225 ම එපා’ යැයි කියැවෙන ප්‍රකාශය මේ දවස්වල සමාජ මාධ්‍ය අවකාශයේ සාකච්ඡා වෙන එක් ජනප්‍රිය සටන් පාඨයකි. මේ කාරණය මගින් මතු කර තිබෙන්නේ මේ රටේ සමාජය රටේ දේශපාලන පිළිබඳව මෙතෙක් කාලයක් බැලූ ආකාරයට වඩා යම් විචාරාත්මක හා විරෝධාත්මක බවක් බව බැලූ බැල්මට පෙනී යයි.
කීර්තිමත් දේශපාලනඥයකු මෙයට වසර පනහකටක් එහා කාලයේදී සිදු කළ ප්‍රකාශනයක් මගේ මතකයට නැගේ. ඔහු එය කතා සාප්පුවකැයි කියූ අතර උපමා කළේ, ‘අලි බබා සහ මිතුරන් හතළිස් දෙනාගේ නිවසට’ය. පව්කාරයාට ගල් ගැසීමට පෙර තමා එම දෝෂයන්ගෙන් පරම නිර්දෝෂී දැයි සිතා බැලිය යුතු යැයි කියමනක් මම අසා ඇත්තෙමි.
ඇස්. ඩී. බණ්ඩාරනායක මහතාට එසේ කීමට ශක්තිය තිබුණි. ඒ ඔහු සොරෙකු නොවූ නිසාය. ඔහුගේ සීයා මෙරට යටත්විජිතවාදීන්ට සේවය කළ මහ මුදලිවරයෙකි. ඔහුට විශාල ඉඩම් ප්‍රමාණයක් අයත්ව තිබුණි. දේශපාලන කටයුතු සඳහාත් මැතිවරණයන් සඳහාත් ඔහු මුදල් උපයා ගත්තේත් එම පාරම්පරිකව හිමිවුණු ඉඩකඩම් විකිණීමෙනි. තිස් වසරක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු අනූ තුන් වසරක් දීර්ඝායුෂ වින්දනය කර පරලෝ සැපත්ව වසර තුනක් සපිරේ. මෙම යහපත් අවංක මිනිසා මෙලොවින් සමුගන්නා විට නිර්ධනයෙකි. 225 ම එපා යැයි කතා ලියැවෙන මෙම යුගයේ ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා ගැන සිහිපත්කිරීම කාලෝචිත වන්නේ එවැනි යහපත් දේශපාලනඥයන් අනාගතයේදීවත් බිහිවනු දැකීමේ අපේක්ෂාවෙනි.
1952 දී ප්‍රතිවාදියා වූ පළාතේ බලවතෙකුවූ බර්ටි හාමු ඇස්. ඩී. ගේ පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම වළක්වා තිබුණි. එයට ඇස්. ඩී. මුහුණ දුන්නේ අපූරු ක්‍රමයකටය. ඒ සිංහල සිනමාවේ ආරම්භක යුගයයි. සිනමා රසිකයෝ එකල එම මාධ්‍යය කෙරෙහි මහත් උනන්දුවක් දැක්වූහ. මේ දිනවල ‘බණ්ඩා නගරයට පැමිණීම’ නමැති ජනපිය චිත්‍රපටය මහත් රසික ප්‍රතිචාර මධ්‍යයේ සිනමාහල්වල ප්‍රදර්ශනය වෙමින් තිබුණි. ගම්පහ මිනුවන්ගොඩ ආදී නගරවලත් නුවර පාර දිගේත් මෙම චිත්‍රපටියේ විශාල ප්‍රදර්ශන පුවරු සවි කර තිබුණි. ඇස්. ඩී. ගේ. ආධාරකරුවෝ මෙම චිත්‍රපටය ඇස්. ඩී. බණ්ඩාරනායක නම සම්බන්ධ කරමින් රැස්වීම්වල දී කතා පැවැත්වූහ. ප්‍රචාරක පෝස්ටර්වල ද ශීර්ෂ පාඨය වූයේ ‘බණ්ඩා නගරයට පැමිණීම’ යන්නය. අලුතෙන් නැගී එන සිනමාව කෙරෙහි වහවැටුණු රසිකයෝ පක්ෂ භේදයෙන් තොරව මෙම පෝස්ටර් ආරක්ෂා කළහ. බර්ටි හාමුගේ ආධාරකරුවෝ ද ඒ අතර වූහ. අණ ලැබුණත්, වාසි ලැබුණත් ඒවා භුක්ති විඳිමින්ම රසිකයෝ එම පෝස්ටර් තිබෙන්නට හැරියහ. ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ, උඩුගම්පොළ ප්‍රදේශවල බණ්ඩාරනායකවරුන්ට තිබුණේ මහත් ගෞරවයකි. එම පදනම ද උපයෝගී කරගෙන දහසකටත් අඩු වැඩි ඡන්ද ප්‍රමාණයකින් 1952 දී ඇස්. ඩී. ප්‍රථම වතාවට පත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිසබයට පත් වූ ප්‍රථම මන්ත්‍රීවරු නව දෙනාගෙන් එක් අයෙකු වශයෙනි. අනෙකුත් අට දෙනා වූවේ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක (අත්තනගල්ල), ඩී. ඒ. රාජපක්ෂ (බෙලිඅත්ත), සී. පී. ද සිල්වා (පොළොන්නරුව), හෙන්රි අබේවික්‍රම (බද්දේගම), සී. ආර්. බෙලිගම්මන (මාවනැල්ල), බර්නාඞ් අළුවිහාරේ (මාතලේ). එච්. බී. තැන්නේ (දඹුල්ල), ඩී. ඒ. ඇස්. මරික්කාර් (කඩුගන්නාව දෙවැනි මන්ත්‍රී) යන මහතුන්ය. එතැන් පටන් ඉදිරි වසර තුන හතර මේ සැම දෙනා මහත් උනන්දුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය උදෙසා ශක්තිමත් ජනතා පදනමක් ගොඩ නැංවූහ.
ඉදිරි මැතිවරණය ජය ගැනීමට නම් වමේ සමගිය අත්‍යාවශ්‍ය බව වටහා ගත් සහ ඒ වෙනුවෙන් පක්ෂය තුළ විශාල අරගලයක් ගෙන ගිය කීපදෙනා අතර ඇස්. ඩී. ප්‍රමුඛයෙකි. ජනතාවගේ මතය ද එයම වූ බැවින් එය පිළිගැනීමට පක්ෂයට සිදු විය. 1955 වසර අවසානයේ දිනෙක අගමැති බණ්ඩාරනායක මහතා කතරගම වන්දනා ගමනක යෙදුණේය. ඔහුගේ ගමන් සගයා වූවේ ඇස්. ඩී. ය. පසුව දකුණේ ප්‍රබලයෝ ද ඔවුන්ට එක්වූහ. පසු දින රාත්‍රියේ ඔවුහු තංගල්ල තානායමේ රාත්‍රිය ගත කළහ. ඩබ්ලිව්. දහනායක, මහානාම, සමරවීර, ලක්ෂ්මන්, රාජපක්ෂ බළපිටියේ ඇම්. පී. ද සොයිසා මහත්වරු සහ තල්පාවිල සීලවංශ හිමියෝ ද පිරිස අතර වූහ. තානායම් ආලින්දයේ රාත්‍රිය පුරාම දැඩි දේශපාලන විවාදයකි. ඒ වමේ පක්ෂ සමග ශ්‍රී.ල.නි.ප.ය. සන්ධාන ගත විය යුතුද? නැතිද? යන්න පිළිබඳවය. සම සමාජයෙන් ඉවත් කර සිටි දහනායක මහතාත් කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපා සිටි මහානාම සමරවීර මහතාත් වමේ සමගියකට කිසිම කැමැත්තක් දැක්වූයේ නැත. තල්පාවිල සීලවංශ හිමියෝ ද එම මතයේම සිටියහ. ලක්ෂ්මන් රාජපක්ෂ මහතා ඒ වන විටත් ශ්‍රී.ල.නි.ප සාමාජිකයකු නොවීය. ඒ නිසා ඔහු වැඩිදුර කතාවට සම්බන්ධ වූයේ නැත. දහනායක මහානාම දෙදෙනාත් ශ්‍රීලනිපයට බැඳී සිටියේ නැත. ඔවුන් සිටියේ ඔවුන් දෙදෙනාගේ සහභාගීත්වයෙන් තනාගෙන තිබුණු භාෂා පෙරමුණ නමැති වෙනම පක්ෂයක ය. ඇස්. ඩී. නීති ප්‍රශ්නයක් මතු කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන තීන්දු තීරණ ගන්නා ආකාරය ගැන මත පළ කිරීමට වෙනත් පක්ෂවල අයට බලයක් නැහැ. ඒවා තීරණය කරන්නේ පක්ෂය ඇතුළෙයි. මේ වැඩෙන් නායකතුමා අපහසුවට පත් වෙනවා. ඒ නිසා මේ කතාව මෙතනින් නවත්තමු යැයි කීවේය. සමගිය ගැන තම ස්ථාවරය ගැන ප්‍රකාශ කළ ඔහු ඒ ගැන ද අදහස් දැක්වීය. රටේ රැල්ලක් තියනවා. ඒක ඇත්ත. අපට දැන් තියෙන්නේ ආසන නවයයි. තනිවම තරග කළොත් අපට ආසන තිහක් ලැබෙයි. ආණ්ඩුවක් හදන්නට නම් මන්ත්‍රීන් පනහක්වත් අවශ්‍යයි. ඒක ගන්න නම් සමගිය අවශ්‍යයි. තමුන්නාස්සේලාට එම ආසන තිහ ඇති නම් තනියම තරග කරන්න. ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍ය නම් සමගිය තුළින් තරග කරන්න. ඇස්. ඩී. තීරණාත්මක ලෙස කියා නින්දට යාමට කාමරයට ගියේය. සාකච්ඡාව එතෙකින් නිමා විය. ඇස්. ඩී. ගේ විග්‍රහය බණ්ඩාරනායක මහතාගේ සිතට තීරණාත්මක ලෙසට කාවැදී තිබුණි. පසුකෙලෙක ඒ බව ඔහු ඇස්.ඩී. සමග ප්‍රකාශ කළ බව ඇස්.ඩී. බණ්ඩාරනායක මහතා මා සමග පැවසුවේය.
