1983 වසරේ ඇති වූ කළු ජූලියෙන් පසු රජයේ සැකයට ලක් වූ ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර ඇතුළු එම පක්ෂයේ මුල් පෙළේ නායකයන් පිරිස එතැන් සිට හය වසරක පමණ කාලයක් ගත කළේ යටි බිම්ගත ජීවිතයකි. එසේම එම කාලය තුළ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් සිදු කරන ලදැයි කියන මනුෂ්‍ය ඝාතන ඇතුළු හැම ප්‍රචණ්ඩ ක්‍රියාවකටම වගකිව යුත්තන් සේ එවකට පැවැති ආණ්ඩුවේ බලධාරීන්ගේ සැකයට ලක් වී සිටියේ ඔවුන්ය.
කෙසේ වෙතත් ඊට හය වසරක පමණ කාලයකට පසු උලපනේ වතු බංගලාවක සිට අත්අඩංගුවට පත්ව ජ.වි.පෙ. නායකයාත්, පක්ෂයේ තවත් ප්‍රබලයෙකු වූ ඩී. එම්. ආනන්දත් ඝාතනය වී ඇතැයි එක්තරා දිනයක ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශේෂ පුවතක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු රජයේ නිවේදනයකින් කියැවිණි. ඊට පසු දා බණ්ඩාරගම දී අත්අඩංගුවට ගැනුණු උපතිස්ස ගමනායකත් ඝාතනයට ලක්වූයේ ඊට සමාන අයුරකිනි.
කෙසේ වෙතත් රෝහණ විජේවීර, ඩී. එම්. ආනන්ද සහ උපතිස්ස ගමනායක යන තිදෙනාම ඝාතනය වූයේ එකම ආකාරයටය. මේ අතර ජ.වි.පෙ. ප්‍රබලයන් එලෙස ඝාතනය වීමෙන් පසු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් සිදු කරන ලදැයි කියන මනුෂ්‍ය ඝාතන ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා බොහෝ සෙයින් අඩු වූ බවද ප්‍රකට කරුණකි. එසේ වුවද ඉන් අනතුරුව අසන්නටත් දකින්නටත් ලැබුණේ මහ මඟ දමා ගොස් තිබුණු අඩක් දැවී ගිය මළ සිරුරු ය. එකල හතු පිපෙන්නාක් මෙන් විවිධ නාම වලින් හැඳින්වුණ විකල්ප ධාරාවේ පුවත්පත් ඒ පිළිබඳව රජයේ ආරක්ෂක හමුදාවලට චෝදනා කළේ එවැනි මනුෂ්‍ය ඝාතනවලට රජය මුළුමනින්ම වගකිව යුතු බව කියමිනි.
මේ කාලයේ එක්තරා දිනයක රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක දී එවකට වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය දැරූ ගාමිණී දිසානායක මහතා ඒ පිළිබඳව රජයට චෝදනා කළේය.
‘අද හැම හන්දියක් ගානෙම මළ සිරුරු දැවෙනවා. පුද්ගල අතුරුදහන්වීම් ගැන හැම පැත්තකින්ම අසන්නට ලැබෙනවා. අද අතුරුදහන් වන පුද්ගලයා පසුදා හමුවන්නේ අඩක් දැවී ගිය මළ සිරුරක් ලෙසිනුයි. මීට කලින් නම් මෙවැනි මනුෂ්‍ය ඝාතනවලට වගකීම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ගිණුමටයි කෙළින්ම බැරවුණේ. ඒත් අද වන විට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මර්දනය කර ඇතැයි ආණ්ඩුව ප්‍රකාශ කරනවා. එවැනි තත්ත්වයක් යටතේ මේ මනුෂ්‍ය ඝාතන සිදු කරන්නේ කවුරුන් දැයි යන ප්‍රශ්නය ඉබේටම පැන නැගෙනවා. මෙය අපේ ආණ්ඩුවට විතරක් නොවෙයි මුළු රටටම අපකීර්තියක්. ඇතැම් විදේශීය රටවල් ශ්‍රී ලංකාව හඳුන්වන්නේ මිනී කන්නන්ගේ දේශයක් ලෙසිනුයි. ඇයි අපේ ආණ්ඩුව මේ ගැන අවධානය යොමු නොකරන්නේ. මේක අපේ රටේ පවතින උතුම් වූ බෞද්ධ සංස්කෘතියට පවා අවමානයක්’
ගාමිණී දිසානායක මහතා එලෙස කියමින් තම කතාව නොනවත්වාම කරගෙන යද්දි මුලසුනේ සිටි ප්‍රේමදාස ජනාධිපතිතුමා දැඩිලෙස කෝපයට පත් වුවද හෙතෙම මුවින් නොබැණ අසා සිටියේය. ගාමිණී එලෙස රට පුරා දකින්නට ලැබෙන ටයර් සෑ සහ මනුෂ්‍ය ඝාතන ගැන දිගින් දිගටම සඳහන් කරද්දී ඒ අසලම සිටි රංජන් විජේරත්න ඇමැතිවරයා එක්වරම නැගී සිට කෝපයෙන් බෙරිහන් දුන්නේය.
