ලාංකීය විප්ලවයට මේ ක්‍රම දෙකම නොගැළපෙන බවට විජේවීර තර්ක කළේය. තර්ක අතරේදීම තම හැකියාවෙන් ප්‍රයෝජන ගනිමින් ගතයුතු මඟ පිළිබඳව සැලසුමක් ඔහු සකස් කර ගත්තේය. එම සැලසුම ප්‍රතිවාදීන් දෙදෙනා අබිබවා යා යුතුය. එවිට අභිමානය සුරක්ෂිතය.
ලංකාවේ හමුදා පාලනයක් නොමැති, බහු පක්ෂ ක්‍රමයක් පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදයට නාමිකව හෝ ගරු කරන කුඩා සුබසාධක රාජ්‍යයක් වීම, ඈත එපිට ගම්බද පවා අවම හෝ පහසුකම් තිබීම, රට පුරා විසිරුණ මාර්ග පද්ධතියක් තිබීම, ආගමික හා සංස්කෘතික බැඳීම, දිවයින් රාජ්‍යයක් වීම නිසා විමුක්තිකාමීනට හුදකලා වීමේ ප්‍රවණතා වැඩිවීම, දිග් ගැස්සෙන ගරිල්ලා සටනකට අවශ්‍ය වනාන්තර සහිත ආරක්ෂාකාරී විශාල භූමි ප්‍රදේශ නොතිබීම හා පවතින ආණ්ඩු පිළිබඳව අවස්ථාවාදීව හෝ බහුතරයේ ඇති බැඳීම මෙම කරුණු නිසා කියුබා හා චීන ක්‍රමයන් ලංකාවේ සන්නද්ධ කැරැල්ලකට නොගැළපෙන බව විජේවීර කදිමට පෙන්වා දුන්නේය.
තර්ක කරන අතරම ක්ෂණිකව සකස් කරගත් අරගල න්‍යාය ඔහු ඉදිරිපත් කළේය.
විජේවීර පෙන්වා දුන්නේ ලාංකීය විප්ලවය සිදුවිය යුත්තේ ක්ෂණික විසිරුණු කැරැල්ලක් ලෙස බවයි. වඩාත් දිග්ගැස්සුණ අරගලයක් අසාර්ථක කිරීම පාලකයින්ට පහසුයි. ගම හා නගරය සංවිධාන කර පාලකයින්ට සූදානම් වීමට ඉඩක් නොතබා, මුළු රටපුරා පැතිරී යන ලෙස එකවර පහර දීමක් කළ යුතුය. ලාංකීය විප්ලවය සාර්ථක කළ හැකි වන්නේ එම ක්‍රමයෙන් පමණක් බව විජේවීර පෙන්වා දුණි. ගත යුතු මඟ පිළිබඳව විජේවීර සොයාගත් ක්ෂණික න්‍යාය එයයි. එය ඒකමතික තීන්දුවකි. එම ක්‍රමය සංවිධානය තුළ හෝ දිස්ත්‍රික් නායකයින් අතර හෝ සාකච්ඡා නොවුණි.
කිසිදු ප්‍රශ්නයකින් තොරව සියලු අනුගාමිකයෝ එතැන් සිට විප්ලවයේ ගතයුතු මග තර්ක විරහිතව පිළිගත්හ. ඒ සඳහා කැපවූහ.
● විජේවීරගේ කලකිරීම.
සංවිධානය පුළුල්ව මෝරා එත්දී ප්‍රායෝගික ගැටලු මතුවීම ස්වභාවිකය. නායකත්වය පිළිබඳව සංවිධානය තුළ ක්‍රමන්ත්‍රණ හා රහසිගත මෙහෙයුම් පවා සිදුවිය. ටී. ඩී. සිල්වා පාර්ශ්වයෙන් ඒ පිළිබඳව පේන ඇසීමට පවා නක්ශාස්ත්‍රකරුවන් වෙත ගිය බවත් කියැවිණ. විජේවීර වෙතින් ආණ්ඩු බලයක් ලබා ගැනීම සිදු නොවෙන බවත්, උසැති වෙනත් මූලිකයකුට නායකත්වයේ වරම හිමිවිය හැකි බවත් පේන බලන්නා පවසා ඇතැයි ද ප්‍රකාශ වේ. ඒ සඳහන් කළ හැඩරුව නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුලට සමාන විය. මේ සියල්ල රෝහණ විජේවීරට දැන ගැනීමට ලැබිණ.
විජේවීර කවදත් ලොකු අතුල පිළිබඳව විශ්වාසයක් තැබුවේ නැත. ඔහු කෙදිනක හෝ තමන්ට අභියෝගයක් විය හැකි බව විජේවීරගේ අදහස විය.
කෑගල්ල දිස්ත්‍රික් නායක සරත් විජේසිංහ හා කළුතර දිස්ත්‍රික් නායක ජී. අයි. ඩී. ධර්මසේකර කණ්ඩායම් වාදීව කටයුතු කරමින් නායකත්වය විවේචනය කරන බව ද විජේවීරට දැන ගැනීමට ලැබිණ. දෙවෙනි පෙළ නායකයින් පිළිබඳව ඔහු බැලුවේ සැකයෙනි. මේ නිසා සෙසු දිස්ත්‍රික්ක හා සම්බන්ධවීමට ඉඩ නොතබා ධර්මසේකර හා සරත් විජේසිංහ ඔවුන්ගේ දිස්ත්‍රික්කවලට පමණක් සීමා කිරීමට ඔහු කටයුතු කළේය. අවසානයේදී ධර්මසේකරව සංවිධානයෙන් කපා දැමුවේය. පසුකාලීනව ලොකු අතුල භාරයේ තිබූ ආයුධ හා වෙඩි බෙහෙත් වැඩි ප්‍රමාණයක් ඔහුගෙන් ඉවත් කිරීමට ද පියවර ගත්තේය.
විජේවීරගේ පුද්ගලික ප්‍රශ්න පිළිබඳව ගාල්ල ප්‍රදේශය නියෝජනය කළ ප්‍රධාන සහෝදරවරුන් අතර තදබල විවේචන තිබිණ. එවැනි විවේචනවලට ප්‍රමුඛත්වය ගත්තේ විජේසේන විතාන (සනත්) සහ සිසිල් චන්ද්‍රය. විජේවීරට එරෙහිව ගාල්ල ප්‍රදේශයේ පෝස්ටර් ව්‍යාපාරයක් ද දියත් විය. මේ පිළිබඳව සිසිල් චන්ද්‍රගේ නිවසේ පැවැති සාකච්ඡාවේදී කලකිරීමට පත්වූ රෝහණ විජේවීර නායකත්වයෙන් පවා ඉවත්වීමට සූදානම් බව ද පැවසුවේය.
තණමල්විල කඳවුර අවසන්ව දින කිහිපයකින් ‘ඇත්ත’ පත්‍රයේ වාර්තාවක් පළ විය. එම වාර්තාවේ සඳහන් වූයේ “තරුණයින් බිලිබාන සී. අයි. ඒ. කෙමනක්” සිරස් තලයෙනි. ‘සමගි පෙරමුණ ආණ්ඩුව පිළිබඳව තරුණයින් කලකිරවීම සඳහා ඇමරිකන් රහස් ඔත්තු සේවය මැදිහත්ව මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ’යි සඳහන්විය. වාර්තාව පිළිබඳව පැවති සාකච්ඡාවලදී ප්‍රධාන අනුගාමිකයින්ගේ විවේචන හමුවේ විජේවීර නිරුත්තරවූවා පමණක් නොව, ඔවුන්ව නිහඬ කර ගැනීමට ද නොහැකි විය. සමහර අවස්ථාවලදී තමන්ගේ අනුගාමිකයින්ට අවනතවීමට ඔහුට සිදුවිණ.
මෙයින් කියැවෙන්නේ විජේවීරට ආපසු හැරීමක් හෝ පියවරක් ආපසු තැබීමක් හෝ ක්‍රියාමාර්ග සංශෝධනය කිරීමක් හෝ කළ නොහැකිව තිබූ බවයි. විජේවීර හඳුන්වා දුන් මාක්ස්වාදය දේශයට ගැළපීම හා දේශයට ගැළපෙන විමුක්ති අරගලය ප්‍රමාදවීම අනුගාමිකයින් නොඉවසූ බව මෙයින් හැඟවේ.
● ගිනි අවි නිෂ්පාදනය, එකතු කිරීම හා වර්ධනය
ටින් බෝම්බ නිෂ්පාදනය කිරීම, ගිනි අවි එකතු කිරීම, ගබඩා කිරීම වැනි ක්‍රියාකාරකම් සඳහා 1969 අවසන් භාගයේ සිට ජ.වි.පෙ. තම සාමාජිකත්වය දැනුවත් කළහ. ඒ අනුව කටයුතු ද සිදුවිය. ගිනි අවි ගබඩා කිරීම සඳහා භූගත උමන් ද ඉදි කරන ලදී. භූගත ගබඩා ඉදිකිරීමේදී කතරගම ගාමිණී බාස් කැපවීමෙන් වැඩ කළේය. ගිනි අවි මිලදී ගැනීම් ද කළේය. මේ සඳහා අවශ්‍ය මූල්‍යමය ශක්තිය ලබා ගැනීමට මුදල් කොල්ලකෑම් ද සිදුවිය.
නිෂ්පාදන කරන ලද ටින් බෝම්බ ප්‍රාථමික තත්ත්වයේ විය. ඒ පිළිබඳව විශේෂිත දැනුමක් ලබාගත් කාඩරයක් ද නොවීය. බෝම්බ නිෂ්පාදනයේ දී ගබඩා කිරීමේදී හා ගබඩා කළ බෝම්බ පුපුරා ගිය අවස්ථා ද තිබුණි.
කාගම හෙවත් උපසේන සහෝදරයාගේ මඟ පෙන්වීමෙන් නෙළුම්දෙණිය ඇසළමුල්ලේ කඳු පාමුලක පැල්පතක බෝම්බ නිෂ්පාදනය කරමින් සිටියදී සිදුවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ පස් දෙනෙක් මිය ගියහ. ඇසලමුල්ලේ කේ. ජී. පියසේන, ජී. එම්. ඇල්පේනිස්, එම්. ආර්. චන්ද්‍රසිරි, සරත්චන්ද්‍ර වීරසූරිය හා දැදිගම පොලිස් කොට්ඨාසයේ ලේකම් ජී. එම්. ගුණරත්න එම පස් දෙනාය. බෝම්බ නිෂ්පාදනයට උපදේශන සැපයූ කාගම හෙවත් උපසේන බරපතළ තුවාල ලැබූවත් පලා ගියේය.
වැලිමඩ මාදිවෙල ප්‍රදේශයේ අත් බෝම්බ නිෂ්පාදනය කරමින් සිටියදී ඇතිවූ පිපිරීමකින් බඹරවානේ දිසානායක, කොටවර හීන් බණ්ඩා හා එස්. බී. හේරත් තිදෙනා බරපතළ තුවාල ලැබූහ.
පේරාදෙණිය හා විදුදය සරසවි තුළ ගබඩාකර තිබූ ගිනි අවි සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. දේශපාලන පංතිවලට සහභාගිවීම, රාජ්‍ය විරෝධී පෝස්ටර් බෙදාහැරීම, ඇලවීම ආදී චෝදනා යටතේ දිවයිනේ විවිධ පැතිවලින් ජ.වි.පෙ. සාමාජිකයෝ රැසක් පොලිස් අත්අඩංගුවට පත් වූහ.
රාජ්‍ය මර්දනයට සමගාමීව 1970 මහා මැතිවරණය ද එළඹෙමින් තිබිණි. මර්දනයෙන් ගැලවීම සඳහා මැතිවරණයේදී ශ්‍රී.ල.නි.ප. ප්‍රමුඛ සමගි පෙරමුණට සහය දැක්වීමට ජ.වි.පෙ. දේශපාලන තීන්දුවක් ගන්නා ලදී. මැතිවරණ සමයේදී රාජ්‍ය මර්දනය තරමක් ලිහිල් විය. මැතිවරණයෙන් සමගි පෙරමුණ ජයග්‍රහණය ලබා ආණ්ඩුවක් පිහිට වූවද, නොබෝ දිනකින් නැවතත් රාජ්‍ය මර්දනය ජ.වි.පෙ. වෙත ලුහුබැඳ ආවේය. මේ අනුව ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයේදී ජ.වි.පෙ. සාමාජිකයෝ අසරණ බවට හා අනාරක්ෂිත තත්ත්වයට පත්වූහ.
අරගලයකදී ප්‍රයෝජන ගැනීමට හා තම ආරක්ෂාවට තිබූ ගිනි අවි හසුවීම හා සාමාජිකත්වය අත්අඩංගුවට ගැනීම සංවිධානය අඩාලවීමට හේතුවක් බැවින්, මර්දනයට ප්‍රතිප්‍රහාර එල්ල කළ යුතු බවට මතයක් ද පහළ සාමාජිකත්වය තුළ වර්ධනය වෙමින් පැවතුණි. මේ නිසා කිසිදු ආපසු බැලීමක් ජ.වි.පෙ.ට නොවීය. මෙය සංවිධානයේ අසීරුම අවස්ථාවකි.
● දේශපාලන මණ්ඩලයක් පත් කිරීම, දිස්ත්‍රික් නායකත්වයේ සංශෝධන
අම්බලන්ගොඩ ලක්ෂ්මන් මාදුවගේ නිවසේ පැවැති සාකච්ඡාවේදී ඉහළම තීන්දු තීරණ ගැනීම සඳහා දේශපාලන මණ්ඩලයක් පත් කර ගන්නා ලදී. රෝහණ විජේවීර, විජේසේන විතාන (සනත්), ඩබ්ලිව්. ටී. කරුණාරත්න (ඉන්කම්ටැක්ස් කරු), නිමලසිරි ජයසිංහ (ලොකු අතුල), අනුර රංජිත් කුරුකුලසූරිය, සුනන්ද දේශප්‍රිය, ටී. ඩී. සිල්වා, ලක්ෂ්මන් මාදුවගේ, ඩබ්ලිව්. සිසිල්චන්ද්‍ර, සෝමසිරි කුමානායක, ජේමිස් උයන්ගොඩ (ඌ මහත්තයා) හා පී. ධනපාලගෙන් දේශපාලන මණ්ඩලය සමන්විත වූහ.
සංශෝධනය කළ දිස්ත්‍රික් ලේකම් හා දිස්ත්‍රික් නායකත්වයට උතුරු කොළඹ - එම්. මිල්ටන්, දකුණු කොළඹ - වසන්ත කනකරත්න, මැද කොළඹ - ඔස්මන්ඞ් සිල්වා, නුවර පාර - ජේමිස් උයන්ගොඩ, කෝට්ටේ - නිමල් මහරගේ, කෑගල්ල - සරත් විජේසිංහ, කුරුණෑගල - ජේ. සමරතුංග, අම්පාර - නිශ්ශංක විජේවර්ධන, අනුරාධපුර - ඩබ්ලිව්. එම්. ජයසිංහ, පොළොන්නරුව - සුසිල් ලියනගේ, හම්බන්තොට - ප්‍රැන්සිස් අබේවික්‍රම, මාතර - සුසිල් වික්‍රම, ගාල්ල - අයි. ඩී. සිරිපාල, කළුතර - නයනානන්ද විජේකුලතිලක, මහනුවර - අනුර කුරුකුලසූරිය, වවුනියාව - ගුණපාල තෙන්නකෝන්, බදුල්ල - සුනන්ද දේශප්‍රිය, මොණරාගල - අයි. ඩී. ප්‍රේමසිරි ගමගේ, නුවරඑළිය - ප්‍රේමසිරි සිරිවර්ධන හා සනී වර්ණකුලසූරිය, වෘත්තීය අංශය - වික්ටර් අයිවන්, ශිෂ්‍ය අංශය - එස්. වී. ඒ. පියතිලක යන අය පත්කර ගත්හ.
ඉතිරි කොටස ලබන සතියට....
ගණේමුල්ල බුද්ධි බොල්ලත
සඳමුතු ශර්මි ශ්‍රී. බුද්ධික