ජවිපෙ ආරම්භක සාමාජිකයකුගේ මතක සටහන්
06 වැනි කොටස
අම්බලන්ගොඩ ගුස්තික්‍ඳ්ක්‍ඳවඩු පියසිරි ගුණරත්න ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකි. ඒ ඉපැරණි මතකය සිහිපත් කරමින් ඔහු “මගේ මතක සටහන්” (ජනතා විමුක්ති පෙරමුණ සහ අප්‍රේල් කැරැල්ල) නමින් කෘතියක් පසුගියදා එළිදැක්විණි. මේ ඒ කෘතියෙන් උපුටාගත් කොටසකි.
අක්මීමන කඳවුර නමින් ප්‍රකට වූ අක්මීමන ප්‍රදේශයේ සංවිධානය කළ දේශපාලන කඳවුරට මම ද සහභාගි වුණෙමි. මට මතක හැටියට මෙම කඳවුර පැවැත්වූයේ කඳුගැටයක් මත පිහිටි ඉන්කම්ටැක්ස් කරුට අයත් ඉඩමක පිහිටි නිවසකය. එහි ජීවත් වූයේ ඔහුගේ පියා පමණකි. ඒ 1968 අග හෝ 1969 මුල් භාගයේදීය. මෙයට සහභාගි වන ලෙස මට ඇරයුම් කළේ සනත් සහෝදරයාය.
අක්මීමන කරු සහෝදරයා කල් වේලා ඇතිව එම නිවසට ගොස් අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබුණි. අප එහි ගියේ ඉන්පසුව එහෙත් වෙන වෙනමය. ලොකු අතුල පැමිණ සිටියේ නැත. මා එහි යන විට කරු සහෝදරයාගේ පියා අසල කුඹුරකින් කැපූ වී ගෝනිවලට පුරවා නිවසට ගෙන ඒමට උදව් කරමින් සිටි බව මට මතක තිබේ.
මෙම අවස්ථාව සාකච්ඡා දෙකක් සඳහා යොදා ගත්තෙමු. පළමුව අප මුල සිටම වාගේ එකට එක්වී සාකච්ඡා කළ සනත් විජේවීර, දහනායක, කරුණානායක, ලොකු අතුල හා මා සහභාගි වන සාකච්ඡාවය. දෙවැනුව කැඳවුයේ සියලු දිස්ත්‍රික් ලේකම් සහෝදරවරු හා යම් යම් අංශ නියෝජනය කරමින් කටයුතු කළ සහෝදරයන් සඳහාය. අප බලාපොරොත්තු වූයේ මෙය ව්‍යාපාරයේ මධ්‍යම කාරක සභාව බවට පත් කිරීමටය.
පළමු දින රාත්‍රී අපි එකතුවී සාකච්ඡා කළෙමු. පළමුව අපගේ කටයුතු පිළිබඳව ස්වයං විවේචනයක් සිදු කළෙමු. ස්වයං විවේචනයෙන් පැන නැගුණු කරුණු ඒ ඒ අයගේ අතපසුවීම් ආදිය ගැන සාකච්ඡා කළෙමු. ව්‍යාපාරයේ පූර්ණ කාලීනයන් අතුරින් ආයුධ පුහුණුව වැනි විශේෂ කාර්යයන් සඳහා තැනැත්තන් තෝරා ගැනීමේ දී ඉතාමත් සුපරීක්ෂාකාරී විය යුතු බව මෙහිදී සාකච්ඡා කරන ලදී. සිරිල් දහනායක සහෝදරයාගේ මතය වූයේ එවැනි විශේෂ කටයුතු සඳහා පමණක් නොව පූර්ණ කාලීනයන් ලෙස තරුණයන් පවා සොයා බලා කටයුතු කළ යුතු බවයි. ඉන්පසුව ඉදිරි කටයුතු හා පසු දින පැවැත්වෙන සාකච්ඡාව පිළිබඳව කතා බහ කළෙමු.
පසුදිනට යොදා ගෙන ඇති සාකච්ඡාව මෙහෙයවීම සඳහා අම්බලන්ගොඩ පියසේන සහෝදරයාට භාරදීම සුදුසු බව විජේවීර සහෝදරයා යෝජනා කළේය. ඔහු පැමිණි පසු ඔහු සමග සාකච්ඡා කර කළ යුතු දේ පහදා දීමට ද විජේවීර සහෝදරයාට බාර දෙන ලදී.
පසු දින උදේ නමය පමණ වන විට සහෝදරයෝ වැඩි පිරිසක් පැමිණ සිටියහ. ලොකු අතුල සහෝදරයා ද පේරාදෙණියේ සිට පැමිණ තිබුණි. සාකච්ඡාව මෙහෙයවීම පියසේන සහෝදරයාට බාර කරන ලදී. පියසේන සහෝදරයා සාකච්ඡාව ආරම්භ කරමින් විමධ්‍යගතව ඇති ව්‍යාපාරයේ කටයුතු මධ්‍යගත කිරීම සඳහා මෙය කැඳවා ඇති බව ප්‍රකාශ කරන ලදී. සහෝදරයන් විසිපහක් තිහක් පමණ පැමිණ සිටි අතර ස්වයං විවේචනය ආරම්භ කරන ලදී.
දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ සහෝදරයන් තම දිස්ත්‍රික්කයේ කටයුතු හා අපහසුතාවන් විස්තර කරන ලදී.
සෑම සාකච්ඡාවක්ම අවසානයේ ප්‍රශ්න අසා තවදුරටත් සාකච්ඡා කරන්නට ඉඩ ලැබුණි.
මෙම අක්මීමන දේශපාලන කඳවුරෙහි දී නාවික හමුදාවේ තිලකරත්න සහෝදරයා රුපියලක ක්‍රියාකාරිත්වය ගැන පැහැදිලි කළේය. මෙහිදී ශාරීරික ව්‍යායාමවලට අමතරව ආත්මාරක්ෂක සටන් කරාටි හා චීන අඩි පිළිබඳ පුහුණුවක් ද ලබා දෙන ලදී. මගේ මතකයේ හැටියට එම පුහුණුව ලබාදුන්නේ ලොකු අතුල හා නාවික හමුදාවේ සහෝදරයකු විසිනුයි. ලොකු අතුල ස්ටැෆර්ඞ් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ දී මෝදර අයකුගෙන් කරාටි හා චීන අඩි ඉගෙන ගෙන තිබුණි. ඒ අනුව ආත්මාරක්ෂක සටන් ක්‍රම පිළිබඳව ලොකු අතුල විසින් පුහුණුවක් ලබාදෙන ලදී.
සාකච්ඡාව අවසානයේ විජේවීර සහෝදරයා ඒ ඒ දිස්ත්‍රික්කවල කටයුතු පිළිබඳව දේශනයක් කරන ලදී.
මෙම සාකච්ඡාවේදී විශේෂ සිදුවීමක් විය. එනම් එහි සිටි වයස්ගතම සහෝදරයා වූයේ සාකච්ඡාව මෙහෙය වූ පියසේන සහෝදරයා වීමත් මෙම සාකච්ඡාවට සහභාගිවූ ළාබාලම සහෝදරයා (පසු කලෙක) බදුල්ල දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ සුනන්ද දේශප්‍රිය සහෝදරයා පියසේන සහෝදරයාගේ දෙවන පුත්‍රයා වීමත් සහ ඔවුන් දෙදෙනා සහභාගි වන බව දෙදෙනාට දෙදෙනා දැනගෙන නොසිටීමත්ය. පසු දින සවස 5.00 පමණ වන විට සාකච්ඡා අවසන් වූයෙන් දෙතුන් දෙනා බැගින් ආපසු පිටවී යන ලදී. මෙම සාකච්ඡාවට විසිපහක් තිහක් පැමිණ සිටියහ.
අනුරාධපුර වැඩ කළ සනත් සහෝදරයා මාරුවීමක් ලබා ගාල්ල ප්‍රදේශයට ගොස් තිබූ නිසා අනුරාධපුර ප්‍රදේශයේ වැඩ කිරීමට අයෙකු සිටියේ නැත. ඒ නිසා විජේවීර සහෝදරයා හැකි නම් අනුරාධපුර නගරයට මාරුවීමක් ලබා ගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටියේය.
මේ වන විටත් මම ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාල කාර්යාධිකාරී සංගමයේ ලේකම් ලෙස කටයුතු කරමින් සිටියෙමි. මාරුවීමක් ලබා ගැනීමට නම් මා එම තනතුරෙන් ඉවත් විය යුතු විය. සංගමයේ සංවත්සරය ද මේ වන විට පැවැත්වීමට කටයුතු කරමින් තිබුණි. මෙම සංවත්සරයට මා සහභාගි වුවහොත් නැවත මා ලේකම් තනතුරට පත්කිරීමට ඉඩ තිබුණි. මේ නිසා මම සංවත්සරයට කලින්ම අසනීප බව දන්වා එයට සහභාගි නොවීමට තීරණය කළෙමි.
මා කොළඹ සේවය කරද්දී එහි ගියේ දිනපතා අම්බලන්ගොඩ සිට දුම්රියෙනි. මේ නිසා මට ගම් ප්‍රදේශයේ ව්‍යාපාරයේ වැඩ කිරීමට අවස්ථාවක් තිබුණේ නැත. අපේ ගෙදර එකම එක විශේෂ සාකච්ඡාවක් පමණක් පැවැත්වූ බව මට මතකය. එයට පියසේන සහෝදරයාගේ දෙවන පුතා වන සුනන්ද, අනුර කුරුකුලසූරිය, නන්දසීල, පුංචිහේවා, තිලකසිරි ඇතුළු ධර්මාශෝක විද්‍යාලයේ ශිෂ්‍යයන් කිහිපදෙනෙකු ද සුබසීල කොඩිකාර සහෝදරයා සමග සිසිල්චන්ද්‍ර සහෝදරයා ඇතුළු මහ පන්සල පාරේ කිහිප දෙනෙක් සහභාගි වූහ.
පසුව මම අනුරාධපුරයට මාරුවීම සාදා ගත්තෙමි. මා අනුරාධපුරයට මාරුව ලබා ගත්තත් මා හට යෑමට සිදු වූයේ අනුරාධපුරය ඉ.සං. නිලධාරීන් යටතේ වූ රාජාංගණ යාය 5 වැඩ බිමටයි. මේ අතරවාරයේ විජේවීර සහෝදරයා ඉ.සං.දෙ. වැඩබිම්වල දේශන පවත්වා ගෙන යන අතරතුර අනුරාධපුර රාජාංගණ යාය 5 වැඩබිමෙහි ද දේශනයට පැමිණියේය. ඔහු එහි දේශනයක් කර ගිය පසු එහි සේවය කළ අම්බලන්ගොඩ බටපොළ ටයින්ස් සිල්වා නමැති වඩු කාර්මික මහතා ඔහුගේ මල්ලි ද දේශපාලනය කරන බවත් ඔහු කොමියුනිස්ට් පක්ෂයේ අයෙකු බවත් මට කතා කර කීවේය. තවද ඔහු ළඟදීම අනුරාධපුර වන්දනාවේ යාම සඳහා ගෙදර අයත් සමග පැමිණෙන බවත් එසේ පැමිණි විට මට මුණගැස්විය හැකි බවත් කීවේය. පසුව එසේ පැමිණි ඔහුගේ මල්ලී මට මුණගැසීමට සලස්වන ලදී. අවස්ථා දෙකකදීම මම ඔහු සමග ව්‍යාපාරය පිළිබඳව සාකච්ඡා කළෙමි. අපගේ වැඩපිළිවෙළට කැමැති බව කී ඔහු මේ සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කිරීමට කැමැත්ත ප්‍රකාශ කළේය. එකල අප කවරකු හෝ ව්‍යාපාරයට කැමැති කරවා ගැනීමට කීවේ කොකු ගහනවා කියාය.
අනතුරුව මම එවකට ගාල්ල දිස්ත්‍රික්කය බාරව වැඩ කළ සනත් සහෝදරයාට මොහුගේ ලිපිනය දන්වා මොහු සමග සාකච්ඡා කරන ලෙස දන්වා යැවුවෙමි. වහාම ක්‍රියාත්මක වු සනත් සහෝදරයා මොහු වන්දනාවේ ගොස් ආපසු ගෙදර එන විට දින දෙකක්ම මොහු හමුවීම පිණිස නිවෙසට ගොස් තිබුණි. අම්බලන්ගොඩ බටපොළ හා ඒ ආසන්න ප්‍රදේශවල ව්‍යාපාරයේ වැඩ කර විශාල සාමාජික පිරිසක් දිනාගෙන අවසානයේ 71 අරගලයේ දී බටපොල ප්‍රදේශය අල්ලා ගෙන දින කිහිපයක්ම එම ප්‍රදේශය පාලනය කළ බටපොළ අතුල නමින් ප්‍රසිද්ධ වූ මහ නඩුවේ ද විත්තිකරුවෙකු තේමිස් සිල්වා සහෝදරයා ඔහුය. මෙම සහෝදරයා දැන් කොළඹ අසළ ජීවත් වන බව දැන ගන්නට ලැබුණි.
සනත් සහෝදරයා, තේමිස් සහෝදරයා හමුවීමෙන් අනතුරුව තවත් සහෝදරවරු කිහිප දෙනෙක් එකතු කර සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. නිවාඩු ලබාගෙන ගමට පැමිණි සිටි මා හට මේ සාකච්ඡාවට පැමිණෙන ලෙස සනත් සහෝදරයා පණිවිඩයක් එවා තිබිණ. මෙම සාකච්ඡාවේදී සනත් හා මම එක්ව දැනුවත් කිරීම් කළෙමු. මෙම සාකච්ඡාවට මා ඉගෙන ගන්නා අවධියේදී ධර්මාශෝකයේ ඉගෙනගත් මහ නඩුවේ 31 වැනි විත්තිකරු වූ මෙරිල් ජයසිරි සහෝදරයා ද සහභාගි විය.
පසුව අනුරාධපුර ඉඩම් සංවර්ධන නිලධාරී කාර්යාලයට මාරුවීම සාදා ගත් අතර මම අනුරාධපුර මයිලගස් හන්දියේ නිවාසයක පදිංචියට ගියෙමි.
මේ වන විට අනුරාධපුරයෙහි ව්‍යාපාරයේ වැඩ කරමින් සිටියේ සනත් සහෝදරයා සමග වැඩ කළ අනුර ජයසිංහ සහෝදරයාය. ඔහු විසින් සංවිධානය කරන ලද සහෝදරයන් සඳහා මම පන්ති පැවැත්වූවෙමි.
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ හා අවට පාසල්වල ශිෂ්‍යයන් කිහිප දෙනෙකු සඳහා ද පන්ති පැවැත්වූයෙමි. එම දේශපාලන සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් පසුව ව්‍යාපාරයේ නායකයන් බවට පත්වූ නන්දන මාරසිංහ, ලක්ෂ්මන් මුණසිංහ (පොඩි ලකී) ලෙස්ලි, රණතුංග, චුක්කි ප්‍රේමරත්න, තඹුත්තේගම කරුණාරත්න, හීන්බණ්ඩා යන සහෝදරවරු ව්‍යාපාරයේ කටයුතුවල යෙදීමට ඉදිරිපත් වූහ. ඔවුන් විසින් සංවිධානය කරන ලද කණ්ඩායම්වලටත් මම පන්ති පැවැත්වූයෙමි. ඔවුන්ගේ ගම්වලද ඔවුන්ගේ හිතවතුන් විසින් සංවිධානය කර තව තවත් පන්ති පැවැත්වූයේ නොච්චියාගම රාජාංගණය, ඉපලෝගම තිරප්පනේ මහඉලුප්පල්ලම, ගලෙන්බිඳුණු වැව යන ප්‍රදේශවලය. හුරුළුවැව ජනපදයට කිට්ටුව යකල්ල නමැති ගමේ ද මම පන්ති පැවැත්වූයෙමි.
සාමාන්‍යයෙන් මා හතර හමාරට වැඩ අවසන් වන විට ජයසිංහ සහෝදරයා කාර්යාලය ළඟට පැමිණ සිටීමට පුරුදුව සිටියේය. මම සමිති කාර්යාලයෙන් පිටවී ඔහු සමග සාකච්ඡා පැවැත්වීමට ගියෙමි. දුර ප්‍රදේශවල පන්ති පැවැත්වීම සඳහා යන විට අප නව නගරයේ සල්ගාදු බේකරියෙන් පාන් ගෙඩියක් රැගෙන එය දෙකට කප්පවාගෙන දෙදෙනාගේ පාපැදිවල සීට් එකට අල්ලා ඇති බෑග්වල දාගෙන යාමත් පුරුද්දක් විය. යකල්ල ගමේ පන්ති පවත්වා ආපසු එන විට බොහෝ රෑ වෙයි. සමහර විට රාත්‍රී එකොළහ දොළහ පමණය. එම ගම්වල සහෝදරවරු අප රාත්‍රී යනවාට විරුද්ධ වූහ. මන්ද යත් පාරේ වල් අලි ගැවසෙන බැවිනි. නමුත් අපි දෙදෙනා බොහෝ විට මගදි පාන් කමින් ආපසු ආවෙමු.
අපේ හොඳ වෙලාවට අපගේ පාපැදි ඉතා හොඳ තත්ත්වයේ තිබුණි. දෝෂයක් වුවහොත් ජයසිංහ සහෝදරයා කෙසේ හෝ අන් අයකුගේ බයිසිකලයකින් දන්වා හෝ නොදන්වා අවශ්‍ය කොටස් ගෙන අපේ පාපැදි අලුත්වැඩියා කර ගත්තේය. මේ නිසා පාපැදියේ යාම අපට ලොකු සහනයක් විය. යකල්ලට ගොස් ආපසු එන විට තලගල විහාරය පසු කරන තුරු දෙදෙනාටම බිය දැනුණ ද එය එකිනෙකාට නොහැඟවීමට අපි ප්‍රවේසම් වුණෙමු. මේ කාලය තුළ විශාල සාමාජික පිරිසක් අපට සම්බන්ධ වූහ. අනුරාධපුරයේ කච්චේරියේ සේවය කළ කරුණාරත්න ගුණපාල වැනි බැංකු හා රජයේ ආයතනවල සේවය කළ අය පවා අප සමග එක් වූයේ මෙම කාලයේදීය.
සනත් සහෝදරයා අනුරාධපුරයේ සිටි කාලයෙහි පොසොන් පෝයට මිහින්තලේ දන්සැලක් පවත්වන ලදී. දන්සැලේ නම සඳහන් කර හාල් සේරු 10 ක් පමණ දැමිය හැකි බෑග් සාදා ඒවා අපේ ව්‍යාපාරයේ පූර්ණ කාලීන සහෝදරයන්ට යවන ලදී. ඒ අය මෙම බෑග් ගෙවල්වලට බෙදා දී පුරවන ලද සහල් මලු පොසොන් උත්සවයට මාස දෙකකට තුනකට කලින් ආපසු ලබා දුන්හ. නිවසෙහි බත් පිසීමට පෙර හාල් අහුරක් දමමින් මෙම බෑග් පුරවන ලෙස අප ඉල්ලා සිට තිබුණි. අඩුම වශයෙන් පොසොන් උත්සවයට දින 10කට පමණ කලින් සහල් මලු එකතු කර ගැනිණ. පිට ප්‍රදේශයන්හි එකතු කරගන්නා සහල් සුළු ප්‍රමාණයක් අනුරාධපුරයට දුම්රියේ යවා ඉතිරිය විකුණා මුදල් ලබා ගැනීම මෙහි අරමුණක් විය. එම මුදල් යොදා ගත්තේ ව්‍යාපාරයේ කටයුතු සඳහාය. මා අම්බලන්ගොඩ සිටි කාලයේ මට ද මෙම බෑග් ලැබුණි. අපි සහල් එකතු කර කොටසක් විකුණා මුදල් කර ගතිමු. මෙය ව්‍යාපාරයේ කටයුතුවලට විශාල උපකාරයක් විය. මුල් කාලයේදී අප ව්‍යාපාරයේ කටයුතු සඳහා මුදල් එකතු කිරීමක් කළේ නැත.
පූර්ණ කාලීනව වැඩ කරන සහෝදරයන්ට ගෙවීම් කළේ ද නැත. ඒ ඒ ප්‍රදේශවල වැඩකළ සහෝදරවරු ජීවත් වූයේ අනුන්ගෙන් ඉල්ලා ගෙනය. කුලී වැඩ කරමිනි. නැත්නම් නොදන්වා මුදල් ගැනීමෙනි. හම්බන්තොට කිරින්දේ ගොවිපොළ සහ වන්දනා කාලයට පවත්වාගෙන ගිය කතරගම තේ කඩය වැනි කටයුතුවලින්ද ව්‍යාජ සම්මාදම් පත්‍ර හා ආධාර කොටු පිරවීම් මගින් ද මේ කාලයේ ව්‍යාපාරයට මුදල් සොයා ගත්තෙමු. ආධාර කොටු පිරවීම් මගින් මුදල් බොහොමයක් එකතු කරගත්තේ බෝගහපැලැස්ස ගමේ පන්සල සෑදීමට යන ව්‍යාජ ආධාර කොටු පිරවීම් මගින් බව මගේ මතකයේ තිබේ.
සකස් කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.