සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විපක්ෂ නායිකාව වශයෙන් සිටියදී මහින්ද රාජපක්ෂ මහතා විසින් 1992 වසරේ අප්‍රේල් මාසයේ කතරගම සිට කොළඹ දක්වා පාද යාත්‍රාවක් පවත්වනු ලැබුවේ එවකට පැවැති ජේ. ආර්. ජයවර්ධන පාලන යුගයේ වැඩපිළිවෙළවල් ගණනාවකට එරෙහිවය.
මේ පාද යාත්‍රාවට හිටපු කතානායකවරයෙක්වූ හියු ප්‍රනාන්දු මහතාද ආධාරකරුවන් පිරිසක් සමග සහභාගිවීමට ගියේ ඔහු සෑම අවස්ථාවකම පීඩිත ජනතාව නියෝජනය කළ දේශපාලනඥයෙක්ව සිටි නිසාය.
ඒ පාද යාත්‍රාව හියු ප්‍රනාන්දු මහතා ජීවන ගමනෙන් සදහටම සමුගන්නා අවස්ථාවක් වේ යැයි ඔහු සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.
“තාත්තාට අසනීප වෙලා මාරවිල නර්සින් හෝර්ම් එකෙන් ප්‍රතිකාර ගෙන තිබුණේ. වෛද්‍යවරු පරීක්ෂාකර බලලා කිව්වේ “ටික කාලයක් යනකම් ඇඳෙන්වත් බහින්න එපා” කියලයි. තාත්තා ලබාදුන්නු වෛද්‍ය උපදෙස් නොතකා හැර තමා කතරගම සිට කොළඹ බලා පිටත්ව තිබූ පාද යාත්‍රාවට සහභාගිවෙන්න ගියේ. තාත්තා ඉන්න තත්ත්වය ගැන සලකා බලා ගෙදර අය කියා තිබෙනවා ඔය ගමනට යන්න එපා කියා. ඒත් තාත්තා ගෙදර අය කියන දේ අසා නැහැ. තාත්තා පිරිසක් සමග එකතුවෙලා පාද යාත්‍රාවට සහභාගිවෙන්න ගියා. එදා මම හිටියේ නැහැ. හිටියානම් ඔය ගමන කීයටවත් යන්න දෙන්නේ නැහැ”
ඒ හියු ප්‍රනාන්දු මහතාගේ පුත් රියෙන්සි ප්‍රනාන්දු මහතාගේ මතකයයි.
හියු මහතා සමග පාද යාත්‍රාවට සහභාගිවීමට ගිය කණ්ඩායමේ සිටි නයිනමඩමේ පදිංචි සරත් ඇන්තනි මහතා ඒ මතකය වචනවලට පෙරළුවේ මෙසේය.
“හියු මහත්තයා නයිනමඩමේ හණතොටුපොළ හංදියේ තියෙන ගෙදර ඉඳලා ටේරවින් ප්‍රනාන්දු මහත්තයාගේ ගෙදරට එදා පාන්දරම ආවා. අපි කට්ටියක්ම පාද යාත්‍රාවට සහභාගිවෙන්න පස්සේ පිටත්ව ගියා. හියු මහත්තයා පුදුම උද්යෝගයකින් පාද යාත්‍රාවට සහභාගිවුණා. පාද යාත්‍රාවට සහභාගිවෙලා හිටිය මහසෙනඟ දැකලා හියු මහත්තයා පුදුම සන්තෝෂයකින් හිටියේ. මග දිගට සෙනඟ රැස්වෙලා පාද යාත්‍රාවට සහාය පළ කළා. රත්නපුර පලාපත්වල හංදියේදි හියු ප්‍රනාන්දු මහත්තයට එක පාරටම අසනීප වුණා. මහත්තයාට දිය වැඩියාව කාලයක ඉඳන් තිබුණා. අපි ඉක්මනට හියු මහත්තයාව පාද යාත්‍රවෙන් ඉවත් කරගෙන පල්ලේබැද්ද රෝහලට අරගෙන ගියා.
ඒ රෝහලෙන් මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබාදී ඇම්බියුලන්ස් එකකින් රත්නපුර මහ රෝහලට අරගෙන ගියා. රෝහලට ගිය ගමන්ම සේවකයෙක් රෝද පුටුවක් අරගෙන ඇම්බියුලන්ස් එක ළඟට ආවා. “මට ඒ හැටි අමාරුවක් නැහැ”. ඒ හින්දා රෝද පුටුවකින් යන්න අවශ්‍ය නැහැ කියා පවසා හියු මහත්තයා පයින්ම ඕපීඩී එක ළඟට ඇවිදගෙන ගියා. රෝද පුටුවේ වාඩිවෙලා යන්න කියා කොච්චර කිව්වත් හියු මහත්තයා ඇසුවේ නැහැ.
