ජවිපෙ ආරම්භක සාමාජිකයකුගේ මතක සටහන්
08 වැනි කොටස
අම්බලන්ගොඩ ගුස්තික්‍ඳ්ක්‍ඳවඩු පියසිරි ගුණරත්න ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකි. ඒ ඉපැරණි මතකය සිහිපත් කරමින් ඔහු “මගේ මතක සටහන්” (ජනතා විමුක්ති පෙරමුණ සහ අප්‍රේල් කැරැල්ල) නමින් කෘතියක් පසුගියදා එළිදැක්විණි. මේ ඒ කෘතියෙන් උපුටාගත් කොටසකි.
පසුව මම ඔවුන් සමග සාකච්ඡා කර ඔවුන්ට පන්ති පැවැත්වූයෙමි. අනතුරුව ඔවුහුද ව්‍යාපාරයේ වැඩ කිරීමට පටන් ගත්තෝය. ප්‍රේමදාස හා ඥානරත්න සහෝදරයන් විසින් සූදානම් කළ සහෝදරයින්ට ද මම පන්ති පැවැත්වූයෙමි. මේ දිනවලම ගුරු විදුහලෙන් පිටවූ ගරුසිංහ සහෝදරයා මැදි විදුහලට මාරුවී පැමිණියේය. ගරුසිංහ සහෝදරයා දැඩි කැපවීමෙන් කටයුතු කිරීමට පටන් ගැනීමත් සමග අප ව්‍යාපාරයේ කටයුතු දියුණු විය.
අප ව්‍යාපාරයට බොහෝ ආදරය කළ නාවික හමුදාවේ අපගේ තිලකරත්න සහෝදරයා විසින් මට හඳුන්වා දුන් නාවික හමුදාවේ සහෝදරයින් දෙදෙනෙකු විසින් සූදානම් කළ සාකච්ඡා කිහිපයක්ම මම පැවැත්වූයෙමි. එසේම කුමාරසිංහ ජයසේකර, හුංගම සැම්සන් යන සහෝදරවරුන් සංවිධානය කළ පිරිස්වලටද මම පංති පැවැත්වූවෙමි. මේ කුමාරසිංහ සහෝදරයා, ගරුසිංහ සහෝදරයා සමග 1971 න් පසුව වනගතව සැලකිය යුතු කලක් රජයට එරෙහිව සටන් කළ කණ්ඩායමේ සාමාජිකයෙක්ව සිටියේය.
මේ කාලයේදීම බඬේ අමාරුවක් හැදී මට අනුරාධපුර රෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමට සිදුවිය. මීට ඉහත මා කොළඹ සේවය කරද්දී ද මා මෙසේ අසනීප වී කොළඹ මහ රෝහලෙන් ප්‍රතිකාර ගෙන තිබුණි. කොළඹදී මා හට ලබාදී තිබූ රෝග විනිශ්චය කාඞ්පත මම අනුරාධපුර රෝහලට ලබා දුන්නෙමි. මා හට ඇත්තේ තයිරොයිඞ් සම්බන්ධ රෝගයක් බවත්, ඒ සඳහා ශල්‍යකර්මයක් කළ යුතු බවත් එවිට වෛද්‍යවරු නිගමනය කළහ. ඉන්පසු මට මාසයක් පමණ රෝහලේ නතර වී සිටීමට සිදුවිය. මාගේ නැන්දණිය (අම්මා) ගේ ලොකු දුව වන සේපාලිකා ගුණසේකර හෙදියක් ලෙස අනුරාධපුර රෝහලේ සේවය කළ බැවින් සියලු පහසුකම් මට ලැබුණි.
මේ කාලයේ අනුරාධපුර ව්‍යාපාරයේ කටයුතු කළේ සිරිල් දහනායක සහෝදරයාය. මේ වන විට මාරසිංහ, රණතුංග, ලෙස්ලි, තඹුත්තේගම කරු යන සහෝදරවරු හා කරුණාරත්න, ගුණපාල යන සහෝදරයින් අතර ප්‍රශ්නයක් ඇතිවී තිබුණි. මා මහ රෝහලේ සිටින බව දැනගෙන සිටියේ දහනායක, ජයසිංහ හා මාරසිංහ යන සහෝදරයින් පමණකි. මා මෙහි සිටින බව වෙනත් කිසිවෙකුට නොදන්වන ලෙස අප දන්වා තිබුණි. සහෝදරවරුන් අතර ඇතිවී තිබූ ප්‍රශ්නය මා හට දැනුම් දුන්නේ ජයසිංහ සහෝදරයාය. මේ නිසා මම රෝහලේ සිටිද්දීම සවස 5.00 පමණ සූක්ෂම ලෙස රෝහලෙන් පිටවී ජයසිංහ සහෝදරයා සමග ගොස් ජයසිංහ සහෝදරයා මගින් දහනායක සහෝදරයා ගෙන්වා ගෙන මේ ගැන සාකච්ඡා කළෙමි. පසුව මම මේ දෙගොල්ලන්ම වෙන වෙනම රැස් කරවා සාකච්ඡා කළෙමි. එමගින් ඔවුන් සමගි කිරීමට හැකි විය.
