ගිරාඹේ ආනන්ද නාහිමි-කතා පෙළ- 08
ගිරාඹේ ආනන්ද නාහිමියන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක හෙල්ලුම් කන යෝජනාවන් දෙකක්ම ප්‍රේමදාස ජනපතිට ඉදිරිපත් කර ඇත. ඒ යෝජනා ඉදිරිපත් කරන්නට තරම් නාහිමියන්ට තිබූ තමන් වහන්සේ ගැන විශ්වාසයත් උපක්‍රමශීලිත්වයත් ගැන ප්‍රේමදාස මහතා මවිත වුණේය.
ඉන් එකක් නම් මෛත්‍රීපාල සේනානායක මහතා එජාපයට සම්බන්ධ කරගැනීමට ගෙනා යෝජනාව ය. ප්‍රේමදාස සමය ඇරඹෙන විට මෛත්‍රී හා සිරිමා බණ්ඩාරනායක අතර ද මත ගැටුම් ය. ජනපති ප්‍රේමදාසට රට අභ්‍යන්තරයේ කැරලි දෙකකි.
පක්ෂයේම පිරිසක් ද සීතල යුද්ධයකය. මේ අතර ප්‍රේමදාසගේ බලය ස්ථාවර කිරීම සඳහා නාහිමියන් ගෙනෙන ලද යෝජනාවලට ඉතා නිරහංකාරව නාහිමියන්ට කන් දුන්නේය.
දිනක් උන් වහන්සේ “ජනාධිපතිතුමා, මෛත්‍රීපාල සේනානායක මහත්තයා අසනීපෙන් ඉන්නේ. එතුමා රජරට නායකයා. ඒත් සිරිමා මැතිනිවත් අනුරවත් වෙන යම් කෙනෙක් හෝ සලකන බවක් පෙනෙන්නට නැහැ. අපි එතුමාට සැලකිල්ලක් දක්වමුද?” කියා ඇසූහ.
“ඉතාම හොඳ මනුස්සයෙක් තමා. ඒත් මොකද්ද අපට කරන්න පුළුවන් දේ?” ජනපති ඇසීය.
දැන් උතුරුමැද ආණ්ඩුකාර ධුරය පුරප්පාඩුවෙලා තිබෙන්නේ. අපි එතුමාට ආණ්ඩුකාරකම දෙමු”
නාහිමියෝ යෝජනා කළහ. ප්‍රේමදාස මහතා ඒ යෝජනාවට කැමැති විය.
මැදවච්චිය ආසනයේ ප්‍රධාන පෙළේ කිහිප දෙනෙක් හා කැබිතිගොල්ලෑව විහාරහල්මිල්ලෑව විහාරාධිපති නාහිමියන් සමග මේ පිළිබඳව සාකච්ඡා කළ නාහිමියෝ මෛත්‍රි වෙත යෝජනාව ගෙන ගියහ. ඒ යෝජනාව මෛත්‍රී ද තිගැස්සෙන්නක් විය.
බොහෝ සෙයින් කල්පනා කළ මෛත්‍රීපාල සේනානායක (එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී) මහතා තමා ප්‍රේමදාස මහතා වැන්නෙකු හා වැඩකිරීමට කැමති බවත් විදේශගත වී සිටින සිය බිරිය පැමිණ විගස තම අවසන් තීරණය දැනුම් දෙන බවත් නාහිමියන්ට දැන්වීය.
