නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන නාලක ද සිල්වා මහතා පොලිස් ඔත්තු කරුවෙකුට දුන් දුරකථන ඇමතුමක් මගින් ප්‍රභූ ඝාතනයට උපදෙස් දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. මේ දිනවල පුවත්පත්වල මුල්ම සිරස්තල වෙන්ව ඇත්තේ මෙම ප්‍රවෘත්තියටය. ඇත්තෙන්ම එම ප්‍රවෘත්තිය එවැනි මහජන අවධානය යොමු විය යුතු බරපතළ මාතෘකාවක් බව නිසැකය. මක් නිසාද යත් ලෝකයේ බොහෝ රටවල මෙවැනි දේ සිදුව ඇති නිසාය. අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකානු රටවල රාජ්‍ය නායකයා මරා දමා බලය අත්පත් කර ගත් අවස්ථා අතිශයින්ම සුලභය.
විදේශවල පමණක් නොව මේ අපේම රටේද එවැනි සිදුවීමක් පිළිබඳ අත්දැකීමක් ඇත. මෙබඳු කුමන්ත්‍රණ අසාර්ථක වූ අවස්ථා දෙකක් පිළිබඳව ද මෙරට දේශපාලන ඉතිහාසයේ දැක්වේ. ඒ 1962 දී සහ 1966 දී වශයෙනි. මේ හැම සිදුවීමකදීම උසස් පොලිස් හා ආරක්ෂක සේනාවන්හි නිලධාරීන් සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වූ ආකාරය අපට මතකය. එනිසා ගිනි පෙනෙල්ලෙන් බැට කා ඇති රටක ජනතාව කලාමැදිරි එළියටත් බියවීම අරුමයක් නොවේ. එමෙන්ම ගින්නක් නොමැතිව දුමක් නොනගී යනුවෙන්ද කතාවක් තිබේ. එනිසා මේ දෙපැත්ත ගැනම සිතා වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා මෙම කුමන්ත්‍රණ කතාවේ සුල මුල සොයා බලන ලෙස රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අදාළ අංශවලට නියෝග කර තිබීම අතිශයින්ම කාලෝචිතය.
ලංකාවේ ප්‍රථම රාජ්‍ය නායක ඝාතනය සිදුවූවේ 1959 දීය. ඒ ලංකාවේ සිව් වැනි අග්‍රාමාත්‍ය සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතා වෙඩි තබා මරා දැමීමේ සිද්ධියයි. හරියටම වසර පනස් නවයකට පෙර එනම් 1959 සැප්තැම්බර් 25 වැනිදා උදේ අගමැතිතුමාගේ පෞද්ගලික නිවාසය වූ රොස්මිඞ් පෙදෙසේදී එක්තරා චීවරධාරියෙකු විසින් රිවෝල්වරයකින් වෙඩි තැබීම නිසා බරපතළ තුවාල ලත් අගමැතිවරයා පසුදින උදේ 7.55 ට අවසන් හුස්ම හෙළුවේය. මෙම අනුවේදනීය සිදුවීම ගැන බොහෝ දේ ලියැවී කියවී ඇත. එම තොරතුරුවලට අනුව තල්දූවේ සෝමාරාම නම් වූ චීවරධාරියා අගමැතිතුමාට වෙඩි තබා ඇත්තේ එතුමා එම හිමියන්ට දණ නමා වැඳ “මොකක්ද? හාමුදුරුවනේ උවමනාව” යැයි විමසද්දීය. එසේ වෙඩි තැබීමෙන් කම්පාවට පත්වූ බණ්ඩාරනායක මහතා දෙපැත්තට වැනෙමින් තම කාමරය ඇතුළට දිවගිය බව සාක්ෂි වලින් කියවුණි. එවිට පසුපස හඹා ගොස් තවත් වරක් වෙඩි තැබීමට එම අපරාධකරු ක්‍රියාකර තිබුණි. එවිටම වැදුණු වෙඩි පහරකින් තල්දුවේ සෝමාරාම බිම ඇද වැටුණි. සෝමාරාමට මෙම වෙඩිල්ල තැබුවේ කව්ද? යන කාරණය බොහෝ මතභේදයට ලක්වූ බව එදා පාසල් සිසුන් වූ අපට මතකය. සෝමාරාම එතැනදීම ඉවරයක් කර දැමීම මෙම අපරාධය යට ගැසීමට ඇති හොඳම ක්‍රමය බව කුමන්ත්‍රණකරු දැන සිටි බවත් එසේ සැලසුමකට අනුව අපරාධ සහායකයකු වශයෙන් සෝමාරාමට එම වෙඩි තැබීම සිදුකළේ පොලිසියේ නිලධාරියෙකු බවත් නොයෙක් තැන්වල කතාබස් කෙරුණි.
එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයකුවූ සිඞ්නි ද සොයිසා මහතා අගමැති ඝාතන කුමන්ත්‍රණය දැන සිටි බවත් එනිසා එම නඩුවේ පරීක්ෂණ නිසි පරිදි සිදු නොවන බවත් විපක්ෂ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී නොයෙක් විට චෝදනා කළේය. මෙම තර්කයම පදනම් කර ගනිමින් එවකට අධිකරණ ඇමති වැලන්ටයින් ජයවික්‍රම මහතාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට ද විරුද්ධ පක්ෂය කටයුතු කළේය.
එම විවාදයේදී බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ඇල්මැරුණු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා මෙසේ ප්‍රකාශ කර තිබුණි. “බුද්ධරක්ඛිත සිර භාරයට ගැනීමට කලින් මම අරලියගහ මැදුරට ගොස් දහනායක මහතා හමුවී බුද්ධරක්ඛිත, එච්. පී. ජයවර්ධන, සී. අමරසිංහ සහ අනුර ද සිල්වා යන හතරදෙනා සිරභාරයට ගන්නා ලෙස බලකර සිටියෙමි. ඔවුන් සාක්කි කරුවන් පසුපස ලුහුබඳින බවට ඒ වනවිට මට වැදගත් සාක්ෂි ලැබී තිබුණි. එහෙයින් වහාම ඔවුන් අත්අඩංගුවට ගන්නා මෙන් මම දැනුම් දුන්නෙමි. මෙය මා අගමැතිට දන්වා පැය බාගයක් ඇතුළත ඒ ගැන බුද්ධිරක්ඛිත දැන ගත්තේය. බුද්ධරක්ඛිත සිර කළේ ඉන් දින දහයකට පසුවය. පොලිසිය පරීක්ෂණ පැවැත්වූවේ ඒ ආකාරයටය. මෙම විවාදයේදී විපක්ෂ නායක ඇන්. ඇම්. කළ කතාවට පිළිතුරු දෙමින් සහ විවේචනය කරමින් නියෝජ්‍ය පොලිස්පති සිඞ්නි ද සොයිසා මහතා ටයිම්ස් පත්‍රයට නිවේදනයක් නිකුත් කර තිබුණි. එය පාර්ලිමේන්තු වරප්‍රසාද කැඩීමක් බව කියමින් ඇන්. ඇම්. මැති සබයේදී දීර්ඝ සටනක් ගෙන ගියේය. එසේ වුවත් අගමැති දහනායක මහතාගේ අනුග්‍රහය ඔහුට දිගටම ලැබුණි. අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නමින් හදිසියේම ඇති කරන ලද නව ඇමති අංශයේ ස්ථිර ලේකම් පදවියට සිඞ්නි ද සොයිසා පත් කිරීම ද විපක්ෂයේ දැඩි විවේචනයට ලක්විය. මෙම සිදුවීම් මාලාව නිසා මුදල් ඇමති ස්ටැන්ලි ද සොයිසා ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය. දින කීපයකට පසු ඔහුගේ තවත් සොහොයුරෙකු වූ ඩිකි සොයිසා මහතා අගමැති ඝාතනයේ තවත් සැකකරුවෙකු වශයෙන් සිරභාරයට ගන්නා ලදී.