පොළොන්නරුව සහෝදරයින්ට වැඩ කිරීම සඳහා පාපැදි දෙකක් එවන ලෙස දන්වා ඇති බව දිනක් ජයසිංහ සහෝදරයා කීවේය. මා මාරසිංහ සහෝදරයා කැඳවා මෙහෙන් පාපැදි දෙකක් සොරාගෙන යාමටත්, පොළොන්නරුවේ සහෝදරයින්ට දන්වා එහෙන් පාපැදි දෙකක් සොරාගෙන එය අනුරාධපුරයට පැදගෙන ඒමටත් කීවෙමි. මෙය එකම දිනකට යොදාගෙන මගදී පාපැදි මාරුකරගෙන යාමටත් කටයුතු කරන ලෙස මම දහනායක සහෝදරයාට උපදෙස් දුන්නෙමි. ඒ අනුව පළාත් දෙකටම වැඩ කිරීම සඳහා පාපැදි ලැබුණි.
සුවය ලබා අනුරාධපුර රෝහලෙන් ටිකට් කැපීමෙන් පසු නැවත ත්‍රිකුණාමලයට ගියෙමි. ඒ අතරවාරයේ ගරුසිංහ සහෝදරයා ව්‍යාපාරයේ කටයුතු ඉතා සාර්ථක ලෙස කරගෙන ගොස් තිබුණි. මේ දිනවලම මඞ්කෝහි වරාය සහෝදරයින් කිහිපදෙනෙකු සඳහා සූදානම් කර තිබූ සාකච්ඡාවකට මම සහභාගී වූයෙමි. නාවික හා යුද හමුදාවේ සහෝදරයින් සඳහා වන සාකච්ඡා පන්ති පැවැත්වීමට සහභාගි වූයේ මා පමණකි.
මෙම කාලයේ ගරුසිංහ සහෝදරයාගේ අදහස් අනුව අතින් දෙමළ බසින් පෝස්ටරයක් සාදා එය ත්‍රිකුණාමලය නගරයේ ඇලවීමු. දෙමළ බසින් මෙය ලියන ලද්දේ ත්‍රිකුණාමලයේ දී මුලින්ම මා හමුවූ සහෝදරයින්ගෙන් කෙනෙකු වන ධීවර කාර්මිකයෙකු වූ ඥානරත්න සහෝදරයා විසිනි. ඔහුට දෙමළ භාෂාව කථා කිරීමට හා ලිවීමටද හැකියාව තිබිණි. මෙම පෝස්ටරයේ ලියන ලද්දේ “ජාතිවාදය අතහැර සමාජවාදය තෝරා ගන්නා ලෙස දෙමළ තරුණයින්ගෙන් ඉල්ලා සිටිමු” යන්නයි. මෙම පෝස්ටරය අලවා සතියක් පමණ ගිය විට එයට පිළිතුරු පෝස්ටරයක් ගසා තිබිණ. ඥානරත්න සහෝදරයා මේ බව අපට දන්වා පසුව එම පෝස්ටරයක් ද ගලවාගෙන විත් තිබිණ. එහි සිංහල අදහස වූයේ “උඩින් වැටුණා වගේ මිලදී ගත්තා වගේ එහෙන් මෙහෙන් එන සිංහල සමාජවාදීන් අප විසින් පිළිගන්නේ නැත” යන්නයි.
මේ කාලයේදී අනුරාධපුර ජයසිංහ සහෝදරයා හරහා නොම්බර 12 පතරොම් මිලදී ගැනීමට අපට හැකි විය. මේ සඳහා මුදල් එකතු කළේ ගරුසිංහ සහෝදරයා හා ප්‍රේමදාස සහෝදරයාය. මෙම පතරොම් ප්‍රේමදාස සහෝදරයා බාරයේ තිබිණි.
මේ වන විට 1970 මහා මැතිවරණය එළඹෙමින් තිබුණි. එම මැතිවරණයේදී අප කටයුතු කළේ කිසිම පක්ෂයකට සහයෝගයක් නොදී සිටීමටය. සමගි පෙරමුණ ජයගන්නා බවට අපට විශ්වාසයක් තිබුණි. නමුත් එජාප රජය භාර නොදී මොන ක්‍රමයකින් හෝ දිගටම සිය පාලනය පවත්වා ගෙන යාමට ඉඩ ඇති බවට බරපතළ සැකයක් අපට ඇතිවී තිබුණි.
1970 මැතිවරණයට ආසන්නයේදී විජේවීර සහෝදරයා හම්බන්තොටදී (ජුල්ගමුවේදී විය යුතුයි) අත්අඩංගුවට පත්විය. එසේ වුවත් සනත්, කරු, අතුල ඇතුළු පිරිස සමග එක්ව ව්‍යාපාරය අඩපණ නොවී පවත්වාගෙන යාමට අපට හැකියාව ලැබුණි. විජේවීර සහෝදරයාගේ නඩුව විභාග වූයේ නුවරඑළියේ උසාවියේය. රටේ සෑම තැනකින්ම පූර්ණකාලීන සහෝදර සහෝදරියෝ නඩු දිනයට උසාවියට පැමිණියෝය. මැතිවරණයෙන් පසු ජුනි මස දිනක විජේවීර සහෝදරයා නිදහස් කරන ලදී. එනමුත් එම කාලයේදීම අත්අඩංගුවට ගෙන තිබූ නුවරඑළියේ සිරිවර්ධන නොහොත් ගට සිරා නිදහස් කළේ නැත. නිදහස් වූ විජේවීර සහෝදරයා නානුඔය දුම්රියපොළේදී පැමිණ සිටි සහෝදරවරුන් අමතා උද්යෝගිමත් කථාවක් පවත්වා ලක්ෂ්මන් මාදුවගේ, අනුර, සුනන්ද ඇතුළු පිරිසක් සමග බණ්ඩාරවෙල බලා පිටත්ව ගියේය.
සකස් කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප : අන්තර්ජාලයෙනි.