සිංගප්පූරුවේ සිටි රංජි සේනානායක මහත්මිය දිවයිනට පැමිණියා ය. සේනානායක මහතා එම යෝජනාව ගැන බිරියගේ අදහස විමසුවේය. “මෛත්‍රි ඔයා ඔයා වෙනුවෙන් සංවිධාන කටයුතු භාරදීලා තිබෙන ඔයාගේ බෑනා (සෙනරත් වත්තේවැව) ආසනේ තනි කරලා යූඇන්පී ගියොත් ඔයා මැරෙන දවසට මැදවච්චිය ආසනයේ මිනිහෙක්, මිනිය උස්සන්නවත් නැතිවෙයි” කියා ඒ මහත්මිය මෛත්‍රීට ප්‍රතිචාර දැක්වූවේය. මෛත්‍රී එදා ඒ තීරණය සෘජුව ගත්තේ නම් ඒ මහතා වෙනුවෙන් එජාපය තුළ අවශ්‍ය සියලු ඉඩකඩ හිමියන් විසින් නිර්මාණය කර තිබිණි.
තවත් දවසක නාහිමියන් ජනපතිගෙන් ඇසුවේ “ජනාධිපති තුමණි, මං අනුර බණ්ඩාරනායක යූඇන්පියට ගන්නද?” කියාය.
“හාමුදුරුවනේ පුළුවන් දෙයක් කතාකරන්න” ප්‍රේමදාසගේ පිළිතුර විය.
“එහෙම කියන්නෙ මොකද?” හිමියෝ හාර හාරා ඇසුවෝය.
“අහසයි පොළවයි ගැටගහන්ඩ බෑනේ හාමුදුරුවනේ....” ජනපතිගේ පිළිතුර විය.
“නෑ නෑ.. එහෙම නෙවෙයි, අනුර පක්ෂයට ගත්තොත් ?..... තමුන්නාන්සේගේ අදහස මට කියන්නකෝ....” යි ආනන්ද හිමියෝ ඇසූහ.
“අයියෝ අනුර එනවානම් මොනවා කරන්න බැරිද?” ප්‍රේමදාස මහතා කුහුලෙන් කීය.
“ආවොත් අනුරට අගමැතිකම් දෙනවාද?” හිමියන්ගේ ඊළඟ ප්‍රශ්නය විය.
“හා.. දෙන්නම්...” ප්‍රේමදාසගේ පිළිතුර විය.
“එහෙනම් මං ඉතිරි ටික කතා කරලා දින දෙකකින් කියන්නම්” යි පවසා හිමියෝ ඒ වගකීම භාරගත්හ.
අනුරගේ ලේකම් ලයනල් රාජපක්ෂ විය. ලයනල් හා කතා කිරීමේ දිගුකාලීන පසුබිමක් නාහිමියන්ට පැවැතිණි.
ආනන්ද හිමියෝ සිය යෝජනාව අනුර හා සාකච්ඡා කරන්නැයි ලයනල් හා සාකච්ඡා කරමින් කීහ.
“හාමුදුරුවනේ, ඔබ වහන්සේ මේ කියන්නේ මගේ ඔළුව කරකවන කතාවක්නේ”යි ලයනල් මවිතය පළකළේය.
ලයනල් රාජපක්ෂට කරුණු පැහැදිලි කළ ආනන්ද නාහිමියෝ ප්‍රේමදාස මහත්තයා මගේ යෝජනාවට කැමතියි.
ඔයා දැනගන්න ඕනෑ අනුරව කැමති කරවාගන්න. දැන් පවතින ඇත්ත තත්ත්වය නම් අනුරට අම්මා සලකන්නේ නෑ... අක්කා සලකන්නෙත් නෑ. පක්ෂයෙන් සැලකිල්ලකුත් නෑනේ. යූඇන්පී ගියොත් අගමැති වෙන්න පුළුවන්. කැමතිද? කියලා අහන්න” යි දැනුවත් කළෝ ය.
“ඔබ වහන්නේ මාව අමාරුවේ දාන්නේ නෑ නේද හාමුදුරුවනේ?” යි ලයනල් ඇසුවේය.
අනතුරුව අනුර බණ්ඩාරනායක මහතා හා සාකච්ඡා කළ ඔහුගේ ලේකම් ලයනල් රාජපක්ෂ ගිරාඹේ ආනන්ද නාහිමියන් මෙම කපුකම කරන බවත් උන්වහන්නේ ගැන උපරිමයෙන් විශ්වාසය තැබිය හැකි බවත් කියා සිටියේය.