තවත් දින කීපයක් ඉක්ම යද්දී තවත් පොලිස් නිලධාරියෙකු වූ නිව්ටන් පෙරේරා මහතා ද අත්අඩංගුවට පත් විය. බණ්ඩාරනායක ඝාතනය සිදු කළ පිස්තෝලය සොයා දුන්නේ ඔහු බවට සාක්ෂි ඉදිරිපත් කෙරුණි. එපමණක් නොව සිවුරු පොරවාගත් අයෙකු වූ තල්දූවේ සෝමාරාමට වෙඩි තැබීමට පුරුදු කළේ නිව්ටන් පෙරේරා යැයි උසාවියේදී කියවුණි. රාගම මුතුරාජවෙලේ පාළු පෙදෙසකදී කදුරු ගසක ගෙඩි ඉලක්ක කර වෙඩි තැබීමෙන් මෙම පුහුණුව ලබාදුන් බව සාක්ෂිකරුවෝ අධිකරණයේදී පැවසූහ. කෙසේ වුවත් නියෝජ්‍ය පොලිස්පති සිඞ්නි ද සොයිසා මහතාගේ සොහොයුරු ඩිකි සොයිසා මහතාත් විත්තිකාර නිව්ටන් පෙරේරා මහතාත් සාක්ෂිවල දුර්වලතා නිසා නිදහස් වූ බවද මෙහිලා සඳහන් කළ යුතුය.
ගතවූයේ වසර දෙකකට ආසන්න කාලයකි. මේ වන විට බොහෝ දේ වෙනස්ව තිබුණි. ඊළඟ මැතිවරණයේදී අගමැති දහනායක මහතා තමාගේ සුපුරුදු ගාල්ල ආසනයෙන්ද පරාජය වී අරලියගහ මැදුරෙන් නික්ම ගියේය. ඔහුගෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාරගත් සී. පී. ද සිල්වා මහතා තම රෝගී තත්ත්වය නිසාත් ප්‍රබල නායකත්වයක අවශ්‍යතාවත් සලකා සිරිමාවෝ බණ්ඩරනායක මැතිනිය කරළියට කැඳවා ගනු ලැබීය. එවකට පැවති දේශපාලන අස්ථාවර බව නිසා එක් වසරක් තුළ මැතිවරණ දෙකක් පැවැත්වීමට සිදුවිය. 1960 ජූලි 20 වැනිදා පැවති මහා මැතිවරණයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වීම් ලැබුවාය. එම රජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි රජයක් සේ දක්නට ලැබුණත් එවකට ප්‍රබල තත්ත්වයක පැවති ලංකා සමසමාජ පක්ෂයේත් කොමියුනිස්ට් පක්ෂයේත් බලපෑම ඉතා තදින්ම එයට දැනෙමින් තිබුණි. එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජය ලබා බලය අත්පත් කර ගත්තේ පෙර සඳහන් කළ වමේ පක්ෂ දෙක සමග නිතරඟ ගිවිසුමක් යටතේ තරඟ කිරීම නිසාය. එම බලපෑම මත රජය සියලුම පාසල් රජයට පවරා ගැනීම සිදුවිය. එම යුගයේ අධ්‍යාපනය පිළිබඳ ආධිපත්‍යය බොහෝ දුරට පැවරී තිබුණේ මිෂනාරී ආයතන වෙතටය.
ඉංග්‍රීසි අධ්‍යාපනය මුළුමනින්ම පාහේ ඔවුන් අත පැවතුනි. මෙම පාසල් පවරා ගැනීම එම සමාජ කණ්ඩායම්වල බලවත් නොසතුටට හේතු වූවේය. විශේෂයෙන් මුහුදුබඩ පළාත්වලත්, වෙනත් ප්‍රදේශවලත් යම් යම් ආගමික පිරිස් පාසල්වල පදිංචිවී ඒවා රජයට පවරා ගැනීමට එන නිලධාරීන්ට දැඩි ලෙස විරෝධය දැක්වූහ. රජයේ බලය මත පාසල් පවරා ගැනීම සාර්ථක කර ගැනීමට හැකිවුවත් එමගින් යම් යම් ආගමික කොටස් තුළ සිත් රිදීමක් ඇතිවීම අතිශයින්ම ස්වභාවික සංසිද්ධියක් විය. මාක්ස්වාදී පක්ෂ බලවත්ව සිටීමද ඔව්හු නොරිස්සූහ. තවත් බොහෝ සාධක ද සැලකිල්ලට ගත් ආරක්ෂක හමුදාවන්හි සහ පොලිසියේ උසස් නිලධාරීහු පිරිසක් සාකච්ඡා කර පවතින රජය ආයුධ බලයෙන් පෙරළා දමා හමුදා රජයක් ඇති කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ. නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුද මෙයට සම්බන්ධව සිටි අතර මේ ගැන මුල්ම තොරතුර ලද සැණින්ම ක්‍රියාත්මක වූ රජය එම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ව්‍යර්ථ කර දමන ලදී.
ඒ අනුව
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී. සී. දිසානායක
නියෝජ්‍ය පොලිස්පති සිඞ්නි ද සොයිසා
උප පොලිස් අධිකාරී ඩීන් ජෝන් පුල්ලෙ
උප පොලිස් අධිකාරි එල්. සී. එස්. ජීරසිංහ
පොලිස් අධිකාරී වී. ඊ. පෙරේරා
උප පොලිස් අධිකාරී ඩී. ඩී. විජේසිංහ
පොලිස් අධිකාරී ඬේවිඞ් තම්බයියා
උප පොලිස් අධිකාරි කොලින් වැන්ඩි්‍රසන්
උප පොලිස් අධිකාරි ඩබ්ලිව්. ඊ. පී. ජෙබනේසන්
නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ඒ. පී. සිරිචන්ද්‍ර
විශ්‍රාමලත් පොලිස් අධිකාරි ආර්. ඊ. කිටෝ
පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක යන මහතුන් රජයේ නියමය පරිදි අත්අඩංගුවට ගන්නා ලදී. ඒ අතර ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දහහතර දෙනෙක්ද සිවිල් පුද්ගලයෝ හතර දෙනෙක්ද වූහ. මෙම කුමන්ත්‍රණය ගැන දැන සිටි තවත් උසස් නිලධාරියෙකු වූ ස්ටැන්ලි සේනානායක මහතා මධ්‍යම රාත්‍රියේ සිදුවන්නට නියමිත බරපතළ සිදුවීම ගැන චිත්ත පීඩාවෙන් යුතුව සිතිවිලි සයුරේ නිමග්නව සිටි බව කියනු ලැබේ. මෙසේ ඒකාධිපති මිලිටරි ජුන්ටාවක් විසින් බලය අල්ලාගනු ලැබුවහොත් දේශයේ නිදහසටත් ප්‍රජාතන්ත්‍රවාදී උරුමයටත්, ආගමික නිදහසටත් අත්වන ඉරණම ගැන ඔහුට මෙනෙහි වන්නට ඇත. සිය සැමියා බලවත් චිත්ත පීඩාවකින් පසුවන බව දුටු සේනානායක මහත්මිය ඒ ගැන විමසුවාය. බිරිඳගේ බලකිරීම නිසා සිදුවන්නට යන බරපතළ විපත පිළිබඳ රහස හෙළිකිරීමට සේනානායක මහතාට සිදුවිය. ඇයගේ පියා එවකට අම්බලන්ගොඩ මන්ත්‍රීවරයා වූ පී. ද ඇස්. කුලරත්න මහතාය. බෞද්ධ නායකයෙකු මෙන්ම ප්‍රකට අධ්‍යාපනඥයෙකු ද වූ ඒ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් අම්බලන්ගොඩ ආසනය දිනා සිටියේය. මෙම රහස රට වෙනුවෙන් හෙළි කළ යුතු යැයි සේනානායක මහත්මිය සැමියාට එත්තු ගැන්වීමට සමත් වූවාය. කුලරත්න මහතා මෙම රහස අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට දැනුම් දුන්නේය. වහා ක්‍රියාත්මක වූ ඇය හදිසි නීතිය පනවා අවශ්‍ය පියවර ගත්තාය. හමුදා මර්මස්ථාන භාරව සුදුසු විධිවිධාන යෙදුවාය.
මෙම අවදියේ පොලිස්පතිව සිටි ඇම්. ඩබ්ලිව්. ඇෆ්. අබේකෝන් යුද හමුදාපති ඒ. ඩබ්ලිව්. ජී. විජේකෝන්, නාවික හමුදාපති රාජන් කදිරගාමර්, ගුවන් හමුදාපති බාකර් (බි්‍රතාන්‍ය ජාතිකයෙකි) යන මහත්වරු සැවොම රාජපාක්ෂික බව තහවුරු කළ අතර රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ගැන පරීක්ෂණ පැවැත්වීමට ද සහාය දුන්හ. සඳහන් කළ යුතු තවත් විශේෂ සිදුවීමක්වන්නේ කුමන්ත්‍රණයේ ප්‍රධාන පෙළේ නායකයෙකු වූ නියෝජ්‍ය පොලිස්පති සී. සී. දිසානායක මහතාගේ එක කුස උපන් සොහොයුරා වූ රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇස්. ඒ. දිසානායක මහතා රජයට පක්ෂපාත වීමයි.
තුන්වැනි කුමන්ත්‍රණය සිදුවූවේ 1966 දීය. එය හඳුන්වනු ලැබුවේ වැසිකිළි කුමන්ත්‍රණය වශයෙනි. එදා හමුදාපතිව සිටි රිචඞ් උඩුගම මහතාද මෙයට සම්බන්ධ බවට චෝදනා කර සිරභාරයට ගනු ලැබීය. එහි අනෙක් ප්‍රධාන සැකකරුවූවේ ප්‍රකට බෞද්ධ පඬිවරයෙකු වූ හේන්පිටගෙදර ඤාණසිහ හිමිපාණෝය. කැප්ටන් සිගේරා සහ සාජන්ට් සහ ඊටත් පහළ නිලයන් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි. පොලිසිය මෙම ක්‍රියාවලියට සම්බන්ධවන්නේ පරීක්ෂණ පැවැත්වීමේ කාර්යභාරය වෙනුවෙනි. ඒ කුප්‍රකට දොඩම්පෙ මුදලාලි සිද්ධිය සම්බන්ධයෙනි.
රත්නපුරේ භික්ෂු අභ්‍යාස ආයතනයක් පවත්වාගෙන යමින් විශාල ජාතික ආගමික මෙහෙවරක යෙදී සිටි ඤාණසීහ හිමියෝ දේශපාලන වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවත්ව කටයුතු කළහ. බණ්ඩාරනායක පවුල සමග සමීප සබඳතාවක්ද පැවති නිසා එම පක්ෂයේ උපදේශක මට්ටමේ කටයුතු කළ ප්‍රබලයෙක් වූහ. මෙම කුමන්ත්‍රණය ගැන පළමුවැනි විත්තිකරු ලෙස එහිමියන් අත්අඩංගුවට ගැනීමෙන් පසු උන්වහන්සේගේ හිතවතුන් කෙරෙහිද පොලිසියේ අවධානය යොමු විය. හාමුදුරුවන් වහන්සේගේ ජාතික හා ආගමික සේවාවන්ට මූල්‍යමය වශයෙන් සහාය දෙන ව්‍යාපාරිකයෙකු වූ ඇල්. වී. පොඩි අප්පුහාමි නොහොත් දොඩම්පෙ මුදලාලි අත්අඩංගුවට පත්වුණේ ඒ අනුවය. ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා යොදවනු ලැබ සිටියේ පහරදීම් හා සැකකරුවන්ට අමානුෂික ලෙස වධ බන්ධනයට පත් කිරීම ගැන ප්‍රකටව සිටි රාහුල සිල්වා මහතා වෙතය. රහස් පොලිසියේ හතරවැනි තට්ටුවේ දී මෙම ප්‍රශ්න කිරීමට ලක්ව තිබුණි. මෙම ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් වශයෙන් දොඩම්පෙ මුදලාලිගේ මළ සිරුර පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලෙන් බිමට වැටී ඒ අසල බිම තිබී පසුදා උදෑසන සොයා ගන්නා ලදී. මෙය මිනීමැරුමක්ද? නැතිනම් සිය දිවි නසා ගැනීමක්ද? යන ගැටලුව අදාළ අංශවලින් මතුවිය. මෙම මරණය ගැන මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ කොටුව අතිරේක මහේස්ත්‍රාත් වින්සන්ට් ස්වර්ණාධිපති මහතා ඉදිරිපත් වූ සාක්ෂි අනුව තීරණය කළේ එය දිවිනසා ගැනීමක් බවය.
එහෙත් එම තීන්දුව පිළිගැනීමට දොඩම්පෙ මුදලලිගේ ඥාතීහු මැළි වූහ. ඔහුගේ බාල සොහොයුරු ඇල්. වී. ස්ටීවන් මහතා දිවුරුම් පෙත්සමක් මගින් කියා සිටියේ තම සොහොයුරා පොලිස් පහරදීම නිසා මියගොස් ඇති අතර පසුව හතරවැනි තට්ටුවෙන් බිමට දමා ඇති බවට තමන් සතුව සාක්ෂි තිබෙන බවත් එනිසා මෙය සිය දිවි නසා ගැනීමක් නොව මිනීමැරුමක් වන නිසා නැවත පරීක්ෂණයක් පවත්වන ලෙසය. එය පිළිගත් අධිකරණය නැවත පරීක්ෂණයක් පැවැත්විය. එම විභාගයද භාරවූයේ වින්සන්ට් ස්වර්ණාධිපති විනිසුරුවරයාටමය. මෙම කුමන්ත්‍රණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තවත් කීපදෙනෙකු එදින හතරවැනි තට්ටුවේ රඳවා සිටියහ. පොලිස් පරීක්ෂක රාහුල සිල්වා දොඩම්පෙ මුදලාලිගෙන් ප්‍රශ්න කරද්දී පහර දුන් බවත් එවිට ඔහු මරහඬ දෙනු අවට කාමරවල සිටි තමන්ට ඇසුණු බවත් එසේ රඳවනු ලැබ සිටි සාජන්ට් හොඳමුනි, සාජන්ට් බණ්ඩාර, කෝප්‍රල් හෙන්ද්‍රික් අප්පුහාමි ආදීහු අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ. එම සාක්ෂි මෙහෙයවූවේ සරත් මුත්තෙට්ටුවගම සහ සම්පත් ශ්‍රී නන්දලෝචන යන නීතිඥයන් විසිනි. දොඩම්පෙ මුදලාලිගේ සොහොයුරා වෙනුවෙන් ඔව්හු කරුණු දැක්වූහ. ඉදිරිපත් වූ සාක්ෂි අනුව දොඩම්පෙ මුදලාලිගේ මරණය සියදිවි නසාගැනීමක් නොව මිනීමැරුමක් බව තීනදු විය. අත්අඩංගුවට ගත් කෝප්‍රල් තිලකවර්ධන නමැති යුද්ධ හමුදා සෙබළෙක්ද මේ අයුරින්ම මරණයට පත්වූ බවද වාර්තා වූ නමුදු ඒ ගැන තොරතුරු අප්‍රකටය.
කුමන්ත්‍රණ සම්බන්ධයෙන් සලකන විට අපේ පොලිසියේ හැසිරීම ඒ ආකාර බව දේශපාලන ඉතිහාසයේ සඳහන්ව තිබේ. නැවතත් පොලිසිය සම්බන්ධ කුමන්ත්‍රණයක් ගැන සඳහන් වෙමින් තිබේ. එනිසා අප වැන්නන්ට අතීත ක්‍රියාකාරකම් මතක්වීමත් “එනපොට හොඳ නැහැ කෙල්ල ගෙට ගන්” කීවාක් මෙන් හැඟීමක් ජනතාවගේ පැත්තෙන් ඇතිවීම කිසිසේත්ම අස්වභාවික නොවේ.
පළමු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය පිළිබඳ නඩුව විමසීමට එදා පැවති නීති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවූ නිසා විශේෂ අපරාධ විධිවිධාන පනත නම් වූ වෙනම පනතක් සම්මත කර ගැනීමට රජයට සිදුවිය. එසේ පත්කරගන්නා ලද අධිකරණය මගින් විත්තිකරුවන් දහදෙනෙකු වරදකරුවන් කොට සිර දඬුවම් සහ දේපොළ රාජසන්තක කිරීමට ද නියම විය. එහෙත් විත්තිකරුවෝ එම තීන්දුවට එරෙහිව බි්‍රතාන්‍යයේ රාජාධිකරණයට අභියාචනා ඉදිරිපත් කළහ. එම විභාගයේ දී ඉදිරිපත් කෙරුණු කරුණු අනුව බි්‍රතාන්‍ය විනිසුරුවරු නිගමනය කළේ එකල රටේ පැවති සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වැනි වගන්තියෙන් ලැබී ඇති ආරක්ෂාව මත පදනම්ව, මෙවැනි පනතක් සම්මත කිරීමට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට බලයක් නොමැති බවයි. එනිසා එම පනත යටතේ පිහිටුවන ලද උසාවියකින් දෙන ලද දඬුවම් නීත්‍යානුකූල නොවන නිසා සියලු විත්තිකරුවෝ නිදහස ලදහ. එහි ප්‍රතිඵලය වූවේ ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී ස්වාධීන ජනරජයක් බවට පත්වීමේන් සම්පූර්ණයෙන්ම බි්‍රතාන්‍ය කිරීටයේ බන්ධනයෙන් නිදහස් වීමෙන් ආරම්භක මූල බීජය වූවේ මෙම නඩු තීන්දුව බව අපට මතකය.
දෙවැනි කුමන්ත්‍රණ නඩුව දීර්ඝ කාලයක් තිස්සේ විභාගයට ගැනුණි. එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ තර්ක විශාරදත්වය හමුවේ සියලු විත්තිකරුවෝ නිදහස ලදහ. මේ පිළිබඳ මගේ අත්දැකීමක් මට තවමත් මතකය. වාමාංශික ව්‍යාපාරයේ පතාක යෝධයෙකු වූ උඩකැන්දවල සරණංකර හිමියන් සමග කිට්ටු ඇසුරක් පැවැත්වීමට මට අවස්ථාව හිමි විය. උන්වහන්සේට වාමාංශික නායකයෝ මහත් සේ ගෞරව කළහ. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා නීති විශාරදයාද එවැන්නෙකි. දිනක් කොල්වින් හමුවීමට සරණංකර හාමුදුරුවෝ වැඩියහ. මමද එම ගමනට සහභාගි වූවෙමි. හේන්පිටගෙදර ඥානසීහ හිමියෝද මුල් කාලයේ අපට කිට්ටු බලගල්ලේ වැඩ විසූහ. එම හිමිවරුන් දෙදෙනා වහන්සේම අතිශයින්ම මිත්‍රයහ. සරණංකර හාමුදුරුවෝ හේන්පිටගෙදර හිමියන්ගේ නඩුව ගැනත් විමසූහ. මේ නඩුව පොල් කෙන්දකින් එල්ලිලා තියෙන්නෙ හාමුදුරුවනේ මේක කඩන්ඩ මට නීති ප්‍රශ්න ඕනෑ කරන්නෙ නැහැ. ලෝකෙ මොන රටේද? හාමුදුරුවනේ හමුදාපති කෝප්‍රල්ලත් එක්ක ආණ්ඩු පෙරළන්න කුමන්ත්‍රණය කරන්නෙ. මොළේ කළඳක්වත් තියෙන මිනිහෙක් මේ කතාව විශ්වාස කරයිද? ඔහු කී පරිද්දෙන්ම සියලු විත්තිකරුවෝ නිදහස ලදහ. එකී හිමි දෙනමත්, කොල්විනුත්, අප අතර නැත. එහෙත් කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ සරල පැහැදිලි කිරීම සුන්දර මතකයක් වශයෙන් මසිතේ තැන්පත්ව පවතී.
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි