ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය ලෙස සැලකෙන්නේ ලංකා සම සමාජ පක්ෂයයි. එම පක්ෂය ආරම්භ කරනු ලැබුවේ 1935 වසරේ දෙසැම්බර් මස 18 වැනිදාය. ඒ අනුව ලංකා සම සමාජ පක්ෂයට මේ වනවිට වයස අවුරුදු 81කි.
ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ආචාර්ය ඇන්. එම්. පෙරේරා, රොබට් ගුණවර්ධන, බී. ජේ. ප්‍රනාන්දු, වර්නන් ගුණසේකර, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ සහ ලෙස්ලි ගුණවර්ධන යන මහත්වරුන්ගේ අප්‍රතිහත ධෛර්යය හා කැපවීමේ අවසන් ප්‍රතිඵලය වූයේ ලංකා සම සමාජ පක්ෂය බිහිවීමය.
ලංකා සම සමාජ පක්ෂයේ ආරම්භක සභාපතිවරයා ලෙස ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාද එසේම මුල්ම ලේකම්වරයා වශයෙන් වර්නන් ගුණසේකර මහතාද පත්ව තිබිණි.
ජාති, කුල, ආගම් හෝ වෙනත් කිසිදු භේදයක් නොමැති සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ සමාජීය, දේශපාලන හා ආර්ථික හා කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ඇපකැප වී දිවිහිමියෙන් කටයුතු කිරීමට එදා සම සමාජ පක්ෂය පිහිටුවා ගත් අවස්ථාවේ එහි නායකයෝ සහ එයට සහභාගි වූ පක්ෂයේ ක්‍රියාකාරීහු සපථ කර සිටියහ.
ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය ලෙස සැලකෙන එදා මෙදාතුර විවිධ හැලහැප්පීම්වලට ලක්වෙමින් තවමත් පක්ෂයක් වශයෙන් තිබෙන 81 වියැති ලංකා සම සමාජ පක්ෂයේ විවිධ නිලතල දරා ඇති අදටත් ඒ පක්ෂය වෙනුවෙන් පෙනී සිටින මුල් යුගයේ සාමාජිකයෙක් හලාවත මාදම්පේ පැරණි නගරයක් වන මහ බද්දේගම ප්‍රදේශයේ පදිංචිව සිටී.
මේ වනවිට සිය ජීවන ගමනේ 92 වැනි විය පසුකරමින් සිටින ඔහු ලීටින් සුදරිංග මහතාය.
වසර බොහෝ ගණනක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි පාසල් ගණනාවක සේවය කරමින් සුවහසක් සිසු සිසුවියන්ගේ නැණස පෑදීමට මහඟු මෙහෙවරක ඔහු නිරතව සිටියේය.
ලීටින් සුදරිංග මහතා සිංහල, ඉංග්‍රීසි, පාලි හා සංස්කෘත භාෂාවන් පිළිබඳ ප්රවීණයෙකි.
ප්‍රදේශයේ සමිති සමාගම්වල විවිධ නිලතල හොබවා ඇති සුදරිංග මහතා කළ ඒ නොනිමි නිහඬ සමාජ මෙහෙවර වෙනුවෙන් සම්මාන රැසකින්ද පිදුම් ලබා ඇත.
අනූ දෙහැවිරිදි වියේ පසුවූවත් සුදරිංග මහතා අදටත් පා පැදිය පැදගෙන යමින් සමාජ මෙහෙවරේ නිරතව සිටින අයුරු මාදම්පේ ජනතාවට දැකිය හැකි සුලබ දසුනකි.
ලංකා සම සමාජ පක්ෂයේ විවිධ නිලතල හොබවා ඇති සුදරිංග මහතා එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් ලෙසද කාලයක් කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකික දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් ඇති කළ ලංකා සම සමාජ පක්ෂය ගැන ඔහුගේ මතක ගබඩාවේ අතීත තොරතුරු මෙසේ පෙළ ගස්වන්නෙමි.
මං උපන්නේ වසර 450කට ආසන්න අධිරාජ්‍යවාදීන්ගේ දැඩි බලපෑම් දියවීගෙන යන වකවානුවකයි. තවත් පැත්තකින් ඒ වනවිට වැඩවසම් සමාජ ක්රමයේ අවසාන කාලපරිච්ඡේදයේ අවසානය සනිටුහන් කරමින් තිබුණා. අධිරාජ්‍යවාදයත් වැඩවසම් ක්රමවේදයත් කෙනෙකුගේ ජීවිතය කෙරෙහි විශාල බලපෑම් එල්ල වී තිබුණා යැයි කිවහොත් එය වඩාත් නිවැරදියි. අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම් නිසා සිංහල බෞද්ධ සංස්කෘතිය සහ භාෂාව පිරිහෙමින් පැවතුණා පමණක් නොව කුඩම්මාගේ සැලකිල්ල ලබමින් තිබුණා. ඔවුන්ගේ එකම අරමුණ වී තිබුණේ කෙසේ හෝ අපේ රට යටත් විජිතයක් බවට පත්කර ගනිමින් ඔවුන්ගේ ආර්ථිකය වර්ධනය කරගැනීම පමණයි. ඒ කාලයේ පොලිසියද ක්‍රියාත්මක වුණේ ඉහළ පැලැන්තියේ අයගේ අවශ්‍යතාවන්ට අනුවයි.
ඒ යුගයේ පාසල්වලට එවන ලද චක්‍රලේඛවල සිංහල හා දෙමළ භාෂාව ගැන සඳහන් කර තිබුණේ වර්ණ ක්යුලර් ලැන්ග්වේජ් යනුවෙනි. මෙයින් අදහස් වන්නේ සංස්කෘතියක් නැති ශිෂ්ට සම්පන්න නොවූ ජාතියක් යන්න කියන එක යැයි පවසමින් අපේ කතානායකයා වූ සුදරිංග මහතා කතාවට ප්රවිෂ්ටයක් ලබා දුන්නේය.
සුද්දන් අප ගැන එහෙම කිව්වත් අපි ඒ වෙනකොටත් හොඳ සංස්කෘතික පසුබිමක් ඇති ශිෂ්ටසම්පන්න ජාතියක්ව සිටි බවත් සුදරිංග මහතා අවධාරණය කර සිටියේය.
සුදරිංග මහතා ලංකා සම සමාජ පක්ෂයට ක්‍රියාකාරිකයකු ලෙස එක් වී ඇත්තේ හලාවත මාදම්පේ කඩුපිටිය රජයේ කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි කාලයේය.
මගේ මාමා කෙනෙක් සිටියා. ඔහුට කියන්නේ ජී. එස්. සයනේරිස් වෙද මහත්තයා කියා. ඔහු මාක්ස්වාදය ගැන ලියවුණු පොත්පත් සඟරා කියවනවා. මම මාමාට හොරෙන් ඒ පොත් සෑම එකක්ම කියෙව්වා. ඒ පොත්පත් කියවා ලබාගත් දැනුම මත මම ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් වුණා. එතකොට මගේ වයස අවුරුදු 14ක් විතර ඇති. ඊට පස්සේ මම හලාවත ආනන්ද විද්‍යාලයට වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ගියා. ඒ කාලයේ තමා මම ලංකා සම සමාජ පක්ෂයේ ස්ථිර සාමාජිකත්වය ලබාගත්තේ.
සම සමාජ පක්ෂයේ න්‍යායධර්ම පළමුවරට මාදම්පේ ප්‍රදේශයට ගෙනාවේ ජයසේකර මහතාය. මාදම්පේ බොහෝ දෙනෙක් ඔහු හැඳින්වූයේ තේ කොට මහත්තයා කියාය. ඒ කාලේ ලංකාවේ තැනින් තැන ලංකා සම සමාජ පක්ෂයේ තරුණ ශාඛා සමිති බිහිවෙමින් තිබුණ කාලයක්. මාදම්පේ ප්‍රදේශයේද ලංකා සම සමාජ පක්ෂයේ ශාඛාවක් ජයසේකර මහත්තයාගේ මූලිකත්වයෙන් පිහිටවනු ලැබුවා. එහි ලේකම්වරයා වශයෙන් පත්වූයේ මාපා සහෝදරයා. මමත් එහි සාමාජිකත්වය ලබා ගත්තා. ඒ වනවිට මීගමුව ප්‍රධාන කොටගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයේ සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී කටයුතු සිදු කෙරුණා.
සෑම සති අන්තයකම මම පක්ෂයේ අනෙකුත් සහෝදරවරුන් එක්ක පුත්තලම, ආණමඩුව, පල්ලම, මුන්දලම, කරුවලගස්වැව සහ වනාතවිල්ලුව වාගේ ප්‍රදේශවලට ගොස් සම සමාජ පක්ෂය පැතිරවීමට කටයුතු කළා. එය බොහොම දුෂ්කර කටයුත්තක් වුණේ පා ගමනින් යාමට සිදු වූ නිසයි. ඒත් තරුණයන් වන අප එය එතරම් ගණන් ගත්තේ නැහැ. හරිම ආශාවකින් ප්රබෝධයකින් ඒ කටයුත්ත කරමින් ගියා. ගම්වල තරුණයන් වේගයෙන් අපේ පක්ෂය වටා එක්රොක් වීමට පටන් ගත්තා. අපට ඉහළ ප්‍රතිචාර ගම්වලින් ලැබුණු බැවින් අපි තව තවත් දිරිමත් වුණා.
සුදරිංග මහත්තයා සම සමාජ පක්ෂය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කළ අය අනුගමනය කළ රහසක් හෙළි කළේ මෙසේය.
“ඒ කාලයේ අපි ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් දේශපාලනය කළේ හරිම අපූරු උපක්‍රමයක් අනුගමනය කරමින්. ඒ අපේ සැබෑ නමින් නොවේ ව්‍යාජ නම්වලින්. අපේ උප්පැන්න සහතිකයේ තිබෙන නම වෙනුවට ව්‍යාජ නම් භාවිතා කරමින් දේශපාලනය කිරීමට හේතු වුණේ පාලක පක්ෂයේ විවිධ හිරිහැර කරදරවලින් බේරීමේ උපක්‍රමයක් වශයෙන්. පොලිසියේ අත්අඩංගුවට ගැනීම් හා ප්‍රශ්න කිරීම්වලට ලක්වීමට තිබෙන ඉඩකඩ සැලකිල්ලට ගනිමින් තමා අපි ව්‍යාජ නම්වලින් පෙනී සිටියේ.
ඈත එපිට පළාත්වලට දේශපාලන කටයුතුවලට ගියාම අපි ඒ ව්‍යාජ නම්වලින් අමතා කථා බහ කරන්නේ. මටත් ඒ වගේ ව්‍යාජ නමක් තිබුණා. ඒ නම දැන් මතක නැහැ. මතක් වුණොත් කියන්නම්. ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය අතර මතභෙද උග්‍ර වී පක්ෂය දෙක කැඩී වෙන්ව ගිය අවස්ථාවේ යළි එම පක්ෂ දෙක සමගි කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
ඒ සාකච්ඡාවට නියෝජිතයෙක් වශයෙන් සහභාගි වීමටද සුදරිංග මහතාට අවස්ථාව ලැබී ඇති අතර ඒ ගැන ඔහු සිය මතකය අවදිකළේ මේ අන්දමිනි.
ලංකා සම සමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය අතර හටගෙන තිබුණ මතභෙද උග්‍ර වී ඒ පක්ෂ දෙක කැඩී වෙන්ව ගොස් තිබුණා. ඒ පක්ෂ දෙක සමගි කිරීමට විශේෂ සාකච්ඡා සම්මේලනයක් මාකඳුරේ පිහිටි ටී. බී. සුබසිංහ මහත්තයාගේ ගෙදර පැවතුනා. පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මමත් මහවැව පදිංචි මගේ පාසල් මිතුරෙක් මෙන්ම අපේ පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් වූ මහවැවේ මුණසිංහත් ගියා. පක්ෂය මගින් තමා අපි දෙන්නාව මේකට යවන්න තෝරාගෙන තිබුණේ.
ආචාර්ය එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන සහෝදරයන් ඇතුළු ලංකා සම සමාජයේ පතාක යෝධයින් රැසක් මේ විශේෂ සාකච්ඡාවට ඇවිත් හිටියා. සාකච්ඡාව තීන්දු තීරණවලින් තොරව අවසන් වුණා. පැය ගණන් ලොකුවට වාද විවාද වුණා. ලංකා සම සමාජ පක්ෂයේ තරුණ බහුතරය කොමියුනිස්ට් පක්ෂය එක්ක සාමදානවීමට කැමති වුණේම නැහැ.
1930 ගණන්වල උගත් තරුණ පිරිසක් විදේශයන්හි උසස් අධ්‍යාපනය හදාරා අවසන් කොට අපේ රටට ආවා. ඒ තරුණ පිරිස අධ්‍යාපනය හදාරන අතරවාරයේ මාක්ස්වාදී චින්තනය ගැනද ගැඹුරට හදාරා තිබුණා. ඔවුන් දැනුමෙන් බුද්ධියෙන් මුහුකුරා ගිය අය. ඉතිං ඒ දැනුම බුද්ධිය හරහා අධිරාජ්‍යවාදීන්ගේ පොපිමල් ව්‍යාපාරයට විරුද්ධව සූරිය මල් ව්‍යාපාරය ආරම්භ කළා. ඒ සූරිය මල් ව්‍යාපාරය හරහා තමා ලංකා සම සමාජ පක්ෂය ආරම්භ වුණේ”යි ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක්ව සිටි ලීටින් සුදරිංග මහතා පවසයි. සුදරිංග මහත්තයා කියන ලංකා සම සමාජ පක්ෂය හා බැඳුණු කතා ඊළඟ සතියෙත් කියවමු.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූපය : මාදම්පේ, ලක්ෂ්මන් හෙට්ටිතන්ත්රි