ප්‍රභාකරන්ගේ බෝම්බ මැද චන්ද්‍රිකා ජනාධිපති පුටුවට


1988 දී ජනාධිපති ධූරයට පත් ආර්. ප්‍රේමදාස මහතා 1993 මැයි 01 වැනි දින පැවැති එජාපක්ෂ මැයි පෙළපාලිය හසුරුවමින් සිටිය දී කොළඹ ආමර්වීදියේ දී මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ප්‍රහාරයකින් මරණයට පත් වූයේ ප්‍රේමදාස මහතාගේ සිරුර පවා සීසීකඩ කරමිනි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ආර්. ප්‍රේමදාස මහතාගේ ජනාධිපති ධුරකාලය 1994ට අවසන් විය යුතුව තිබුන අතර එම ඉතිරි ධූරකාලය සඳහා අග්‍රාමාත්‍ය ඩී. බී. විජේතුංග මහතා තෝරා ගන්නා ලදී. ඒ අනුව 1994 මීළඟ ජනාධිපතිවරණය දක්වා ඩී. බී. විජේතුංග මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළේය.
 
1993 මැයි 17 වැනි දින පැවැති බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එක්සත් ජාතික පක්ෂය පරදවා ජයගත් අතර පාර්ලිමේන්තු නිල කාලය 1995 මැයි දක්වා පැවැතිය යුතු ආණ්ඩුව විසුරුවා හැර එජාපක්ෂය 1994 අගෝස්තු 16 වැනි දින මහ මැතිවරණයක් පවත්වන ලදී. ඉන් වැඩි ආසන ගණනක් දිනා ගත් පොදුජන එක්සත් පෙරමුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අගමැති ලෙස තේරීපත් වූයේ සුළු පක්ෂවල ද සහයෝගය ඇතිවය.
 
ජනාධිපති ධූරකාලය අවසන්ව හා වන ජනාධිපතිවරණයක් කැඳවීම ඩී. බී. විජේතුංග මහතා කටයුතු කළ අතර ඒ සඳහා ඔහු එජාපක්ෂය වෙනුවෙන් තරග නොකරන බව ද ප්‍රකාශ කළේය. ඒ අනුව එජාපක්ෂය වෙනුවෙන් ගාමිණී දිසානායක, එජාප අපේක්ෂකයා ලෙස 1994 සැප්තැම්බර් 07 දින නාමයෝජනා භාරදෙන ලදී. පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් අග්‍රාමාත්‍ය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නාම යෝජනා බාර දුන්නාය.
 
1. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග - පොදුජන එක්සත් පෙරමුණ
2. ගාමිණී දිසානායක - එක්සත් ජාතික පක්ෂය
3. නිහාල් ගලප්පත්ති - ප්‍රගතිශීලී පෙරමුණ
4. හරිස්චන්ද්‍ර විජේතුංග - සිංහලේ මහාසම්මත භූමි පුත්‍ර පක්ෂය
5. ඒ. ජේ. රණසිංහ - ස්වාධීන
6. හඞ්සන් සමරසිංහ - ස්වාධීන
 
ප්‍රධාන දේශපාලන පක්ෂවලට අමතරව ස්වාධීන අපේක්ෂකයින් 02 ඉදිරිපත් වීම විශේෂ ලක්ෂණයකි. මෙහිදී චන්ද්‍රිකා මැතිණිය ඉතා කෙටි කලක් තුළ එනම් 1993 දී බස්නාහිර ප්‍රධාන අමාත්‍ය වීම 1994 දී අගමැති තනතුරට පත්වීම ආදී ලෙස මැතිවරණ කීපයක් ඉහළින් ජයග්‍රහණය කිරීම නිසා ශ්‍රීලනිපක්ෂ ජයග්‍රාහී මට්ටමින් ජනාධිපතිවරණයට අවතීරණ විය. එජාපක්ෂයේ ගාමිණි දිසානායක ඉන්දු - ලංකා ගිවිසුමේ නිර්මාතෘ වරයෙකු මෙන්ම කඩිනම් මහවැලි ව්‍යාපාරයේ මෙහෙයවීමේ අමාත්‍යවරයා ලෙසද විශිෂ්ට සේවයක් කළ ඇමැතිවරයෙක් විය.
 
ජනාධිපතිවරණය ආරම්භ වී ඉතා කෙටි කලක් ඇතුළත ලංකාවේ දේශපාලන භූමියේ එතෙක් පැවැති සුහද හා සාමකාමී බව අවසන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක මහතා 1994 ඔක්තෝබර් 24 වැනිදා කොළඹ තොටළඟ පැවැති පක්ෂයේ රැළියක් අමතමින් සිටිය දී බෝම්බ ගසා ඝාතනය කරනු ලැබීය. ඔහු සමග වේදිකාවේ සිටි එජාපක්ෂයේ ප්‍රබල ඇමැතිවරයෙකු වීරසිංහ මල්ලිමාරච්චි, ගාමිණී විජේසේකර, ජී. ඇම්. ප්‍රේමචන්ද්‍ර යන අයවලුන් ඇතුළු විශාල පිරිසක් මිය ගියහ. එජාපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක මහතා බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත්වීම නිසා මැතිවරණ නීතිවලට අනුකූලව ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස එජා පක්ෂයෙන් නම්කරනු ලැබුවේ ගාමිණී දිසානායකගේ බිරිඳ වූ වජිරා ශ්‍රීමනී දිසානායක මහත්මියයි.
 
1994 නොවැම්බර් 09 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵල අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය. පොදුජන එක්සත් පෙරමුණ හා එජා පක්ෂයේ අපේක්ෂකයින් දෙදෙනා හැර අනෙක් සියලු අපේක්ෂකයන්ගේ ඇප මුදල් රාජසන්තක විය. පොදුජන එක්සත් පෙරමුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ලැබූ ඡන්ද ප්‍රතිශතය එනම් 62.28% මෙතෙක් ජනාධිපති වරණයක දී කිසිදු අපේක්ෂකයෙක් ලබා නැත.
 
මෙම මැතිවරණයේ දී විධායක ජනාධිපති ක්‍රමය තමනට බලය ලැබුණහොත් ඉවත් කරන බවට දුන් පොරොන්දුව මත ජවිපෙ අපේක්ෂක නිහාල් ගලප්පත්ති (ශ්‍රී.ල.ප්‍ර.පෙ.) ජනාධිපතිවරණ සටනින් ඉවත් කර ගන්නා බව ජවිපෙ ප්‍රකාශ කරන ලද්දේ මැතිවරණයට නාම යෝජනා දුන්නාට පසුවය. දිස්ත්‍රික්ක මට්ටමින් ගත්කල සෑම දිස්ත්‍රික්කයකට මෙන් පාවිච්චි කරන ලද ඡන්දවලින් 55% කට වඩා චන්ද්‍රිකා මැතිණිය ලබාගත් අතර අවම ප්‍රතිශතයක් ලබාගත් බදුල්ල දිස්ත්‍රික්කයේත් එය 55.27% ක් විය. දෙනලද ඡන්ද සංඛ්‍යාව අඩුවුවත් උතුරු - නැගෙනහිර සෑම දිස්ත්‍රික්කයකට වැඩිම ප්‍රතිශතය චන්ද්‍රිකා මැතිණිය හිමිකර ගෙන තිබුණි.
 
යාපනය දිස්ත්‍රික්කය - 96.35%
වන්නි දිස්තික්කය - 85.30%
මඩකළපුව දිස්ත්‍රික්කය - 87.30%
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය - 72.36%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - 71.62%
 
මෙයින් ලියාපදිංචි ඡන්ද ප්‍රමාණයෙන් ඡන්දය පාවිච්චි කර තිබුණේ යාපනය 2.97% ක් හා වන්නියේ 22.41% කි. කොටි සංවිධානය බලය ව්‍යාප්ත කරගෙන තිබූ ප්‍රදේශවල ඡන්දය පැවැත්වීම බාධා කිරීම ඊට හේතුව විය. මේ නිසා ඇතැම් උතුරේ ආසනවල ඡන්ද පාවිච්චි කර තිබුණේ ඉන් අල්ප වශයෙනි.
 
උඩිප්පිඩි ආසනය - ඡන්ද 08
මනිපායි ආසනය - ඡන්ද 12
 
නමුත් ලංකාවේ සියලු මැතිවරණ දිස්ත්‍රික්ක ජයගැනීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පොදුජන එක්සත් පෙරමුණට හැකිවූවාසේම එක් ඡන්ද කොට්ඨාස හැර ලංකාවේ සියලු ඡන්ද කොට්ඨාස ජය ගැන්මටත් ඇයට හැකිවිය. ඡන්ද කොට්ඨාස 168 න් පරජය වූයේ මහියංගනය ආසනය පමණි.
 
ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරියගේ දියණිය ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිනිය ලෙස පත්වීම ද පියා සහ මව අගමැති ධූරය දැරූ දේශපාලන පවුලක දියණියක ලෝකයේ සිව්වන ජනාධිපතිනිය වීම ද ලෝක වාර්තාවකි. ආර්ජන්ටිනාවේ ඉසබෙලා පෙරෝස් (1974) පිලිපීනයේ කොරා සෝන් අකිනෝ (1990), නිකරගුවාවේ වයලෙටා චමෝරේ (1990) මෙයට පෙර ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති පදවියට පත් කාන්තාවන්ය.
 
චන්ද්‍රිකා මැතිණිය 1994 මහ මැතිවරණයේ දීද ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කර ඡන්ද 464,588 ක් ලබා තැබු වාර්තාව ද ඉතිහාසය ගතය. තුන්වැනි ජනාධිපතිවරණයෙන් 62.28% ප්‍රතිශතයක් ලැබූ චන්ද්‍රිකා මැතිණිය 1994 නොවැම්බර් 11 වැනි අග්‍රවිනිශ්චයකාර ජී. පී. එස්. ද සිල්වා මහතා ඉදිරියේ ජනාධිපතිනිය ලෙස දිවුරුම් දුන්නාය.
 
 
 
 
බණ්ඩාරගම 
සමරසේන මුදලිගේ
ඡායාරූපය : අන්තර්ජාලයෙනි