පුනරුත්ථාපන කඳවුරේ ‘සුනාමිය’


 

නිවසේ සාදන ආහාර පාන ද රැගෙන මසකට දෙවරක් මා බැලීමට පැමිණීමට මාගේ අම්මා අමතක නොකළාය. මා පුනරුත්ථාපන කඳවුරක සිටින බවට ප්‍රවෘත්ති පළ වීමට පටන් ගත් අතර දෙමළ ජනතාව තමා සම්බන්ධයෙන් වැරදි වැටහීමක ඉඳිමින් අසත්‍ය ප්‍රචාර කරමින් සිටින බව මම දැන සිටියෙමි. 


“රජ පරවියා” නැතහොත් “උකුස්සා” නමින් මා සම්බන්ධයෙන් පළ වු අසත්‍ය ප්‍රචාර නිසා මම බලවත් ලෙස පීඩාවට පත් වුණෙමි. කෙසේ වෙතත් මෙම ප්‍රවෘත්තිවලින් අධෛර්යට පත් නොවී මම පුනරුත්ථාපන කටයුතුවල දිගටම නිරත වුණෙමි. 


අපව බාරව සිටියේ කපිතාන් ජයානි හේරත් නම් නිලධාරිනියකි. හමුදා සේවයට එක් වීමට ප්‍රථම ඇය ගුරුවරියක ලෙස සේවය කර තිබූ අතර එහෙයින්ම මා ඇතුළු සහෝදරියන් ඇය ඉමහත් ආදරයෙන් රැක බලා ගත්තාය. එහෙත් කපිතාන් ජයානි හේරත් විනය කටයුතු සම්බන්ධයෙන් ඉතා දැඩි පියවරක් අනුගමනය කළාය. අපගේ කාමරවල ඇඳුම් පැලඳුම් එහෙ මෙහෙ විසුරුවා තිබුණහොත් ඇය ඉතා කෝපයට පත්ව ඒවා එළියට විසි කර දමන්නීය. අපගේ නවාතැන් ද නිසි පරිදි තිබිය යුතු අතර නැතහොත් ඒවා ද එළියට විසි වෙයි. මෙම නිසා සෑම දෙයක්ම ඉතා පිළිවෙළට තබා ගැනීමට අපි පුරුදු වුණෙමු. 


මා එම කඳවුරට පැමිණීමට පෙර සිටම කපිතාන් ජයානි හේරත්ගේ පිළිවෙත එයම බව අනෙකුත් සහෝදරියෝ මා සමඟ කීහ. 
එහෙයින්ම අපගේ අනෙක් සහෝදරියෝ ඇයව “සුනාමි” නමින් හැඳින්වූහ. දිනක් අපි රාත්‍රි ආහාරය ගනිමින් සිටියෙමු. ඒ මොහොතේ එහි එක් කවුළුවකින් ‘කාන්තා කට හඬකින්’ ඔන්න සුනාමි එනවා යැයි හඬක් ආවේය. එය පැවැසුවේ දෙමළ භාෂාවෙනි. එහෙත් දෙමළ භාෂාව උච්චාරණය කළ ආකාරය අනුව එම කටහඬ දෙමළ කාන්තාවකගේ නොවන බව අපි දැන සිටියෙමු. ඒ මොහොතේම කවුළුවෙන් හිස ඇතුළට දැමූ කපිතාන් ජයානි හේරත් ‘ඔයගොල්ලෝ මට සුනාමි කියලා කියනවා. මම දන්නවා’ යනුවෙන් සිනාසෙමින් පවසා පිටව ගියාය. එම කඳවුරේ සිටි අනෙකුත් සෙබළියෝ ද අප සමඟ ඉතා සුහදව කටයුතු කළහ. එම සෙබළියෝ ද අප සමඟ කඳවුරු බිමේ තණකොළ කැපීම් ආදී කටයුතු කළහ. 


මේ සියලු දේ කළ ද මට වැලිකඩ බන්ධනාගාරයේ සිටියදී ලැබූ අත්දැකීම් සිහිපත් වේ. මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදු කර වැලිකඩ බන්ධනාගාරයට යවන තුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි නිලධාරීන්ගෙන් මට කිසිදු හිරිහැරයක් නොවීය. එහි සිටි උසස් නිලධාරීහු මා අමතා ‘තමලිනී! අපට ඔයාව කෙළින්ම පුනරුත්ථාපන කඳවුරට යවන්න පුළුවන්. නමුත් ඔයා යුද්ධයට සම්බන්ධ වෙච්ච කෙනෙක් නිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව තමයි නිදහස් කරන්න පුළුවන් වෙන්නේ.” යැයි පැවසූහ. 


එක් නිලධාරියෙක් මට ඉතා ආදරයෙන් කතා කළේය. 



තමලිනි මිනිස්සු මරණ එක මහා අපරාධයක්. මේ ලස්සන ලෝකයේ අපට ඇයි සාමයෙන්, සමගියෙන්, සතුටෙන් ජීවත් වෙන්න බැරි. දැන්වත් ඔයා මේවා තේරුම් අරගෙන ඉදිරියේදී හොඳින් ජීවත් වෙන්න. ඔහු කීවේය. කඳුළු සලමින් එම උපදෙස් මම පිළිගත්තෙමි. 


බන්ධනාගාර ගත කළ විට මට අංකයක් ලබා දුන්නේය. බන්ධනාගාර නිලධාරීන් අප ඇමතුවේ එම අංකයෙනි. බන්ධනාගාරයෙ සිටිය කාලය තුළ දී මසකට වරක් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නිලධාරීහු පැමිණ අපගේ දුක සැප සොයා බැලූහ. 


ඉතිරිය ලබන සතියට.

පරිවර්තනය : එස්. තිලෙයිනාදන්