ළමා අවධියේදී “විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය” නමින් වූ නව කතාවක් මම කියවා ඇත්තෙමි. මෙරට සිටි ප්‍රධානම නව කතාකරුවා වූ පියදාස සිරිසේන සූරින් විසින් සම්පාදනය කරන ලද එම කෘතියේ අන්තර්ගතය මට දැන් අමතකය. කියවා බොහෝ කලක් ගතව ඇති නිසාය. පියදාස සිරිසේන මැතිතුමා බොහෝ විට තම නවකතාවලට අනුභූතිය ලෙස තෝරාගනු ලැබුවේ එම යටත් විජිත අන්ධකාර යුගයේ සිංහල ජන සමාජය වෙළාගෙන පැවති බොහෝ දුර්ගුණයන් විවේචනයකර බටහිර පන්නය වැලඳ ගැනීමට එරෙහිව මත පළ කිරීම බව නම් මට මතකය. පොදුවේ සමාජය යහමගට ගැනීමට පොත් ලිවීම එතුමාගේ අරමුණ වූ නිසා මෙම කෘතියද එවැන්නකැයි මම කල්පනා කරමි.
කෙසේ වුවත් මට මෙම නවකතාව ගැන සිහිපත්වූවේ පසුගිය සතියේ තොරතෝංචියක් නැතිව ඇසෙන්නට පටන් ගත් දඹුල්ල රාජ මහා විහාරයේ ආදායම් පිළිබඳව හෙවත් දඹුල්ලේ පිං පෙට්ටියේ වපසරිය ගැන විවිධ පාර්ශ්වයන් වෙතින් පළවුණු අදහස් නිසාය. එහෙත් අපේ උත්සාහයවන්නේ එම පාර්ශ්වයන්ට පක්‍ෂව හෝ විපක්‍ෂව අදහස් දැක්වීම නොවේ. දඹුල්ල රාජ මහා විහාරයත් ඒ ආශ්‍රිත ප්‍රදේශයේත් ඓතිහාසික සහ දේශපාලන උරුමය පිළිබදව ආපසු හැරී බැලීමකට යොමුවීමටය. යුග ගණනාවක් පුරා අපේ රටේ ජාතික නිදහස සහ දේශීය අනන්‍යතාව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ කේන්ද්‍රස්ථානයක් වශයෙන් දඹුලු ප්‍රදේශය විශේෂයෙන් දඹුල්ල රාජ මහා විහාරස්ථානය උසුලන තත්ත්වය අඩුවෙන් තක්සේරු කිරීම යුක්තිසහගත නොවේ.
අපේ ඉතිහාසය විමසන විට දුටු ගැමුණු රාජ යුගය අපේ රටේ ස්වර්ණමය යුගයක් සේ සැලකීම බොහෝ විට දක්නට ලැබේ. ඔහුගේ අභාවයෙන් පසු කිරුළ හිමිවූයේ ඔහුගේ සොහොයුරු සද්ධාතිස්ස කුමරුටය. ඔහුගේ පුතුන් දෙදෙනා චූලත්ථන සහ ලජ්ජිතිස්ස නම් වූ අතර සදධාතිස්ස රජුගෙන් පසු සිහසුනට පත්වූයේ බාල පුත්‍රයා වූ චූලත්ථන කුමරුටය. කෝපයට පත් වැඩිමහල් පුත් ලජ්ජිතිස්ස කුමරු සටනට එළඹීම හේතුවෙන් අභ්‍යන්තර ආරවුලක් හටගත්තේය.
මෙම පරපුරෙන් පැමිණි වලගම්බා රජු රාජ්‍යත්වය අත්කර ගත්තේ ක්‍රිස්තු පූර්ව 104 වර්ෂයේදීය. දිගින් දිගටම පැවති අභ්‍යන්තර රාජ්‍ය ආරවුල් නිසා විදේශීය ආක්‍රමණ බහුලවූවේය. දේශීය සහ විදේශීය වශයෙන් ආක්‍රමණ දෙකකට මුහුණ දුන් වලගම්බා රජතුමා සිහසුන හැරදමා පලාගියේය. එසේ ගිය ඔහු නොයෙක් තැන්වල ගල්ලෙන්වල රැදී සිටිමින් තම සේනා සංවිධානය කර ගත් බව ඉතිහාසයේ කියවේ. එසේ සිටි ස්ථාන රාශිය අතරින් දඹුල්ල ගල් ලෙනද එකක් බව කියවේ. ඒ නිසා නැවත රජ බවට පත්වීමට මග සලසා දීමට උපකාර කිරීම ගැන කෘතඥපූර්වක ගෞරවයක් වලගම්බා රජතුමාගේ සිත තුළ ජනිත වූවාට සැකයක් නැත. නැවත රාජ්‍ය පදප්‍රාප්ත වූ රජතුමා තමාට නැවතීමට උපකාර කළ බොහෝ ස්ථානවල වෙහෙර විහාරස්ථාන ඉදි කළ බව සඳහන් අභිලේඛන නොයෙක් ස්ථානවලින් හමුව ඇත. දඹුලු විහාරයද එවැන්නකි. මාතලේ අලුවිහාරයේදී මහ රහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කිරීමද වලගම්බා රජු සමයේ සිදු වූ බවට වංශ කථාවේ දැක්වෙන පාඨය අනුව මෙම ක්‍රියාවලියටද දඹුල්ල රාජමහා විහාරයේ අනුග්‍රහය ලැබුණු බව නිසැකය.
