පොදු දේපොළ අවභාවිතයෙන් වැඩ වැරදී මඩ නාගත් හැටි


 

 

වසර කීපයක් තිස්සේ අවභාවිතය පිළිබඳ කතා ඇසේ. මුදල්, වාහන, රාජ්‍ය දේපල ආදී නොයෙකුත් දේ අවභාවිත කිරීම ගැන විවිධ පුද්ගලයන්ට චෝදනා ඉදිරිපත් වෙනු සුලබ දසුනක් විය. එහෙත් ඒ විභාග සහ විමර්ශන නිකරුණේ දියාරු වී යන බව දක්නට ලැබුණි. එහෙත් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ දෙමළ ජාතික සන්ධානයේ පී. එම්. පියසේන මහතාට විරුද්ධව නැගුණු වාහන අවභාවිතාව පිළිබඳව චෝදනාව යටතේ අධිකරණය හමුවේ පවරා තිබුණු නඩුව ඔප්පු වී ඇතැයි තීන්දුව ලැබී ඇත. එයට අදාළව හිටපු මන්ත්‍රීවරයාට වසර හතරක සිර දඬුවමක් සහ රුපියල් පනස් හතර ලක්‍ෂයක දඩයක්ද අධිකරණය විසින් නියම කරනු ලැබ තිබේ.


මෙහිදී අධිකරණයට කරුණු දැක්වූ රජයේ නීතිඥවරිය පැමිණිල්ල වෙනුවෙන් දැක් වූ අදහසක් මෙහිදී විශේෂයෙන් සඳහන් කිරීම උවමනාය. “තනතුරු දරන සමයේ රජයෙන් ලබා දෙන වාහන ඇතුළු දේපොල, තනතුරුවලින් ඉවත්ව යන විට රජයට ආපසු භාර දිය යුතු බව රජයේ පහළම නිලධාරියෙකුටවත් කියා දීමට අවශ්‍ය නැති තත්ත්වයක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ විත්තිකරුට එය කියාදීමට අවශ්‍ය නැති බවත් ඒ තත්ත්වය දනිමින්ම රජයේ වාහන භාර නොදුන් මෙවැනි විත්තිකරුවෙකුට ලිහිල් දඬුවමක් ලබා දුන්නොත් “වැරදි කොට ගැලවී යා හැකියි යනුවෙන් සමාජයට වැරදි පූර්වාදර්ශයක් ලැබිය හැකියයි” ඇගේ ප්‍රකාශය විය. මේ නඩුව සහ තීන්දුව ගැන බොහෝ දෙනෙකු කතා බස් කරනු අපටද අසන්නට ලැබුණි.


ශ්‍රී ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලැබුණේ 1931 වසරේදීය. එතෙක් මෙතෙක් ගතව ඇති කාලසීමාව වසර අසූ අටකි. ඒසා දීර්ඝ කාලයක් අපි ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය මත පදනම් වූ දේශපාලන ක්‍රියා මාර්ගයක නිරතව සිටියෙමු. ඒ ගැන අත්දැකීම්ද බහුලය. එනිසා මෙවැනි අලකලංචිවලට පත් නොවීමට අපේ රටේ දේශපාලන ක්‍රියාකාරිකයන්ට හැකියාව තිබිය යුතුය. මෙහි ලා සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ මෙයට පෙර වාහන අවභාවිතාව නිසා සිර දඬුවම් ලැබූ මන්ත්‍රීවරයෙකු ගැන අපේ දේශපාලන ඉතිහාසයේ සඳහන් නොවීමය.


අව භාවිතය යනු වැරදි පරිහරණයයි. එවැනි පරිහරණයක් නොවූවත් අයුතු අන්දමින් මුදල් ඉපයීමේ චෝදනාවට ලක්ව දඬුවමට ලක් වූ මන්ත්‍රීවරුන් කීප දෙනෙකු ගැන අපේ ඉතිහාසයේ සඳහන්ව ඇත. මේ ඒ පිළිබඳ සමාලෝචනයකි. ආසියාවේ කොතරම් ප්‍රබල රටවල් තිබුණද ඒ සියල්ලටම ප්‍රථමයෙන් සර්ව ජන ඡන්ද බලය භුක්ති විඳීමේ අවස්ථාව ලැබුණේ ශ්‍රී ලංකාවටය. එසේ පත්ව ආ මන්ත්‍රීවරුන්ගෙන් සෑදුණ මැතිසබය එදා හැඳින්වූවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව යනුවෙනි. මහජන ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන් පනස් දෙනෙකුගෙන් සහ ඉහළ රාජ්‍ය නිලධාරින් අට දෙනෙකුගෙන් සුසැදි රාජ්‍ය මන්ත්‍රණ සභාවට නීති සම්පාදනයේ පුළුල් බලතල නොපැවතියද කලින් පැවති ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලය නමැති ආයතනය ගැන සලකන විට සතුටු විය හැකි ප්‍රගතියක් අත්කර ගත් පාලන ව්‍යුහයක් බව පෙනෙන්නට තිබුණි. ස්වදේශිකයන් නූගතුන් යැයිද ඔවුන්ට රට පාලනය කිරීමට දක්‍ෂකමක් හැකියාවක් හෝ පළපුරුදු නැතැයිද ප්‍රසිද්ධියේ කියමින් සුද්දන් ලංකාවට නිදහස දීම ප්‍රතික්‍ෂේප කළ සමයක තමන්ගේ හැකියාව සහ සුදුසුකම් හුවා දක්වමින් ‘වැඩ පෙන්නීමට’ ශ්‍රී ලාංකිකයන්ට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙසද දේශීයයෝ මේ අවස්ථාව සැලකූහ. මහජන ඡන්දයෙන් පත්ව එන මන්ත්‍රීවරු සියලු දෙනාම කොමිටි හතකට බෙදා තිබුණු අතර එම කොමිටිවල සභාපතිධූරවලට පත් වූ අයවළුන් ඇමතිවරුන් ලෙස සලකන ලදී. එම ඇමති අංශ ක්‍රියාත්මක වූවේ එම කමිටු රැස්වී ගනු ලබන ප්‍රතිපත්ති තීරණ මත වන හෙයින් එහි සභික මන්ත්‍රීවරුන්ටද යම්කිසි බලපෑමක් ඇති කළ හැකි තත්ත්වයක් පැවතුණි. අද මෙන් දේශපාලන පක්‍ෂ ක්‍රමයක් වර්ධනය වී නොතිබුණු වකවානුවක් වූ බැවිනුත් සුද්දන් කීවාක් මෙන්ම විශාල පළපුරුද්දක් නොතිබීමත් නිසා යම් යම් අක්‍රමිකතාවන්ට යොමුවීමේ ඉඩකඩද බහුල විය. ගත වූවේ ටික කලකි. සමහර රාජ්‍ය මන්ත්‍රණ සභා නියෝජිතයන්ට එරෙහිව අල්ලස් දූෂණ චෝදනා එල්ලවන්නට පටන් ගත්තේය. යම් යම් කටයුතු ඉටුකර දීමට අයුතු ලෙස සමහරුන් විසින් මුදල් ලබාගන්නා බව ප්‍රකට රහසක් විය. නිදහස ලබාදීම වසරක් හෝ පමා කිරීමට හේතු සොයමින් සිටි බි්‍රතාන්‍ය යටත් විජිතවාදී පාලනයටද මෙම ආරංචි රසමසවුලක් විය. සර් ඩී. බී. ජයතිලක, ඩී. ඇස්. සේනානායක, ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ආදී දේශීය නායකයෝද මෙම ආරංචිවලින් කම්පාවට පත් වූහ. එවකට විධායක කොමිටි සභාපතිවරුන් වශයෙන් ඇමති බලතල දැරූ ඔවුහු නිතරම ප්‍රකාශ කළේ මෙම අයෝග්‍යය සහගත තත්ත්වය තමන් ප්‍රතික්‍ෂේප කරන බවත් වහාම කොමිසන් සභාවක් පත් කර අල්ලස් ගත් දූෂිතයන් දේශපාලන බිමෙන් අතු ගා දමා එම ක්‍ෂේත්‍රය පිරිසුදු කළ යුතු බවත්ය. බොහෝ මන්ත්‍රීවරුන්ට අල්ලස් චෝදනා නැගී ඒමට පටන් ගත් අතර එවකට පැවති ලේක්හවුස් පුවත්පතද සමාජය සහ ව්‍යවස්ථාදායකය අල්ලසට දූෂණයට යට නොවිය යුතු බවටත් එය පිරිසිදුව පවත්වාගෙන යාම සඳහා අල්ලස් දූෂිතයන් සොයා දඬුවම් කළ යුතු බවට හඬ නගන ලදී. මේ සියල්ලේම ප්‍රතිඵලයක් වශයෙන් එවකට සිටි කීර්තිමත් නීති විශාරදයෙකු වූ රාජ නීතිඥ ඇල්. ඇම්. ඩී. ද සිල්වා මහතාගේ සභාගිත්වයෙන් ඒක පුද්ගල කොමිසන් සභාවක් පත් කරන ලදුව දීර්ඝ නඩු විභාගයකින් පසු 1943 අප්‍රේල් 3 වැනිදා තම වාර්තාව ආණ්ඩුකාරවරයාට භාර දෙන ලදී. ඒ අනුව පත් කරන ලද මන්ත්‍රීවරුන් වූ ඊ. සී. විලර්ස්, එම්. ඇස්. පාෆිට් සහ ඒ. ඊ. නිවුන්හැම් යන මහත්වරුද මහජන ඡන්දයෙන් පත් වූ නුවර එළිය මන්ත්‍රී ඊ. ඩබ්ලිව්. අබේගුණසේකර, කළුතර මන්ත්‍රී චාල්ස් බටුවන්තුඩාවේ, බළන්ගොඩ මන්ත්‍රී එච්. ඒ. ගුණසේකර, ත්‍රිකුණාමලය මඩකළපුව මන්ත්‍රී ඊ. ආර්. තම්බිමුත්තු සහ බණ්ඩාරවෙල මන්ත්‍රී ඩී. ඩී. ගුණසේකර යන මහත්වරුද වරදකරුවන් බවට පත්වූහ. එනිසා ඔවුන්ට වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් වීමට සිදුවිය. මෙම හෙළිදරව්ව සිදුවන විට කළුතර මන්ත්‍රී චාල්ස් බටුවන්තුඩාව මහතා මිය ගොසිනි. අනෙක් මන්ත්‍රීවරු ඉල්ලා අස්වූහ.


රජයේ බස් සේවාවන් ක්‍රියාත්මක නොවුණු එම යුගයේ පෞද්ගලික බස් සමාගම් ඉතා බලවත් තත්ත්වයක තිබුණි. එම බස් සමාගමක අවශ්‍යතාවක් ඉටු කරදීම සඳහා රුපියල් විසි පහක අල්ලස් මුදලක් ලබාගැනීම පිළිබඳව බළංගොඩ මන්ත්‍රී ඩී. ඩී. ගුණසේකර මහතාට එරෙහි චෝදනාව ඔප්පු වී තිබුණි. යුරෝපීය මන්ත්‍රීවරුන් මෙම අල්ලස් වරදට අසුවීම එකල පුදුමය දනවන සිදුවීමක් වූ බව කියනු ලැබේ. ඔවුන් කර තිබුණේ යුරෝපීය වෙළඳ සංගමයේ නියෝජිතයන් ලෙස මැතිසබය තුළ පෙනී සිටිමින් එම ආයතනයේ අභිවෘධිය වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවෙන් එම සංගමයෙන් වැටුපක් ලබා ගැනීමය. එය අල්ලස් ලබා ගැනීමක් බව කොමිසම තීරණය කළේය. ඊ. ආර්. තම්බිමුත්තු මහතා ස්වදේශ කටයුතු පිළිබඳ කොමිටියේ සාමාජිකයෙකි. එච්. ඒ. ගුණසේකර මහතාද එවැන්නෙකි. ලොකු බණ්ඩා අත්තනායක නම් මහතෙකුට නැගෙනහිර මාතලේ කොට්ඨාසයේ රටේ මහත්මයා පදවිය ලබා දීම සඳහා අල්ලසක් ලබා ගැනීම ගැන එම මන්ත්‍රීවරු දෙදෙනාම වරදකරුවෝ වූහ. ඉතිහාසය ගලා යන්නේ මේ ආකාරයටය.


එක්දහස් නවසිය පනස් හයේ බලයට පත් වූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ රජය බලයට පත්වීමෙන් පසුව පත් වූ මැති ඇමැතිවරු කීප දෙනෙකුට එරෙහිවද අල්ලස් චෝදනා නැගෙන්නට විය. අල්ලසට දූෂණයට කිසිසේත්ම අනුබල නොදෙන්නෙකු වූ අගමැතිවරයා වහාම ක්‍රියාත්මක වී අල්ලස් කොමිසමක් පත් කර පරීක්‍ෂණ ආරම්භ කිරීමට නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ වෝල්ටර් තල්ගොඩපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ එම ත්‍රිපුද්ගල කොමිසමේ වාර්තාව නිකුත් වූවේ 1960 දෙසැම්බර් මාසයේය. ඒ වන විට අගමැති බණ්ඩාරනායක මහතා ජීවතුන් අතර නොසිටියේය. බණ්ඩාරනායක රජයේ තැපැල් ඇමති සී. ඒ. ඇස්. මරික්කාර්, කම්කරු ඇමති ඇම්. පී. ද සොයිසා, ගමනා ගමන ඇමති හෙන්රි අබේවික්‍රම, වෙළඳ උප ඇමති ඩී. බී. මොන්නෑකුලම, පසුව ඇමතිවරුන් වූ කල්මුණේ මන්ත්‍රී ඇම්. ඇස්. කාරියප්පර්, නාවලපිටිය මන්ත්‍රී ආර්. ඊ. ජයතිලක යන අය වැරදිකරුවෝ වූහ. 1956 පාර්ලිමේන්තුව මේ වන විට විසුරුවා හැර තිබුණු අතර ඒ වන විට මන්ත්‍රී ධූර දැරුවේ කුරුණෑගල මන්ත්‍රී ඩී. බී. මොන්නෑකුලම මහතා සහ රත්ගම මන්ත්‍රී ඇම්. පී. ද සොයිසා යන මහතුන් දෙදෙනා පමණි. අල්ලස් කොමිසමේ වාර්තාව පිට වූ වහාම තමන්ගේ නිර්දෝෂී බව ප්‍රකාශ කරමින් කතා කළ ඒ මන්ත්‍රීවරු දෙදෙනා ඉල්ලා අස්වූහ. එහෙත් මේ කිසිවෙකුට වෙනත් දඬුවමක් පැමිණ වූ බවට වාර්තා වූවේ නැත. එයට හේතුව එසේ දඬුවම් කිරීමට එකල නීති ප්‍රතිපාදන නොතිබුණු නිසා යැයි කියවුණු බව අපට මතකය. එහෙත් ජනතාව නම් කීවේ විවිධ ආකාරයෙන් වූ “තමන්ගේකම්” නිසා ඔවුන් රැකුණු බවයි. 


කුමන හෝ අවභාවිතයන් සාකල්‍යයෙන්ම අපරාධයන්ය. ඒවා දුරින්ම දුරලා සමාජය පිරිසුදු කළ යුතුය. සම්මා ආජීව, සම්මා වායාම හා සම්මා කම්මත්ත යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ දුරාචාරයෙන්, අගතියෙන් සහ අවභාවිතයෙන් තොරව ජීවත්වන ආකාරය පෙන්නුම් කිරීමටය. ඒ සඳහා ප්‍රඥාව අවශ්‍යය. ප්‍රඥාව නැත්තෝ අවභාවිතයන්හි යෙදී තමනුත් විනාශ වී රටද විනාශ කරති. ඒවායින් වැළකී “පක්‍ද්ක්‍දා නරානං රතනං” යන බුදු වදන සිහිපත් කිරීමට සහ ක්‍රියාත්මකවීම ඇරඹීමට මෙම වෙසක් සමය ඉතා යෝග්‍ය බව කීම අත්‍යන්තයෙන්ම කාලෝචිත බව සඳහන් කරමි. පක්‍ද්ක්‍දා නරානං රතනං යනු ප්‍රඥාව මිනිසාට මැණිකක් බවයි.

 

 

 

 

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි