මැතිනියටත් මෙල්ල නොවූ කතානායක හියූ ප්‍රනාන්දු - 03
අගමැති සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක පාලන කාලයන් තුළ ජාත්‍යන්තර වශයෙන් වැදගත්වන සමුළු කිහිපයක් ලංකාවේ පවත්වා, රටට යම් ප්‍රමාණයක කීර්තියක් ලබාදී ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත.
ජාතීන් හයක් එක්කළ සැඳෑ සමුළුව, ජගත් සංවිධානයට පමණක් දෙවැනි වූ මුළු ලොවම වාගේ මෙරටට ගෙන් වූ නොබැඳි ජාතීන්ගේ සමුළුව, එයින් ප්‍රධාන ස්ථානයෙහි ලා ගැනේ.
සිරිමා රජයේ, හියු ප්‍රනාන්දු කතානායකවරයා අගමැතිනියගේ විදේශීය සම්බන්ධතා හා ඇය ඉදිරිපත්ව, ලෝක සාමය උදෙසා සිදු කළ සේවාවන් පිළිබඳව වාර්තා වූ සිද්ධීන් ගැන ද තම සටහනේ දක්වා ඇති කරුණු වලින් සක්සුදක් සේ අනාවරණය වන්නේ, පොදුවේ ගැහැනියක සතු නුවණ, මේ තරමට දිග යැයි හැදිමිටකින් දැක්වීම, තවත් වරකින් තහවුරු කිරීමකැයි සිතේ.
“ශ්‍රී ලංකාද්වීපය නැස්පැත්තියෙන් නැස්පැත්තියට පත් වෙද්දී. ශ්‍රී ලංකාවේ අගමැතිනිය ඉන්දියාව හා චීනය අතර කෙරෙන්නට ගිය මහා සංග්‍රාමය නවත්වාලීමෙන් ජාත්‍යන්තර ලෝක ප්‍රාතිභාර්යයක් පෑ බවක් කියනු ලැබේ. පීකිං නුවර දී මටත් චීන අගමැති චෞ එන් ලායි මුණ ගැසී කතා බහ කරන්නට අවස්ථාවක් ලැබුණි. එදා චෞ එන් ලායි අගමැතිවරයා මා ඇතුළු අනෙකුත් ලංකා නියෝජිතයන්ට කීවේ. මධ්‍යස්ථ ජාතීන්ගේ නියෝජිතයෙකු හැටියට පැමිණියත්, බණ්ඩාරනායක අගමැතිවරිය ඉන්දියා - චීන දේශ සීමා අරගලය ගැන කිසිම දැනුමක් නොමැති කෙනෙකු බවත්, මෙබඳු දූත කටයුතු සඳහා මීට වඩා දැනුම්- පැහැදුම් ඇති බුද්ධිමත් තැනැත්තෙකු ඉදිරිපත් විය යුතු බවත්ය.”
සිරිමා බණ්ඩාරනායකට තිබූ දේශපාලනමය සුදුසුකම වූයේ, ජාත්‍යන්තර කීර්තිධර දේශපාලනඥයෙක වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිගේ බිරිය වීම පමණි. තමා ජීවත්ව සිටින තාක් කල්, ක්‍රියාකාරි දේශපාලනයට තම බිරිය කිසි කලෙකත් වැද්ද නොගත් බණ්ඩාරනායක, ජාත්‍යන්තර වශයෙන් ඇයට අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණේ නම්, ඒ කිහිපවතාවක් විදේශීය සංචාරයන්ට, ඇය එක්කාසු කර ගැනීමෙන් පමණි.
කිසිසේත් අපේක්‍ෂා නොකළ නායකත්වයක් තම සැමියාගේ හදිසි වියෝවෙන් ලබාගත් ඇය මුල දී නායකත්වය ප්‍රතික්ෂේප කරද්දීත් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ කුළල් කා ගැනීම් වළක්වාලීමට නොකැමැත්තෙන් වූවද එය භාරගත් බවක් පෙනුණි.
විෂය පිළිබඳ අවශ්‍ය දැනුම නොමැතියවුන්ගේ මද දැනුම, තීරණ ගැනීමේ දී විෂය ගෝචර නොවන අන්දමට සිදුවිය හැකි බව පිළිගත යුතු සත්‍යයකි.
තවදුරටත් තම සටහනෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දැවැන්තයන්ගේ නොහොබිනා ක්‍රියා කලාපයන් ගැන ද විස්තරයක් ගෙනෙන ඔහු එය මෙසේ විස්තර කරයි.
“පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ලංකා ශාඛාව 1962 දී “ග්‍රෑන්ඞ් ඔරියන්ටල්” හෝටලයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කළේය. ඒ අවධියේ සිටි කතානායක ආර්. ඇස් පැල්පොල විසින් අමුත්තන් පිළිගනු ලැබූ අතර, සම්භාවනීය අමුත්තන් අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල මහ කොමසාරිස්වරු ද සිටියහ. මෙම භෝජන සංග්‍රහයට මත්පැන් ද අඩංගු වී තිබුණි. අතරතුර සංගීත රාවයද රැව් දෙන්නට විය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ද මෙම සංග්‍රහයට සහභාගි වී සිටියහ. එයින් කෙනෙකු කෑගල්ල දිස්ත්‍රික්කයෙන්ද අනික් කෙනා මහනුවර දිස්ත්‍රික්කයෙන්ද වූහ. දෙදෙනාම ජාතික ඇඳුමින් සැරසී සිටියහ. මත්පැනින් ඒ දෙදෙනා උණුසුම් වූ විට නටන්නට පටන් ගත්හ. අනතුරුව සිංදු කියන්නටත් වූ අතර භීතියටත් පිළිකුළටත් පත්ව සිටි අමුත්තන් බලා සිටියදීම එක්වරම වමනය කරන්නට ද වූහ. මෙම සිද්ධිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉතිහාස ගත සිහි කටයුතු එකක් ලෙසට සඳහන් වනවා ඇත.
අනතුරුව 1958 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක යුගය දෙසට හැරී ඇති හියු ප්‍රනාන්දු, මුළු රටම ලේ විලක් කළ ‘ශ්‍රී’ අකුරේ ආරම්භය පිළිබඳව පසුව ඇති වූ කතිකාව මෙසේ ගෙනහැර දැක් වූයේය.
“ශ්‍රී” අකුර මෝටර් රථවලට දැමීම ගැන දිවංගත බණ්ඩාරනායක අගමැතිවරයා කිසි කලෙක මෛත්‍රීපාල සේනානායකට සමාවක් දුන්නේ නැත. මෙම කාරණය සිංහල - දෙමළ ප්‍රශ්නය නිරාකරණය කිරීම ඉතා දුෂ්කර තත්ත්වයකට පෙළෙන බව, බණ්ඩාරනායක අගමැතිවරයා ඇමති මෛත්‍රීපාල සේනානායකට කීවේය. මෙම පියවර නිසා සිංහල - දෙමළ ඝට්ටනයේ ආරම්භය ඇති වූ බව ඔහු නිතර නිතර කීවේය. ඉන් නිකුත් වූ බලවේගයන්, අවසානයේ 1958 ඇති වූ කැරලි කෝලාහල වලින් ලේ වැගිරීම් පවා ඇති කරලීමට සමත් විය. මෙම විපතට වගකිව යුත්තේ මෛත්‍රීපාල සේනානායකගේ මුල්වැරැද්ද බව කී බණ්ඩාරනායක, අභ්‍යන්තර බීජය කාගෙන් රෝපණය වීදැයි තේරුම් ගත නොහැකි වූවත් ඒ වරද මෛත්‍රීපාල සේනානායක මත පතිත විය.”
“ශ්‍රී” අකුර යෙදීමට ප්‍රථම, වාහනවල අංක තහඩුව පිළියෙළ වූයේ සිලෝන් යන නාමය ක් අක්ෂරය මුල් කරගෙන පිළිවෙළින් එක එක ඊළඟ ඉංග්‍රීසි අක්‍ෂරය දෙවනුවට යොදාගෙනය. ක්‍ෑල ක්‍ශල ක්‍ඛල ක්‍භ යනුවෙනි. අනවශ්‍ය යෙදුමක් වූ ‘ශ්‍රී’ අක්‍ෂරය නිසා උතුරෙන් හටගත් ගිනිදැල්ල, සීතල නුවරඑළියේ දී වඩාත් ගිනියම් වී මුල්ම බිල්ල ගැනීමෙන් ගලා ගිය උණු ලේ ධාරාව, රටපුරා ගලා ගියේ. අගමැති බණ්ඩාරනායකට ඇඟිල්ල දිගු කරමිනි. එය තමාගේ නියෝගයෙන් යෙදූ අක්‍ෂරයක් නොවන බවට හෝ වෙනත් ඇමතිවරයෙකුගේ තීරණයක් බවට හෝ බණ්ඩාරනායක අගමැතිවරයා නොකී නිසා, වසන් වී, මෛත්‍රීපාල සේනානායක පිට පැටවුවත් එය ඔහුගේම ගිණුමට බැර විය.
එසේම, තවදුරටත් කරුණු ගෙනහැර පාන නිසා, මුදල් ඇමති ඇන්. ඇම්. පෙරේරාගේ අය - වැය ගැන අනාවැකි පළ කරන පාඨකයනට මුදලින් තෑගි පිරිනමන බව ‘දවස’ පත්‍රය විශේෂාංගයක් පළ කිරීමෙන් කෝපයට පත් ඇන්. ඇම්, කතානායක හමුවී, ‘දවස’ ට නිකුත් කර ඇති පාර්ලිමේන්තු වාර්තා කිරීමේ අවසරය අවලංගු කරන්නැයි කළ ඉල්ලීම, කතානායකවරයාට එවැන්නක් කිරීමට තරම් බලතල පුළුල්ව නැතැයි ප්‍රතික්‍ෂේප කිරීමෙන්, ඔහු උරණ වූ බවක් ද කියා ඇත.
තවදුරටත් විස්තර වන එම ලිපියේ, සිංහලයා අනිකෙකුට වහල් වී සිටිනවාට වඩා පොල් ගසක් යට නිදා ගැනීම අගය කොට සැලකූ බව’ රොබට් නොක්ස් කියා ඇති බවත්, ඒ අනුව රටේ ජාතිකත්වය මාක්ස්වාදයට හෝ කොමියුනිස්ට් වාදයට විරුද්ධ බවත්, රටේ පරිහානිය ඒකාන්තයෙන්ම ඇති වන්නේ එකී නව වාදයන්ගෙන් බවත්, හියු කියා සිටී.
“පිකිං නුවර සිටි කේ. ඇම්. ජී. රාජරත්න නමට විදුලි පණිවුඩයක් ලංකා තානාපති කාර්යාලයට ලැබී තිබුණේ එක් දිනක සවස 4ටය. රාජරත්න නැවතී සිටි හෝටලයට තානාපති කාර්යාලයේ සිට ඇත්තේ විනාඩි 10ක ගමනක් වූවත්, විදුලි පණිවුඩය රාජරත්නට භාර දී ඇත්තේ පසුදා උදේය. හේතුව, එම ලිපිනයට දීර්ඝ ගමනක රාජකාරියකට මුහුණ දීමට සිදුවී අති නිසයි. හිතුමතේට එහාට මෙහාට යෑමේ නිදහසක් චීනයේ නැත. රටපුරා යෑමට එහි නිදහසක් ඇතැයි යමෙකු කිවහොත්, එය ඔප්පු කරන ලෙසට මව අභියෝග කරමි. රාජ්‍ය නියෝජිතයෙකු- ඕනෑම සංචාරකයෙකු, වෙළඳ නියෝජිතයෙකු හෝ තානාපතියෙකු මේ කවරෙකු හෝ වේවා, යන එන තැන් පිරික්සීමේ සංවිධානාත්මක චීන පිරිසක් එහි සිටී.” යනුවෙන් ද හියු, චීනය තුළ ඇති නිදහස කදිමට පෙන්නුම් කර ඇත.
තම දීර්ඝ විස්තරය පොතකින් ප්‍රසිද්ධ කරන ඔහු එතෙකින් එය හමාර කරයි.
හිටපු කතානායකවරයෙකු වූ හියු ප්‍රනාන්දු, එම තනතුර දැරූ අන් සියලුම අයට වඩා විශේෂත්වයකින් හැඳින්වෙන්නේ, තම සිතට එකඟව අවංකව අදහස් ප්‍රකාශ කිරීමේ නිර්භීතභාවය, ඔහුගේ සේවා කාලය තුළ දීම මනාව ඔප්පු කර ඇති බැවිනි.
එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි