රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සංවර්ධන වැඩපිළිවෙළෙහි ප්‍රධාන අංගයක් වුණේ නිවාස වැඩසටහන. එහි තේමා පාඨය වුණේ ‘සැමට සෙවණ - හිතට නිවන’. ඊළඟට තවත් අංගයක් වුණේ ‘දුප්පත්කම නැති කිරීම’ ඊට ඔහු නිර්මාණය කර ගත්තේ ‘ජනසවිය’.
ඇඟලුම් කම්හල් රටපුරා ඇති කරනු ලැබුවේ රැකියා හිඟයට පිළියමක් වශයෙන්. මෙය ලංකාවට අලුත් මෙන්ම සාධනීය ව්‍යාපාරයක් වුණා. මේ ඇඟලුම් කම්හල්වලින් කෙරෙන නිෂ්පාදන විදෙස් වෙළෙඳපොළේ ජනප්‍රිය මෙන්ම ඉල්ලුමක් සහිත ඇඟලුම් වුණා. මේවාට විදෙස් රටවලින් වරණීය බදු ක්‍රම පවා ඨීඡූ ලැබී අපේ ආර්ථිකයට යම් තරමක පෝෂණයක් ලැබෙන්න පටන් ගැනුණා.
මේ ඇඟලුම් කම්හල් උදාගම් භූමි ආසන්නයේ පමණක් නොව වෙනම වෙළෙඳ කලාප දක්වා ව්‍යාප්ත වුණා. පාසල් හැරගිය යුවතියන් එකල මේ කම්හල් තුළ රැකියාව කළා. එසේම මේ ආශ්‍රිතව වෙනම සංස්කෘතියක් පවා නිර්මාණය වුණා. ඒ සංස්කෘතිය තුළ අපචාරද දක්නට ලැබුණා.
ගම්උදා වැඩසටහන උදාගම් වැඩසටහනින් වෙනස් වුණේ නිවාස තැනුණු භූමි ප්‍රමාණයේ විශාලත්වයෙන් පමණක් නොවෙයි. ප්‍රජාශාලාව, තැපැල් කාර්යාල වැනි යටිතල පහසුකම් වගේම ජීවනෝපා සැපයීම ද එහි ස්ථාපනය වුණා. ඒ භූමියේ තාවකාලික මෙන්ම ස්ථිර ගොඩනැගිලි පවා ඉදිවුණා. සැණකෙළිය අවසානයේ තාවකාලික කුටි එයින් ඉවත් කෙරුණු පසු ඉතිරි වුණේ සැණකෙළියේදී මහලේකම් ගොඩනැගිල්ල වැනි ස්ථාවර ගොඩනැගිලි කිහිපයක්.
මීට අමතරව සෑම ගම්උදා භූමියක් අසලම ඔරලෝසු කණුවක් බැගින් ද ඉදිකෙරුණා. මෙය ගම්උදා සිහිවටනයක් විදිහටයි තැනුණේ. මෙහි වටා චිත්‍ර කැටයම් නිර්මාණය කෙරුණේ චිත්‍ර හා මූර්ති ශිල්පීන් විසින්.
මූල්‍ය අර්බුද හමුවේ පසු වූ ඔවුන්ට ගම්උදා ඔරලෝසු කණුවේ නිර්මාණවලට ඉහළ මිලක් ලබා ගැනීමේ අවස්ථාව පෑදුණා.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අභාවයත් සමඟ අභාවයට ගිය ගම්උදා ව්‍යාපාරයේ සියලු අංග අතර ඔරලෝසු කණුවල දිවෙන වේලාවේ වෙනසත් (නඩත්තු නොකිරීමෙන්) උදාගම් භූමි වල්බිහි වීමත්, ගොඩනැගිලි ගරාවැටීමත් දකින විට ඇතිවන කම්පාව මෙතෙකැයි කීමට බැහැ. රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍ය, ජනාධිපතිවීමට පෙර සිටම නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ කිසියම් විධිමත් පිළිවෙළකට බව අවිවාදිත කරුණක්. ඊට ඔහු තම වැඩසටහන වෙනුවෙන් ළං කරගත්තේ ඒ ඒ ක්‍ෂේත්‍රවල ප්‍රමාණවත් දැනුම ඇති පුද්ගලයන්. එසේම පරිපාලනයේ දක්‍ෂ පක්‍ෂකම් ඇති නිලධරයන්.
නිවාස වැඩසටහනේදී ඩන්ස්ටන් ජයවර්ධන (දිවංගත), ඩබ්ලිව්.ඩී. අයිලප්පෙරුම (දිවංගත) හා සුසිල් සිරිවර්ධන (ජීවතුන් අතර) යන ප්‍රාමාණිකයන් රණසිංහ ප්‍රේමදාස මැතිඳුන්ගේ සිතුම් පැතුම් අවබෝධ කරගත් පුද්ගලයන් අතර ප්‍රමුඛ වුණා. ඔවුන් තමා හමුවට වරින් වර කැඳවා කළ සාකච්ඡාවලින් පසු ප්‍රතිඵලදායී, සාධනීය වැඩසටහන් බිහිවුණා. ඒ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සමත් නිලධර පිරිසක් තෝරා ගැනීමේ නිදහස පුරෝගාමීන්ට හිමිව තිබුණා. මේ අතර ගුණතිලක මහතා වැනි කෙනකුට නිතර තම (එච්. ඊ) රණසිංහ ප්‍රේමදාසයන් කැඳවන සැණින් යෑමට සිදු වී තිබුණා. ඒ ප්‍රේමදාසයන්ගෙන් විශේෂ අත්උදව් හා පිළිසරණ වෙනුවෙන්. බොහෝ විට නිවාස සැපයීමක් වෙනුවෙන් ප්‍රකට නාට්‍යවේදී සුගතපාල ද සිල්වාට නිවසක් ලැබුණේ ද මේ අන්දමිනි.
රණසිංහ ප්‍රේමදාසයන් ප්‍රියකරන වර්ණයක් තිබුණා. ඒ තැඹිලි පාට, තැඹිලි පාටේ ප්‍රභේද කිහිපයක් තිබුණු හෙයින් ප්‍රේමදාසයන්ගේ අභිමත තැඹිලි වර්ණය කුමක්දැයි සෙවීම බොහෝ පින්තාරුකරුවන්ට ගැටලුවක් වෙලා තිබුණා. ඇතැම්විට හිතුමතේ තැඹිලි පාට ආලේප කළ පාලම්වල ඒ තැඹිලි පාට සම්පූර්ණයෙන් මකාදමා ප්‍රේමදාසයන් පවසන තැඹිලි පාටම ආලේප කිරීමට සිදු වුණා. පාලම් පමණක් නොව, එකල අරලියගහ මන්දිරය ඉදිරිපිට ගාලුපාරේ වෙරළ පැත්තේ පිහිටා තිබුණු ‘ග්‍රාමෝදය මධ්‍යස්ථානය’ නම් වූ ගොඩනැගිල්ලේ කිහිප සැරයක් තැඹිලි පැහැය වෙනස් කිරීමට සිදු වුණේ එකල වර්ණ අලෙවිකරවූ කඩසාප්පුවල නිශ්චිත වශයෙන් තැඹිලි පැහැය තෝරා ගැනීමට වර්ණ කාඞ්පත් නොතිබුණු බැවිනැයි පැවසුණා.
ප්‍රේමදාසයන් විසින් තම නිවාස ව්‍යාපාරය සඳහා යම් යම් පුද්ගලයන් තම අමාත්‍යාංශයට අයත් ආයතවලට බඳවා ගැණුනු අපූරු ආකාරයක් තිබුණා. එනම් ඔහු එකල සහභාගි වූ උත්සව රාශියක් තිබුණේ ගම්උදා උත්සවවලට අමතරවයි. ඇතැම් විට විහාරස්ථානවල තිබුණු උත්සව ඒ අතර වුණා. ප්‍රේමදාසයන් හා ඔහුගේ හිතවතුන් වේදිකාවේ පනවා ඇති ආසනවල හිඳගෙන සිටින්නේ තම දේශන වාරය එළැඹෙනතෙක්. බොහෝ විට වෙනත් අයගේ කථා දෙක තුනකින් පසු ඒ අවස්ථාව එළැඹෙනවා. ඒ මොහොත එළැඹෙන තෙක් ඔහුට තමාට කලින් පවත්වන කතා අසා සිටීමට සිදු වෙනවා. ඒ කලින් කථා කරන (දෙසුම පවත්වන) කිසියම් කෙනෙකුගේ දෙසුම ප්‍රේමදාසයන්ගේ ‘හිතට ඇල්ලුවොත්’ ඔහු වහාම අර දේශකයාට පණිවිඩයක් යවන්නේ උත්සවයේ ප්‍රධාන නිවේදකයා මගිනි.
“අර කතා කරන මනුස්සයට මාව කතාවෙන් පස්සේ හම්බවෙන්න කියන්න.”
මේ පණිවිඩය ලැබෙන, කතාව පැවැත්වූ පුද්ගලයා වික්ෂිප්තභාවයට පත්වන්නේ තම හිස ගිනිගෙන වගෙයි. ඔහු නියමය පරිදි ප්‍රේමදාස මැතිඳුන් මුණ ගැසෙන්නේ උත්සවය නිමවන්නටත් පෙරයි.
“මොනවද තමුන් කරන්නෙ?”
මැතිඳු අහනවා.
“මොනවත් නැහැ සර්.”
ගරුසරු ඇතිව දේශකයා කියන්නේ එකත්පස්ව සිටගෙන.
“තමුන් හෙට ඉඳලා නිවාස සංවර්ධන අධිකාරියේ අහවලා හම්බවෙලා වැඩ කරන්න පටන් ගන්නවා.” ප්‍රේමදාසයන් කරන්නේ නියෝගයක් නෙමෙයි. ඒත් එය ‘කාරුණික නියමයක්’.
දේශකයාට අදහන්න බැහැ. ඔහු අප්‍රමාණ සතුටින් ඉපිල යනවා. පසුවදා ඔහු රැකියාවට යනවා. මෙවැනිම කෙනෙකු කෑගල්ලේ පැවැති ගම්උදා උත්සවයකදී ප්‍රේමදාසයන් සොයාගන්නවා. ඔහු අද ගුවන් විදුලියේ විධායක ශ්‍රේණියේ ඉහළම තනතුරක් දරන්නේ ප්‍රේමදාසයන් නැති වූ දා සිට උසස් අධ්‍යාපන වරම් හිමිකර ගත්තේ විශ්වවිද්‍යාල කිහිපයකින්.
ප්‍රේමදාස චින්තනය ‘දුප්පතුන් නැති කිරීම’ වූවත් එය සම්පූර්ණයෙන් කළ නොහැකි බවයි ලියුම්කරුගේ හැඟීම. එහෙත් එය අවම කළ හැකියි. නිවාස ඉදිකිරීම වැඩිවන ජනගහනයට සාපේක්‍ෂව සපුරා ගැනීමට අසීරු ඉලක්කයකි.
විධිමත් ක්‍රමවත් වැඩපිළිවෙළක්, හෙවත් ජාතික ප්‍රතිපත්තියක් නොවේ නම් එය තවදුරටත් පසුගාමී ක්‍රිියාවලියක්.
ජගත් රණතුංග