කොතෙකුත් සිදුවීම් පසුකරමින් කාලය ගලා ගියේය. සිංහල රාජ පරම්පරාවද අවසාන වී දකුණු ඉන්දියානු නායක්කර් වංශිකයන්ට මෙරට සිහසුන අත්විය. එයට ප්‍රධාන හේතුව වූයේ මෙරට කාන්තාවන් කෙරෙන් සෑහීමට පත් නොවී පිටරටින් අඹුවන් ගෙන ඒමට මෙරට රජවරුන් දැක් වූ ස්ත්‍රී ලෝලිත්වයයි. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසින්ගේ ආක්‍රමණ දිගින් දිගටම පැමිණීමත් අභ්‍යන්තර අරගල උත්සන්න වීම හේතුකොටගෙන 1815 මාර්තු දෙවැනිදා අත්සන් තබන ලද උඩරට ගිවිසුම මගින් දෙදහස් වසරකට වැඩි කලක් ශ්‍රී ලංකා වාසී ජනතාව විසින් භුක්ති විඳි ජාතික නිදහස දැයට අහිමි වී ගියේය. එහෙත් යටත් විජිතවාදීන්ගේ නොපනත් ක්‍රියා ඉවසා දරා සිටීමට දේශප්‍රේමී සිංහලයෝ එකඟ නොවූහ. 1818 උඩරට මහා නිදහස් අරගලය දියත්වූවේ ඒ අනුවය. කැප්පෙටිපොල මහ සෙනෙවිඳුන්ගේ නායකත්වයෙන් ඉදිරියට ගිය එම මහ සටන උණ්ඩයෙන් සහ ගින්නෙන් මර්දනය කිරීමට සුදු පාලකයෝ සමත් වූහ. වෙල් ලක්ෂයක් පැවතියා යයි කියන පහළ ඌවේ වෙල්ලස්ස ප්‍රදේශය මුළුමනින්ම ගිනි දෙවියාට බිලි කළ අතර ජනශුන්‍ය කාන්තාරයක් බවට පෙරළීමට සුද්දෝ සමත් වූහ. අධිරාජ්‍ය විරෝධී සටනට දායකත්වය දැක්වූවේයයි සැකයට ලක්වුණ සෑම සිංහලයෙකු කඩුගා දැමීමට ඔව්හු පසුබට නොවූහ. මඳ කලකට නිහැඬියාව රජ කෙරුණි. මෙරට ආදායම් සියල්ල සූරාගෙන එංගලන්තයට යැවීම පුරුද්දක් කරගත් බි්‍රතාන්‍යයෝ එයින් සෑහීමට පත් නොවී තව තවත් බදු පනවමින් දේශීය ජනතාව පීඩාවට පත් කළහ. මෙරට පාලනය කිරීම සඳහා බි්‍රතාන්‍යයෙන් එවා සිටි ටොරින්ටන් සාමිවරයා ඉතා කෲර සහ මර්දනකාරී පාලකයෙකු වූවේය. රාජ්‍ය ආදායම් වැඩිකර ගනු පිණිස ඉතා දරුණු බදු රාශියක් පනවමින් ඔහු ජනතාව දැඩි පීඩනයකට ලක් කළේය. තුවක්කු බද්ද, වී බද්ද, ඇඟ බද්ද සහ බලු බද්ද ආදී වශයෙන් කියැවෙන මෙම අප්‍රමාණ බදු වර්ග නිසා ජනයාගේ කෝපය සහ වෛරය නැගී ආවේය. ජනයා සටනට වන්හ. එය පොදු ජන සටනක්ම වූවේ මෙම ජාතික සටන සම්ප්‍රදායික උඩරට නායකත්වය වූ රදල ප්‍රභූ නායකත්වයෙන් බිහිවූවක් නොවූ බැවිනි. පෑලියගොඩ සිට පැමිණ සිටි ඬේවිඞ් නම් තැනැත්තෙක් උඩුනුවර අලුදෙණියේ ගොන්ගාලේ ගොඩ මැණික්රාලගේ දියණියක් සමග විවාහ වී ගොන් ගාලේගොඩ ගමේ පදිංචිව සිටියේය.
මොහු පෑලියගොඩින් උඩරටට සේන්දුවූවේ එකල පැවති ප්‍රධානම ප්‍රවාහන මාර්ගය වූ කරත්ත රස්සාවටය. පෑලියගොඩ පදිංචිව සිටි වර්ෂ පූර්ණ දේවගේ සිංචියා ප්‍රනාන්දු යන අයගේ දෙවැනි පුත්‍රයා වූ ඬේවිඞ් ප්‍රනාන්දු තරුණයා උඩරටදී බින්න කසාදය සිදුකර ගැනීමෙන් පසු එම පළාතේදී ප්‍රසිද්ධියට පත්වූවේ ගොන්ගාලේ ගොඩ බණ්ඩා යන නමිනි. ඔහු මෙහෙය වූ මෙම විමුක්ති අරගලයට සම්පූර්ණ ශක්තිය, ධෛර්ය සැපයූ ප්‍රධානම සටන්කරුවාද මොරටුවෙන් උඩරටට ගිය එඩිතර තරුණයෙකි. ඔහු ප්‍රසිද්ධියට පත්වූවේ පුරන් අප්පු නමිනි. වීර හැන්නැදිගේ ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු නම් වූ ඔහුද එඩිතර, තම ජීවිතයට වඩා රටට ආදරය කළ තරුණයෙකු විය. ගොන්ගාලේගොඩ බණ්ඩාගේ සොහොයුරෙකු වූ දියෙස් ප්‍රනාන්දු සහ හඟුරන්කෙත ඩිංගිරාල ආදී තවත් තරුණ භටයෝ මෙම විමුක්ති සටනේ පෙරමුණු බළඇණියේ ප්‍රමුඛයෝ වූහ.
බි්‍රතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යයේ ආයුධ ශක්තිය, ධන බලය සහ පිරිස් බලය හමුවේ සටනක් කර ඔවුන් පලවාහැරීම කිසිසේත්ම සුළු පටු ක්‍රියාවක් නොවීය. එහෙත් මෙම දේශප්‍රේමී තරුණයෝ අතළොස්ස නොබියව සටන් කළහ. ගැමි තරුණයෝ අතට අසුවන කුමක් හෝ ආයුධයක් රැගෙන සටනට වන්හ. 1848 ජූලි මස හය වැනිදා සටන ආරම්භ වූ අතර දින කීපයක් තුළ අවට ප්‍රදේශය අල්ලා ගැනීමට ඔව්හු සමත්වූහ. ශ්‍රී ලංකාවේ ඕනෑම යුගයක සිදුවන්නාක් මෙන් මෙම නිදහස් සටනටද ප්‍රදේශවාසී මහා සංඝරත්නයේ සහයෝගය සහ ආරක්ෂාවත් ආශීර්වාදයත් නොඅඩුවම ලැබුණි. එහි මුල්ම තැන හිමිවූවේ දඹුල්ල රාජමහා විහාරයේ වැඩ විසූ ගිරානේගම චන්ද්‍රජෝති හිමිපාණන් වහන්සේටය. විශාල ප්‍රදේශයක් අල්ලාගත් සිංහල සටන්කාමීහු ජූලි 25 වැනිදා ජයග්‍රාහීව නාලන්දාවට සැපත්වූහ.
සටනට ධෛර්ය දීමටත් එයට නීත්‍යානුකූල බවක් ලබාදීමටත් අදහස් කළ දඹුලු විහාරයේ සංඝයා වහන්සේලා සටනේ නායකයන් එම විහාරයට කැඳවූහ. ඒ අනුව ගිරානේගම හිමියන්ගේ අනුශාසනා පරිදි 1848 ජූලි මස 26 වැනිදා පෙරවරු එකොළහ පසු වී විනාඩි තිහේ කනිසමට ගොන්ගාලේගොඩ බණ්ඩාට ඔටුනු පලඳවා ශ්‍රී වික්‍රම සර්වසිද්ධි යන රාජකීය නාමයෙන් යුතුව නිදහස් ශ්‍රී ලංකාවේ රජු බවට පත් කළේය. මෙම රාජකීය උත්සවය සංවිධානය කරන ලද්දේ ගොලහැල රටේ මහත්මයා විසින් බවද කියවේ. මේ අනුව ගොන්ගාලේගොඩ බණ්ඩා ශ්‍රී ලංකා රාජ්‍යයේ රජු බවට පත් වූ අතර පුරන් අප්පු ප්‍රධාන ආරක්ෂක විය. හඟුරන්කෙත ඩිංගිරාල එවකටත් විමුක්තිකාමීන් අතට පත්ව තිබුණු සත් කෝරලයේ ප්‍රධාන පාලකයා බවට පත් කරනු ලැබීය. ඒ අනුව මෙම දේශප්‍රේමී අරගලයේ කේන්ද්‍රස්ථානය දඹුලු රාජ මහා විහාරය බව අවිවාදිතය - අධිරාජ්‍යවාදීහුද අත් බැඳගෙන මේවා අනුමත කරමින් නිහඬව සිටියේ නැත.
රට පාවා දීමට කැමති, ඉංග්‍රීසි පාලනයට ගතු කියමින් සහාය දුන් සිංහලයෝද විරල නොවූහ. උඩරට - පහතරට භේද, කුලමල, වත්පොහොසත්කම් සහ රාජකීය රුධිරය, පෙළපත් නාමය ආදී කුණු රොඩු අවුස්සමින් රට පුරා කුණු කථා ප්‍රචාරය කළහ. කට කථා පැතිරුවා පමණක් නොව සටනේ නායකයන් අල්ලා දුන්හ. දඹුලු රාජමහා විහාරවාසී ගිරානේගම ස්වාමීන් වහන්සේ පවා අත්අඩංගුවට පත්වූහ. කුරුණෑගල සිට මාතලේට ආසන්න වන තුරු විශාල ප්‍රදේශයක් සටන්කාමීන් විසින් අල්ලාගනු ලැබ සිටියත් මාතලේට පහරදීම අසාර්ථක විය. ගොන්ගාලේ ගොඩ බණ්ඩාට ආහාර සැපයූ සිංහල මිනිසා ඉංග්‍රීසි හමුදාවට ඔත්තුව දුන්නේය. ආණ්ඩුකාර ටොරින්ටන් සාමිවරයා යුද්ධ නීතිය පනවා කැරැල්ල මැඩ පැවැත්වීමට අවශ්‍ය සම්පූර්ණ බලතල හමුදාවට දුන්නේය. ගිරානේගම හාමුදුරුවන් ඇතුළු සංඝයා වහන්සේලා සිය ගණනක් සිවුරු පිටින්ම වෙඩිතබා මරණයට පත්කරන ලදහ. සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මරාදැමු බව කියවේ. ආණ්ඩුකාර වයිකවුන්ට් ටොරින්ටන්ගේ අමානුෂික ක්‍රියා කලාපය මානුෂික ගුණ දහම් දත් සමහර සුදු මිනිසුන්ගේ පවා විරෝධයට හේතුවූවේය. එවකට අග්‍ර විනිශ්චයකාර ධුරය දැරූ සර් ඇලෙක්සැන්ඩර් ජෙන්ස්ටන් එවැන්නෙකි. බි්‍රතාන්‍ය රජයට මේ බව සැලකිරීමෙන් පසු පවත්වන ලද විමර්ෂණයක ප්‍රතිපලයක් වශයෙන් ටොරින්ටන් සාමිවරයා තනතුරෙන් ඉවත් කර ආපසු එංගලන්තයට ගෙන්වාගත් බව වාර්තාවන්හි දැක්වේ.
මෙසේ පුරාණ කාලයෙහි මෙන්ම දහනවවන සියවසේදීත් සිංහල ගිහි පැවිදි වීරයෝ තමන්ගේ ජාතියත් ආගමත් පර සතුරන්ගෙන් බේරා ගැනීමට දිවිපුදා ක්‍රියාකළහ. උත්සාහය සඵල වුවත් නොවූවත් ආත්ම පරිත්‍යාගයෙන් සහ පිරිසුදු ජාත්‍යාලයෙන් සිය රට ජාතිය ආගම උදෙසා සටන් කළ ඒ ගිහි - පැවිදි ශ්‍රේෂ්ඨ පුරුෂයන්ගේ අමරණීය නාමයන්ට සිංහල ජාතිය සදහටම කෘතඥවන්නේය. පූජා පවත්වන්නේය යනුවෙන් මහාචාර්ය වල්පොල රාහුල හිමියන් සටහන් කර ඇත්තේය.
මෙවැනි දීර්ඝ අරගලයකින් පසු 1948 පෙබරවාරි 04 වැනි දින ශ්‍රී ලංකාවට නිදහස අත්විය. ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් ප්‍රදානය කරන ලද අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක්ද ලැබුණි. ඒ අනුව පිහිටුවන ලද පාර්ලිමේන්තුවේ දඹුල්ල ආසනයද නිර්දේශවී තිබුණි. 1947 දී පවත්වන ලද ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී දඹුල්ල ආසනය දිනා ගන්නා ලද්දේ කලින් රටේ මහත්මයෙකු ලෙස සේවය කළ
(ඉතිරි කොටස ලබන සතියට)
සෝමසිරි වික්‍රමසිංහ