දිවංගත ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති තුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටි කාලයේ සිටම ඔහුගේ සිතෙහි මෙරට පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන යම් කුකුසක් තිබුණේය. විශේෂයෙන්ම එතුමා තුළ එවැනි කුතුහලයක් ඇතිවී තිබුණේ එවකට පැවැති පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය යටතේ රටට වැඩදායි මෙහෙවරක් සිදුකළ හැකි සහ ඒ පිළිබඳව නිසි උගත්කමක් ඇති අයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් තේරී පත්වීමට ඉඩ ප්‍රස්ථාවක් නොතිබීම ගැනය.
“අපේ රටේ එවැනි අවංක සහ ගුණගරුක උදවිය ඕනෑතරම් ඉන්නවා. ඒත් ඒ අය රටේ ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වෙලා නෑ. ඒ වගේම ඒ අයට මැතිවරණයකින් දිනලා පාර්ලිමේන්තුවට තේරීපත්වීම සඳහා උනන්දුවකුත් නෑ”යි සිතූ ජේ. ආර්. ඒ දිනවල සිටම අධිෂ්ඨාන කරගෙන සිටියේ තමන්ට කවදා හෝ මේ රටේ පාලන බලයක් හිමිවුවහොත් එවැනි අයට පාර්ලිමේන්තුවට යාමට හැකි අන්දමේ මැතිවරණ ක්‍රමයක් බිහි කරන බවටය.
“ඇයි සර් මේ පත්කළ මන්ත්‍රී ක්‍රමය යටතේ ඔය කියන අයටත් පාර්ලිමේන්තුවට යන්න පොඩි ඉඩකඩක් තියෙනවා නේද?යි. විමසූ තම පෞද්ගලික හිතවතාගේ නොදැනුවත්කම ගැන යටිහිතින් සිනාසුණු ඔහු ගේ සිතට එක්වරම නැගී ආවේ සිංගල්ටත් සැමන් වැනි නම් කීපයකි. එසේ වූයේ ඔවුන් පත්කළ මන්ත්‍රිවරුන් ලෙස නම් කර තිබුණේ. දේශපාලන පක්‍ෂපාතීත්වය මුල්කරගෙන බැවිනි.
කෙසේ වෙතත් 1977 මහ මැතිවරණයෙන් එජාපය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් සමග ජේ. ආර්. ට මුළුමහත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම කනපිට ගැසීමට අවස්ථාවක් හිමිවූයේ ඔහුවත් නොසිතූ පරිදිය. එවර 5/6 ක පාර්ලිමේන්තු බලයක්ද සහිතව අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ ඔහු මෙරටට අලුතින් හඳුන්වා දුන් විධායක ජනාධිපති ධූරයට තමාම පත්වී රටේ ඡන්ද ක්‍රමය ද ඇතුළු මුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම නව මුහුණුවරක් ලබා දෙනු ලැබීය. ජේ. ආර්. එසේ කරන්නට ඇත්තේ දැන් ඉතින් රටේ පාලන බලය සදහටම එජාපය අතේ” යි සිතමින් විය හැකිය.
“හොඳයි යම් දවසක රටේ විධායක බලය සහ ව්‍යවස්ථාදායක බලය පක්ෂ දෙකක් අතර බෙදී ගියොත් මොකක්ද සිද්ධ වෙන්නේ” යි. ඇසූ ල.ස.ස.ප. නායක ආචාර්ය එන්. එම්. පෙරේරාට සාවඥ සිනාවකින් පිළිතුරු දුන් අභිනව ජනාධිපතිවරයා කියා සිටියේ එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් එවකට බලය හිමිවන අයට එම ප්‍රශ්නය බේරුමක් කරගත හැකි බවය. තමන්ගේ ජීවිතාන්තය දක්වාම එවැන්නක් සිදු නොවන බව හෙතෙම තරයේ විශ්වාස කළේය.
මේ අතර ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් වශයෙන් තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර ගැනීමටද නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ අවස්ථාව දෙනු ලැබුවේ ප්‍රථම වරටය.
රටේ විවිධ ක්‍ෂේත්‍රයන් පිළිබඳව පුළුල් දැනුමක් ඇතත් මැතිවරණයකින් ජයගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වීමට තරම් හැකියාවක් නැති හෝ ඒ සඳහා උනන්දුවක් නොදක්වන අයගේ හැකියාවෙන් රටට යම් ප්‍රයෝජනයක් ලබාගැනීමේ අදහසින් තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කර ගැනීමට පියවර ගන්නා ලදැයි හෙතෙම අවස්ථා කීපයකදීම ප්‍රකාශ කර තිබුණේය.
ජේ. ආර්. ගේ ඒ කතාව ඇසු මෙරට උගතුන් හා මධ්‍යස්ථ මතධාරින් පිරිස අවංකවම සතුටුවූවා විය හැකිය. එහෙත් අන්තිමේදී සිදුවූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී කෝටාව ප්‍රථම වරට මෙරටට හඳුන්වා දීමේදී ජේ. ආර්. ජයවර්ධන මහතා බලාපොරොත්තු වූ උතුම් පරමාර්ථ හැලීගොස් යළිත් සුපුරුදු දේශපාලනය ඒ තුළට රිංගා ගැනීම සිදුවිය.
එම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 අගෝස්තු මස 16 වැනිදා එවකට පැවැති ජාතික රාජ්‍ය සභාවේදී සම්මත වූ අතර එමඟින් හඳුන්වා දී තිබුණු සමානුපාතික ඡන්ද ක්‍රමය 1989 පෙබරවාරි මස 15 වැනිදා පැවති මහ මැතිවරණයේදී මුල්වරට ක්‍රියාත්මක කෙරුණේය. කෙසේ වෙතත් ඒ වනවිට ජේ. ආර්. ජයවර්ධන මහතා මෙරට විධායක ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ලැබ ඒ වෙනුවට රණසිංහ ප්‍රේමදාස මහතා අභිනව ජනාධිපති වරයා වශයෙන් තේරී පත්ව සිටියේය.
එවර මහ මැතිවරණයේදී ක්‍රියාත්මක කෙරුණ නව ඡන්ද ක්‍රමය මෙරට සමස්ත ජනතාවටම තරමක් නුහුරු එකක් වුවද ඔවුහු එම අභියෝගයට කෙසේ හෝ මුහුණ දී තිබුණහ. ඒ අනුව මන්ත්‍රීවරු දෙසීයක් දිස්ත්‍රික් මට්ටමින් තේරීපත්ව සිටියහ. පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වූ 225 න් ඉතිරි 25 දෙනා පත්කර ගැනුණේ ඒ ඒ දේශපාලන පක්ෂ විසින් ලබා ගන්නාලද මැතිවරණ ප්‍රතිඵලවලට අනුව හිමිවූ ජාතික ලැයිස්තු කෝටාවෙනි.
එවර එජාපයට ජාතිත ලැයිස්තු මන්ත්‍රීධුර 15 ක්, ශ්‍රී.ල.නි.ප. යට මන්ත්‍රීධුර 9 ක් සහ මහජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමාජවාදි පෙරමුණ සහ එක් ස්වාධීන කණ්ඩායමකට එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිව තිබුණේය.
එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ක්‍රමය හඳුන්වාදීමේදී විවිධ හේතු සාධක මත මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වීමට නොහැකි උගතුන් හා බුද්ධිමතුන්ගේ සේවය ව්‍යවස්ථා සම්පාදනයේදී ලබාගැනීම සඳහා වූ විකල්ප ක්‍රියා මාර්ගයක් වශයෙන් එය හඳුන්වාදී තිබුණද එම අදහස එලෙසින්ම ක්‍රියාත්මක නොකෙරිණි. එසේ වූයේ එජාපය මෙන්ම ශ්‍රී.ල.නිපයද තම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් කිරීමේදී පක්ෂ දේශපාලනයට මුල් තැනක් දුන් බැවිනි.
එහෙත් එජාපය තම ජාතික ලැයිස්තුවෙන් මෙරට නීති විශාරදයෙකු වූ කේ. එන්. චොක්සි, දේශීය වෛද්‍යවරයෙකු වූ අයි. ඩබ්ලිව්. ප්‍රනාන්දු, සුප්‍රසිද්ධ නැටුම් විශාරදයෙකු වූ කාලිංග ඔබේවංශ සහ බෞද්ධ දර්ශනය පිළිබඳ හසළ දැනුමක් තිබූ බර්ගර් ජාතික ඇලෙක්ස් රොබට්සන් යන මහත්වරුන් පත්කර ගෙන තිබුණේ එමගින් ජාම බේරා ගැනීමේ ක්‍රමවේදයක් වශයෙනි. කෙසේ වෙතත් ඔවුන්ගේ අදහස් බරවී තිබුණේ එජාපය දෙසටය.
“විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ හසළ දැනුමක් ඇති ප්‍රවීණයන්ට අපි ජාතික ලැයිස්තුවෙන් ප්‍රමුඛත්වය දුන්නා”යි එජාපය ප්‍රකාශ කළ අතර ශ්‍රී ල.නි.පය ඒ පිළිබඳව දක්වා තිබුණේ ඉතා සුළු මට්ටමේ සැලකිල්ලකි. තමන්ගේ ජාතිය ලැයිස්තු කෝටාවෙන් ශ්‍රී.ල.නිපය තැනදී තිබුණේ ආචාර්ය කමල් කරුණානායක සහ ආචාර්ය මර්වින් සිල්වා (හිටපු ඇමැතිවරයෙකු වූ මර්වින් සිල්වා මහතා නොවේ) යන උගතුන් පිළිබඳව පමණි. ඔවුන්ද පත්කර තිබුණේ ශ්‍රි.ල.නි.ප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ බල කිරීමටය. මේ අතර ඉතිරි දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම තම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පක්ෂයේ ප්‍රබලයන් පත්කරගෙන තිබුණි.
මේ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සම්බන්ධයෙන් තවත් අනපේක්ෂිත ප්‍රශ්නයක් ද පැනනැගී තිබුණේය. එනම් ඒ ඒ දේශපාලන පක්ෂ විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් වශයෙන් පත්කරන ලද කිසිදු පුද්ගලයෙකු පක්ෂ මහා ලේකම්වරයාගේ හෝ පක්ෂ නායකත්වයේ අභිමතය පරිදි අදාළ මන්ත්‍රීධුරයෙන් ඉවත් කිරීමට නොහැකි බවට පැවැති නීතිමය බාධාවයි.
යම් පක්ෂයක් විසින් පත්කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වෙනුවට වෙනත් අයකු පත්කළ හැක්කේ අදාළ පුද්ගලයාගේ අභාවයේ හෝ ඔහු සිය කැමැත්තෙන්ම ඉල්ලා අස්වූ විට පමණයි යන්න ඒ පිළිබඳව පැවැති නීතිමය විග්‍රහය විය. ඒ බව වඩාත් හොඳින් පැහැදිලි වූයේ ශ්‍රී.ල.නි.ප යෙන් පත්කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් දෙපළකට ඉල්ලා අස්වන ලෙස පක්ෂයෙන් කළ දැනුම්දීමකට ඔවුන් අවනත නොවූ බැවිනි.
ඒ අනුව ආචාර්ය කමල් කරුණානායක සහ ආචාර්ය මර්වින් සිල්වා යන දෙපළම 1994 දී ඩී. බී. විජේතුංග ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනතුරුම තම මන්ත්‍රී ධුරයෙන් හි රැඳී සිටියහ.
අන්තිමේදී සිරිමාවෝ මැතිනියට සිදුවූයේ ඔවුන් පිළිබඳව පැවැති විරෝධය හකුළුවාගෙන නිහඬ වීමටය. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයට නම් තම ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් ඉවත් කිරීම පිළිබඳව එතරම් ගැටලුවක් මතු නොවීය. එසේ වූයේ තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අහිමි වුවත් ඒ වෙනුවට වෙනත් කුමන හෝ තනතුරක් තමන්ට ලැබෙන බව ඔවුන් සහසුද්ධියෙන්ම දැනසිටි බැවිනි.
1993 වසරේදී ඒ වනවිට එජාපය හැර ගොස් සිටි ගාමිණි දිසානායක සහ රොනී ද මැල් යන මහත්වරුන්ට යළි පක්ෂයට පැමිණ මන්ත්‍රිධුර සහ ඇමැතිධුර ලබා ගැනීමට හැකිවූයේ ඒ අනුවය. එහෙත් විපක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් එවැනි අවස්ථාවලදී තම පක්ෂයේ තීරණය පිළිනොගන්නේ තමන්ට අහිමිවන මන්ත්‍රී ධුරය වෙනුවට වෙනත් තනතුරක් හෝ වරප්‍රසාදයක් නොලැබෙන බව ඔවුන් දැන සිටි නිසාවෙනි.
2004 දී පොදු පෙරමුණ සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් කිරීමේදී හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා නම් කිරීමට එවකට සිටි චන්ද්‍රිකා ජනාධිපතිනියට අමතක විය. එහෙත් පසුව තමන් අතින් සිදුවූ අතපසුවීම අවබෝධ කරගත් ඇය එවර පත්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වන ජනදාස පීරිස් මහතාට තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි කීවාය. එහිදී ජනදාස පීරිස් මහතා කළේ වහාම තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වීමය. එවර පැවැති මහ මැතිවරණයෙන් පරාජය වූ මර්වින් සිල්වා මහතාට තම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය පැවරීම සඳහා ඔහුගේ බිරිඳ වන මේරි ලසිඩා මහත්මිය ඉල්ලා අස්වී තිබුණේද චන්ද්‍රිකා මැතිනියගේ ඉල්ලීමක් අනුවය.
2004 පැවති මහ මැතිවරණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා එජාපෙන් තරග කර ජයගත් එස්. බී. දිසානායක මහතා අධිකරණයට කළැයි කියන අපහාසයක් සම්බන්ධයෙන් දෑවුරුදු සිර දඩුවමක් නියමවීම නිසා ඔහුගේ මන්ත්‍රීධුරය අහිමි විය. පසුව සිපිරි ගෙයින් නිදහස් වී පැමිණි එස්. බී. දිසානායක මහතාට යළි පාර්ලිමේන්තුවට පත්වීමේ අවශ්‍යතාවක් හට ගෙන තමන්ට එක දිනකට හෝ ඒ සඳහා ඉඩ ප්‍රස්ථාවක් ලබා දෙන්නැයි එජාප නායකත්වයෙන් ඉල්ලීමක් කළේය. පක්ෂ කේ.ඇන්.චොක්සි මහතාට අස්වෙන්නැයි දැනුම් දුන්නේය.
ඒ අනුව ඔහු විසින් කළ ඉල්ලීමට එකඟ නොවූ චොක්සි මහතා කනගාටුයි. ඒක කරන්න බැහැ.... යි. කියමින් ඊට පිටුපෑවේය.
ඔහු එසේ කළේ තමන්ට අහිමි වන මන්ත්‍රී ධුරය වෙනුවෙන් වෙනත් කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බව දැනසිටි නිසා විය හැකිය. මේ අතර කල්යාමේදී එම තත්ත්වය තවත් බරපතළ අතට හැරී තිබුණේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ විවිධ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව හසළ දැනුමක් සහිත උගතුන් හා බුද්ධිමතුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වීම නොව මැතිවරණවලින් පරාජිත දේශපාලනඥයන් තමන්ට පාර්ලිමේන්තුවට තේරීපත්වීම සඳහා ජාතික ලැයිස්තුව කෙටි මාර්ගයක් බවට පත්කර ගැනීමයි.
2015 මහ මැතිවරණයේ දී එම තත්ත්වය ඉතා බරපතළ ලෙස රූපණය කෙරුණු ප්‍රථම අවස්ථාව ලෙස සපුරා හැඳින්විය හැකිය. එවර මහ මැතිවරණයෙන් පරාජය වූ දේශපාලනඥයන් දස දෙනෙකුට වැඩි පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර පමණක් නොව ඇමැතිධුර පවා ලබාගෙන තිබුණේ ජාතික ලැයිස්තුව හරහා බව නොරහසකි. මේ අතර එක් දේශපාලන පක්ෂයකින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලබාගත් ඇතැම් දේශපාලනඥයන් තම පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂ සමග අත්වැල් බැඳගත් අවස්ථා ගැනද නොයෙක් විට අසන්නට ලැබුණේය.
වත්මන් පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් අතර එවැන්නන් සිටින බව නොරහසකි. එහෙත් ඒ පිළිබඳව ඇති බරපතළම ප්‍රශ්නය වී ඇත්තේ ඔවුන්ට එරෙහිව කිසිදු විනය පියවරක් ගැනීමට ඔවුන් මුලින් පාර්ලිමේන්තුවට තෝරාපත්කර ගත් දේශපාලන පක්ෂයේ නායක කාරකාදීන්ට නොහැකිවීමයි.
කෙසේ වෙතත් 1978 දී සම්මත වූ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මුල්වරට හඳුන්වා දෙන ලද ජාතික ලැයිස්තු ක්‍රමය මගින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වූ අරමුණු කිසිවක් මේ දක්වාම ඉටුනොවී තිබීම කනගාටුවට කරුණකි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ පක්ෂ දේශපාලනය එම ක්‍රමවේදය තුළට කාන්දුවී තිබීමයි. එම ජාතික ලැයිස්තු ක්‍රමයේ නිර්මාතෘවරයා වූ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පවා එවැන්නක් බලාපොරොත්තු නොවුවාට සැකනැත. එහෙත් අද සිදුවී ඇත්තේ යම් උතුම් පරමාර්ථයක් මුල්කර ගෙන අරඹන ලද ජාතික ලැයිස්තු ක්‍රමය මේ වනවිට මුඵමනින්ම විකෘති තත්ත්වයකට පත්වීමයි.
නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූප අන්තර්ජාලයෙනි