ඒ සුදු පාලනයේ අවසන් වකවානුවයි. රටපුරා නැගී ආ අරගල මැඩලීමට පාලකයෝ පොලිසියට හා පන්ජාබ් සොල්දාදුවන්ට බලය දුන්හ. සුද්දන්ගේ හිත දිනාගැනීමේ අරමුණින් මොවුන් පාරේ හමුවන අහිංසක ජනතාවට පහරදී බොරු සාක්කි පටලවා නීතියට කොටු කළ වකවානුවකි.
කෑගල්ලේ මෙම කෲර ක්‍රියා වැඩිවෙමින් පැවතිණ. පොලිස්පති ඩව්බිගින්ගේ අණ යටතේ බලය ඉක්මවා ගිය පන්ජාබ් සොල්දාදුවන් අතින් ජන ප්‍රධානියකු වූ වල්ගම්පාය බස්නායක නිලමේ මැරුම්කෑම ආන්දෝලනාත්මක නඩුවක් විය.
1915 මැයි 28 වැනිදා සිංහල - මුස්ලිම් ගැටුමක් කෑගල්ලේදී ඇවිළිණි. මැදියම් රැය වනවිට මුස්ලිමුන් සතු කඩ සාප්පු කඩා දේපොළ කොල්ලකා, ගිනිබත් කර තිබිණ. පොලිස්පති ඩව්බිගින් කෑගල්ල දිස්ත්‍රික්කය පුරාම සොල්දාදුවන් යැවීය.
පන්ජාබ් හමුදාව පොලිසිය හා එක්ව හමුවූ සියල්ලන්ටම පහරදී උස්සා ලොරියකට දමාගෙන රැගෙන ගියහ. කැරලි මර්දන නීතිය යටතේ එය වරදක් නොවිණ.
කීර්තිමත් පුරාණ ගඩලාදෙණි විහාරයේ දෙවොල භාර බස්නායක නිලමේ පී. බී. වල්ගම්පාය මහතා තම තේ ඉඩම් බැලීමට පසුදා උදේ නිවසින් පිටත්වූයේය.
ඒ වනවිට මුස්ලිම් කැරලිකරුවන්ගෙන් දේවාලය රැකගැනීම සඳහා ආයුධ ගත් මිනිස් හමුදාවක් ඒ අසල රැඳී සිටියහ. වල්ගම්පාය මහතා කලබලයක් වුවහොත් ක්‍රියා කරන අයුරු ගැන ඔවුන්ට උපදෙස් දී පයින්ම ගමන් ගත්තේය.
ඔහුට අඩි කිහිපයක් පිටුපසින් අබිලින් නමැති පරිවාර ගැමියෙක් ද ගමන් කළේය. යාහැකිවූයේ මඳ දුරකි. නුවර පාරේ පැමිණි මෝටර් රිය පෙළක් හදිසියේ එහි නතර කෙරිණි.
ඒවායින් යුද භටයෝ රැසක් එළියට පැන්නාහ.
ඒ මොහොතේ පාරේ ගමන් කරමින් සිටි නිරායුධ ගැමියන් දෙදෙනකු අල්ලාගත් භටයෝ ඔවුන්ට පහරදී පාරේ ඇදගෙන ගොස් ලොරිය තුළට විසිකළහ. ගවයකු පසුපස යමින් සිටි පිනා නමැති මහල්ලකුට ද පහරදෙමින් ඇදගෙන ගියහ.
මේ දුටු නිලමේවරයා දැඩි ලෙස සංවේගයට පත්විය.
“ඇයි මෙයාලට ගහන්නෙ? මොකක්ද වරද?” ඔහු විමසීය. “ඔහේ කව්ද?” යුද නිලධාරියෙක් ඇසීය. හැඩිදැඩි නිලමේවරයා උත්තර දුන්නේය. “මං දේවාලෙ බස්නායක නිලමෙ.”
යුද නිලධාරියා ඇතුළු පිරිස ඔහු දෙස කෝපයෙන් බලාවුන්හ.
“මුං වගේ උන් තමයි අපට ඕනෑ” කී ඔහු භටයන්ට සංඥාවක් දුන්නේය. භටයෝ ඔහු වට කරගත්හ.
ඒ සමගම වල්ගම්පාය මහතා වාහන දෙසට යාර දහයක් පමණ තල්ලුකරගෙන යන ලදී.
“ඇයි මාව තල්ලු කරන්නෙ?” වල්ගම්පාය ඇසීය.
“මහනුවරට ගියාම බලාගන්න පුළුවන්” යැයි පිළිතුරු ලැබිණ. සෙබළුන්ගෙන් මිඳී යාමට වල්ගම්පාය මහතා දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ වූයේ ඔහුට දිගට හරහට බැටන් පොලු අතින් පයින් ලැබුණු සංග්‍රහ නිසාය. දැවැන්තයකු වූ නිලමේ ඉන් නොසැලිණ.
ඒ සමගම පන්ජාබ් සෙබළෙක් බයිනේත්තුවෙන් ඔහුගේ හිසට පහර දුන්නේය. ඒ පහරින් වල්ගම්පාය මහතා ලේ විලක් මැද ඇද වැටුණේය. සිහිසුන් විය.
බියටපත්වූ අබිලින් පාර හරහා පැන වෙල්යාය හරහා අතුරු පාරවල්වලින් දිවගොස් පණ බේරා ගත්තේය.
සිරුරෙන් ලේ ගලමින් අසාධ්‍ය තත්ත්වයක සිටි වල්ගම්පාය පිළිබඳව කිසිදු තැකීමක් නොකළ සොල්දාදුවෝ එවැනිම අහිංසක ගැමියන් රැසක් වාහනවලට පටවාගෙන පෙරළා පේරාදෙණිය මංසන්ධියට පැමිණියහ.
මරණාසන්න තත්ත්වයක සිටි තුවාලකරුගේ හිස පැත්තකට එල්ලෙමින් තිබිණ. අසාධ්‍ය රෝගියා රික්ෂෝවක පටවා රෝහලට යැවූ නමුත් ඒ වනවිට ද බස්නායක නිලමේවරයා මෙලොව හැරගොස් සිටියේය.
බෞද්ධ සාමයික දේපොළ කමිටුවේ ලේකම් වූ ඔහුගේ මාමණ්ඩිය පවා දැනුම්වත් නොකළ පොලිසිය මළ සිරුර පවා භාර නොදුන්හ.
බෞද්ධ සංස්කෘතිය ගැන හැඟීමක් ඇති සුදු ජාතිකයකු වූ ඇමර් ජෙනරල් තැන්පත් ශ්‍රීමත් ඇන්ටන් බර්ට්‍රම් මේ පිළිබඳ තොරතුරු අසා වල්ගම්පාය නිලමේවරයාට වූ අසාධාරණය ගැන බොහෝ කම්පා වී මළ සිරුර ඥාතීන්ට භාරදීමට මැදිහත් විය.
ඒ සමගම ශ්‍රීමත් ඇන්ටන් බර්ට්‍රම් විදුලි පණිවුඩයක් පොලිස්පති ඩව්බිගින් වෙත යවමින් නිලමේවරයාගේ මරණ පරීක්ෂණය සඳහා වහාම පෙනී සිටින ලෙස නියෝග කළේය. එහෙත් ඔහු එම ඉල්ලීම පැහැර හරිනු ලැබිණ.
ඒ නිසා නුවර හදිසි මරණ පරීක්ෂකවරයා සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයක් කර වල්ගම්පායගේ සිරුරේ ප්‍රධාන තුවාල හතරෙන් බරපතළ එක වූ හිසේ තුවාලය මාරාන්තික වූ බව හෙළිකළේය.
පොලිසියට බියෙන් දුන් සාක්ෂි ද පොලිසිය දුන් වගකීමක් නොමැති සාක්ෂි ද නිර්මාණය කළ සාක්ෂි ද දිවුරා කියා සිටියේ තුවාල සිදුවූ අයුරු නොදන්නා බවත් පොර බැඳීමක් සිදුවූ නිසා පහරදීමට සිදුවූ බවත්ය.
අවසානයේදී දිවංගත ඊ. ඩබ්. පෙරේරා මන්ත්‍රීවරයා එංගලන්තයට ගොස් මෙම කෲර සිද්ධීන් පිළිබඳව පැමිණිලි කළේය. විදේශ භාර රාජ්‍ය ලේකම්වරයාගෙන් දිගින් දිගටම කළ ඉල්ලීම නිසා එවකට ලංකාණ්ඩුකාර ශ්‍රීමත් රොබර්ට් චාමස්ගෙන් එංගලන්තය මේ ගැන වාර්තාවක් ඉල්ලීය.
පාලි උගතකු වුවද ඔහු වල්ගම්පාය නම් බෞද්ධ නායකයාගේ පැත්ත නොව තමන්ගේ වර්ගයාගේ ගැලවීම උදෙසා කටයුතු කළේය.
“මට ලැබුණු තොරතුරු අනුව මේ මරණය වී ඇත්තේ සන්නද්ධ කැරලිකරුවන් සමග කළ සටනක ප්‍රතිඵලයක් ලෙසයි. පොලිසියේ අයටත් තුවාල සිදුවී ඇත” යැයි එහි සඳහන් වෙයි. ඩව්බිගින් මහතාට මෙම වාර්තාව මහත් අනුග්‍රහයක් විය.
1917 පෙබරවාරි 13 වැනිදා මහනුවර දිස්ත්‍රික් උසාවියේදී දිවංගත ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක විනිසුරුතුමා ඉදිරියේ නඩු විභාගය ඇරඹිණ.
ප්‍රභූ ඝාතනයක් වීමත් චූදිතයන් පොලිස් හා හමුදා සොල්දාදුවන් වීමත් නිසා දෙපාර්ශ්වයෙන්ම උසස් ගණයේ නීතිඥවරු මේ සඳහා ඉදිරිපත් වූ අතර අතුරු සිදුරු නොමැතිව අධිකරණ ශාලාව පිරී තිබිණ. මෙහිදී හෙළිවූ කරුණක් වූයේ සිංහල - මුස්ලිම් ජනවාර්ගික අරගලයක් ලෙස නම්කර තිබුණත් කිසිදු මුස්ලිම් ජාතිකයකු මරණයට පත්කර නොමැති බවය. මියගොස් සිටියේ වල්ගම්පාය ඇතුළු සිංහල ජනතාව ය. අවශ්‍ය වුවහොත් බලය පාවිච්චි කිරීමේ වගන්තිය යටතේ දේවාලය ආරක්ෂා කිරීමට තමන් පැමිණි බව ජනතාව කියා සිටි අතර කඩ ගිනි තබමින් දේපොළ විනාශ කළ සාහසිකයන් මර්දනය කිරීමට තමන් ඇතුළු කණ්ඩායම ක්‍රියා කළ බවට පොලිස්පති ඩව්බිගින් සාක්ෂි දුන්නේය. නිලමේවරයා ප්‍රකෝපකාරී ලෙස හැසිරුණ බවක් කිසිදු සාක්ෂියකින් තහවුරු නොවූ නමුත් අන්තිම මොහොතේ මාතලේ වැවිලිකරුවකු වූ බාර්ලෝ නමැත්තා පැවසුවේ මියගිය තැනැත්තා පිහියක් රැගෙන පොලිස් භටයන්ට පහර දුන් බවකි.
පසුව තමන් දුන්නේ පොලිසිය සමග කළ සාකච්ඡාවකට පසු ගෙතූ සාක්ෂියක් බව ඔහු පිළිගත්තේ ය. මෙවැනි සාක්ෂි කිහිපයක්ම පොලිසියේ අනුමැතිය පරිදි ඉදිරිපත් කළ අතර නිලමේගේ නිදොස් බව ඔප්පු කරමින් එම සාක්ෂි ප්‍රතික්ෂේප කෙරිණි. එහෙත් ජාතික ආරක්ෂාව සඳහා පොලිසියට හා හමුදාවට එසේ ක්‍රියාකාරී වන්නට සිදුවූ බව තීරණය කළ විනිසුරුවරයා සැකයේ වාසිය අනුව චූදිතයන්ට දඬුවම් නොකළේය. අධිකරණ ඉතිහාසයේ නීති මණ්ඩලයේ බලවත් විවේචනයට ලක්වූ වල්ගම්පාය නිලමේ ඝාතනය වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් නොවූ අතර වින්දිතයන්ට වන්දියක් ද නොලැබිණි.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි