ලංකාවේ පැවති පළමු පාර්ලිමේන්තු මැතිවරණය 1947 දී පැවැත්වුණි. එහිදි මැදවච්චිය ආසනය සඳහා ඔහු එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වූවේය. එහෙත් 1953 ඇතිවූ ආහාර අර්බුදය හමුවේ එම පක්‍ෂයෙන් ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අතර 1953 වසරේදි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එකතු විය.
බණ්ඩාරනායක මහතාගේ පංච මහා බලවේගයට එකතුවූ ඔහු අධිරාජ්‍යවාදී හා රදල බලවේගවලටත් එරෙහිව නැගීසිටියේය. රජරට ජනතාවගේ නව පුනර්ජීවනය උදෙසා එදා කටයුතු කළ ඔහු රජරට වීරයා නමින් හැඳින්විය. ඒ අනෙකෙකු නොව ලංකාවේ වැඩබලන අගමැති ලෙස 21 වතාවක් කටයුතු කළ මෛත්‍රීපාල සේනානායකයන්ය.
1956 වසරේ ඔහු ගමනා ගමනය පිළිබඳ අමාත්‍යවරයාව කටයුතු කළේය. එවකට බස් සමාගම් පෞද්ගලික හිමිකාරත්වය මත ක්‍රියාත්මක වූ අතර කම්කරු ජනතාව බොහෝ අපහසුතාවට පත්වූහ. පෞද්ගලික බස්රථ සේවාව ජනසතු කිරීමේ මහඟු කර්තව්‍ය එතුමාගේ මූලිකත්වයෙන් සිදුකළේය. ලංකා ගමනා ගමන මණ්ඩලය පිහිටුවා දුෂ්කර පළාත් දක්වා බස්රථ සේවාව ව්‍යාප්ත කළේය. ලංකා ගමනා ගමන මණ්ඩලය පිහිටුවීම නිසා පරිපාලන අංශයේ සිට සුළු සේවකයා දක්වා රැකියා අවස්ථා ලබාදීමට අවස්ථාව ලැබුණේය.
ගමනා ගමන මණ්ඩලය පිහිටුවීම සේම වරාය ජනසතු කිරීමත් ඔහුකළ මානවහිතවාදි ක්‍රියාවන්ය. ඉන් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ බලවේගවලට යටත්ව තිබූ කාලය අවසන් වුවේය. ආසියාතික වරායන් හා සම්බන්ධවී භාණ්ඩ ප්‍රවාහණය හා වෙළඳ සබඳතා දියුණු කරගත හැකිවිය.
පැරණි අනුරාධපුර නගරය පූජනීය පෙදෙසක් කිරීමේ ගෞරවය හිමිවන්නේද සේනානායක මහතාටය. එනම් මැතිණියගේ ආණ්ඩුව හා එකතුව ඔහු කළ කැපකිරීම අතිමහත්ය.
1960 සිට 1970 දක්වා කාලසීමාව තුළදී අනුරාධපුරය දියුණු නගරයක් බවට පත් කළේ ඔහුය. බදු අයකිරිම, සංරක්‍ෂණ කටයුතු, විදුලිය සැපයීම, ජලය සැපයීම, පාරවල් නඩත්තුව, සුබ සාධන, වන්දනා සමයේ අවශ්‍ය සියලු පහසුකම් සැපයීම වැනි කටයුතු සඳහා නව සංරක්‍ෂණ මණ්ඩලයක් ඇති කළේය.
1971 ඇතිවූ කැරැල්ලේදී තරුණයන් ඝාතනය නොකර පුනරුත්ථාපනය කර සමාජගත කළ යුතු බව ඔහුගේ අදහස විය. එම වගකීම කේ. බී. රත්නායක මහතාට පැවරුවේ සේනානායක මහතාය.
රජරට ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා වාරි කාර්මාන්තය නගා සිටවූවේය. මහකනදරාව, පදවිය, වාහල්කඩ, රාජාංගනය මහවැලි ගංගාව රජරටට හැරවීම ආදි ජල යෝජනා ක්‍රම ඔහුගේ අදහස් මත ක්‍රියාත්මක විය.
වනගතව තිබූ මහ වැව් එළි පෙහෙළි කර ප්‍රතිසංස්කරණය කළ අතර ඉන් රජරට කෘෂිකර්මාන්තය වැඩිදියුණු කළ හැකිවිය.
එහි ප්‍රතිඵල වූයේ ගොවීන් දහස් ගණනකට ගොඩ මඩ ඉඩම් ලබාදීමට හැකිවීමය. එසේ ඉඩම් ලබාදුන් ප්‍රදේශවල යටිතල පහසුකම් ලබාදීමේ වගකීමත් ඔහු දරුවේය. මෙම ජලයෝජනා ක්‍රම හැරුණු විට කුඩා පරිමාණයේ වැව්, ඇළ - දොළ ප්‍රතිසංස්කරණයද ඔහු අතින් සිදුවූවේය. මහගල්කඩවල වැව, කුංචුට්ටුව වැව, කිව්ලේකඩවැව, කෙකටිය ගොල්ලෑව වැව, වත්තේ වැව, කැදෑවේ වැව, කල්ලංචිය වැව ඒ අතර ප්‍රධානය.
සිංහල, ඉංග්‍රීසි, දෙමළ යන භාෂා ත්‍රිත්වයම පිළිබඳ හොඳ දැනීමක් තිබූ සේනානායක මහතා සුළු ජාතික මන්ත්‍රීන් සමගද සුහදව කටයුතු කළේය. මැදවච්චිය ආසනයේ තරගකර එක දිගට අට වතාවක්ම ජයග්‍රහණය ලබාගත් ඔහුගේ පසුගියාව මෙසේය.
කුංචුට්ටු කෝරලේ කිව්ලේ කඩ ගමේ විසු කිරිහාමි සේනානායක මහතාට සහ පුංචිහාමි මැණිකේ මහත්මියට උපන් වැඩිමහල් පිරිමි දරුවා වූයේ මෛත්‍රීපාල සේනානායකයන්ය. 1917 ජුලි 17 වන දින උපත ලැබු ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලද්දේ ගමේ පාසලෙනි. ඉන්පසු අනුරාධපුර සෙන්ට් ජෝශප් විද්‍යාලයට ඇතුළත් වූ අතර තෙවනුව කොළඹ නාලන්ද විද්‍යාලයට ඇතුළු විය. අධ්‍යාපනයට දක්‍ෂ සේනානායකයන් මැටි්‍රක්‍යුලේෂන් විභාගය සමත් වූ අතර 1939 වසරේදී වගා නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවයට බැඳුණේය. ගමේ පිහිටි වැව් සංරක්‍ෂණය, වගාක්‍රම, ජල පාලනය, හා වැව් නඩත්තුව ඔහුගේ රාජකාරියේ කොටසක් වූයේය. ගමින් ගමට යමින් සමාජයත් සමග මිත්‍රශීලි සබඳතා ගොඩනගාගත් සේනානායක මහතා 1947 මැතිවරණයට ඉදිරිපත් වූවේය. ප්‍රවාහන පහසුකම් නොමැති අවධියක ඔහු ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරත වූයේ පාපැදියේ ගමන් කරමිනි. ඔහුගේ දුෂ්කර කැපකිරීම සාර්ථක විය. මැදවච්චිය ආසනයෙන් තරග කළ ඔහු ජයග්‍රහණය කළේය. එසේ ආරම්භ කළ දේශපාලන ජීවිතය එක දිගට අට වාරයක්ම ජයග්‍රහණ්‍ය කළ ඔහු අනුරාධපුර නගරයේ වැසියන්ගේ කේශනාලිකාවක් බඳු වූවේය.
1952 වසරේ ආහාර අර්බුදයක් ඇතිවූවේය. එහිදී එක්සත් ජාතික පක්‍ෂ රජය විසින් ජනතාවට ලබාදුන් සහල් සහනාධාරය ඉවත් කළේය. සහල් මිල වැඩි කළ අතර සීනි මිලද වැඩි කළේය. මීට එරෙහිව සේනානායක මහතා එම රජයෙන් ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය. 1953 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එකතු වූ ඔහු මිය යන තුරුම එහි සාමාජිකයෙකුව සිටියේය. කිසි විටකත් දේශපාලන පරාජයක් අත් නොකර ගත් ඔහු 1993 එළැඹි මහ මැතිවරණයට තරඟ නොකළේය. ඒ සඳහා සිය බෑනණුවන් ඉදිරිපත් කළ අතර 1993 සිට 1998 දක්වා උතුරු මැද පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය. රටටත්, ජාතියටත් උදාර සේවාවක් කළ මෙම යුග පුරුෂයා 1998 ජුලි 17 වැනිදින සදහටම දෙනෙත් පියා ගත්තේය.
ගමට නගරයට හිතැතිව කටයුතු කළ ඔහුට කිසිදු විටක දේශපාලන හතුරන් නොවූවේය. රාජ්‍ය සේවකයන් සමඟ සුහදව කටයුතු කළ ඔහු ගෞරව පැසසුම් ලබන චරිතයක් වූවේය. ඒ නිසාම ඔහුගේ නාමය ඉදිරි පරම්පරාවටද දැනගැනීම සඳහා උතුරු මැද පළාත් සභාව විසින් ප්‍රතාපවත් ප්‍රතිමාවක් නිර්මාණය කළේය. සැබැවින්ම ඔහු අමරණීය නායකයෙකු වන්නේය.
කුමාරි හේරත්