පනස් හයේ පෙරළියේ දී ඇස්. ඩී. ගම්පහ ආසනය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද විසි නව දහසකට අධික ප්‍රමාණයක් ලබමිනි. එය දෙවැනි වූයේ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා අත්තනගල්ලේදී ලැබූ හතළිස් එක් දාහේ වැඩි ඡන්දයට පමණි. වර්තමානය වන විට දේශපාලන ක්ෂේත්‍රය දූෂණය වීමට බලපා ඇති ප්‍රධානතම ව්‍යසනයක් වනුයේ තනතුරු ලෝභයයි. ඇමති ධුර ලබා ගැනීම මෙන්ම එය අතහැරීම ද වාසිසහගත ක්‍රියාවක් බවට පත් කර ගෙන තිබෙන බව නොරහසකි. ඒවා අලෙවි කරන අයද වෙති. එහෙත් ඇස්. ඩී. කිසි දිනෙක තනතුරු ලෝභය නමැති රෝගයෙන් පීඩා වින්දේ නැත. දෙවරක්ම අතට පත් ඇමති ධුරය ඔහු ප්‍රතික්ෂේප කළේය. වර්තමානයේ එවැන්නක් අපේක්ෂා කළ හැකිද? 1956 මහා මැතිවරණයෙන් පසු අගමැති ධුරයට පත් ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මුහුණ දුන්නේ දැඩි අසීරුතාවකටය. එකල රජයේ අමාත්‍ය ධුර පැවතියේ දහයක් හෝ දොළහක් පමණි. එතරම් සුළු සංඛ්‍යාවක් වන ඇමතිධුර භාර දෙන්නේ සහ තෝරා ගන්නේ කෙසේද යන ගැටලුව අගමැතිවරයා හමුවේ විය. විශේෂයෙන්ම බණ්ඩාරනායක මහතා ගොඩනැගිය යුතුව තිබුණේ සභාග ආණ්ඩුවකි. වෙනත් වචනවලින් කියනවා නම් හවුල් ආණ්ඩුවකි. එම හවුලේ ප්‍රධාන පක්ෂවලට ඇමති ධුර බෙදා දිය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් නියෝජනය විය යුතුය.
ම.එ.පෙ.ම. සහයෝගය දෙන ජ්‍යෙෂ්ඨ ස්වාධීන මන්ත්‍රීවරුන් සතුටු කළ යුතුය.
මේ කුමන මට්ටමෙන් සැලකුව ද ඇස්. ඩී. ඇමති ධුරයකට තෝරා ගැනීමට සුදුස්සෙකි. ඔහු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකි. 1952 මැතිවරණයෙන් දිනා පැමිණි ශ්‍රී.ල.නි.ප. ප්‍රථම කණ්ඩයමේ සාමාජිකයෙකි. පක්ෂයේ ජයග්‍රහණය සඳහා ඇප කැප වූවෙකි.
අමතර සුදුසුකමක් ද තිබේ. අගමැතිවරයා හැරුණු විට විශාලතම වැඩි ඡන්දය වූ 29,000ක් ලබා ඇත්තේ ඔහුය. අගමැතිතුමා පත්ව සිටින අසීරුව දැන ගත් ඇස්. ඩී. අගමැතිතුමා හමු වී තමා ඇමති ධුරයක් බලාපොරොත්තු නොවන බව දන්වා සිටියේ අවංකවමය. පසුව ඉල්ලා ගැනීමට නොවේ. ඒ එක් වතාවකි. රජය තුළ නොයෙකුත් අර්බුද මතුවිය. වමේ මත දරන පිලිප් සහ ඔහුගේ ඇමති සගයා වන විලියම් සිල්වා යන දෙදෙනා කැබිනට්ටුවෙන් නෙරපන ලෙස ඇමති බහුතරය වෙතින් අගමැතිට විශාල බලපෑමක් එල්ල විය. එය ඉටු නොකළහොත් තමන් රජයට සහාය නොදෙන බව මෙම දක්ෂණාංශික ඇමතිවරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. ඇමති වර්ජනයක් ද ආරම්භ කරන ලදී.
මෙම දෙපැත්තට ඇදීම අවසාන කිරීමට පිලිප් ගුණවර්ධන සහ පී. එච්. විලියම් සිල්වා යන මහතුන් දෙදෙනා ඇමති මණ්ඩලයෙන් ඉවත් කිරීමට අගමැතිතුමාට සිදු විය. මෙම ඇමති අර්බුදයේදී ඇස්. ඩී. සිටියේ පිලිප් සහ විලියම් තනතුරුවල තබාගෙන ඔවුන්ගේ ප්‍රතිපත්ති මත රටට සේවයක් ලබා ගත යුතුය යන මතයේය.
මතු සම්බන්ධයි.
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි