මහා බි්‍රතාන්‍යය වැනි දියුණු පාර්ලිමේන්තු සම්ප්‍රදායක් පවතින රටවල මහ මැතිවරණයකින් පසු කතානායකවරයෙකු තෝරා පත්කර ගැනෙන්නේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පොදු එකඟතාවයෙනි. එසේ වුවද ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින ක්‍රමවේදය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. ඒ අනුව මෙරට පාර්ලිමේන්තුවේ අභිනව කතානායකවරයකු පත්කර ගැනෙන්නේ මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙනි.
එය මෙරට පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඇරඹුණ දා සිටම පැවැති ක්‍රමවේදයක් වුවද ඊට වඩා වෙනස් අන්දමේ බරපතළ සිද්ධියක් 2004 මහ මැතිවරණයෙන් පසු අසන්නට ලැබිණි. එවර සිදු වූ එම බරපතළ සිද්ධියෙහි ප්‍රතිඵලයක් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරූ එක් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට පවා සිදුවී තිබුණේය.
එදින දකින්නට ලැබුණු තවත් සුවිශේෂ සිද්ධියක් වුණේ අභිනව කතානායකවරයකු තෝරා ගැනීම සඳහා පැවැති එම ඡන්ද විමසීමට පැය නවයකටත් වැඩි කාලයක් ගතවීමයි. ඡන්ද විමසීම සිදු කෙරුණු හැම අවස්ථාවකදීම පාහේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු ඒ අතර බහින්බස්වීම් පමණක් නොව ගුටි බැට හුවමාරු පවා ඇතිවීම ඒ සඳහා මුල් වූ ප්‍රබල සාධකය විය.
එවර පැවැති මහ මැතිවරණයෙන් එජනිසයට මන්ත්‍රී ධුර 105ක් ලැබී තිබුණේය. එජාපයට මන්ත්‍රී ධුර 82ක් හිමි වූ අතර ඉළංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට මන්ත්‍රී ධුර 22ක් ද ජාතික හෙළ උරුමයට මන්ත්‍රී ධුර 9ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රී ධුර 5ක් ද ලැබී තිබුණේය. ඒ අනුව වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් අත්කර ගත් එජනිසයට ආණ්ඩු බලය හිමි වුවද පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට ආණ්ඩු පක්ෂයට වඩා වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් අයත්විය.
මෙදා සැරේ විපක්ෂයට ආණ්ඩු පක්ෂයට වඩා වැඩි මන්ත්‍රී ධුර ගණනක් ලැබී තිබෙන නිසා පාර්ලිමේන්තුවේ කතානායක ධුරය විපක්ෂයට ගන්න ඕනෑ”යි කී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වූයේ එය ඉතා පහසුවෙන් කළ හැකි කටයුත්තක් බවය. එමඟින් ආණ්ඩු පක්ෂයේ බලය බොහෝ දුරට සීමාකර ගත හැකි බව ඔහුගේ අදහස විය.
ඒ සඳහා තමන්ගේ විශ්වාසවන්තයන් කීපදෙනකු ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සහ ජාතික හෙළ උරුමය සමග සාකච්ඡා කිරීම සඳහා ද හෙතෙම යවා තිබුණේය. ඔවුන් විසින් පවත්වන ලද එම සාකච්ඡා සම්මුති බොහෝදුරට සාර්ථක විය.
“අපි විජමු ලොකුබණ්ඩාරගේ නම කතානායක ධුරය සඳහා ඉදිරිපත් කරමු” එජාප නායකයා තම මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී එසේ කියා තිබුණේ ඒ සඳහා විජමුගේ කැමැත්ත කල්තියා ලබා ගැනීමෙන් පසුවය.
“පිස්සුද? විජමුට කතානායක හැටියට පත්වෙන්න දෙන්න බෑ. අපි ඒකට ඩිව් ගුණසේකර ඉදිරිපත් කරනවා. පුළුවන් නම් ඡන්දෙන් දිනන්න”යි ඊට පිළිතුරු වශයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙකු වන මංගල සමරවීර කියා තිබුණේය.
ඔහු තම පක්ෂයේ ජයග්‍රහණය ගැන දැඩි විශ්වාසයකින් යුතුව එසේ කියා තිබුණේ ජාතික හෙළ උරුමයේ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ආණ්ඩුවට ලබා ගැනීමට හැකි වෙතැයි සිතමිනි. ඒ වනවිට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය විපක්ෂය සමග එක්ව කටයුතු කර තිබුණ ද එම මන්ත්‍රීවරුන් අතරින් තිදෙනකු සමග ඔහු යටින් ඩීල් එකක් ගසා තිබුණේය.
එජාප නායකයාට ද ඒ ගැන වටින් ගොඩින් ආරංචි වී තිබුණෙන් හෙතෙම ඒ සඳහා උපක්‍රමයක් යෙදුවේය. “කතානායක ඡන්ද විමසීමේදී තමන් අතට ලැබෙන ඡන්ද පත්‍රිකාව පෙට්ටියක දැමීමට ප්‍රථම විපක්ෂයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට එන ඊළඟ මන්ත්‍රීවරයාට පෙන්වන්න ඕනෑ” රනිල් වික්‍රමසිංහ මහතා තම මන්ත්‍රී කණ්ඩායමට උපදෙස් දී තිබුණේ ආණ්ඩු පක්ෂයේ එවැනි ඩීල්වලට වැට බැඳීමේ අදහසිනි.
කුමන ආකාරයකින් හෝ ඒ ගැන ද ආණ්ඩු පක්ෂයට ආරංචි වී තිබුණේය. ආණ්ඩු පක්ෂය ඊට එරෙහිව ලොකු හඬක් නැගුව ද විපක්ෂයේ එම තීරණය වෙනස් කිරීමට ආණ්ඩු පක්ෂයට නොහැකි විය. ඒ අනුව විපක්ෂයේ හැම මන්ත්‍රීවරයෙකුම පාහේ ඡන්දය ප්‍රකාශ කරන ලද්දේ තමන් විසින් සලකුණු කළ ඡන්ද පත්‍රිකාව ඊළඟට පැමිණෙන විපක්ෂ මන්ත්‍රීවරයාට පෙන්වමිනි.
ඒ හැම අවස්ථාවකදීම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඊට එරෙහිව මහා ඝෝෂාවක් කළේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ එක් විපක්ෂ මන්ත්‍රීවරයෙකුට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විනාඩි දහයක් හෝ ඊටත් වැඩි කාලයක් ගතවීමයි.
ජාතික හෙළ උරුමයේ මන්ත්‍රී කණ්ඩායමේ භික්ෂූන් වහන්සේලා මුලින් තීරණය කර තිබුණේ තමන්ගේ ඡන්දය ප්‍රකාශ නොකර සිටීමටය. එහෙත් භික්ෂූන් වහන්සේ දෙනමක් එම සම්මුතියට පිටින් ගොස් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක ඩිව් ගුණසේකර මහතාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ඒ සමගම ආණ්ඩු පක්ෂය දෙසින් මහා ජය ඝෝෂාවක් නැගුණේය.
එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ජාතික හෙළ උරුමයේ භික්ෂූන් වහන්සේලා විසින් එසැණින් ගත් තීරණයකට අනුව එම ඡන්දය නිෂ්ක්‍රීය කිරීම සඳහා තවත් භික්ෂූන් වහන්සේලා දෙනමක් විපක්ෂ නායකයාගේ පැත්තට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉදිරියට යාමයි.
“නෑ.... නෑ.... ඒ හාමුදුරුවන් ඡන්දය ප්‍රකාශ කරන්නේ කැමැත්තකින් නොවෙයි. ඒක බලහත්කාරයක්”යි කියමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දහ දොළොස් දෙනෙකු උන්වහන්සේලා වළක්වාලීමට ඉදිරිපත් වූයේ ඒ අතරතුරය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම උත්සාහයට එරෙහි වූ අතර, ඔවුනොවුන් කෑමොර ගසමින් දබර කර ගන්නා අයුරු ඊළඟ මොහොතේ දකින්නට ලැබුණේය.
එම කලබලකාරී බව සුළු වේලාවකට පමණක් සීමා නොවී පැය තුන හතරක් තිස්සේ අඛණ්ඩව පැවතීම සුවිශේෂී සිද්ධියක් විය. එහිදී නොසරුප් වදන් කියමින් එකිනෙකාට අභියෝග කර ගැනීමත්, තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු එකගොඬේ පෙරළෙමින් පොර බැඳීමත් නතර කර ගැනීමට කිසිවකුට හෝ නොහැකි වී තිබුණේය.
මේ අතර එම කලහකාරී පිරිසට මැදි වූ මිනිස් පොදිය අතරින් ඉතා වේදනාබර මහ හඬක් නැගුණු බව ද ඒ මොහොතේ සබා ගැබේ ඉහළ මාලයේ රැඳී සිටි මාධ්‍යකරුවන්ට තවමත් මතකය. අන්තිමේදී බලන විට සිදුවී තිබුණේ පසුව ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය හෙළ උරුමයේ භික්ෂූන් වහන්සේ නමකගේ ශරීරයේ අතිශය සංවේදී ස්ථානයකට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු විසින් තදබල මුෂ්ඨි ප්‍රහාරයක් එල්ල කර තිබීමය.
එම ප්‍රහාරයේ ප්‍රතිඵලය කොතරම් වේදනාකාරී ස්වරූපයක් ගෙන තිබුණා දැයි කිවහොත් උන්වහන්සේ ඒ මොහොතේම රෝහල්ගත කිරීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට සිදුවී තිබුණේය.
එම කලබලය මධ්‍යයේ අභිනව කතානායකවරයා තෝරා ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ ප්‍රතිඵලය ද එවකට පාර්ලිමේන්තු මහලේකම් ධුරය දැරූ ධම්මික කිතුල්ගොඩ මහතා විසින් නිකුත් කරනු ලැබුවේ තමන් සතු රාජකාරිය අකුරටම ඉටු කරමිනි.
ඒ අනුව ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක ඩිව් ගුණසේකර මහතා එක් වැඩි ඡන්දයකින් පරාජය කරමින් විපක්ෂයේ අපේක්ෂක විජමු ලොකුබණ්ඩාර මහතා ජයගෙන තිබුණේය. එම ඡන්ද විමසීම සඳහා පුරා පැය 9කටත් වැඩි කාලයක් ගතවීම මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ සනිටුහන් වී ඇති දුර්ලභ ගණයේ වාර්තාවකි. මේ අතර දකින්නට ලැබුණු තවත් සුවිශේෂී සිද්ධියක් වන්නේ එම ඡන්ද විමසීම පැවැති පුරා පැය 9කට අධික කාලය තුළ විපක්ෂයේ කතානායක ධුර අපේක්ෂක විජමු ලොකුබණ්ඩාර මහතා තම අසුන මත එරමිණියා ගොතාගෙන මහා මංගල සූත්‍රය මුල සිට අග දක්වාම සජ්ඣායනා කිරීමයි.
නිහාල් ජගත්චන්ද්‍ර