ඒ අනූව දශකයේ අග භාගයේ දිනයකි. කැලණියේ වරාගොඩ මාර්ගයේ බස් ධාවනය එහෙම්පිටින්ම පෞද්ගලික අංශයේ ආධිපත්‍යයට ලක්ව තිබිණි. කොටකොටා යාමත්, ටිකෙට් නිකුත් නොකිරීමත් ප්‍රශ්න කරන මගීන්ට බැණ වැදීමත් නිසා කලකිරුණු මාධ්‍යවේදීයෝ ඒ ගැන මාධ්‍යවල පළ කළහ.
මෙයින් කෝපයට පත්වුණු බස් මැරයෝ මග රැක සිට මාධ්‍යවේදීන්ට පහර දුන්හ. ඔවුන්ගේ ඇඳුම් ද ඉරා දැමූහ. කැලණිය පොලිසිය පැමිණිල්ල ලියාගැනීමට මැළි කළේ බස් හිමිකරු යූ.ඇන්.පී. නායකයකු නිසාය. එහෙත් තමන්ට පහර දුන් බවට බස් මැරයන් කළ පැමිණිල්ල බාර ගත්හ.
මේ පුවත කන වැකුණු එවකට කැලණිය මන්ත්‍රී ජිනදාස නන්දසේන මහතා වහා පොලිසිය වෙත පැමිණ ප්‍රධාන පොලිස් පරීක්ෂක එනතුරු ඔහුගේ අසුනේ වාඩි විය.
‘තමුසෙලා අපේ මාධ්‍යවේදීන්ට ගහපු පැමිණිල්ල බාර අරන් නෑ. වහාම ගිහින් උන් අල්ලගෙන කූඩුවේ නොදැම්මොත් මා නරක මිනිහා කියන්න එපා’
මන්ත්‍රීවරයා පොලිසියේ වහලේ උළු හෙල්ලෙන ලෙස කෑගැසීය. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය කණ්ඩායමක් යවා මැරයන් අල්ලාගෙන විත් නඩු විසඳන තෙක් ඔහු පොලිසියට සමාව නොදුන්නේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැලණි ආසන සංවිධායක, ප්‍රාදේශීය සභා විපක්ෂනායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ඉසිලූ මලිගස්පේ කෝරළගේ ජිනදාස නන්දසේනගේ දිවිය මෙවැනි හැලහැප්පිවලින් ගහනය.
දකුණේ වඳුරඹදී 1931 සැප්. 17 වැනිදා උපන් නන්දසේන ගමේ ඉස්කෝලෙන් ගාල්ලේ රිච්මන්ඞ් විදුහලට පිවිස ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලැබීය. එහෙත් කිසි දිනක තම ගැමිකම මිස ඉංග්‍රීසි පන්නය ප්‍රදර්ශනය නොකළ රැඩිකල්වාදී චරිතයක් විය.
නාවික හමුදා සේවයෙන් පසු ව්‍යාපාරික ලෝකයට පිවිසි ඔහු ‘ප්‍රින්සි තිලකා’ මහත්මිය සමග යුග දිවිය අරඹා සය දරු පියකු වූ අතර ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ මාර්ග පරීක්ෂක ධුරයෙන් සමුගෙන බේකරි ව්‍යාපාරයට පිවිසියේය.
කිරිබත්ගොඩ සුපතල ‘ප්‍රින්ස්’ බේකරි ව්‍යාපාරය දේශපාලන කඳවුරක් බවට පත්ව තිබිණ. විරුද්ධවාදීන් ‘මිනීමරුවා’, ‘රෝස්පාන්කාරයා’ යැයි ඔහුට අපහාස කළ අතර කැලණිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ මංගල කතාව ව්‍යක්ත ඉංග්‍රීසියෙන් පැවැත්වූ පසු විරුද්ධවාදීන්ගේ කටවල් වැසින.
ප්‍රින්ස් මුදලාලිගේ දකුණු අත ශ්‍රීලනිප මධ්‍ය සංවිධාන ලේකම්, ප්‍රදේශීය සභා මන්ත්‍රී, විශ්‍රාමික රාජ්‍ය කළමනාකාර සහායක වූ කරුණාරත්න පීරිස්ය.
