පොලිස්පතිවරයකු ගෙදර යැවූ ගෝවින්දන්ගේ මරණය


 

බි්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවැති ශ්‍රී ලංකාවට පාලන තන්ත්‍රයේ බලය ලබාගැන්ම සඳහා සෑම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයකදීම මෙරට ජාතික නායකයින් විවිධ උත්සාහයන් දරන ලදී. 1924 මැනිං ආණ්ඩුක්‍රමයේදී බලය බි්‍රතාන්‍ය ආණ්ඩුවටත් වගකීම මෙරට නියෝජිතයින්ටත් පැවැරුණු විට ඊට විරුද්ධව බලය ද මෙරට නියෝජිතයිනට ලබාගැන්මට විවිධ උද්ඝෝෂණ ඇතිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස 1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය තුළින් රාජ්‍ය මන්ත්‍රණ සභාව ආරම්භ විය.

 

මේ වනවිට ඉන්දියානු ජාතික සංගමයේ ආභාසය ඇතිව 1919 දී පිහිටුවන ලද ලංකා ජාතික සංගමය එදා ලංකාවේ ප්‍රබලම මහජන සංවිධානය වශයෙන් පිළිගැනුණි. සර් ඩී. බී. ජයතිලක, පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුනාචලම්, ඩී. එස්. සේනානායක, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, එෆ්. ආර්. සේනානායක ආදීන් ජාතික සංගමයේ ප්‍රධාන පෙළේ නියෝජිතයෝ වූහ. 


ඒ අතර 1933 සූරියමල් ව්‍යාපාරය මගින් ඇරඹි වාමාංශික ව්‍යාපාරය 1939 දෙසැම්බර් 18 වන දින ලංකා සම සමාජ පක්‍ෂය නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශපාලන පක්‍ෂය බිහිකර ගත්තේය. නමුත් රටේ ප්‍රභූ පන්තිය දිගින් දිගටම ඉංග්‍රීසි ආණ්ඩුවට අනුගත වෙමින් තම ඉල්ලීම් ඉදිරිපත් කරද්දී යටත් විජිතවාදයට විරුද්ධව තම අවිය ලෙස ලංකා සම සමාජ පක්‍ෂය ඉදිරියට ගැන්මට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මොරවක මන්ත්‍රීවරයා වූ දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ තරුණ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ඇමරිකාවේ සිට මෙරටට පැමිණ සිටි බොරලුගොඩ සිංහයා හෙවත් පිලිප් ගුණවර්ධන, දීප්තිමත් ඉතිහාසඥයකු හා නීතිවේදියකු වූ තරුණ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ආදීන්ට හැකිවිය. 


මෙම පක්‍ෂය වටා එදා රොක් වූ බහුතරය මාක්ස්වාදයට වඩා ජාතික නිදහස්කාමී අදහස්වලින් පිරුණු අය වූහ. මාක්ස්වාදීන් නොවූවද දැඩි අධිරාජ්‍ය විරෝධී හැඟීම් ඇති හොරණ විල්මට් ඒ. පෙරේරා, ගාල්ලේ ඩබ්ලිව්. පී. විජේකුලසූරිය, මහනුවර එච්. ඒ. සී. වික්‍රමරත්න, යාපනය ඇම්. චිත්තම්පලම් වැනි තරුණ දේශප්‍රේමිහු සමසමාජ පක්‍ෂය හා එක්වූහ. ඒ අතර හම්බන්තොට මන්ත්‍රී ඩී. ඇම්. රාජපක්‍ෂ, යාපනය තරුණ සංගමයේ සභාපති හෙන්රි පෙරිම්පනායගම් වැනි දේශප්‍රේමීහුද ප්‍රබල සම සමාජ හිතවතුන් බවට පත්වූහ. මේ අතර දෙවැනි ලෝක යුද්ධයට විරුද්ධව සම සමාජ නායකයින් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය වූයේ පක්‍ෂය තහනම් කර 1940 ජුනි 18 වැනිදා පක්‍ෂ නායකයින් අත්අඩංගුවට ගැනීමය. 1942 අප්‍රේල් මාසයේදී සිරභාරයේ සිටි සම සමාජ නායකයින් 4 දෙනා සිරෙන් පැනගොස් රහසේම රටින් පිටවීම බි්‍රතාන්‍ය ආණ්ඩුවට වැදුණු කනේ පාරක් විය. 


මෙම වකවානුවේ ලංකා සමසමාජ පක්‍ෂයේ ක්‍රියාකාරීත්වය වඩ වඩාත් ජනතාව අතරට ගිය අතර විශේෂයෙන් කම්කරුවන් අතර ජනප්‍රිය දේශපාලන ව්‍යාපාරයක් විය. බි්‍රතාන්‍යයන් සතු තේවතුවල විශේෂයෙන් වතු කම්කරුවන් අතර වාමාංශික අදහස් පැතිරීම ශීඝ්‍ර විය. මෙරට භික්‍ෂූන් අතර සම සමාජ පක්‍ෂය කෙරෙහි වැඩි ප්‍රසාදයක් නොවුනද පක්‍ෂයට හිතවත් වූ “මගේ සඟරාව” නමැති ප්‍රකාශනයේ පූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් විසින් ලියන ලද ලිපි පෙළකින් පසුව තරුණ භික්‍ෂූන් වාමාංශික අදහස් කෙරෙහි නැඹුරුවක් ඇති කළේය. ඒ අතර දඹදිව සමාජවාදී පක්‍ෂය සමග එක්ව ක්‍රියා කළ උඩකැන්දවල සිරි සරණංකර හිමියන් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග සම සමාජ පක්‍ෂය හා සමග සම්බන්ධව වැඩ කරන්නට වීම භික්‍ෂූන්ගේ නැඹුරුව වැඩිවීමට හේතු විය. 1939 දී යටත් විජිතවාදයට විරුද්ධව වතු අධිරාජ්‍යයේ කම්කරුවන් සංවිධානය කිරීමට කම්කරු සමිති පිහිටුවීමට සම සමාජ පක්‍ෂය මේ වනවිට සමත්ව සිටීම නිසා දෙවන ලෝක යුද්ධයට විරුද්ධව කම්කරු උද්ඝෝෂණ ඒ මගින් ඇති කිරීමට සම සමාජ පක්‍ෂයට හැකි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් උඩහේවාහැට ‘මුල්ඔය’ නමැති විශාල වත්තේ වැඩ වර්ජනයක් ඇති කිරීමට සම සමාජ කම්කරු සමිතියට හැකිවිය. මෙම වැඩවර්ජනය හේතුවෙන් ඇතිවූ උද්ඝෝෂණයේ දී පොලිස් වෙඩි තැබීමකින් “ගෝවින්දන්’ නමැති කම්කරුවා ජීවිතක්‍ෂයට පත්විය. එම වෙඩි තැබීම වැළැක්විය හැකිව තිබූ බවත් එය පොලීසියේ බලය අයුතු ලෙස යෙදවීමක් බවත් හෙළිවත්ම ඉංග්‍රීසි පාලන තන්ත්‍රය තුළ බරපතළ ගැටුමක් ඇති විය. ආණ්ඩුකාරයාගේ මතය වූයේ පොලිසිය භාර ස්වදේශ ඇමති මේ පිළිබඳව වගකීම භාර ගත යුතු බවය. පොලිසිය භාර ස්වදේශ ඇමතිවරයා වූයේ සභානායක සර්. ඩී. බී. ජයතිලක මහතාය. නමුත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අමාත්‍ය මණ්ඩලය ඒකමතිකව තීරණය කරන ලද්දේ වගකීම පොලිස්පති ‘බෑන්ක්’ විසින් දැරිය යුතු බවය. ආණ්ඩුකාරයාගේ තීරණයට දැඩිව විරෝධය පෑ ඇමති මණ්ඩලය සාමූහිකව සිය පදවිවලින් ඉල්ලා අස්විය.


සර් ඩී. බී. ජයතිලක (ස්වදේශ ඇමති) 
ඩී. ඇස්. සේනානායක (කෘෂිකර්ම ඇමති) 
ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක (පළාත් පාලන ඇමති) 
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර (අධ්‍යාපන ඇමති) 
ජේ. ඇල්. කොතලාවල (මංමාවත් හා ප්‍රවාහන ඇමති)
ඩබ්ලව්. ඒ. ද සිල්වා (සෞඛ්‍ය ඇමති) 
ජී. සී. ඇස්. කොරයා (වෙළද ඇමති) 


යන ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීමත් සමග රටපුරා ඉමහත් ආන්දෝලනයක් හට ගත්තේය. 


“බෑන්ක් ගෙදර යවනු” යන තේමාව යටතේ ලංකා සම සමාජ පක්‍ෂය විසින් දැවැන්ත මහජන රැලියක් කොළඹ ගෝල්පේස් පිට්ටනියේ පැවැත්වූ අතර පක්‍ෂයේ සභාපති කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැලිය අමතා පක්‍ෂයේ කථිකයින් හැර හම්බන්තොට ඩී. ඇම්. රාජපක්‍ෂ හා නාරම්මල සිරිපාල සමරක්කොඩි ආදීහු ද කථා කළහ. 


යුද්ධය නිසා බි්‍රතාන්‍යයේ කොන්සර්වෙටිව් හා කම්කරු සභාග රජයක් පැවැති අතර එංගලන්තයේ යටත් විජිත කාර්යාලයට ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය අවබෝධ වී තිබුණි. ආණ්ඩුකාරයාගේ මතය වැරදි බව තේරුම් ගිය ඔව්හු මේ හේතුවෙන් යුද්ධය සඳහා සහයෝගය දැක්වීම ශ්‍රී ලංකාවේ නායකයින් ප්‍රතික්ෂේප කළහොත් බරපතළ ගැටලු මතුවන බවට තේරුම් ගත්තේය. ඉන්දියානු ජාතික සංගමය මේවනවිටත් යුද්ධයට සහයෝගය දීම මේ වනවිටත් ප්‍රතික්ෂේප කර තිබුණු තත්ත්වයක් තුළ ලංකාවේද ඒ තත්ත්වය උදාකරලීම බරපතළ ගැටලු ඇති කරන්නක් බව තේරුම් ගත්තේ ඇමතිවරු ඉල්ලා අස්වී බි්‍රතාන්‍යයට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කළහොත් ඇතිවන ගැටලු අවබෝධ වීම නිසාය. ඒ නිසා යටත්විජිත ලේකම්ගේ ක්‍ෂණික තීරණය වූයේ පොලිස්පති “බෑන්ක්” ට වරද පිළිගැනීමට නියම කොට ඔහු පෙරළා එංගලන්තයට කැඳවීමයි.


මේ අනුව පොලිස්පතිවරයා ඉවත්කර ගැන්ම ‘ගෝවින්දන්’ ගේ මරණය නිසා සිදුවිය. ලංකා ජාතික සංගමයේද මේ හේතුවෙන් එංගලන්තයේ ආණ්ඩුවෙන් ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලබනවාට වඩා පූර්ණ නිදහසක් ලබාගැන්ම සඳහා වූ මතයක් ඒ තුළ තරුණ කොටස් අතර ව්‍යාප්ත වන්නටද මේ සිද්ධිය හේතු විය.

බණ්ඩාරගම - සමරසේන මුදලිගේ