පළාත් සභාවල දෙකට කැඩෙන සෙංකෝලයේ කතාව


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය සම්මත කරගැනීම සඳහා පළාත් සභා රැස්වීම් පැවැත්වෙද්දි සමහර ස්ථානවල මහත් අර්බුද හටගත් බව මාධ්‍යවල පළවිය. ස්ථාන කිපයකදී සභාවේ බල අධිකාරිය මුර්තිමත් කරන  සංකේතය වූ සංකෝලය කැඩී බිඳී ගිය බවද වාර්තා විය. යම් යම් අවස්ථාවලදී උත්තරීතර පාර්ලිමේන්තු සභා ගර්භයේදී පවා මෙවැනි සිදුවීම් ගැන වාර්තා වූ බව අපට මතකය. කලබල ඇතිවන බොහෝ විට විරුද්ධ පක්‍ෂ උත්සාහ කරන්නේ සෙංකෝලය එය රදවා ඇති නියමිත ස්ථානයෙන් ඉවත් කර ගැනීමටය. එසේ වන්නේ ඇයි? 


මෙම ලිපිය මගින් අප උත්සාහ කරන්නේ සම්ප්‍රදාය සහ චිරාගත චාරිත්‍ර අනුව සෙංකෝලයට හිමිවන ගෞරවය අභිමානය සහ බලය  පිළිබඳව මදක් තොරතුරු විමසීමය.


 ආදි කාලීන සිංහල රාජවංශයේ රජවරුන්ට පංච කකුධ භාණ්ඩ නමින් හැඳින්වුණු අත්‍යවශ්‍යම ආයිත්තම් පහක් පැවති බව විද්වත්හු ප්‍රකාශ කරති. රාජ කිරීටය. පෙරැස් මුදුව, රන් මිරිවැඩි සඟල, සිංහාසනය සහ ජයකොන්තය මෙම පංච කකුධ භාණ්ඩ ලෙස විස්තර කරති. සමහර අයගේ විග්‍රහයට අනුව මෙම භාණ්ඩපහේ නම් මෙයට වඩා වෙනස් බව කියැවෙන නමුදු ජය කොන්තය කිසි විටෙකත් එම ලැයිස්තුවෙන් ඉවත්වන්නේ නැත. ඉතිහාසයේ කියැවෙන ආකාරයට රජු ගමන් කරන සෑම ස්ථානයකටම මෙම ජයකොන්තය රෑගෙන ගිය  බව සිතන්නට කරුණු තිබේ. රජකම දරන්නා බලය පිළිබඳ සංකේතය හැටියට ජය කොන්තය සලකන්නට ඇති බව මේ අනුව අනුමාන කළ හැක. එමෙන්ම මෙම ජය සංකේතය යෂ්ටියක  ස්වරූපයෙන් පැවති බව ඓතිහාසික මූලාශ්‍ර අනුව වටහා ගත හැකිය. දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය සමයේදී ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් වීමෙන් පසු මිහිඳු මාහිමියන්ගේ උපදෙස් පරිදි රාජ්‍ය පාලනය පිළිබඳ නව සංකල්ප හදුන්වා දුන් බවද කියැවේ. පැරණි දඹදිව පැවති ක්‍ෂත්‍රිය සිරිත් අනුව දක්‍ෂිණාවාත සංඛයකින් රාජාභිෂේකය  සිදුකළ බව ඉතිහාසයේ දැක්වේ. ජය කොන්තය භාවිතයද එවැන්නකින් ආරම්භ වූ බව අනුමාන කළ හැකිය.


දුටුගැමුණු රජතුමා දිය නෑම සඳහා ගිය විට රැගෙන ගිය ජය කොන්තය මිරිසවැටි බිමෙහි තැන්පත් කර ගිය ස්ථානය කරා ආපසු පැමිණි විට එය ඉවත් කර ගැනීමට නොහැකිවූ බැවින් එම  ස්ථානයේම නිදන් කර මිරිසවැටි මහා චෛත්‍ය ඉදිකළ බවත් ඉතිහාසයේ සඳහන් වේ. ඒනිසා රජුන්ගේ ජය කොන්තය තුළ සර්වඥ ධාතූන් වහන්සේලාද  තැන්පත් කර තිබුණා විය හැකිය.

