එවකට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතමින් 2009 මැයි මස 19 වැනිදා මෙසේ ප්‍රකාශ කළේය. අද සිව්වැනි පාර්ලිමේන්තු සැසිවාරය මා විසින් විවෘත කරනු ලබන්නේ අපේ රට අපේ ජනතාව පමණක් නොව මුළු මහත් ලෝකයම විශිෂ්ට ජයග්‍රහණයක සතුට භුක්ති විඳින අවස්ථාවකයි.
“දශක ගණනාවක් තිස්සේ අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී සියලු ජනතාවන් ප්‍රාර්ථනා කරන ලද මිනීමරු ත්‍රස්තවාදයෙන් තොරවූ ශ්‍රී ලංකාවක් බිහිකර තිබෙන ඓතිහාසික අවස්ථාවකයි මා මෙම පාර්ලිමේන්තු සැසිය අමතනු ලබන්නේ.”
ඔබ දැනටමත් දන්නා පරිදි අපි අපේ මාතෘ භූමිය බෙදුම්වාදී ත්‍රස්තවාදයේ ග්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙන අවසානයි. ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක් තුළම මෙතැන් සිට ක්‍රියාත්මක වන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරෙන නීති පමණයි. පසුගිය දශක තුනක පමණ කාලයක් තිස්සේ අපේ රටේ භූමියෙන් තුනෙන් එකක පමණ ප්‍රදේශයක මේ ව්‍යවස්ථාදායකය විසින් පනවනු ලබන නීති ක්‍රියාවට නැංවුණේ නැහැ.
දෙදහස් පහේ ජනාධිපතිවරණයෙන් මා ජය ලබන විට උතුරේ සහ නැගෙනහිර පළාතේ කොටි පොලිසි තිබුණා. කොටි අධිකරණ තිබුණා. කොටි බැංකු තිබුණා. නොතිබුණේ කොටි පාර්ලිමේන්තුවක් පමණයි. දැන් අපි ඒ සියල්ල සදහටම අවසන් කර තිබෙනවා. එහෙත් අද මේ අලුත් සැසිවාරය ඇරඹෙන්නේ මේ උත්තරීතර ව්‍යවස්ථාදායකයේ බලය වර්ග කිලෝමීටර් හැටපන් දහස් තුන්සිය තිස් දෙකක භූමිය පුරා එක හා සමාන ලෙස පැතිර පවතින රටකය. ගරු කතානායක තුමනි, ඒ ගැන ඔබතුමාට විශේෂයෙන් සතුටු වෙන්න පුළුවනි. මේ ගරු මන්ත්‍රීවරු දෙසීය විසිපස් දෙනාටම ඒ ගැන විශාල ලෙස සතුටු වෙන්න පුළුවන්.
ඒ සතුට මුළු මහත් ජනතාවටම භුක්ති විඳින්න පුළුවනි. 2005 ජනාධිපතිවරණයේදී මා ජයග්‍රහණය කිරීමට දායක වූ සියලු ජනතාවට සියලු දේශපාලන පක්ෂවලට හා පසුව රජය පවත්වාගෙන යාමට දායකවූ සියලු දෙනාටම අද ඒ සතුට භුක්ති විඳින්න පුළුවන්. ගරු කතානායකතුමනි, ලෝකයේ ඉතාමත් දරුණුම ත්‍රස්තවාදීන් පරාජය කර මෙබඳු අභිමානවත් ජයග්‍රහණයක් ලබාගත්තේ කොහොමද කියන කාරණය මේ ඓතිහාසික දිනයේ විමසා බැලිය යුතුව තිබෙනවා. අපි දීර්ඝ ඉතිහාසයක් තිබෙන රජවරු 182 ක් රජ කළ වර්ෂ 2500 කටත් වඩා අනභිභවනීයව රාජ්‍යය පවත්වාගෙන ගිය රටක්. එල්.ටී.ටී.ඊ ය මේ රටේ භූමියෙන් වර්ග කිලෝමීටර් 15,000 වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ අපේ රටේ භූමි ප්‍රමාණයෙන් 1/4 කට ආසන්න ප්‍රමාණයක් සහ මුහුදු වෙරළෙන් තුනෙන් දෙකකුත් ඔවුන්ගේ පාලනයට නතු කරගෙන තිබුණා.
ඒ කාලය තුළ නැතිවුණේ භූමිය පමණක් නොව දස දහස් ගණන් ජීවිත දේපොළ පවා ජාතියට අහිමි වුණා. සිය ගණන් ආගමික උතුමන් වගේම ආර්. ප්‍රේමදාස රජිව් ගාන්ධි වැනි රාජ්‍ය නායකයනුත් ලක්ෂ්මන් කදිරගාමර්, ගාමිණී දිසානායක, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ සහ ඒ. එච්. එම්. අෂ්රොප් වැනි ශ්‍රේෂ්ඨ ඇමතිවරුන් අපට අහිමි වුණා.
නැව්, ගුවන් යානා සබ්මැරීන්, වගේම ලොව දියුණුම ගිනි අවි ඔවුන් අත්කරගෙන තිබුණා. පරිපාලන නගර ජාත්‍යන්තර ජාවාරම්, බැංකු, වෙබ් අඩවි ගුවන් විදුලි සේවා මුදල් ඒකක ආදියත් නිකුත් කර තිබුණා. ඔවුන්ගේ වත්කම් මනින්න පුළුවන් කෙනෙකු අදටත් සිටිනවාදැයි මා දන්නේ නැහැ. ලෝකයේ බලවත් රටවල මැතිවරණවලට ඉදිරිපත් වූ ඇතැම් ප්‍රබල අපේක්ෂකයන්ටත් එල්.ටී.ටී.ඊය මුදල් වියදම් කළ බව අප්‍රකට සත්‍යයක්. ලෝකය මෙතෙක් එවැනි ත්‍රස්තවාදී සංවිධානයක් දැක තිබුණේ නැහැ. භයානකම දේ නම් මේ විනාශකාරී ත්‍රස්ත සංවිධානයට මේ රටේ භූමියෙන් විශාල කොටසක් ඔප්පුවකින් ලියා වෙන්කර දී තිබීමයි.”
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මහත් උද්යෝගයෙන් යුතුව සහ හැඟීම්බරව පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේ තිස් වසරක කෲර යුද්ධය ජයග්‍රහණයෙන් නිමා කර ගැනීමට අපේ රණවිරුවන්ට හැකිවූ බවයි. හමුදාවකට මුහුණදීමට නොහැකි තරම් උපක්‍රමශීලී අති භයානක යුද උපක්‍රම යොදමින් මිනිස් ජීවිතවල වටිනාකම තුට්ටුවකට මායිම් නොකරමින් ප්‍රභාකරන් නමැති ම්ලේච්ඡ නායකයාගේ අණ යටතේ බෙදුම්වාදී සටන ගෙන ගිය ත්‍රස්තයන් මුළුමනින්ම පරදවා 2009 මැයි 18 වැනි දින මුලතිව් හි කරයාමුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී අන්තිම සටන නිමා වූ බව ජනතාවට දැනුම් දෙමිනි. එම සටනේදී ප්‍රභාකරන්, මැරුම් කෑවේ සිය සමීපතම සටන් සගයන් වන කොටි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් මුහුදු කොටි නායක සුසෙයි සමග ගිලන් රථයක නැගී පලා යද්දීය. හමුදා වෙඩි ප්‍රහාරයෙන් ඒ දෙදෙනාත් මිය ගියහ. ප්‍රභාකරන් සමඟ මුලතිව්හි වර්ග මීටර් 800 ක පමණ බිම් කඩකට කොටු වී සිටි ඔහුගේ පුත් චාල්ස් ඇන්තනි, කොටි දේශපාලන අංශ නායක පී. නඬේසන් සහ බිරිඳ සාම මහලේකම් කාර්යාලයේ ප්‍රධානියා වූ පුලිදේවන්, කොටි පොලිස්පති ඉලංගෝ, සන්නද්ධ අංශයේ නායක රමේෂ්, කොටි බුද්ධි අංශ නියෝජ්‍ය නායක කපිල් අම්මාන් ආදී සැවොම මරා දමන ලදහ. සටන්වලදී මිය ගිය තවත් කොටින් විශාල පිරිසකගේ මළ සිරුරු අතර තිබී මොවුන්ගේ සිරුරු හඳුනාගත් බව හමුදාව ප්‍රකාශ කළේය. මෙම පිරිසට අමතරව මුල් පෙළේ කොටි නායකයන් වූ රත්නම් මාස්ටර් සහ සුධර්මන්ද මිය ගියහ.
දිගු කතාවක් කෙටියෙන් සඳහන් කළහොත් 1977 න් පසු ඇතිවූ දේශපාලන වාතාවරණය තුළ සහ එයට පෙර සිට ක්‍රමානුකූලව හැඩ ගැසෙමින් පැවති ප්‍රවණතා අනුව දෙමළ ප්‍රදේශවල දේශපාලන ගමන් මග වැඩි වැඩියෙන් ජාතිවාදී නැඹුරුවකට යොමුවූ ආකාරය දැක ගත හැකිවිය. එය වඩාත් තහවුරු කළ සිදුවීමක් වූවේ පෙඩරල් පක්ෂයේ තරුණ නායකයෙකු වූ කාසි ආනන්දන් නමැත්තා සිදු කළ මෙම ප්‍රකාශයයි. “යාපනය නගරාධිපති ඇල්ප්‍රඞ් දොරෙයප්පා පත් කළ මන්ත්‍රී සුබ්‍රමනියම්, නල්ලූර් මන්ත්‍රී සී. අරුලම්බලම් සහ ආනන්ද සංගරී යන අය දෙමළ ජාතියේ සතුරෝ වෙති. ස්වභාවික මරණයට ඔවුන් සුදුසු නැත. හදිසි අනතුරකින් මිය යාමටද ඔව්හු සුදුස්සෝ නොවෙති. දෙමළ ජනයා විශේෂයෙන් තරුණයෝ ඔවුන් මිය යා යුත්තේ කෙසේදැයි තීරණය කළ යුත්තාහ.” පෙඩරල් පක්ෂයේ එවකට නායක ඇස්. ජේ. වී. චෙල්වනායගම් මහතා මුලසුන දරද්දී නාගනාදන්, අමිර්තලිංගම්, නවරත්නම් ආදීන් වේදිකාවේ අසුන්ගෙන සිටිද්දී කාසි ආනන්දන් මෙවැනි ප්‍රකාශයක් කරද්දී නායකයෝ සිනාමුසු මුහුණින් එයට සවන් දී සිටියහ. මෙකී දුරෙයප්පා යනු යාපනය ආසනය දිනා ජී. ජී. පොන්නම්බලම් මහතා පරාජයට පත් කර ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි යාපනයේ ජනප්‍රිය පුද්ගලයෙකි. ඒ ත්‍යාගරාජා 1970 මැතිවරණයේදී පෙඩරල් බලවතෙකු වූ අමිර්තලිංගම් පරදවා කන්කසන්තුරේ ආසනය දිනාගත් ප්‍රබල දේශපාලකයෙකි. සුබ්‍රමනියම් ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකුව සිටිමින් කුලහීන යැයි කියවෙන ජනතාව වෙනුවෙන් පත් කළ මන්ත්‍රී ධූරයකට නම් කරනු ලැබුවෙකි. මොවුහු ජාතික දේශපාලනයට පිවිස එවකට පැවති සමගි පෙරමුණු රජයට සහාය දෙමින් සිටියහ. ඔවුන් මරා දැමිය යුතුයැයි තීන්දු වීමට කළ වරද වූවේ එයයි.
1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසු දෙමළ ජනතාව තවදුරටත් රජයෙන් ඈත් කර බෙදුම්වාදී පැත්තට ගෙන යාමට පෙඩරල් පක්ෂය අනුබල දුන්හ. එහි අවසානය වූවේ ද්‍රවිඩ විමුක්ති එක්සත් පෙරමුණ යනුවෙන් සන්ධානයක් ගොඩනැගීමට සහ බෙදුම්වාදී ප්‍රතිපත්තියක් පිළිගනිමින් වඩුක්කොඩෙයි මහ සමුළුව පැවැත්වීමය. 1977 මහා මැතිවරණ සමයේ ප්‍රසිද්ධ රැස්වීම් අමතමින් අමිර්තලිංගම් මහතාගේ බිරිඳ පැවැත් වූ කථා කොතරම් ප්‍රචණ්ඩකාරීවී යත් එනිසාම ජාතිවාදී කෝලාහලයක් ඇතිවූ අන්දම ඒ ගැන කරුණු සෙවීමට පත්කළ සන්සෝනි කොමිසමේ වාර්තාවේ දැක්වේ.
එම මහ මැතිවරණය්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණේ අන්ත පරාජය නිසා විරුද්ධ පක්ෂ නායකත්වය හිමිවූයේ ඒ අමිර්තලිංගම් මහතාටය. එනිසා ඔවුන්ගේ කටයුතු ජාත්‍යන්තරයේ උසස් පිළිගැනීමකට හේතු විය. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය පිළිගන්නා රටවල සාමාන්‍ය මතය වන්නේ විපක්ෂ නායකවරයා යනු ඊළඟ අගමැතිවරයා බවයි. විශේෂයෙන් බි්‍රතාන්‍යය වැනි රටවල සාමාන්‍ය පිළිගැනීම ඒ ආකාර වේ. එනිසා විපක්ෂ නායක අමිර්තලිංගම් මහතාට රාජතාන්ත්‍රික ගරු බුහුමන් හා වත්පිළිවෙත් සහිතව බෙදුම්වාදය පෝෂණය කිරීමට අවස්ථාව ලැබුණි.
මේ වනවිට ඉන්දියාව සහ ලංකාව අතර පැවති ජාත්‍යන්තර සබඳතා ශීඝ්‍රයෙන් පිරිහී ගියේය. ලංකාව අනුගමනය කිරීමට පටන්ගත් දේශපාලන, ආර්ථික හා විදේශ සබඳතා ඉන්දියාවේ ජාතික ඕනෑ එපාකම් සමග ගැටෙන බවක් අගමැතිනි ඉන්දිරා ගාන්ධිට වැටහී ගියේය. එම අවබෝධය මත ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වීමට මගක් තනා ගැනීමට දැඩි උනන්දුවකින් පසුවූවාය. ඇයගේ දිරිගැන්වීම මත ඇම්. ජී. රාමචන්ද්‍රන්, ජයලලිතා, වයිකෝ සහ ඇම්. කරුණානිධි වැනි තමිල්නාඩු දේශපාලනඥයෝ පක්ෂ භේදයකින් තොරව ඔවුන්ගේ පටු ජාතිවාදී දේශපාලන උවමනාවන් සඳහා ශ්‍රී ලංකාවට විරුද්ධව නොයෙකුත් රහස් කටයුතුවල නියැළුනහ.
උතුරු - නැගෙනහිර පළාත්වල තත්ත්වය උණුසුම්වෙමින් පැවති අතර තරුණයන්ගේ ඒකරාශීවීම් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සුලබව දක්නට ලැබුණි. 1975 ජූලි 26 වැනිදා යාපනයේ පොන්නාලෙයි කෝවිලට පැමිණෙමින් සිටි අවස්ථාවේ දී කලාපති, පද්මරාජා සෙට්ටි සහ ප්‍රභාකරන් කෝවිල අසල රැක සිට නගරාධිපති ඇල්ප්‍රඞ් දොරෙයප්පා මහතාට වෙඩි තබා මරා දැමුවේය. කලකට පෙර කළ කාසි ආනන්දන්ගේ ප්‍රකාශය සත්‍යයක් බවට පත්විය. 1977 මහා මැතිවරණයේදී දෙමළ විමුක්ති පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්වූ ඇම්. කනගරත්නම් මහතා පසුව එජාප රජයට එක්වූවේය. ඔහුද ඝාතනය කරනු ලැබීය. ඒ 1978 ජනවාරි 27 වැනිදා කොළඹ දීය. මෙම ඝාතනය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සැකකරනු ලැබුවේ ප්‍රභාකරන් සහ උමා මහේෂ්වරන් යන මිතුරන් දෙදෙනාය. මේ ගැන පරීක්ෂණ කටයුතු භාරවූවේ පොලිස් පරීක්ෂක බස්තියන් පිල්ලේටය. ඔහු සමග උප පොලිස් පරීක්ෂක පේරම්බලම් පොලිස් සැරයන් බාලසිංහම් සහ රියැදුරු සිරිවර්ධන යන අයද මෙම රාජකාරිය සඳහා උතුරට ගියහ. මේ සියලු දෙනාම ත්‍රස්තවාදීන් විසින් මරා දමන ලදහ. මේ අතර බැංකු මංකොල්ලකෑම්, මිනීමැරීම් සහ ගුවන්යානයක් පුපුරුවා හැරීමක්ද සිදුවිය.
එනපොට භයානක බව තේරුම්ගත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා උතුරු - නැගෙනහිරට හදිසි නීතිය පනවා ත්‍රස්ත කටයුතු මැඩපැවැත්වීම පිණිස බි්‍රගේඩියර් තිස්ස වීරතුංග මහතාට භාරකර එම ප්‍රදේශවලට හමුදාව යැවීය.
මෙම ප්‍රචණ්ඩ ක්‍රියා බොහොමයකට වගකිවයුත්තන් වූයේ සීලන් සහ සෙල්ලකිලි යන දෙදෙනාය. බොහෝ උත්සාහ කිරීමෙන් පසුව ඔහු කොටුකර ගැනීමට හමුදාව සමත් විය. සීලන් සිටියේ තම මිතුරා වූ අරුණා සමගය. දෙදෙනා පැන දුවන්නට වූහ. එහෙත් හමුදාව සීලන්ට වෙඩි තැබීය. පාදයට වෙඩිවැදී වැටුණු සීලන් තම සගයාට නියෝගයක් කළේ මට වෙඩි තියන්න. මා මරන්න කියමිනි. තව මොහොතකින් දෙදෙනාම හමුදාව අතින් මැරුම් කන බව දැන සිටි අරුණා නළලට වෙඩි තබා සීලන් මරා දැමුවේ ඉතා අකමැත්තෙනි. සීලන් යනු ප්‍රභාකරන්ගේ සමීපතම හිතවතෙකි. තම මිතුරාට අත්වූ ඉරණම දැනගත් ප්‍රභාකරන් කෝපයෙන් වියරු වැටුණේය. හමුදාවෙන් පළිගන්නා බවට දිවුරුවේය. ඔහුගේ තර්ජනය වචනයට පමණක් සීමා නොවීය. වහාම ක්‍රියාත්මක විය. ඔහු සෙල්ලකිලි, අප්පයියා, කිට්ටු, වික්ටර් පොන්නම්මන්, ගණේෂ්, සන්තෝෂම්, පුලේන්ද්‍රන්, රන්ජන්, බෂීර් කාකා, ලිංගම් සහ තවත් කීපදෙනෙක් කැඳවීය. යම්කිසි සැලසුමක් ඔවුනට දුන්නේය. 1983 ජූලි 23 වැනිදා මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් තිබුණි. යාපනය - පලාලි මාර්ගයේ තිරුනෙල්වෙල්හි ස්ථානයකට රොක්වූ ඔව්හු මාර්ගයේ වළක් හාරා බිම් බෝම්බයක් තැබූහ. ඉන් පසු හමුදා රථයක් පැමිණෙනතුරු ඈතට වී බලා සිටියහ. ෆෝ ෆෝ බ්‍රාවෝ නම් හමුදා ඛණ්ඩයට අයත් ට්‍රක් රථයක් සහ ජීප් රියක් මෙම ස්ථානය පසුකර යාමට පැමිණියේ මේ අතරවාරයේදීයි. සැඟවී සිට ත්‍රස්තවාදීහු ජීප් රිය එම ස්ථානය පසු කරනවාත් සමගම බිම් බෝම්බය පුපුරුවා හැරියහ. ඒ මොහොතේම ට්‍රක් රථයද එතැනට ළඟා විය. ත්‍රස්තවාදීහු එම රියටද වෙඩි තැබූහ. ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු මෙම හමුදා පිරිසේ පහළොස් දෙනෙකු සිටි අතර එයින් දහතුන් දෙනෙකු ඝාතනයට ලක්වූ බව වාර්තා විය. මෙම සාපරාධී ක්‍රියාව කොළඹට ආරංචිවීමත් සමග කෝපයට පත්වූ සිංහල ජනයා අතරින් අන්තවාදී කොටසක් දමිළයන්ගේ නිවාස කඩ සාප්පුවලට පහර දෙමින් පුලුස්සා දමමින් මිනිසුන් මරා දමමින් මහත් විනාශයක් සිදු කළහ. මෙම ජාතිවාදී අරගලය රටපුරා පැතිර යාමට ගතවූයේ කෙටි කාලයකි. රජයට පාලනය කරගත නොහැකි පමණට මෙම අර්බුදය ඔඩු දුවද්දී ඉන්දියානු අගමැති ඉන්දිරා ගාන්ධි මැතිනිය ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාට දුරකථනයෙන් අමතමින් නීතිය හා සාමය සුරැකීමට පියවර ගන්නා ලෙස අවවාද කළාය. ශ්‍රී ලංකාව තුළ තිබූ දේශීය කැරැලි කෝලහාල තත්ත්වයක් ජාත්‍යන්තර අර්බුදයක් බවට පත් වූයේ ඒ ආකාරටයි. එපමණක් නොව මෙම අවස්ථාව තම වාසියට හරවා ගත් කොටි සංවිධානය දස දහස් ගණනක් වූ ජනතාව ඉන්දියාවට ප්‍රවාහනය කර එහි අනාථයන් ලෙස ජීවත්වීමට සැලැස්සුවේය. මව්බිමේ ජීවත්වීමට නිදහසක් නැතැයි කියා සිටි ඔව්හු ඉන්දියාවට ද බරක් වන පරිදි එහි රැකවරණ පැතූහ. එයින් ද නොනැවතුන කොටි සංවිධානය තවත් දහස් ගණනින් පිරිසක් බි්‍රතාන්‍ය ජර්මනිය ඕස්ටි්‍රයාව, ඕස්ටේ්‍රලියාව ඇමරිකාව ආදී රටවලටද පිටත් කළ අතර ඔවුන්ට දේශපාලන රැකවරණ ලබා දී රැකියා ලබාදීමට ක්‍රියා කළේය. එම රැකියා ලාභීහු මාස් පතා කොටි සංවිධානයට කප්පම් ගෙවිය යුතු විය. එම ධනය විදේශ විනිමය වූ නිසා ආයුධ මිලදී ගැනීමට යොදවන ලදී. මෙසේ විදේශයන්හි පදිංචි වූ දෙමළ ඩයස්පෝරාව තම මවුබිමේ කීර්තිය අවමානයට ලක් කරමින් බොරු ප්‍රචාර ගෙන ගිය අතර ජාත්‍යන්තර අර්බුදයක තැනට පසුබිම නිර්මාණය කළහ.
1983 ජූලි මාසයේ හමුදා භටයින් දහතුන් දෙනා මරා දැමීමෙන් කෝපයට පත්වූ පිරිස් විසින් සිදුකරන ලද විනාශය කළු ජූලිය යනුවෙන් ඉතිහාසයට එකතු විය. ඒ සමගම ත්‍රස්ත කල්ලි රාශියක් තැනින් තැන බිහිවී රජයට එරෙහිව ආයුධ සන්නද්ධ සටනට පෙලඹුණහ. මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා රජයටද සන්නද්ධ සේනා යෙදවීමට සිදුවූ අතර දෙපිරිස අතර යුද්ධයක් නිර්මාණය වූයේය. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ පාරම්පරික නිජබිමක් බව ප්‍රකාශ කළ ත්‍රස්තවාදීහු වෙනම රාජ්‍යයක් සඳහා තමනට ස්වයංතීරණ අයිතියක් ඇතැයිද කියමින් වෙනම ඊළාම් රාජ්‍යයක් සඳහා සටන් කරන බව කියා සිටියහ. එතෙක් කල් ප්‍රජාතන්ත්‍රවාදී උපාය උපක්‍රම මගින් දේශපාලන කටයුතු සිදු කළ දේශපාලන පක්‍ෂ යටපත්ව ගියේය. නීලන් තිරුචෙල්වම් ඒ අමිර්තලිංගම්, වී. ධර්මලිංගම් වැනි ද්‍රවිඩ නායකයන් පවා කොටින් විසින් ඝාතනය කරන ලදී. මේ ආකාරයෙන් ඊළාම් යුද්ධය පැතිරී ගියේය. එය උතුරු නැගෙනහිර පමණක් නොව දකුණේ ඈත ගම් නියම් ගම් කරාද ව්‍යාප්ත වූවේ කොටි සංවිධානය දිවයින පුරා බෝම්බ පිපිරවීමට පටන් ගැනීම නිසාය. උතුර සහ නැගෙනහිර පළාත්වල සිදුවන ගරිල්ලා යුද්ධයෙන් දිනපතාම දෙපාර්ශ්වයෙන්ම මිය යන සංඛ්‍යාවන් දිනපතාම පුවත්පත්වල පළ විය. මරණය යනු ඉතා සුලබ දෙයක් විය. උතුරු - නැගෙනහිර සටන් බිමේ මිය යන සොල්දාදුවන්ගේ මෘත දේහ දකුණේ තම ගම් බිම්වලදී මිහිදන් කෙරෙණු නිතර දැක ගත හැකි විය. මෙවැනි සිද්ධි නිසා සුදු කොඩිය ජාතියේ සංකේතය බදු විය.
කිසිවෙකුගේ ජීවිතය ආරක්‍ෂිත නොවීය උදේ නිවසින් පිටත්වන පුද්ගලයකු ආපසු ගෙදර පැමිණෙතැයි විශ්වාසසක් නොතිබුණි. මුළු රටේම කටයුතු සිදුවූයේ ප්‍රභාකරන්ගේ තීරණවලට අනුරූපවය. රාජ්‍යයේ උසස්ම කයුත්ත වූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පවා ඔහුට වෙනස් කළ හැකි විය. වරින් වර සිදු කරන ලද ප්‍රහාර මගින් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ රාජ්‍ය නායකයන් දෙදෙනාම ඝාතනය කිරීමට ත්‍රස්තවාදීහු සමත් වූහ.
තිස් අවුරුද්දක් ඇදී ගිය මෙම යුද්ධයෙන් සිදු වූ විනාශය මෙතෙකැයි කිය නොහැක. ශ්‍රී ලංකා රාජ්‍ය පවතින තුරාවට එම පාඩුව පියවා ගත නොහැක. මිය ගිය ජනතාවගේ ගණන ලක්ෂ ගණනකි. ඒ ගැන නිවැරදි සංඛ්‍යා රජය සතුවවත් නැත. දේශ සීමාවක් නිර්මාණය කරමින් යුද ගුවන් සහ නාවික හමුදා ඇති කරමින් මුදල් ඒකක නියම කරමින් සම්පූර්ණයෙන්ම වෙනම රාජ්‍යයක ස්වරූපය උතුරෙහි ඇති විය. ඊළාමය දෙනවා හැර වෙනත් විකල්පයක් නැතැයි යන මානසිකත්වය සෑම දෙනෙකු තුළ ගොඩනැගී තිබුණි. “ඔන්න ඕක දීලා දාලා හරි අපිට සැනසිල්ලේ ඉන්ඩ ලැබෙනවා නම් හොඳයි” කියනු මම අසා ඇත්තෙමි. ජනතාවගේ පීඩනය එබඳු විය. යුද්ධයේ දී ත්‍රස්තවාදීන් හමුදා සෙබළුන් හා සිවිල් වැසියන් කොපමණ මිය ගියාද කියතොත් යුද්ධයේදී කිසියම් ඥාතියෙකු මිය නොගිය නිවසකින් අබ ටිකක් ගෙනාවොත් මෙම මරණාසන්න රෝගියා මම සුවපත් කරන්නෙමැයි දක්ෂ වෛද්‍යවරයෙකු පැවසුවහොත් වෛද්‍යකර්මයට සුදුසු අබ ටිකක් දීමට ශ්‍රී ලංකා ධරණි තලය තුළ නිවසක් නොතිබුණ බව නිසැකය.
මෙසේ යුද්ධය පිළිබඳ පීඩනයෙන් රටට තෙරපෙත්දී සාමය උදාකර දීමට විවිධාකාර උපක්‍රම භාවිත කිරීමට මෙරට පාලකයෝ පෙළඹුණහ. ජේ. ආර්. ජයවර්ධන මහතා රාජිව් ගාන්ධි අගමැතිවරයා සමග ගිවිසුමක් අත්සන් කර පළාත් සභා පිහිටුවා බලය විමධ්‍යගත කර ඉන්දීය සාම සාධක හමුදාවක් ගෙන්වා යුද කාර්යය සඳහා ඔවුන්ද සහභාගී කර ගත්තේය. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ක්‍රමය වූවේ සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් වාර්ගික අර්බුද විසඳීමය. එහෙත් කොටින්ගේ අකෘතඥ බව නිසා එම ප්‍රයත්නය අසාර්ථක වූවා පමණක් නොව තම ජීවිතයෙන් වන්දි ගෙවීමටද සිදු විය. එම යුගයේ එක් රාත්‍රියකදී නැගෙනහිර මඩකලපුව දිස්ත්‍රික්කයේ සියලුම පොලිසිවල සේවය කළ පොලිස් නිලධාරීන් බොරුවෙන් රවටා කැලයට ගෙන ගොස් මරා දැමූ බවද අපට මතකය.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සමයේදී (ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ලෙස කටයුතු කරද්දී) නෝර්වේ රාජ්‍යයේ මැදිහත්වීම යටතේ ආරම්භ කෙරුණු අතර එරික් සෝල්හයිම් සහ යගැෂි අකාෂි යන දෙදෙනා සාම නියෝජිතයන් ලෙස කටයුතු කරන ලදී. ඒ අනුව ලංකාණ්ඩුවේ සහ කොටි නායක ප්‍රභාකරන් අතර එකඟතාවක් ඇති වූ අතර ඒ අනුව සටන් විරාමයකටද මග පෑදුණි. එහෙත් ඇල්.ටී.ටී.ඊ සංවිධානය අවංක නොවූ නිසා එම එකඟතා හුදු වචනවලට පමණක් සීමා වූ බව දක්නට ලැබුණි. ඒ වන විට ලබා තිබුණු බලයෙන් සහ පිළිගැනීමෙන් ද ජාත්‍යන්තරයේ සහයෝගයෙන්ද වල්මත්ව සිටි ප්‍රභාකරන් තම අත්තනෝමතික ක්‍රියා පිළිවෙත නොකඩවාම ඉදිරියට ගෙන ගියේය. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර නොනවත්වාම එල්ල කෙරුණි. විනාශය දිගින් දිගටම සිදු විය.
දෙදහස් පහේ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේය. යුද්ධයට සදාකාලික විසඳුමක් ලබා දෙන බවට පොරොන්දුවක්ද දී තිබුණි. සාකච්ඡා මගින් සාමය ඇති කිරීමට ගත් උත්සාහය අසාර්ථක විය. කතාබහ බිඳ වැටුණි. මාව බිත්තියට හේත්තු කරන්න එන්න එපායැයි කොටින්ට අනතුරු ඇඟවූවේය.
නැගෙනහිර පළාතේ මාවිල් ආරු සොරොව් මගින් මුදාහැරෙන ජලය මගින් පෝෂණය වන කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර දහස් ගණනකි. එයින් බීමට ජලය සපයා ගන්නා පිරිසද අති විශාලය. එසේම තිබියදී 2006 ජුලි 21 වැනිදා කොටි සංවිධානය විසින් මාවිල්ආරු සොරොව්ව වසා දමන ලදී. නොයෙක් පාර්ශ්ව වෙතින් මෙය විවෘත කරන ලෙස කොටින්ගෙන් ඉල්ලා සිටින ලද නමුදු ඔවුහු කිසිවෙකුට සවන් නොදුන්හ. ඔව්හු ඉටුකළ නොහැකි ඉල්ලීද් ඉදිරිපත් කළහ. ජනතාවට බීමටවත් ජලය නොමැතිවීමේ අපහසුවෙන් මුදවා ගැනීම සඳහා ගත යුතු පැවති එකම පියවර වූ පහර දීමට 2006 ජූලි 26 වැනිදා සේනාධිනායක වශයෙන් ජනාධිපතිවරයා අණ දුන්නේය. එය ක්‍රියාවට නැගෙද්දී අගෝස්තු 08 වැනිදා මාවිල්ආරු ජල දොරටු මුදා ගැනීමට ආරක්‍ෂක හමුදාවෝ සමත් වූහ. ආරක්‍ෂක හමුදාවන්ගේ එම ක්‍රියාන්විතය නම් කර තිබුණේ “මානුෂික මෙහෙයුම්”
මාවිල්ආරු අල්ලා ගැනීමෙන් නොනැවතුණු හමුදාවෝ වාකරේ තොප්පිගල ආදී ප්‍රදේශ ද අත්පත් කර ගත්හ. මේ වන විට නැගෙහිර පළාතේ කොටි ක්‍රියාකාරකම් නිමාවට පත්විය. හමුදාව නැගෙනහිර පළාතේ බලය අත්කර ගැනීමෙන් පසු යුද්ධය නවත්වාවි ද යන සැකය බොහෝ දෙනා තුළ පැවතියේය. උතුරටද යුද්ධය පැමිණියේය. හමුදාවට මහත් හිසරදයක්ව පැවති සිලාවතුර ප්‍රදේශයේ කොටි බලය විනාශ කර මන්නාරම, සහල් නැලිය උලියන්කුලම, මඩු, සම්පතේයි, සින්න තණ්ඩි විරච්චන් සහ පෙරිය තණ්ඩි විරච්චාන් යන ප්‍රදේශ ද කොටි ග්‍රහණයෙන් මුදා ගැනීමට හුමුදාවෝ සමත් වූහ. විඩුතලවිම් තුනුක්කායි මල්ලාවි යන ප්‍රදේශවල කොටි බලය සුණු විසුණු කිරීමට ආරක්‍ෂක අංශවලට හැකි විය.
වර්ෂා කාලයක් වූ බැවින් ඉදිරි ගමන ඉතා අපහසු විය. එහෙත් සටන අතහැරියේ නැත. මේ වන විට සටන අරඹා වසර දෙකකටත් වැඩි කාලයක් ගත වී තිබුණි. දැඩි අපහසුතා මැද නිදි නොලැබ මහ වනාන්තර මැදින් රණවිරුවෝ සටන් කළේහ. පුනරින් මුදා ගැනීමේ සටන අතිශය දුෂ්කර විය. හමුදා ඉදිරි ගමන වැළැක්වීම සඳහා කොටින් විසින් ඉදිකර තිබුණු මහා පස්කඳු වර්ෂා කාලයේදී එකම මඩ වගුරුය. කරවටක් එරෙන මෙම බාධක තරණය කිරීමට රණවිරුවෝ අපමණ දුකක් වින්දහ. මෙසේ සටන් වැදුණු ඔව්හු 2009 ජනවාරි දෙවැනිදා කිලිනොච්චිය අල්ලා ගත්හ. එම ජයග්‍රහණය ජාතිය වෙත මාධ්‍ය මගින් දැනුම් දුන්නේ එවකට හමුදාපති සරත් ෆොන්සේකා මහතාය.
ඉන් පසු මුහමලෙයි අලිමංකඩ තන්නිමුරුප්පු කුලම් නයාරු අලම්පිල් හරහා මුලතිව් ද අල්ලා ගති. කිලිනොච්චිය අහිමි වීමෙන් පසු කොටින්ගේ අග නගරය කරගෙන තිබුණේ විශ්ව මඩු නගරයයි. එය අල්ලා ගැනීමට හමුදාව ඉදිරියට යද්දී කල්මදු කුලම්වැවේ බැම්ම පුපුරවා විශාල ජල ප්‍රවාහයක් මුදා හැරියහ. එහි අරමුණ වූවේ හමුදාව විනාශ කිරීමයි. එහෙත් විනාශයකින් තොරව උපක්‍රමශීලිව මෙසේ පියවරෙන් පියවර විජයග්‍රාහීම ඉදිරියට පැමිණෙන ආරක්‍ෂක සේනාවන්ට මුහුණ දීමට සිදුවූ බලවත්ම ගැටලුවක් වූවේ මෙහෙයුම් සිදුවන ප්‍රදේශවල ජීවත් වූ සිවිල් වැසියන් දෙලක්‍ෂ පනස්දාහක් පමණ වූ බව මාධ්‍ය මගින් ප්‍රකාශ විය. මෙම පිරිස අතරේ සැඟව සිටිමින් යුද වැදුණු කොටි මෙම අහිංසක මිනිසුන් මිනිස් පළිහක් ලෙස යොදා ගත්හ. හමුදා ප්‍රහාර එල්ලවූවේ ඔවුන්ටය. මෙවැනි බියගුලු සහ අමානුෂික උපක්‍රමද ඔවුහු යොදා ගත්හ. අන්තිම සටන් බිම වූ මුලතිව්හි කරයාමුල්ලි වෛක්කාල් ප්‍රදේශයයි. එම අවසාන සටන ගැන මෙයට පෙර සඳහන් කළෙමි.
එම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවෙන් කොටසක් ද ආරම්භයේම සටහන් කළෙමි.
දෙදහස් නවයේ මැයි මස නවවැනි දින ලැබූ එම යුද ජයග්‍රණයෙන් නවවැනි සංවත්සරය මේ දිනවලට යෙදී තිබේ. මෙම මොහොතේ මෙකී විශිෂ්ඨ යුද ජයග්‍රහණය ලැබීමට සිය උතුම් ජීවිතය ජාතිය වෙනුවෙන් පූජා කළ රණවිරුවන් සංඛ්‍යාව අති විශාලය. කන්කසන්තුරේ අරාලි තුඩුවේදී ත්‍රස්තවාදීන් විසින් වළලා තිබුණු බිම් බෝම්බයක් පුපුරායාමෙන් ඝාතනයට ලක්වූ අසහාය යුද වීරයා වූ ඩෙන්සිල් කොම්බෑකඩුව, විජය විමලරත්න ඇතුළු සෑම දෙනෙක්මත් කළු ජූලිය ආරම්භවීමට හේතු වූ තින්නවේලි මුල්ම ප්‍රහාරයේදී දිවි දුන් ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු දහතුන් දෙනාත් යුද බිමේදී දිවියෙන් සමුගත් නොහඳුනන සමස්ත සොල්දාදුවන් පිරිසද තුවාල ලැබූවන්ද සත්‍ය ලෙසම වීරයෝය. ඔවුන් දැක්වූ වීරත්වය එඩිතර බව මෙන්ම වීර වික්‍රමාන්විත බවද අර දද රටේ ජීවත්වන ජනතාව නිදහසේ ජීවත් වේ. දිවි දෙවෙනිකොට රට ජාතිය වෙනුවෙන් යුද වැදුණු ඔවුන් පමණටම සටනට ආශිර්වාදය පුදකළ අද වේදනා විඳින එම විරුවන්ගේ අඹු දරුවන්ද යුද ජයග්‍රහණයේ වීරයෝය.
මේ සා පරිත්‍යාගයන් මැද දිනාගත් දේශයේ නිදහස යළිත් අහිමි නොවන සේ කටයුතු කිරීම වර්ණමානිකයන්ගේ අත්හල නොහැකි වගකීමක් බව පැහැදිලිවම සටහන් කළ යුතුය. මක් නිසාද යත් ගිනි පෙහෙල්ලෙන් බැට කෑ අය කලාමැදිරියාටත් බයයි කීවාත් මෙනි. එමෙන්ම රෑ වැටුණු වළේ දවල් වැටීමටද අවශ්‍ය නොවේ.
සෝමසිරි වික්‍රමසිංහ