“ලයනල් ඒක හොඳ යෝජනාවක්. ඇත්තටම ප්‍රේමදාස මහත්තයා කැමැති නම් මමත් ඒකට කැමතියි අනුර පිළිතුරු දුන්නේය.
ජනපති ප්‍රේමදාසට කතාකළ ආනන්ද හිමියෝ “ඕන්න මම කතා කළා. ඒ වැඬේ හරි.” යැයි දැනුම් දුන්නේය.
“මොනවා? පුදුමයිනේ! අනුර කැමැතියි”යි ප්‍රේමදාස මහතා මවිතයෙන් ඇසුවේය.
“ඔව් වැඬේ හරි.....ඉතුරු ටික තියෙන්නේ තමුන්නාන්සේ අතේ තමා...දැන් අනුරට කතාකරන්න” යි හිමියෝ කීහ.
කොළඹ ෆ්ලවර් රෝඞ් හි අගමැති කාර්යාලයේ දී අනුර හා ප්‍රේමදාස හමුව සිදු විය.
“බොහෝම සතුටුයි. ඔබට වූ අසාධාරණකම් වෙනුවෙන් මගෙන් යමක් ලැබේවි. අද ඔබ අපේ පක්ෂයට ආවොත් හෙට වෙද්දී අගමැති ධුරය ලබාදෙනවා” යි ප්‍රේමදාස මහතා කෙළින්ම කීවේය.
“නෑ, ජනාධිපතිතුමණි, මහින්ද ඇතුළු මගේ යාළුවන් සමග සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ ඉන්න අපේ පක්ෂයේ තව 15 දෙනෙක් අරන් මම එන්නම්” යි අනුර ද තිරසාර වචනයක් දුන්නේය.
ඒ 1993 අප්‍රේල් අග භාගයයි. සාකච්ඡාවෙන් සතියකට පසු මැයි දින පෙළපාළියේ දී ප්‍රේමදාස මහතා ජීවිතක්ෂයට පත්වුණේය. අවසන් කටයුතු සියල්ල අවසන් වූ පසු දිනක අනුර, ගිරාඹේ ආනන්ද නාහිමියන්ට කතා කළේය.
“ඕන්න නායක හාමුදුරුවනේ, දෛවයේ හැටි. එදා මම සති දෙකක් කල් ඉල්ලන්නේ නැතිව කියාපු දේට ඒ වෙලාවේම කැමතිවුණා නම් අද ජනාධිපති මම” යි අනුර වේදනාවෙන් යුතුව කීවේය. කළකිරීමට පත් අනුර දේශපාලනයෙන් සමුගැනීමට සිතුවේය.
ඇමති සිරිසේන කුරේට කතා කළ නාහිමියෝ මෙතෙක් රහසක්ව පැවැති මේ විස්තරය කියා දේශපාලනයෙන් සමුගෙන එංගලන්තයේ පදිංචියට යාමට සූදානම් අනුරට ජනාධිපති ඩී. බී. විජේතුංග මහතා හා කතාකර විවෘත ආරාධනයක් කරන්නැයි කීහ.
අනුර හොඳ පවුලක දේශපාලන පසුබිමක් ඇති අයෙකු බව කී විජේතුංග මහතා ඔහුට සිය පක්ෂය ගැන කළකිරීමක් ඇත්නම් ඉදිරි දේශපාලන කටයුතු සඳහා එක්සත් ජාතික පක්ෂය හා එක්වෙන්නැයි ආරාධනා කළේය. ඒ අනුව 94 වසරේ දී එජාපය හා එක්වූ අනුර උසස් අධ්‍යාපන ඇමති ධුරය ලබාගෙන කටයුතු කළේය.
අනුරාධපුර - සරත් මනුල වික්‍රම