‘එතකොට ගාමිණී මට කියන්නේ මේ මිනී මරුවන් උකුලෙ තියාගෙන නළවන්න කියලද?’ යි ඇසූ ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා මේ රටේ ජනතාවට බියකින් හා සැකයකින් තොරව ජීවත්වීමට ඉඩ සැලසීම තමන් සතු වගකීමක් වන අතර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ මිනීමරුවන් ගැන අනුකම්පාවෙන් කතා කරන ගාමිණී වැනි ඇමැතිවරුන් දේශද්‍රෝහීන් ලෙස හැඳින්විය හැකි’ යැයි ද කියමින් ඔහුට ඉතා තදින්ම පහර ගැසුවේය.
අනතුරුව ඔහු ජනාධිපතිවරයා දෙස බලමින් කියා සිටියේ විදේශ තානාපතිවරුන් හමුවේ පවා මෙවැනි රටට අහිතකර ප්‍රකාශයන් කරන ඇමැතිවරුන් නිහඬ කිරීමට නොහැකි නම් තමන්ට තව දුරටත් ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ධුරයේ රැඳී සිටීමට නොහැකි බවය.
එහිදී දැඩි ලෙස කෝපයට පත් ජනාධිපතිවරයා කෙළින්ම ගාමිණී දෙස බලමින් තමන් හිඳගෙන හුන් පුටුව ද පසු පසට තල්ලු කරමින් නැගී සිටියේ එහි සිටි නවක මන්ත්‍රීවරුන් බිරන්තට්ටු වී බලා සිටියදීය.
‘ගාමිණී මේක මගේ ආණ්ඩුව. ඔහේට ඉන්න පුළුවන්නම් ඉන්න. බැරිනම් අස්වෙලා යන්න. ඕනෑම වෙලාවක දොර ඇරලයි තියෙන්නේ. ගාමිණිලා ඒ කාලෙදිත් මට මේ විදියෙ කෙණෙහිලිකම් කෙරුවා. ඒත් එදා මං ඒවා ඉවසාගෙන හිටියට අද මගේ ආණ්ඩුවක් යටතේ ඔහේලට ඕන විදියට නටන්න මම ඉඩ තියන්නේ නෑ. ඒ නිසා මම ඔහේට කියන්නේ මගේ ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙකු හැටියට තවදුරටත් ඉන්න බැරිනම් නම්බු පිටින් අස්වෙලා යන්න කියලයි.’
ගාමිණී දිසානායකගේ මුහුණ දෙස කෙළින්ම බලාගෙන ප්‍රේමදාස ජනාධිපතිවරයා එලෙස තර්ජනය කරද්දී ඔහු එම කර්කශ වචන කීපය නෑසුනාක් මෙන් ඉවත බලාගෙන සිටියේය. එදින එම රැස්වීම් ශාලාවෙන් ගාමිණී දිසානායක මහතා පිට වී යද්දී ඔහු සමග කතා බහ කිරීමට පවා කිසිවකු ඉදිරිපත් නොවූයේ තමන් ලොක්කාගෙන් කැපීයතැයි බයට ය. ඊට දින කීපයකට පසු ගාමිණී දිසානායක ඇමැතිවරයා තමන් වෙත කැඳවූ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඔහු එතෙක් දැරූ වැවිලි කර්මාන්ත ඇමැති ධුරයෙන් ද මුදාහැර තිබුණේ එම ක්‍රියාවලියේ දෙවැනි පියවරක් වශයෙනි.
නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූප අන්තර්ජාලයෙනි