 

ඉතිහාසයේ කියැවෙන ආකාරයට රජු ගමන් කරන සෑම ස්ථානයකටම මෙම ජයකොන්තය රැගෙන ගිය  බව සිතන්නට කරුණු තිබේ. රජකම දරන්නාට බලය පිළිබඳ සංකේතය හැටියට ජයකොන්තය සලකන්නට ඇති බව අනුමාන කළ හැකිය.


 අපේ රටේ ක්‍රියාත්මක වෙන පාර්ලිමේන්තු ක්‍රමය බි්‍රතාන්‍යය වෙතින් ලද දායාදයකි. එනිසා එම ක්‍රමයේ පරිනාමයට සහ වර්ධනයට පැරණි ජයකොන්තයේ භාවිතය අදාළවීමට ඉඩක් නැතත් ආදි කාලින සහ මධ්‍යකාලින යුගවලදි ලොව කොතනත් වහල් යුගය බලපෑ බවත් රජවරුන් කව්රුත් අනුගමනය කළේ සමාන න්‍යායක් බවත් පිළිගැනීමට සිදුවේ.
 මුල් කාලයේ, බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මූලාසනය  හෙබවුවේ එරට රජු විසිනි. එය අතිශය භයානක කරුණක් විය. රජු  ඉදිරියේ  ඔහුගේ පාලනය විවේචනය කිරීම මරණය ලැබීමට හේතුවක් වූවා නිසැකය. ක්‍රි.ව. 1303 දක්වා පැවතියේ එම ක්‍රමයයි. එහෙත් 1303 දී එම කාර්යභාරයෙන් ඉවත්ව කතානායකවරයෙකු පත් කිරීමේ සිරිත ආරම්භ වූ බව ලේඛන ගතව තිබේ. එම යුගයේ කතානායක ධුරය භාර ගැනීමටද කිසිවෙකු කැමති වී නැති බව කියනු ලැබේ. පාර්ලිමේන්තුවේ තීරණ රජුට දැන්විමේ වගකීම පැවරුණේ කතානායකවරයාට  වන බැවින් එයද මරුවා සමඟ වාසය කිරීමක් බඳුවිය. එනිසා එම අතීත  යුගයේ දී කතානායකවරයා පත්කර ඇත්තේ බලහත්කාරයෙනි. එම  තත්ත්වය සිහිපත් කිරීමක් වශයෙන් අපේ පාර්ලිමේන්තුවේ වර්තමානයේදි  පවා ඉටුකරන චාරිත්‍රයක් තිබෙන බව බොහෝ දෙනා නොදනිති. එනම් මැතිවරණයේදි පත්ව එන  නව මන්ත්‍රීවරුන්ගේ ප්‍රථම රැස්වීම පවත්වා සිදුකරන ප්‍රථම කාර්යවන්නේ නව කතානායකවරයෙකු පත්කර ගැනීමය. එහිදී යම් මන්ත්‍රිවරයෙකුගේ යෝජනා කිරීමෙන් සහ තවත් අයෙකුගේ ස්ථිර කිරීමෙන් නව කතානායකවරයෙකු  පත්වූ අවස්ථාවක ඔහු මුලාසනය වෙත කැඳවාගෙන යනු ලබන්නේ යෝජනා  ස්ථිර කළ දෙදෙනාගේ අත් අල්ලා ගැනීමෙනි. වර්තමානය වනවිට පාර්ලිමේන්තුවේ කතානායක ධුරය දැරීම මරණයට අතවැනීමක් නොවන නිසා බලයෙන් ඇදගෙන එම ආසනයේ වාඩි කරවිමක් අවශ්‍ය නොවේ. එහෙත් සම්ප්‍රදායයන් ගොඩ නැගෙනුයේ අත්දැකිම් මගින් නිසා මෙවැනි දේ මෙසේ සිදුවේ.


 කතානායක තෝරා ගැනීමේ කටයුතු සිදුකෙරෙන්නේ ශ්‍රී ලංකා ජනරජ දෙවැනි ව්‍යවස්ථාවේ (64(1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල 3 හා 4 යන වගන්තිවලට අනුවය. පාර්ලිමේන්තු සභා ගර්භයේදි මන්ත්‍රීන් කැදවීමේ සීනුව නාද කළවිට මන්ත්‍රී මණ්ඩලයම අසුන් ගනු ලැබේ. ඉන් පසු වේත්‍රධාරි තැන පාර්ලිමේන්තුවේ බල අධිකාරියේ සංකේතය වූ සෙංකෝලය තම දකුණු උරහිස මත රඳවාගෙනසභා ගැබට ඇතුළුව සීරුවෙන් සිටී. එවිට සියලු මන්ත්‍රීවරු නැගී සිටිති. මේ අවස්ථාවේදි චේත්‍රධාරි නිලධාරියා සෙංකෝලය කතානායක ආසනයේ නියමිත ආධාරකයේ රඳවනු ලබයි.

