පැරණි වම සමග අලුත් ගැටුමක


 


1971 අප්‍රේල් අරගලයට ලබන 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයටත් 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිල මතය අවධාරණය කරනු පිණිසය.


‘වෘත්තීයට සමිතියක් කම්කරු පංතියට මූලස්ථානයක්’ යනුවෙනි. මේ සමග පැරණි වමේ අවස්ථාවාදීන් කුපිත වූ අතර 1980 ජූලි වැඩවර්ජනය දක්වා මේ ගැටුම ප්‍රබල ලෙස පැවතුණි.  සමාජවාදී කම්කරු සංගමයේ නායකයා ලෙස වගකීම දැරූ ගමනායක සහෝදරයා නව කම්කරු පංති ව්‍යාපාරයක් ගොඩ නැගීමට නායකත්වය සැපයීය.


77න් පසු ආරම්භයේදීම වඩාත් ශක්තිමත්ව හා පුළුල්ව ක්‍රියාත්මක වූයේ, ශිෂ්‍ය ව්‍යාපාරයයි. 1979 වන විටම විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය ජ.වි.පෙට හිමිවිය. ඒ අතර කම්කරු සංගමය හා තරුණ සංගමයද ශක්තිමත්ව ගොඩ නැගිණි. අනෙක් සංවිධානද ගොඩ නැගෙමින් තිබූ අතර ඒවායේ ගොඩ නැගීමේ වේගයේ හා ප්‍රමාණයේ වෙනස්කම් තිබිණි.


1977න් පසු සමුළු පවත්වමින් සංවිධානමය පැත්තෙන් ප්‍රබල හා ජයග්‍රාහී පියවර රැසක් තබද්දීම ජ.වි.පෙ. සමගාමී ලෙස පැති ගණනාවකින් ලාංකේය දේශපාලනය තුළ නව සලකුණු තැබීමට සමත්විය. ලංකාවේ පැරණි වමේ අවස්ථාවාදයට එරෙහිව මෙන්ම 71 අරගලයේදී බිඳී ගිය අවස්ථාවාදී ප්‍රවණතාවන්ට එරෙහිව දැවැන්ත මතවාදී හා සංවිධානමය අරගලයක් ආරම්භ කළ ජ.වි.පෙ. ඉතාම ඉක්මනින් ලංකාවේ ප්‍රධාන වමේ ව්‍යාපාරය බවටත් ලංකාවේ තුන්වන බලවේගය බවටත් පත්වීමට සමත් විය. එසේම ලංකාවේ දේශපාලනයට විනයගරුකභාවය පිළිබඳ කැපවීම හා සංවිධිත බව පිළිබඳ ආදර්ශයන් ලබා දුන් ජ.වි.පෙ. කලා ක්‍ෂේත්‍රයේද සිය මුද්‍රාව තැබීමට සමත්විය. ඒ එක් එක් කරුණු ඉතිහාසමය සිදුවීම් ඔස්සේ ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපට පුළුවන.


ඒ අතර සඳහන් කළ යුතු විශේෂ කරුණක් තිබේ. 1977 බලයට පත් ආණ්ඩුව 1978 දී විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් පත් කළේය. ඒ මගින් සමගි පෙරමුණු සමයේ බලය අයුතු ලෙස යෙදවීම පිළිබඳ පරීක්ෂණ පවත්වන ලදී. එහිදී විශේෂයෙන්ම සිරිමා බණ්ඩාරනායකට හා ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායකට එරෙහිව චෝදනා ඉදිරිපත්ව තිබිණි. මෙම කොමිසම ඉදිරියේ සාක්‍ෂි දීමට ජ.වි.පෙ. නායකයන්ද කැඳවනු ලැබූ අතර කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට ජ.වි.පෙ. තීරණය කළේය. ඒ ජයවර්ධනගේ අරමුණ කුමක් වුවත් මේ මගින් ජ.වි.පෙ.ට එරෙහිව සමගි පෙරමුණ සිදුකළ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා හෙළි කළ යුතු වූ බැවිනි. මෙහිදී බියට පත් පැරණි වමේ නායකයින් හා ශ්‍රී.ල.නි.ප. සමහරු ජ.වි.පෙ.ට චෝදනා කරමින් කියා සිටියේ ජ.වි.පෙ. ධනපති කොමිසමක සාක්‍ෂි දීමට යන බවත් එය වමේ ව්‍යාපාරයකට නොගැළපෙන බවත්ය. ඊට පිළිතුරු දුන් රෝහණ විජේවීර සහෝදරයා පැරණි වමෙන් ප්‍රශ්න කර සිටියේ ‘නුඹලා 1972 දී අපව ගෙනගිය අපරාධ යුක්ති විනිශ්චය කොමිසම සමාජවාදී එකක්ද?” යනුවෙනි. මෙම කොමිසම හමුවේ රෝහණ විජේවීර සහෝදරයා සාක්‍ෂි දීමට නොගිය අතර වෙනත් කීප දෙනෙක් සාක්ෂි දුන්හ.


කෙසේ වෙතත් පරීක්‍ෂණය අවසානයේ කොමිසම විසින් සිරිමා බණ්ඩාරනායක හා ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක වැරදිකරුවන් කළ අතර ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලදී. 


1977න් පසු ජ.වි.පෙ. වේගවත් වර්ධනයක් අත්පත් කර ගත්තේය. පක්ෂය එකවිටම ක්‍ෂේත්‍ර කිහිපයක ජවසම්පන්න ලෙස හා නව සලකුණු තබමින් ක්‍රියාත්මක විය. එක් අතකින් පක්ෂ සමුළු පවත්වමින්, පාක්ෂික බහුජන සංවිධානවල සමුළු පවත්වමින් ව්‍යවස්ථාපිත හා සංවිධිත පක්ෂයක් ලෙස හැඩගැසුන අතර අනෙක් අතින් ගෙයින් ගෙට යමින් ජනතාවට දේශපාලනය පැහැදිලි කරමින් නව පිරිස් බඳවා ගැනීමටද කටයුතු කළේය. ඒ තුළ පූර්ණකාලීනයන් අලුතින් පක්ෂයට එක් වූ අතර 71 අත්දැකීම් සහිත, සටන්කාමීත්වයේ පන්නරය සහිත කේඩරය මගපෙන්වීම හා ඇසුර තුළ නව පරපුරක් නිර්මාණය විය. මේ කාර්යයේදී විවිධ බාධා නොතිබුණා නොවේ. පැවැති වම යළිත් අවලාදවලින් ජ.වි.පෙට පහර දුන් අතර 71 අරගලයේදී සතුරා විසින් සමාජය මත වපුරා තිබූ අවලාද හා බොරු පැරදවීමද දුෂ්කර විය. එහෙත් ඉතාම අඩු පහසුකම් තුළ, සමහරවිට කෑම බීම පවා නොමැතිව එම අභියෝගවලට මුහුණ දී ඒවා ජය ගැනීමට තරම් ජවයක් හා විප්ලවීය ක්‍රියාශීලීත්වයක් පක්ෂයේ ක්‍රියාකාරීන්ට තිබුණි.


1977 මහ මැතිවරණයත් සමඟ මැතිවරණ ක්‍ෂේත්‍රයට පා තැබූ ජ.වි.පෙ. ඒ තුළද ක්‍රියාත්මක විය. පක්ෂයට කලින් සකස් වූ මැතිවරණ ව්‍යුහයක් තිබුණේ නැත. භෞතික සම්පත් හා පහසුකම්ද අවම විය. 1982 වනතුරුම පක්ෂය මැතිවරණ කොමසාරිස් විසින් පිළිගත් පක්ෂයක් ලෙස ලියාපදිංචි කළේද නැත. ඒ නිසා තරග වැදීමට සිදුවූයේ ස්වාධීන කණ්ඩායම් ලෙසය. මේ සියලු බාධා හා දුෂ්කරතා මැද වුවත් මැතිවරණ ව්‍යාපාරය තුළ ක්‍රියාත්මක වූ පක්ෂය ආරම්භයේදීම පැරණි වම පරදා ලංකාවේ ප්‍රධාන වමේ ව්‍යාපාරය බවට පත්විය. පක්‍ෂය මැතිවරණ වේදිකාව ජනතාවට මතවාදය ගෙනයන වේදිකාවක් බවට පත්කර ගත්තේය.


1978 කොළඹ මහ නගර සභා මැතිවරණය පැවැති අතර පක්ෂය උපතිස්ස ගමනායක සහෝදරයාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ඉදිරිපත් කරමින් එයට තරග වැදුණි. එහිදී නියෝජිතයන් පත්කර ගැනීමට නොහැකි වුවද සමසමාජ කොමියුනිස්ට් ඇතුළු වමේ පක්ෂවලට වඩා ඡන්ද ලබාගෙන කොළඹ නගරයේදීත් ජ.වි.පෙ. වමේ ප්‍රධාන ව්‍යාපාරය බවට පත්විය. 77 මහ මැතිවරණය නිමාවීමත් සමග අතුරු මැතිවරණ කිහිපයක්ද පැවැත්විණි. ජයවර්ධන පාලනය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දී තිබුණද 77 දී කේවල ක්‍රමයට පැවැත් වූ ඡන්දයේ ආසනවලට අතුරු මැතිවරණ පැවැත්වීමට සිදු වූ විට ඒවා පැරණි කේවල ක්‍රමයට පැවැත්වීමට නීති සකසා තිබුණි. ඒ අනුව 77 නොවැම්බර් දෙහිවල, 78 මාර්තු - බටහිර කොළඹ, 79 දෙසැම්බර් - ගාල්ල, 80 මැයි ආණමඩුව හා 81 ජනවාරි - කලවාන යන ආසනවල අතුරු මැතිවරණ පැවැත්විණි. මෙහිදී ජ.වි.පෙ. ගාල්ල හා ආණමඩුව යන ආසන දෙකේ අතුරු මැතිවරණවලට පමණක් තරග වැදුණේය. ඒ සීනුව ලකුණින් ස්වාධීනවය. ගාල්ල සඳහා ලයනල් බෝපගේ ඉදිරිපත් කළ අතර ඔහු ඡන්ද 3366ක් ලබාගනිමින් තුන්වැනියා බවට පත්විය. 

 

 


මතු සම්බන්ධයි.

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්