පුතා යුද්ධෙට යැවූ තාත්තා


තරහින් සහ අපේක්ෂා භංගත්වයෙන් යුතුව ආපසු තම කාමරයට ගිය මාවෝ ඇනියන් ඇඳට වැටි හඬන්නට වූවේ කිසිවෙකුට හෝ ඔහු නතරකළ නොහැකි ලෙසිනි. පෞද්ගලික ආරක්ෂකයින්ගේ ප්ලැටුනයේ නායක යැන් චැන්ග්ලින් මේ ගැන කියු විට මාවෝ කෝපයෙන් දැල්විණි. ඔහු ලියමින් සිටි ලී බුරුසුව මේසය මත ගසා දමා කෝප වේගයෙන් කාමරයෙන් පිටවිය. ඔහු තම පුතාට පහර දෙනවා දකින්නට උවමනා නොවුණු නිසා මම වහා ඔහු පසුපස ගියෙමි. ඔහු මාවෝ ඇනියන්ගේ කාමරය ඉදිරිපස සිටගෙන මහා හෙණ හඬක් නගන්නාක් මෙන් කෑ ගැසුවේය. ඔහු වෙතින් දිස්වූවේ ඉමහත් බියජනක ස්වරූපයකි.


“මාවෝ ඇනියන් මොකක්ද මේකෙ තේරුම?.”


සියල්ල සමනය කිරිමට එයම ප්‍රමාණවත් විය. මාවෝ ඇනියන් එසැණින් සන්සුන් වූ අතර කාමරය නිහඩවිය. තවත් යමක් කීමට උවමනා නොවිණි. මාවෝ ආපසු හැරි ඉන් පිටව ගියේය.


ඉන් සති කිහිපයකට පසු මාවෝ ගම කෙළවරෙහි ව්‍යායාම සඳහා ඇවිදිමින් සිටියදී මාවෝ ඇනියන් අසල්වැසි ගමේ සිට ආපසු එනු ඔහු දුටුවේය. තම පියාට සුබපතා තරුණයා එතැනින් හෙමින්ම ලිස්සා යන්නට උත්සාහ කළේය. එවිට මාවෝ ඔහු නතර කළේය.


“මාව මගහැරලා යන්න හදන්න එපා. මට කියන්න බලන්න තවත් බලා ඉන් නැතිව ඔයාට විවාහ වෙන්න ඕනැද කියලා.”


“නෑ, තවදුරටත් ඕනැ නෑ.” ඇනියන් දෙනෙත් පහතට හරවාගෙන කීවේය. “මම වැරදියි.”


“එතකොට සිකිව් ගැන මොකද?.”


“ඒකට එයාගේ විරුද්ධත්වයක් නෑ. ලබන අවුරුද්ද වෙනකම් ඉන්න අපි තීරණය කළා.”


“දැන් ඔයා කතා කරන්නේ මගේ පුතා වගෙයි.” මාවෝ සතුටින් යුතුව කීවේය. “ගෙදර යන්න.”


මාවෝ නැවත ව්‍යයාමය සඳහා ඇවිදගෙන ගියේය. ඒ යන අතරවාරයේ මැද නැවතී මා දෙස බලා මෙසේ ඇසුවේය.

 

“තමුන් මේ ගැන හිතන්නෙ මොකක්ද?. මම වඩාත් කිට්ටු මගේ පුතාටද? තමුන්ටද?.”


ඊට එක්වරම පිළිතුරු දෙන්නට පෙර මම ටික වේලාවක් ඒ ගැන සිතුවෙමි. “ඔබතුමා අපි සේරටම සමීපයි.”


මාවෝ කිසිවක් නොකිවේය. අනතුරුව කල්පනාබරව මෙසේ කීවේය. “මගේ පුතයි, මමයි, අපි එකිනෙකා දැක්කේ අවුරුදු කිහිපයකට එකවරක් දෙකක් පමණයි. අපි වෙන්වෙලා නොසිටි කාලයෙදි පවා අපි එකිනෙකා අවුරුද්දකට අතේ ඇඟිලි ගාණටවත් හමුවෙන්නේ නෑ. නමුත් තමුන් දවසේ හැම පැයේදිම මගේ සෙවණැල්ල වගේ මාත් එක්ක ඉන්නවා. මගේ පවුලේ සිදුවන දේවල් අනිත් මිනිසුන්ට රහසක් වුණාට තමුන්ට ඒවා රහස් නෙවෙයි. නමුත් මා ජීවත්ව සිටින තුරු ඒවා ගැන ලියන්න එපා. මං මැරෙනකම් ඉන්න. ඊට පස්සෙ ලියන කාලෙක ඇත්ත ලියන්න.


“කම්කරුවා - ගොවියා - සොල්දාදුවා” ලෙසින් නම් කොට 1958 වසරේ දියත් කළ මහා ඉදිරි පිම්ම ව්‍යාපාරයට සම්බන්ධ සාහිත්‍ය නිර්මාණයක් මා කරන්න යනබවට මාවෝ ට දැනගන්න ලැබුණු විට ඔහු මට මෙසේ කීවේය. “මම ජීවතුන් අතර ඉන්නකම් ලියන්න එපා. මම මිය යනතුරු ඉන්න.”


මාවෝ ඇනියන් කොරියානු යුද්ධයට යවන්නට මාවෝ තීරණය කළ බැව්, ජියැන්ග් කුයින්ට සහ තවත් කිහිප දෙනෙකුට දැනගන්න ලැබුණු විට ඒ ගැන මාවෝ සමග කතා කර එය වළකන්නට ඔවුහු උත්සාහ කළහ. “මාවෝ ඇනියන් දැන් කරණ කටයුතු වැදගත් ඒවා.” ඊට හේතුකාරණා ලෙස ඔවුහු පැවසූහ. තමන් එවැනි තීරණයක් ගත්තේ ඇයිදැයි ඔහු විස්තරකළ එක් කරුණක් මට අමතක කළ නෙහැකිය. “එයා මවෝ ත්සේතුංගේ පුතා. එයා නොයනවා නම් කවුද යන්නේ?.”


1950 නොවැම්බර් 25 වැනි දින කොරියන් යුද බිමේදී මාවෝ ඇනියන් මියගිය බැව් දන්වා පෙන්ග් ඩි හුආයි එවන ලද විදුලි පුවත ගැන මාවෝට නොදැන්වීය. ජියැන්ග් කුයින්, චූ එන් - ලායි සහ යී සිලොන් මේ දුක්බර පුවත මාවෝට නොකියා රහසක් වශයෙන් තබා ගන්නට තීරණය කළහ. එහෙත් ටික කලෙකට පසු ජියැන්ග් සහ යී එය ඔහුට හෙළි කළහ.

 

 

 

 

 

 

 

 

ආරියනන්ද දොඹගහවත්ත