‘ලෝකය කැරකෙයි - කාලෙ ගෙවී යයි මරුවා ළඟා වෙනවා - සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා’ බොහෝ කලකට පෙර ඇසූ ගීතයක් මගේ සිහියට නැගේ. එයට හේතුව වර්තමාන රජයේ සමහර ඇමතිවරු භාවිතා කරන “පිං ඇමතිලා”යන වචනය මේ දිනවල නිතර නිතර බහුලව ඇසෙන්නට පටන් ගෙන තිබෙන නිසාය.
බොහෝ කලක් ගතවූවේ නැත. 2015 ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී විරුද්ධ පක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළ තැනින් අපේ කතාව ආරම්භ කළ හැකිය. ඒ මහතා ජනාධිපති ධුරයට පත්වීමට විශාල ලෙස ශක්තිය, ඡන්දය හා වෙනත් ආධාර ප්‍රදානය කළේ එක්සත් ජාතික පක්ෂය බව නොදන්නා කෙනෙකු සිටිය නොහැකි තරම්ය. පාක්‍ෂිකයෙකු වන ජනාධිපතිවරයෙකු සිටී නම් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා විය යුතුයැයි කියවෙන වගන්තියක් එම පක්ෂ ව්‍යවස්ථාවට සංශෝධනයක් වශයෙන් එකතු කර ඇතැයි කියනු ලැබේ. එම ප්‍රතිපාදනය පදනම් කරගෙන පරාජිත ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරය මෛත්‍රීපාල සිරිසේන මහතාට බාර දුන් බව කියැවේ. මෙම සිද්ධියේදී ඇතිවූ ප්‍රතිපත්තිමය ගැටුම නොසලකා ජනාධිපතිවරණ දිනයේත් මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ක්‍රියා කළ ඔහුට ඡන්දය පවා භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රී පිරිසක් නව රජයේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමති ධුර සහ රාජ්‍ය ඇමති ධුර භාර ගත්හ. මෙය පැවති දේශපාලන ක්‍රමයේ විකෘතියක් ලෙස එක්සත් ජාතික පක්‍ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත් බොහෝ දෙනා සැලකූහ. අතිබහුතර බලයක් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයට, නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් පත්කර සිටී. දි.මු. ජයරත්න මහතා වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට හැකිවූවේ ශ්‍රී.ල.නි.පයෙන් ලැබුණු මෙම සහාය නිසාය. ගොඩනගන ලද රජය ජාතික රජයකැයිද සම්මුතිවාදී රජයකැයිද ආදී වශයෙන් නොයෙක් අලංකාර විරුදාවලි ලබාදීමට දෙපාර්ශ්වයේම රජයට සම්බන්ධ වූ ඇත්තෝ පසුබට නොවූහ. එහෙත් විධායක ජනාධිපති බලය සහ එදා “වෙනසක්” සඳහා පැවති ජනතා අභිලාෂය වටහාගෙන සිටි මෙම පසුබිමට එකඟ නොවූ බොහෝ දෙනා නිහඬ වූහ.
එහෙත් බළලාගේ කරේ සීනුව බැඳීමට තරම් නිර්භීත වූ පිරිසක් ශ්‍රී.ල.නි.පය තුළවූහ. ඔවුන් වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානය වෙමින් තම පක්‍ෂයේ චිරාගත මතවාදය වූ යූ.ඇන්.පී. විරෝධය ඉස්මතු කරමින් ජනතාව අතරට ගියහ. පසුව ඒකාබද්ධ විපක්‍ෂය නමින් හැඳින්වූවේ මෙම කණ්ඩායමය. 1952 සැප්තැම්බර් දෙවැනිදා එම පක්ෂය අරම්භ කරද්දී ශ්‍රී.ල.නි.ප. අනුගමනය කළ ප්‍රතිපත්තිය වූවේ එ.ජා.ප විරෝධයයි. එදා මෙදා තුර පාක්‍ෂිකයාට උගන්වා තිබුණේ එම ප්‍රතිපත්තියයි. එය ඔවුන්ගේ ලේ ඇට මස්වලට කාවැදුණු, ජානගතවූ පාඩමක් විය. එක්සත් ජාතික පාක්‍ෂිකයාටද එය එසේම වූ බව නොරහසකි. මෙම ජානගත ප්‍රතිපත්තිය නිසා ජීවිතය, දරුවන්, රැකියා සහ ජීවනෝපාය, දේපොළ ආදිය අහිමි කරගත්තෝ බොහෝ වූහ. විසි වසරක් තිස්සේ විරුද්ධ පක්‍ෂයේ සිටිමින් අනේක දුක්ඛ දෝමනස්සයන් වැළඳූ එ.ජා.ප පාක්‍ෂිකයෝ කෙසේ හෝ තමන්ගේ අවස්ථාව පැමිණ ඇති බව සිතා නිහඬ වතක් අනුගමනය කළහ. එහෙත් එහිදී රැඩිකල් මතවාදයක් නොතිබුණාම නොවේ.
දෙදාස් පහළොවේ අගෝස්තුවේදී පැවැති පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී එකම කණ්ඩායමක් වශයෙන් රජයේ සිටියා වුවත් ශ්‍රී.ල.නි.ප. ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්සත් ජාතික පක්‍ෂයත් මුහුණට මුහුණලා තරග වැදුණි. එහි අර්ථය වූවේ එකම ආණ්ඩුවේ ඇමැතිවරුන් වුවත් ප්‍රතිපත්ති දෙකක් මත සටන් කරන බවයි. කිසිම පක්‍ෂයකට බහුතරය ලබා නොදෙමින් ජනතා මතය ප්‍රකාශ විය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඡන්දය දුන් බොහෝ දෙනා තම ජානගත මතය ප්‍රකාශ කරමින් ඡන්දය පාවිච්චි කළහ. රජයට පක්‍ෂ වෙමින් දින සියයේ ආණ්ඩුවේ තනතුරු දැරූ ශ්‍රී.ල.නි.ප. ඇමතිවරු සෑම දිස්ත්‍රික්කයකදීම පාහේ බසුබෑමට ලක්වූහ. ඔව්හු බොහෝ දෙනෙක් පරාජය ලැබූහ. ඉදිරියෙන් සිටියේ ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්ඩායමය. එහෙත් පක්‍ෂයේ නායකත්වය එම පරාජය වූ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ඇමති ධුරවලටද නම්කරන ලදී. සන්ධානයට අයත් අනෙක් පක්‍ෂවලට හිමිවිය යුතු ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුර ඔවුනටද ලබා නොදී මෙම පරාජිත පිරිස මැතිසබයට යවා ඇමතිකම් ද පිරිනැමීම සදාචාරාත්මක නොවන බවට යම් යම් කොටස් කසු කුසු ගෑ නමුදු එයින් පලක් වූවේ නැත. ඔවුන්ට කළ හැකි එකම දෙය මෙකී ජාතික ලැයිස්තුවෙන් පත්ව ඇමති ධුර දරන්නන්ට “පිං ඇමතිවරු” යනුවෙන් උපහාසයට ලක්කිරීමය.
මෙම පිං ඇමතිවරු යන වචනය අපේ දේශපාලන ශබ්ද කෝෂයට එක්වූ මුල්ම අවස්ථාව මෙය වුවත් අපේ පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භයේ සිට මෙයට සමාන ක්‍රියාදාමයකට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සැලසී තිබුණු බව වර්තමානයේ දේශපාලන ක්‍ෂේත්‍රයේ කටයුතු කරන බොහා් දෙනා පවා නොදන්නවා විය හැකිය. පිං ඇමතිවරුන් කියා කිසිවකු හෝ හඳුන්වා නොදෙන ලද්දේ වුවද වචනයේ අර්ථය අනුව සලකන විට එය එසේම වූ බව නොරහසකි.
පාර්ලිමේන්තු ක්‍රමයේ ආරම්භය සිදුවූ සෝල්බරි ආණ්ඩු ක්‍රමයෙන් අපේ කතාව ආරම්භ කිරීම සුදුසු යැයි මම අදහස් කරමි. සෝල්බරි කොමිසමේ නිර්දේශ පරිදි පිහිටුවන ලද පාර්ලිමේන්තුව සභා දෙකකින් සමන්විත විය. ඒවා නම් සෙනෙට් සභාව හෙවත් උත්තර මන්ත්‍රී මණ්ඩලය සහ මහජන ඡන්දයෙන් පත්වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයයි. එම කොමිසන් සභා වාර්තාවේ උත්තර මන්ත්‍රී මණ්ඩලය ගැන මෙසේ සඳහන් වේ.
ස සභිකයන් තිස් දෙනෙකුගෙන් යුතු ද්විතීය මණ්ඩලයක් පිහිටුවිය යුතුය. එය සෙනෙට් සභාව යනුවෙන් හැඳින්විය යුතුය. එහි සභිකයන්ට සැනෙට් මන්ත්‍රීවරු යන නම යෙදිය යුතුය.
දෙදාස් පහළොවේ අගෝස්තුවේදී පැවැති පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී එකම කණ්ඩායමක් වශයෙන් රජයේ සිටියා වුවත් ශ්‍රී.ල.නි.ප. ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්සත් ජාතික පක්‍ෂයත් මුහුණට මුහුණලා තරග වැදුණි. එහි අර්ථය වූවේ එකම ආණ්ඩුවේ ඇමැතිවරුන් වූවත් ප්‍රතිපත්ති දෙකක් මත සටන් කරන බවයි. කිසිම පක්‍ෂයකට බහුතරය ලබා නොදෙමින් ජනතා මතය ප්‍රකාශ විය
සස ප්‍රාථමික මණ්ඩලයේ සභිකයන් විසින් පරිමාණ නියෝජන ක්‍රමය අනුව, තනි ඡන්දය පැවරීමෙන් තෝරන ලද අයට ආසන පහළොවක් හිමිවිය යුතුය. සෙසු ආසන පහළොව අග්‍රාණ්ඩුකාර තුමාගේ අභිමතය පරිදි එතුමා විසින් තෝරාගත් අයට හිමිවිය යුතුය.
සසස සෙනෙට් සභාවට ඇතුළත් වීමට තිබිය යුතු අඩුම වයස අවුරුදු 35ක් විය යුතුය. තවද විශිෂ්ට රාජ්‍ය සේවයක් කළා වූ අය හෝ අධ්‍යාපනය, නීතිය, වෛද්‍ය කර්මය, විද්‍යාව, ඉංජිනේරු කර්මාන්තය, බැංකු පැවැත්වීම, වෙළඳාම, කර්මාන්ත හෝ කෘෂිකර්මාන්තය යන මේ කිසිවක් පිළිබඳ ප්‍රකීර්තියක් උසුලතියි. ඒ ඒ කාර්යයන් හෝ වෘත්තීන් පිළිබඳව නියෝජිතයන් සමග අග්‍රාණ්ඩුකාරතුමා සාකච්ඡා කිරීමෙන් පසු තම අභිමතය පරිදි තෝරාගත් අය හෝ විය යුතුය.
මෙසේ පත්කරන සෙනෙට් සභාවෙන් ඇමතිවරුන් දෙදෙනකු පත් කිරීම එදා සම්ප්‍රදාය විය. විශේෂයෙන් අධිකරණ ඇමතිවරයා පත්විය යුතු වූවේ සෙනෙට් සභාවෙනි.
නියෝජිත මන්ත්‍රීවරුන් අනූ පස් දෙනෙකු මහජන ඡන්දයෙන් තෝරා ගැනුණි. තමන්ගේ නියෝජිතයන් වහයෙන් ඡන්දයෙන් මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට ශක්තියක් නොමැති ජනවාර්ගික කණ්ඩායම්වලට නියෝජනයක් ලබාදීම සඳහා අග්‍රාණ්ඩුකාරවරයා විසින් පත් කරන මන්ත්‍රීවරුන් හය දෙනෙකු සඳහා ද සෝල්බරි කොමිසමේ නිර්දේශවලට ඇතුළත්ව තිබුණි. මෙරට විසූ යුරෝපීය ව්‍යාපාරිකයන්, වැවිලිකරුවන් සහ රජයේ සේවකයන්ද ඇතුළත් වූ බි්‍රතාන්‍ය ප්‍රජාව, බර්ගර් ජනයා සහ මැලේ ජනතාව සඳහා එම මන්ත්‍රී ධුර හය බෙදීගියේය. ආරම්භක යුගයේ මෙම හය දෙනා අතරට සිංහල මන්ත්‍රීවරුන් පත් කිරීම සිදු නොවුණි. එමෙන්ම මෙම පත් කළ මන්ත්‍රීවරුන් අතරින් ඇමතිවරුන් පත් කිරීමක්ද සිදු නොවූ බව පැරණි මූලාශ්‍රවල දැක්වේ. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මෙසේ නම් කර මන්ත්‍රීන් පිරිසක් පත් කිරීමේ සම්ප්‍රදායක් පැවති හෙයින් මෙම ක්‍රමය එහි දිගුවක් ලෙස සැලකීමට පුළුවන.
ප්‍රථම පාර්ලිමේන්තුව සඳහා මහජන ඡන්දයෙන් පත් නොවූ අමාත්‍යවරුන් දෙදෙනෙක් පත්වීම් ලැබූහ. ඒ දෙදෙනා වූයේ අධිකරණ ඇමති ධුරයට පත් සර් ලලිත රාජපක්ෂ, ස්වදේශ කටයුතු සහ ග්‍රාම සංවර්ධන ඇමති ධුරයට සර් ඔලිවර් ගුණතිලක යන දෙදෙනාය. පාර්ලිමේන්තු ඉහළ සභාව වූ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සභිකයන් වශයෙනි. එහෙත් එම සම්භාවනීය පුද්ගලයන්ට පින් ඇමතිවරුයයි කිසිවෙක් චෝදනා නොකළහ. 1952 ඩඞ්ලි සේනානායක මහතාගේ රජයේ කෘෂිකර්ම හා ආහාර ඇමති ධුරය සර් ඔලිවර් ගුණතිලක මහතාට සහ අධිකරණ ඇමති ධුරය සර් ලලිත රාජපක්ෂ මහතාට පිරිනැමුණි. 1953 ඇති වූ සමස්ත මහා හර්තාලය පිළිබඳ අර්බුදය හේතුකොටගෙන අගමැති ඩඞ්ලි සේනානායක සහ මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන යන මහත්වරු ඉල්ලා අස්වූහ. එම පුරප්පාඩු සඳහා අගමැති වශයෙන් සර් ජෝන් කොතලාවල මහතා සහ මුදල් ඇමති ධුරයට සර් ඔලිවර් ගුණතිලක මහතාත් පත්වූහ. එවරද සර් ඔලිවර් ඇමති මණ්ඩලයට නම් කෙරුණේ සෙනෙට් සභිකයෙකු වශයෙනි. 1952 පාර්ලිමේන්තු සමයේ සිදු වූ විශේෂ සිදුවීමක් වූයේ මුදල් උප ඇමති පදවියට පත්කළ මන්ත්‍රී එල්.එල්. හන්ටර් මහතාගේ පත්වීමයි. යුරෝපීය ප්‍රජාව නියෝජනය කළ ඒ මහතාත් නොබෝ දිනකින්ම ඉල්ලා අස් වූ නිසා තවත් පත් කළ මන්ත්‍රීවරයෙකු වූ ආර්.ඇස්.වී. පෝලියර් මහතා පත් කරනු ලැබීය. වර්තමානයේ නියෝජ්‍ය ඇමති පදවිය එකල හැදින්වූණේ ලේකම් යනුවෙනි. ඒ නිසා එම තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම පත්විය යුතු වූවේය.
පනස් හයේ ආණ්ඩු පෙරළියෙන් පසු නම් කර පත් කරන මන්ත්‍රීවරුන් පිළිබඳව එතෙක් පැවති සම්ප්‍රදායේ වෙනසක් සිදුවුණු ආකාරය දක්නට ලැබුණි. ප්‍රථම වරට සිංහල ජාතිකයෙකු පත් කළ මන්ත්‍රී ධුරයකට පත් කිරීම ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් සිදු කරන ලදී. ඒ අනුව අශෝක කරුණාරත්න මහතා එම වරප්‍රසාදය ලද්දේය. පසුව දීර්ඝකාලයක් ඇමතිවරයකු ලෙස කටයුතු කිරීමේ භාග්‍ය ලද ඒ මහතා එම ඇමති ධුර දැරුවේ රඹුක්කන මන්ත්‍රීවරයා ලෙස ජනතා වරම ලැබ සිටියදීය. බණ්ඩාරනායක රජයේ අධිකරණ ඇමතිවරයා වශයෙන් රාජනීතිඥ ඇම්.ඩබ්ලිව්.එච්. ද සිල්වා මහතාත් ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස ඒ.පී. ජයසූරිය මහතාත් පත්වූයේ උත්තර මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරමිනි. පිලිප් ගුණවර්ධන මහතා සහ පී.එච්. විලියම් ද සිල්වා යන ඇමති දෙපොළ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීම ගැන එකඟ නොවූ අධිකරණ ඇමතිවරයා දින කීපයකට පසු ඇමති පදවියෙන් ඉල්ලා අස්වූවේය. ඒ වෙනුවට පත් වූවේ උත්තර මන්ත්‍රී වැලන්ටයින් එස්. ජයවික්‍රම මහතාය. එම පාර්ලිමේන්තු සමයේ අවසාන භාගයේදී අගමැති විජයානන්ද දහනායක මහතා විසින් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවන ලදුව එහි ඇමති ධුරයට උත්තර මන්ත්‍රී ලෙයාර්ඞ් ජයසුන්දර මහතා පත් කළේය. එය දින ගණනකට සීමා වූ ඇමති පදවියක් වූවේය.
මෙරට විසූ යුරෝපීය ව්‍යාපාරිකයන්, වැවිලිකරුවන් සහ රජයේ සේවකයන්ද ඇතුළත් වූ බි්‍රතාන්‍ය ප්‍රජාව, බර්ගර් ජනයා සහ මැලේ ජනතාව සඳහා එම මන්ත්‍රී ධුර හය බෙදීගියේය. ආරම්භක යුගයේ මෙම හය දෙනා අතරට සිංහල මන්ත්‍රීවරුන් පත් කිරීම සිදු නොවුණි. එමෙන්ම මෙම පත් කළ මන්ත්‍රීවරුන් අතරින් ඇමතිවරුන් පත් කිරීමක්ද සිදු නොවූ බව පැරණි මූලාශ්‍රවල දැක්වේ. මෙසේ නම් කර මන්ත්‍රීන් පිරිසක් පත් කිරීමේ සම්ප්‍රදායක් පැවති හෙයින් මෙම ක්‍රමය එහි දිගුවක් ලෙස සැලකීමට පුළුවන.
ඉන් පසු එළඹෙන්නේ 1960 මාර්තු 19 වැනිදා පැවති මැතිවරණයෙන් බලයට පත් ඩඞ්ලි සේනානායක රජයේ දින තිහේ ආණ්ඩුවේ පාලනයයි. එම රජයට පත් වූ ඇමතිවරුන් සංඛ්‍යාව අටක් වූ අතර එහි අධිකරණ ඇමති ධුරය උත්තර මන්ත්‍රී එඞ්මන්ඞ් ජේ. කුරේ මහතාට පැවරුණි.
මාසයක් ඇතුළත එම රජය බිඳවැටුණු නිසා මාස තුනකින් නැවත මැතිවරණයක් පැවැත්වීමට සිදුවිය. එහිදී බහුතර ආසන ගණනක් දිනා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමත් විය. ඒ වන විට එම පක්‍ෂයේ නායකත්වයට පත්ව සිටියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඇය මැතිවරණය මෙහෙයවූවා මිස එහිදී ආසනයක් තරග කළේ නැත. පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් පසු අගමැති ධුරය භාර ගන්නා ලෙස අග්‍රාණ්ඩුකාරවරයාගෙන් ඇරයුම ලැබුණු නිසා ඇය එම තනතුරේ දිවුරුම් දුන්නාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ව්‍යාවස්ථාදායකයේ සාමාජිකයෙකු නොවී අගමැති ධුරය දැරිය නොහැකි නිසා සෙනෙට් සභිකයෙකු වූ පණ්ඩිත ජී.පී. වික්‍රමආරච්චි වෛද්‍යචාර්යතුමා ඉල්ලා අස්වී සිරිමාවෝ මැතිනියට එම සභාවට පත්වීමට ඉඩ සලසා දුන්නාය. වසර හතරහමාරක් වූ ඇගේ පළමු අගමැති ධුර කාලය සම්පූර්ණයෙන්ම ගෙවුණේ සෙනෙට් මන්ත්‍රීවරියක වශයෙන් කටයුතු කරමිනි. ඇගේ රජයේ අධිකරණ ඇමති සෑම් පී.සී. ප්‍රනාන්දු, සෞඛ්‍ය ඇමති ඒ.පී. ජයසූරිය, කම්කරු සහ ජනසතු සේවා ඇමැති සරත් විජේසිංහ යන මහත්වරුද සෙනෙට් සභාව නියෝජනය කළ අතර තවත් වැදගත් අමාත්‍ය පදවියක් වූ අධ්‍යාපන හා ගුවන් විදුලි ඇමති වශයෙන් පත් කළ මන්ත්‍රී බද්යුද්දීන් මහමුද් මහතාද කටයුතු කළහ. එම රජය පැවති වකවානුව තුළ මුදල් ඇමතිවරු පස් දෙනෙක් කටයුතු කළ බව අපි දනිමු. එමෙන්ම අධිකරණ ඇමතිවරුද තුන් දෙනෙක්ම වරින්වර පත්වූහ. ඒ අය නම් සෑම් පී.සී. ප්‍රනාන්දු, ඒ.බී. පෙරේරා (මියගියා) ජී.සී.ටී. ද සිල්වා යන මහත්වරුය. මේ හැම දෙනාම උත්තර මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරමින් අමාත්‍ය ධුර දැරූහ.
එක්සත් ජාතික පක්‍ෂයේ නායක ඩඞ්ලි සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 1965 දී පිහිටුවන ලද රජය පක්‍ෂ ගණනාවකින් සමන්විත විය. එහි ප්‍රබල පාර්ශ්වකරුවෙකු වූවේ ෆෙඩරල් පක්‍ෂයයි. එම පක්‍ෂයේ ඉහළ නායකයෝ සෑම දෙනාම ඇමති ධුරයක් භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළහ.
මතු සම්බන්ධයි...
සෝමසිරි වික්‍රමසිංහ