 

 පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකිරීමේදි කතානායකතුමා සහ සෙංකෝලය යන ආයතන දෙකම එහි කාර්ය පටිපාටිය ඉටුකිරීම සඳහා අතිශයින්ම වැදගත් වේ. පාර්ලිමේන්තුවේ බලය සහ අධිකාරය සංකේතවත් කරනුයේ මුලදීද සඳහන් කරන ලද පරිදි සංකෝලය මගිනි. එය නියමිත ස්ථානයේ තැන්පත් කර නොමැතිනම් සභාවේ බලය සහ අධිකාරය 

සබාගැබේ නැති බව විශ්වාස කරනු ලැබේ. එසේනම් බලශුන්‍ය රැස්වීමකට කළ හැකි දෙයක් නැති ලෙසට සලකනු ලැබේ. අප  තවමත් අනුගමනය කරනුයේ 1953 අප්‍රේල් මස හත්වැනි දින දරණ  පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතය. එය අවස්ථා ගණනාවකදී සංශෝධනය වී ඇත. එහි හැඳින්වීමේ සඳහන් වන්නේ මෙසේය.“ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පරිහාර සහ බලතල ප්‍රකාශ කිරීම සහ නිශ්චය කොට දැක්වීම පිණිසත් පාර්ලිමේන්තුවේ භාෂණයේ සහ විවාද කිරීමේ සභා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරිම සඳහා විධි විධාන සැලැස්වීම පිණිසත්, පාර්ලිමේන්තු වාර්තා, ලියවිලි කාර්ය සටහන් සම්මත හෝ කටයුතු පළකිරිමේ නියුක්ත වී සිටින තැතැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ පනතකි.

 


මෙම පනතේ හත්වන සහ අටවැනි වගන්ති වල මෙසේ දැක්වේ. (7) මේ පනතින් පවරන ලද වරප්‍රසාද, පරිහාර හා බලතලවලට අතිරේකව, පාර්ලිමේන්තුව හා එහි මන්තීවරුන් විසින් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ මහජන  මන්ත්‍රී මණ්ඩලය සහ එහි මන්ත්‍රීවරුන් විසින් තක්කාලයේ දරණ, භුක්ති විඳින හා ක්‍රියාත්මක කරන සහ ඒ හා සමාන පරිහාර දැරී්ම හා ක්‍රියාත්මක කිරීම සහ ඒ සමාන පරිහාර දැරීම හා ක්‍රියාත්මක කිරිම් කළ යුතුය. 8. මේ පනතේ විධිවිධානවලට යටත්ව එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ නියමය පරිදි නැතහොත් එකි මන්ත්‍රී මණ්ඩලයේ මුද්‍රණකරු විසින් මුද්‍රණය කරනු ලැබ ඇති හෝ ඇතැයි හැඟෙන එකී මන්ත්‍රී මණ්ඩලයෙහි ජර්නල්වල හෝ කටයුතුවල පිටපතක් නැතහොත් එහි යම් කාරක සභා වාර්තාවක පිටපතක් පාර්ලිමේන්තුවේ හෝ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද ,පරිහාර, සහ බලතල විෂය කොටගත් යම් පරීක්‍ෂණයකදී එවැනි පිටපතක් බව ඔප්පු කිරීමක් නොමැතිව මුල් බැල්මට සාක්කියක් ලෙස ආවේශ්‍ය විය යුතුය.

මහත්වරුණිෟ සෙංකෝලයෙන් ගම්‍යවන්නේ ඔබේ සභාව සතු බලය සහ අධිකාරයයි. ඔබලා එය කුඩුකර දමන්නේනම් ඔබලා කරන්නේ ඔබගේම බලය කුඩුකර ගැනීමකි.


 මෙම පනත්වලින් ආරක්‍ෂාව සලසා දෙමින් මහජන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්නේ සෙංකෝලයෙන් සංකේතවත් කරන අධිකාරියේ හා බලයේ ආනුභාවය හේතුකොට ගෙනය. මහජන සේවය උදෙසා ලබාදී ඇති මෙම ගෞරවාන්විත පසුබිම ආරක්‍ෂා කර ගැනිමට අදාළ පාර්ශව වගබලා ගත යුතුය. නොඑසේනම් සිදුවනුයේ විනාශයකි.


 සෝල්බරි කොමිසමේ නිර්දේශය පරිදි ලංකාවට පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වා දීමේදී එය සභා දෙකකින් යුක්තවිය.  නියෝජිත මන්ත්‍රී මණ්ඩලය  සහ උත්තර මන්ත්‍රී මණ්ඩලයද වශයෙනි. දෙවැනි සභාව සෙනට් සභාව යනුවෙන්ද හැඳින්වුණි. මහජනයාගේ ඡන්දයෙන් මැතිසබයට පත්වීමට තරම් ජනතාව අතර නොගැවසෙන,එහෙත් යම් යම් විෂය ක්‍ෂේත්‍රයන් පිළිබඳව විශේෂඥ දැනුමෙන් හෙබි දක්‍ෂයන්ගේ සේවය උපදේශක මට්ටමින් ලබාගැනීම පිණිස මෙම සභාවට මන්ත්‍රීවරුන් තිහක් පත්වීමට විධිවිධාන සලස්වා තිබුණි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සමගාමීව පැවැති සෙනෙට් සභාවද ඉතා බලසම්පන්න ව්‍යවස්ථාදායක ආයතනයක් විය. කැබිනට් ඇමැතිවරුන් බහුල නොවූ මුල් යුගයේදී සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් අතරින් දෙදෙනකු ඇමැතිවරුන් ලෙස පත්කළ යුතු බවට නීතිමය ප්‍රතිපාදන සලස්වා තිබුණි.


 සර් ඔලිවර් ගුණතිලක, සර් එඞ්වින් විජේරත්න, රාජනීතිඥ ඊ.බී. වික්‍රමනායක, රාජනීතිඥ ඇම්.ඩබ්ලිව්. එච්.ද සිල්වා, සර් ලලිත රාජපක්‍ෂ වැනි ජ්‍යෙෂ්ඨයන් ඇමැතිධුරවලට පත්වීම් ලැබුවේ සෙනෙට් සභාව නියෝජනය කරමිනි. වෙනකක් තබා 1960 ජූලි මැතිවරණයේදී  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජයග්‍රහණය කරා මෙහෙයවූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය පදවියට පත්කර ගනු ලැබුවේද සෙනෙට් මන්ත්‍රීවරියක ලෙසිනි. එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අවශ්‍යතාව සපිරීමක් විය. සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ඒසා බලයක් සහිත  ආයතනයක් වූයේය.

පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) හැරුණු වි්ට බලයේ අධිකාරය වූ සෙංකෝලය භාවිතා කළේ සෙනෙට් සභාවේ පමණකි. ලෝකයේ සියලු පාර්ලිමේන්තුවල මව් පාර්ලිමේන්තුව ඇත්තේ බි්‍රතාන්‍යයේ යැයි කියමනක් තිබේ. වෙස්ට් මිනිස්ටර් ආකෘතියේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය අපට ලැබුණේ බි්‍රතාන්‍යයෙන් වන නිසා එම කියමන ශ්‍රී ලංකාවට සුවිශේෂිතව අදාළ වේ. හතළියේ දශකයේදී ලංකා පාර්ලිමේන්තුව බිහිවීමේදී ප්‍රථම සෙංකෝලය ත්‍යාගයක් හැටියට බි්‍රතාන්‍යයෙන් ලැබුණු බව කියනු ලැබේ. සෙනෙට් සභාව පිහිටුවීමේදී ඒ සඳහා තවත් සෙංකෝලයක් තනා ගැනීමේ අවශ්‍යතාව මතුවිය. එය නිර්මාණ්‍ය කළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන දොඹේමඩ නමැති ග්‍රාමයේ පදිංචිව සිටි ඇස්වෙද නයිදෙලාගේ පියතිලක නම්වූ අති දක්‍ෂ කාර්මික ශිල්පියෙකු විසිනි. 1972 දි සමගි පෙරමුණු ආණ්ඩුව විසින් සම්මත කොට පනවා ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවට අනුව සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය අහෝසි කරනු ලැබීය. එනිසා එහි භාවිතා කළ සංකෝලයට විශ්‍රාම ලැබුණි. ලංකාවේ ශිල්පියෙකු විසින් සකස් කරන ලද  ප්‍රථම සෙංකෝලය වූ එයට ඇත් දළ, රන්, රිදි හා මැණික් අඩංගු වන බව කියවේ. එහි දිග අඟල් පනස් දෙකකි. ඇත් දළයකට (කොටසකට) කැරට් 20 රන් පවුම් හතළිස් පහක් රත්රන් සහ රිදි රාත්තල් තුනකට වැඩි ප්‍රමාණයකින් කැටයම් කර තිබෙන බව දැනගන්නට තිබේ. එමෙන්ම පච්ච පඩියම්, නිල් මැණික් සහ නවවරම්. යනාදී වර්ගවල මැණික් ඔබ්බවා ඇති බව එය තැනූ ශිල්පියා ප්‍රකාශ කර ඇත. තමා  නිපැයූ සෙංකෝලය කොටස් හතළිස් පහකට වෙන් කර ගත හැකි බවත් ඒ සඳහා රහස් ඇණයක් තිබෙන බවත් එය තමාටම පමණක් වූ රහසක් බවත් මෙම විශිෂ්ට ශිල්පියා ප්‍රකාශ කර ඇත.


 මෙම සෙංකෝලයේ ඉහළම කොටස පෙති අටකින් සමන්විත නෙළුම් මලක ආකාරයෙන් සකස් කර ඇති අතර පහළ කොටස පච්ච පඩියම් මැණික්වලින් තැනූ ඔටුන්න හැඩය ගන්නා බව කියති. එමෙන්ම එහි සවිකර ඇති රැළිවලින් අනුරාධපුරයේ සඳකඩ පහන  දැක්වෙන බවත් මෙම සෙංකෝලය රාත්තල් හතරක් පමණ බරකින් යුක්ත බවත් දැනගන්නට ඇත. මෙය තැනූ ඇස්. වෙද නයිදෙලාගේ පියරත්න නම්වූ දක්‍ෂ ශිල්පියා අසූ අටවැනි වියේ පසුවෙද්දි මෙයට ටික කලකට පෙර අභාවප්‍රාප්ත වූ බව කියවෙන අතර එයට ටික දිනකට පෙර කතානයක කරු ජයසූරිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව තරුණ වයසේදී තමාගේම දෑතින් සකස් කළ මෙම ඓතිහාසික නිර්මාණය සියතට ගෙන මද වේලාවක් එහි පහස විඳගත්  බවත් දැනගන්නට ලැබුණි.


 එක්දහස් නවසිය අසූහතේදි දහතුන් වැනි ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධනයට අනුව බලය විමධ්‍යගත කරමින් දිවයිනේ පළාත් නවය සඳහා පළාත් සභා අටක් පිහිටුවනු ලැබීය. වර්තමානය වනවිට නවයක් ක්‍රියාත්මක වේ. එම සභා නවය සඳහා සෙංකෝලයක් භාවිතා කිරීමටද අවසර ලැබුණි. ඒ අනුව සෙංකෝලයේ බලයද විමධ්‍යගත වූ සෙයක් දක්නට ලැබුණි.


 පළාත් සභා කීපයකදී සෙංකෝලය කැඩීබිඳී ගිය ආකාරය මාධ්‍ය මගින් අපි දුටුවෙමු. ඒ විසිවැනි සංශෝධන සම්මත කිරීමට යාමේදීය. එම සංශෝධනයේ ගුණ අගුණ මෙම ලිපියට අදාළ නැත. එය වෙනත් පාර්ශ්වල කටයුත්තකි. කෙසේ වුවත් මෙවැන්නක් පැවසීමට අවසර ඇතැයි මම සිතමි. “මහත්වරුණිෟ සෙංකෝලයෙන් ගම්‍යවන්නේ ඔබේ සභාව සතු බලය සහ අධිකාරයයි. ඔබලා එය කුඩුකර දමන්නේනම් ඔබලා කරන්නේ ඔබගේම බලය කුඩුකර ගැනීමකි.” තවත් අර්ථද තිබෙන්නට පුළුවන.

 

 

සෝමසිරි වික්‍රමසිංහ