විය. ඒ අතරම තම හිතවතුන්ගේ මාර්ගයෙන් ගැළපෙන තරුණියන් ගැන සොයා බැලීම ද කරමින් සිටියේය. වරක් ඔහු තම පුත්‍රයා අමතා “සනී, මේ වැඬේ හරියන්නේ නැහැ.

මමත් වයසට යනවා. මරණයත් ළඟයි. ඔබේ වයසත් යනවා. මිනිසුන්ට රටට වැඩ කළාටම සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. තමන්ගෙ ජීවිතය ගැනත් උනන්දුවීම අවශ්‍යයි. දේශපාලන වැඩවලට මම එපා කිව්වේ නැහැනෙ. ඉක්මනින් විවාහයක් කර ගන්න ඕනෑ. හොඳ තැනකින්” යැයි පැවැසීය. මෙය තරුණයාට කළ අවසාන නියෝගයක් සේ ඔහුට හැගී ගියේය. කාර්ය බහුලත්වය නිසා මෙන්ම ප්‍රතිපත්තිමය ගැටුම් ද හේතුකොට ගෙන පිය පුතු දෙදෙනා අතර කිට්ටු සබඳතාවක් තිබුණේ නැත. එනිසා සතුටු සාමිච්චියේ යෙදෙන අවස්ථාවන් ද ඉතාම විරල විය. පියා ගතානුගතික පිළිවෙත් අනුගමනය කරමින් රදල මහන්තත්වය මගින් හිස උදුම්මවාගෙන මහාසාර ධන කුවේරයකු ලෙස වැජබීම අගය කළ අතර පුත්‍රයා එහි අනෙක් අන්තයෙහි විය. ඔහු ඇසුරු කළේ ගමේ ගොඬේ දුප්පත් මිනිසුන්ය. එම යුගයේ උඩුකය වැසෙන්නට ඇඳුමක් අඳින්නට වලව් මගින් තහනම් කර තිබූ තරුණියන් අයත් පීඩිත කුලවල නායකයෝ සනීගේ සමීප මිතුරන් වීම මහමුදලිට රිස්සුවේ නැත. එම අය හොරගොල්ල වලව්වට පැමිණ ආලින්දයේ තබා ඇති පුටුවල වාඩිවීම මහමුදලිගේ කෝපයට හේතුවිය. දිනක් පියා මේ ගැන තම පුත්‍රයාට දැඩි ලෙස අවවාද කළේය. පසුදිනක පියා නිවසට පැමිණෙන විට ආලින්දයේ තිබුණේ පුටු දෙකක් පමණි. පියා පුදුමයට පත් විය. “සනී කෝ මෙතන තිබුණු පුටු?” පුතාගෙන් විමසීය. “ඒවා මම පිටිපස්සෙ ඉස්ටෝරුවට දැම්මෙව්වා. මෙතනට පුටු දෙකක් ඇතිනෙ. මේ වලව්වේ පුටුවක ඉදගන්න අවසර තිබෙන්නේ ඔබටත් මටත් විතරනෙ. ඒ නිසා මේ දෙක ඉතිරි කරලා අනෙක්වා අයින් කළා” පුතා පිළිතුරු දුන්නේය. මෙවැනි ගැටුම් නිසා දෙදෙනා අතර පැවතියේ දුර ඇසුරකි. එහෙත් පිය පුත් දෙදෙනාම එකිනෙකාට මහත් සේ ආදරය කළහ. විවාහය ගැන කතා බහේදී පියාගේ අවවාදය තීරණාත්මක වූවක් බව තරුණ බණ්ඩාරනායකයන්ට හැඟී ගියේ එබැවිනි.


පළාත් පාලන ඇමති ධුරයට පත් වූ වහාම ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එම ක්‍ෂේත්‍රයේ දියුණුව සඳහා ක්‍රියාශ්‍රීලිව වැඩට බැස්සේය. එවකට ගම් මට්ටමේ තිබුණේ ගම්කාර්්‍ය සභා නමැති පාලන ඒකක සමූහයකි. මේ සියලුම ආයතනවල නියෝජිතයන් රැස්කර සමස්ත ලංකා ගම්සභා සම්මේලනය නමින් මධ්‍යස්ථානයක් ඇති කිරීමට නව ඇමැතිවරයා ක්‍රියා කළේය. එහි සභාපති ධුරයට පත් වූවේ පූගොඩ ගම්කාර්්‍ය සභාවේ සභාපති වූ ඩී. ජේ. සේනාරත්න රාලහාමිය. ලේකම් ධුරයට තෝරා ගත්තේ පානදුරේ තල්පිටිබද්ද ගම්කාර්්‍ය සභාවේ සභාපති ඩී. එච්. ඇස් නානායක්කාර මහතාය. මෙම කටයුතු නිසා ඇමැතිවරයාත් ගම්සභා සම්මේලනයේ ලේකම්වරයාත් අතර ඉතා සමීප ඇසුරක් ගොඩනැගෙන්නට වැඩි කාලයක් ගත වූවේ නැත. දෙදෙනාම සේවයට ළැදි කාර්්‍යශූර අය වූහ. රට පුරා සංචාරය කරමින් මේ දෙදෙනා ගම්සභා සම්මේලනයේ සහ සිංහල මහා සභාවේ කටයුතු ගැන සොයා බැලූහ. තව තවත් ශාඛා සංවිධාන පිහිටවූහ.


දෛවයේ නියමයකට මෙන් මේ වකවානුවේ දිනකදී ගම්සභා සම්මේලයේ ලේකම් නානායක්කාර මහතාට සතුට දනවන ආරංචියක් ලැබුණි. එනම් සබරගමුවේ ධනවත් ප්‍රභූ පවුලක වැඩිමහල් දියණියකට සුදුසු මනාලයකු සොයන බවයි. මෙම තොරතුර ලත් මොහොතේදීම නානායක්කාර මහතාගේ සිතට ආවේ මෙම යුවතිය බණ්ඩාරනායක ඇමැතිවරයාට නම් යසරඟට ගැළපෙන බවයි. නොයෙක් අයුරින් සිතා බැලූ ඔහු මෙම විවාහ යෝජනාව ගෙන ඒමේ අතරමැදියා ලෙස තමාම මැදිහත් වීමට තීරණය කළේය. ඒ ගැන කලින්ම බණ්ඩාරනායක ඇමැතිවරයාට ද නොදැන්වීමට කටයුතු කළේය.

ඉතිරිය ලබන සතියට.

සෝමසිරි වික්‍රමසිංහ