‘දේශපාලනඥයකුට තිබිය යුතු හැම සුදුසුකමක්ම නන්දසේන මහත්තයට තිබුණා. මුඛරිකම, පොහොසත්කම, මැර බලය, යුක්තිය පසිඳලීම හා පක්ෂයේ ප්‍රතිපත්තිගරුකකම අතින් උන්නැහේ හරි ඉහළයි.’
77-94 දක්වා ප්‍රබල යූ.ඇන්.පී. රජය සමග ප්‍රාදේශීය නායකයකු වශයෙන් නන්දසේන මුහුණට මුහුණලා හැප්පුණේය. 1980 දී යූඇන්පියේ ප්‍රබල හතුරා වූ සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලදී. ජනතාව ශෝකයෙන් ඇළලී ගියෝය. මැතිනිය ප්‍රමුඛ ජන ගඟ දළදා සමිඳුන් වෙත පාගමන් ඇරඹූහ. එම ජන ගඟ කිරිබත්ගොඩ ප්‍රින්ස් හෝටලය ළඟ නතර වූයේ එතුමියට සෙත්පතා හෝටල් ශාලාවේ පැවති සෙත්පිරිත් ඇසීමටය. ආණ්ඩුවේ තර්ජන එල්ල වෙද්දී නන්දසේන මහතා තම ආදරණීය නායිකාවට කළගුණ ඉටු කළේ එසේය.
කැලණිය දේශපාලන බලමණ්ඩලය පිහිටුවීම අර්බුදකාරී වාතාවරණයක සිදුවිය. අද මෙන්ම ශ්‍රීලනිප මතවාද කිහිපයක පැටලී තිබිණ. චන්ද්‍රිකා හා විජය පිලත් මෛත්‍රී හා අනුර පිලත් මැතිනියට අභියෝග කළහ. නන්දසේනගේ ගජ මිතුරා අනුර බැවින් ඔහු සිටින්නේ අනුර සමගය. මුල් හමුව පැවැත්වුණේ ප්‍රින්ස් නිවසේදීය.
පෑලියගොඩ හා දළුගම යනුවෙන් බෙදා කැලණිය බල මණ්ඩලයේ දළුගම බලකඳවුරට චන්ද්‍රිකා - විජය පිලෙන් සභාපති හා ලේකම් ධුර සඳහා නුංගමුගොඩ පැරගන් මුදලාලි හා බෙනට් රණවක යන ප්‍රබලයෝ ද අනුර මෛත්‍රී පිලෙන් ජිනදාස නන්දසේන හා කරුණාරත්න පීරිස් කල්ලිය ද සටන් වැදුණහ.
ජිනදාස නනද්සේන ප්‍රමුඛ පිල ඉහළින්ම ජය ලැබූ හෙයින් චන්ද්‍රිකා මැතිනියගේ පිලට පරාජය වැලඳ ගැනීමට සිදුවිය. කොහොමටත් චන්ද්‍රිකා හා නන්දසේන මහතා අතර මතිමතාන්තර අහසට පොළව මෙන් දුරස් වූ අතර නන්දසේන මහතා ගෞරව කළේ මැතිනියට හා අනුර බණ්ඩාරනායක මහතාටය. එනිසාම බස්නාහිර පළාත් මහ ඇමැති ධුරය චන්ද්‍රිකාට හිමි වූ කල නන්දසේන මහතාට ඇමැති ධුරයක් හෝ පිරිනැමුවේ නැත.
නන්දසේන මහතාගේ දැඩි විවේචනයට ලක්වූ චරිතයකි ආර්. ප්‍රේමදාස මහතා. ජනපති ප්‍රේමදාස මහතා මහමග ඝාතනය වූ මැයි දිනයේදී ශ්‍රීලනිප පෙළපාළියේ රැගෙන යන ලද ප්‍රදර්ශන පුවරු අතර නන්දසේන මහතා නියෝජන කළ කැලණිය පෙළපාළියේ රථය දර්ශනීය එකක්විය.
එහි වූයේ කිරිකළ හතකින් කන්‍යාවන් සත් දෙනකු විසින් ජනපති ප්‍රේමදාස නහවන අයුරුය. මෙවැනි කරුණු නිසා නන්දසේන මහතා රාජ්‍ය ද්‍රෝහී ලැයිස්තුවට වැටී තිබිණි.
යූ.ඇන්.පී. පාලන සමයේ රටපුරා භීෂණය, දේශපාලන පළිගැනීම්, පැහැරගෙන යාම් වර්ධනය විය. 1985 පැවති මුල්කිරිගල අතුරු ඡන්දය ඉතා බිහිසුණු අත්දැකීමක් විය. ශ්‍රීලනිපයෙන් තරග වැදුණේ චමල් රාජපක්ෂය. ඔහු දිනවීමේ ඡන්ද සටනට මහින්ද රාජපක්ෂ මහතා ජිනදාස නන්දසේනගේ කල්ලියට ආරාධනය කර තිබිණි.
එජාප මැරවරයෝ උදේ හතට ඡන්දය දීම ඇරඹු වෙලේ පටන් තර්ජන, ගර්ජන, බලහත්කාරකම් එල්ල කළ අතර දහවල් වනවිට එය ආයුධ සන්නද්ධ සටනක් විය. යූඇන්පී සංවිධායකයකු වෙඩි වැදී මියගිය අතර තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබූහ. අනුර, මහින්ද, නන්දසේන, කරුණාරත්න පීරිස් ඇතුළු 16 දෙනෙක් දින 48ක් තංගල්ල හා මාතර සිරගත කර සිට ඇප ලැබූහ.
ඊළඟ මාරාන්තික සටන තිබුණේ කුණ්ඩසාලේ අතුරු ඡන්දයේදීය. යුඇන්පියට එක්වූ ආර්. පී. විජේසිරිට එරෙහිව 36 දෙනෙක් ඡන්දය ඉල්ලූ අතර ලංකාවේ දිගම ඡන්ද පත්‍රිකාවද එයවිය.
මෙහිදී ඇතිවූ සන්නද්ධ සටනින් නන්දසේනගේ හමුදාව රිමාන්ඞ් බතේ රස බැලූහ.
විජය කුමාරතුංගයන්ට එරෙහිව ජේ. ආර්. පාලනය තහංචි හා අභියෝග පනවා තිබූ කාලයේ මහර අතුරු ඡන්ද සටන එළැඹිණ.
විජයට කෙසේවත් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ඉඩ නොදෙන බව ජේ.ආර්. ප්‍රසිද්ධියේ කියා තිබිණි. නන්දසේන කල්ලියේ උපක්‍රමශීලී ප්‍රතිප්‍රහාර හමුවේ විජයගේ පණ බේරිණ. එහෙත් විදුලිය විසන්ධි කර ඡන්ද 45ක් කොල්ලකෑ බැවින් විජයට පරාජය බාරගන්නට සිදුවිය.
ජිනදාස නන්දසේන මහතා තම පක්ෂය හා කණ්ඩායම ගන්නා තීරණවලට දැඩි ලෙස ගරු කළේය. කණ්ඩායම් තීරණවලට එරෙහිව කතා කළ දෙවන පෙළේ නායකයකුට ප්‍රාදේශීය සභා රැස්වීම පැවැත්වෙද්දීම ප්‍රහාරයක් එල්ල කළ අයුරු මතකය.
සමෘද්ධි නිලධාරීන්ට මාසික වේතනය ගෙවීම පමාවීම ගැන වරක් ඔහු දැඩි කෝපයට පත්විය. උදේ වරුවේ පඩි ගෙව්වා නම් ඒ මිනිස්සු හවස් වරුවේවත් ගෙදර යනවනේ. හවස 03ට පඩි දෙන එක පාපයක්. නමුත් එයට එකඟ නොවූ කැලණිය සහකාර ලේකම්වරියට බැණවැදී ප්‍රදේශයෙන් පලවා හැරීමට ද ක්‍රියා කළේය. වරක් මැර දේශපාලනය ගැන මාධ්‍යයට ඔහු කළ ප්‍රකාශයක් මට මතකය.
“සතුරා ශක්තිමත් වනතුරු බලාගෙන නොසිටිය යුතුයි. සතුරා සොයා ගොස් බලය සිඳිය යුතුයි. ඒකයි මගේ ප්‍රතිපත්තිය.” ජිනදාස නන්දසේනයන්ගේ අවමගුල් අවස්ථාවේ ශෝක ප්‍රකාශයක මෙසේ
පළකර තිබිණි.
මිනිසගෙ පරම යුතුකම මිනිසට සේවේ
මැතිඳුනි ඔබයි ජනතා සේවෙදි පෑවේ
අවනීතියේ ලොකුකම් නෑ සැලකූවේ
ඔබ වැනි අය කොහිද අද දියවන්නාවේ
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි