පොදු ජන සිත් තුළට ගිය හැටි


සර් ජෝන් කොතලාවල මැතිතුමා මෙරට දේශපාලන ඉතිහාසයෙහි මෙන්ම සමාජ ඉතිහාසයෙහි ද අතිශය සුවිශේෂී පුද්ගලයකු ලෙස මා සිතන්නේ වසරකට ආසන්න කාලයක් තුළදී ඔහු සමග කළ සමීප ඇසුර තුළින් ලද අත්දැකිීම් සමගිනි. මෙතෙක් කියාගෙන ආ කතා බහ තුළින් සර් ජෝන් සතුව තිබූ විවිධාකාර අත්දැකීම් මෙන්ම ඇසුරු කළවුන් සමග පැවති යම් යම් සබඳතා ගැන ද මම හෙළි කළෙමි.

 

පත්තර රස්සාවට නොව පත්තර කලාවට ලේක්හවුසියට එකතු වූ මම පසුකාලීනව මෙරට පහළ වූ එහෙම නැත්නම් තේරී පත් වූ අගමැතිවරුන් කිහිප දෙනකු හමුවීමි. ඔවුන්ගේ ගති සිරිත් ඇවතුම් පැවතුම් හොඳින් ධාරණය කළෙමි. එසේ වුවද සර් ජෝන් තරම් අපූරු මිනිසෙකු විශිෂ්ට මිනිසෙකු ආත්ම ගරුත්වය නිලතලවලට පාවා නොදුන් මිනිසෙකු මට හමු නොවීය.


ආත්මානුගතව මිනිසෙකු තුළ යළි ඉපැදුණු අලුත් මිනිසෙකුව අප ඉදිරියට පැමිණි සර් ජෝන්ගේ කතා පුවත සිළුමිණ පුවත්පතෙහි පළ වෙත්ම මුළු මහත් ජනතාවම පුවත්පත ආකර්ෂණය කළ නිසාදෝ අලෙවි මට්ටම දෙගුණයකට ආසන්න විය. එය මා ලියූ ලියැවිල්ල නිසා නොවේ නම් එම ශ්‍රේෂ්ඨ මිනිසා පිළිබඳව ඔහු කෙරෙහි අපරිමිත සෙනෙහසින් පසුවූ බාල තරුණ පිරිස මෙන්ම ඔහු පිළිබඳ සමීප ඇසුරක් පැවැත්වූ මහ පිරිසක් අසූව දශකයේ මැද භාගය වන තුරුත් මෙරට පාඨකයන්ව සිටි නිසා විය හැකිය.
අපි අපේ කතාබහ යළිත් උඩුයටිකුරු කරමු.


සර් ජෝන්ගේ කතා පුවත පෙළ ගස්වා හමාර කර සිටියදී මම එක් දිනක් සිළුමිණ ප්‍රධාන කර්තෘ එඞ්මන්ඞ් රණසිංහ මහතාත් අපේ ඡායාරූප ශිල්පී ඩී. බී. ලියනගේත් සමග මඩුවන්වෙල මහ දිසාවගේ පැරණි තොරතුරු සොයන්නට කොළොන්නට ගමන් ගත්තෙමි. ඒ යන අතරමගදී ඇඹිලිපිටියේදී අප ගමන්ගත් වාහනයේ රියැදුරා කීවේ ඉන්ධන ගැටලුවක් ඇතිවී තිබෙන බවකි.


එදා ඇඹිලිපිටිය නගරයේ තිබුණු එකම ඉන්ධන හල ද වසා තිබුණි. කරකියා ගත හැකි දෙයක් නොවූ අප මුහුණ දුන්නේ බලවත් ගැටලුවකටය. “අපි තුන්දෙනා තුන් පැත්තකට යමු. කවුරු හරි කෙනෙකුගෙන් පෙට්‍රල් ගැලුමක්වත් හොයා ගත්තොත් අතරමගට හරි යන්න පුළුවන් වේවි” කතා කර ගත්තේ එපරිද්දෙනි.


වටපිට බලමින් නුහුරු නුපුරුදු පළාතක මහ රැයෙහි ගමන් ගත්ත ද කවුරුන් හෝ අපට පිහිටක් වෙතැයි මා තුළ තිබුණේ දැඩි ආත්ම විශ්වාසයකි.


එක් තැනක වූයේ ටයර් වෙළෙඳසලකි. එහි කැෂියර් කූඩුවේ සිටියේ සර් ජෝන් මෙන්ම වයස්ගත වූ මුදලාලි කෙනෙකි. මම ඔහු වෙත ගියෙමි. මගේ බයාදු ගතිය දැක දෝ පැමිණි කාරණාව ඇසුවේ ටයර් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයෙකුගේ ගමන් විලාසයක් නොදුටු නිසා විය හැකියි.


“මුන්නැහෙ මොකද මේ වෙලාවේ?”


“පුංචි කරදරයක් වෙලා අපි ආපු වාහනේ පැට්‍රෝල් ඉවර වෙලා. ඉතින් ඒක කියල පැට්‍රෝල් ගැලුමක් දෙකක් හොයා ගන්නයි ආවේ.”
“අද උදේ නඩුකාර උන්නාන්සෙටත් වාහනේ ගෙනියන්න බැරුව පණිවිඩයක් එවල මගේ වාහනේ අරගෙන ගියා. ඉතින් මේ අරුමැක්කේ කොහේ ඉඳලද ආවෙ කියන්නකෝ.”


“මම ආවෙ සිළුමිණ පත්තරේ ඉඳලා අර කොතලාවල මහත්තය ගැන ලියන්නේ.”


මුදලාලිට ඉවසුම් නැති වගක් මට දැක ගත හැකි විය. “ඇයි රත්තරනේ මම හිතුවෙ මහ ලොකු උස මහත තියෙන මිනිහෙක් කියලා. සර් ජෝන් හරිම උත්තම මනුස්සයෙක්. ඉඳල හිටල පනාමුරේ ඇත් ගාල බලන්න යන ගමන් මාත් එක්කත් යාළු වුණා. මගේ කඬේට මුල්ගල තිබ්බෙත් උන්නාන්සේ. මම මේ ළමයට උදව්වක් කරන්නම්. අර මගේ ලොරිය පිටිපස්සේ හදිසියක් වුණොත් ගන්න කියල පැට්‍රෝල් ගැලුම් දෙකක් අරගෙන හංගලා තියෙනවා. ඒක අරගෙන යන්න”.


මම විස්මිත වීමි. කිසිදාක නොදුටු ඔහු මගේ අනන්‍යතාව පරීක්ෂා නොකළේය. එදා ලීටරයක් නොව පෙට්‍රල් ගැලුමක මිල වූයේ රුපියල් දහතුනකි. මා මුදල් දෙන්නට හදත්ම ඔහු එය ප්‍රතික්ෂේප කළේය.