වෛද්‍යවරුන් හියු මහත්තයාට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්න පටන් ගත්තා. මට ලොකු අමාරුවක් නැහැ. ඩොක්ටර් කියමින් ඒ වෙලාවේ හිටිය දොස්තර මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය එක්ක ආගිය තොරතුරු කියන්න පටන් ගත්තා. වැඩිය කතා බහ කරන්න එපා කිව්වත් ඒකත් ගාණක් ගත්තේ නැහැ. හොඳ සිහියෙන් හිටියේ. අපටත් පේන්න තරම් ලොකු අමාරුවක් හියු මහත්තයාට තිබුණේ නැහැ. පැය දෙක තුනක් විතර කාලයක් කා එක්කත් බොහොම හොඳට කතා කර කර හිටිය හියු මහත්තයා පාන්දර යාමයේ අප සැමගෙන් සදහටම සමුගත්තා.
මානව හිතවාදි ජනතාවාදී දේශපාලනඥයා මෙලොව හැර ගියේ 1992 වසරේ අප්‍රේල් මස 2 වැනිදා පාන්දර යාමයේය. මිය යනවිට හියු ප්‍රනාන්දු මහතා පසුකරමින් සිටියේ සිය ජීවන ගමනේ 75 වැනි සැතපුම් කණුවය.
හැත්තෑ පස්වැනි වියේ පසුවූවත් මිය යනතෙක්ම ඔහු තරුණ ජවයක් ඇත්තෙක් මෙන් කඩිසරව වැඩ කළේය.
හියු ප්‍රනාන්දු නම්වූ ඒ කෘතහස්ත දේශපාලනඥයාගේ මානව හිතවාදියාගේ අවසන් කටයුතු සිදු කෙරුණේ නයිනමඩම හණතොටුපොළ හංදියේ පිහිටි කතෝලික පොදු සුසාන භූමියේදී විශාල ජනකායකගේ සෝ සුසුම් මැදය.
ඔහුගේ භූමදාන කටයුතු සිදු කෙරුණේ ජීවත්ව සිටියදී පෙන්වා තිබූ ස්ථානයේදීය.
නයිනමඩම කතෝලික පොදු සුසාන භූමියේදී මිහිදන් කෙරුණු හිටපු කතානායකවරයාගේ දේහය හරියටම ඊට වසර පහකට පසු යළි ගොඩ ගැනීමට සිදුවිය. හියු ප්‍රනාන්දු මහතාගේ දේහය සමඟ භූමදානය කර තිබූ තවත් දේහයන් ගණනාවක්ම ගොඩ ගෙන තිබේ.
මෙම සුසාන භූමිය පිහිටා ඇත්තේ කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගය ආසන්නයේය.
කොළඹ - පුත්තලම මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ එම මාර්ගය දෙපස පිහිටි වෙළෙඳසල් නිවසේ හා ගොඩනැගිලි රැසක්ම කඩා ඉවත් කිරීම සිදුවූ අතර ඒ අනුව සුසාන භූමියේ තාප්පය කඩා මිහිදන් කර තිබූ සිරුරු ගණනාවක්ම ගොඩගෙන සුසාන භූමියේම වෙනත් තැන්වල යළි මිහිදන් කිරීම සිදුවිය.
හිටපු කතානායකවරයාගේ සිරුරද ගොඩගැනීමට සිදුවූයේ ඒ අනුවය.
පාර පළල් කිරීමට යාම නිසා තාත්තාගේ මිහිදන් කර තිබූ දේහයද වසර පහකට පස්සේ ගොඩ ගත්තා.වෙන්නප්පුව සිරිපුර මල්ශාලාවෙන් තාත්තාගේ දේහය යළිත් මිහිදන් කරන්න මම වැඩි වටිනාකමක් නොමැති පෙට්ටියක් මිලදී ගන්න ගියා. මල් ශාලාවෙන් ඉහළ වටිනාකමක් ඇති හොඳම මිනි පෙට්ටියක් දුන්නා. ඒ පෙට්ටියට මුදල් ගත්තේ නැහැ. ඊට පස්සේ ඒ මිනි පෙට්ටියේ තාත්තාගේ දේහය තැන්පත් කරලා ආයෙත් මිහිදන් කළේ ආගමික වතාවත්වලින් පසුවයි. තාත්තාගේ අවසන් කටයුතු දෙවැනි වරටත් සිදු කෙරුණු අවස්ථාවටත් විශාල පිරිසක් සහභාගිවුනා යැයි හියු ප්‍රනාන්දු මහතාගේ පුත් රියෙන්සි මහතා පැවැසීය.
තොරතුරු සොයා යාමේදී සහාය වූ විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පී. කුමාරරත්න සහ විශ්‍රාමික ගුරුවරයෙක් වන ඩබ්ලිව්. එඩව්ඞ් තකකස් යන මහත්වරුන්ට විශේෂ ස්තුතිය.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප : මාදම්පේ එස්. හේරත්