බංකුව යටට ගිය ජේ.ආර්.ගේ රස්සා බැංකුව


මීට අඩසියවසරකට පමණ ඉහත කාලයේ විසූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වැඩිපුරම උනන්දුවක් දැක්වූයේ රජයේ හෝ රාජ්‍ය අංශයේ රැකියාවක් ලබා ගැනීමටය. ඇතැම්විට ඔවුන් ඒ සඳහා ප්‍රමුඛත්වයක් දක්වන්නට ඇත්තේ රජයේ රැකියාවන් හි නිතරවන අයට එමගින් විශ්‍රාම වැටුප් හිමිකමක් ලැබෙන බව දැනසිටි නිසා විය හැකිය. එසේත් නැත්තම් රජයේ හෝ රාජ්‍ය අංශයේ රැකියාවල යම් සුරක්ෂිත බවක් ඇතැයි සිතූ නිසා විය හැකිය. එසේම රජයේ හෝ රාජ්‍ය අංශයේ රැකියාවක නිරතවීමෙන් යම් සමාජ ගරුත්වයක් ලැබෙන බවට තත්කාලීන ජනතාව අතර මුල් බැස ගෙන පැවැති මතය ද ඒ සඳහා යම් ප්‍රමාණයකට හෝ මුල්වී තිබෙන්නට ඇතුවාට සැක නැත.


කෙසේ වෙතත් එහි ඊළග ප්‍රතිඵලය වූයේ තරුණ තරුණියන් අතර රජයේ සහ රාජ්‍ය අංශයේ රැකියා සඳහා පැවැති අධික ඉල්ලුමේ තරමට රැකියා උත්පාදනය කිරීමට එවකට පැවැති හැම ආණ්ඩුවක්ම පාහේ අසමත් වීමයි. 1965 දී බලයට පත් වූ එජාප ආණ්ඩුව මෙන්ම 1970 දී 2/3 පාර්ලිමේන්තු බලයක් සහිතව පත්වූ සමගි පෙරමුණු ආණ්ඩුවද එම තත්ත්වයට අඩුවැඩි වශයෙන් මුහුණ පා සිටි බව ප්‍රකට කරුණකි. 


එම ප්‍රශ්නය වඩාත් උග්‍ර අතට හැරුණේ 1970 දී පැවති මහ මැතිවරණ සමයේ සමගි පෙරමුණු සන්ධානයේ ජයග්‍රහණය උදෙසා වෙහෙස මහන්සි වූ තරුණ තරුණියන් හැමදෙනෙකුම පාහේ රජයේ සහ රාජ්‍ය අංශයේ රැකියා බලාපොරොත්තුවෙන් සිටි බැවිනි. එහෙත් එතරම් විශාල පිරිසකට ඔවුන් බලාපොරොත්තු වන අන්දමේ රජයේ රැකියා ලබාදීමට සමගි පෙරමුණු ආණ්ඩුවට නොහැකි විය. 


1971 වසරේදී සිදුවූ තරුණ අරගලයට මුල්වූ එක් හේතුවක් වූයේද තත්කාලීන තරුණ පරපුරේ රැකියා වියුක්තිය බව නොරහසකි. එකල තුන්වැනි ලෝකය පුරා පැතිරුණු සාගතය මෙන්ම ආර්ථික පරිහානියද එම තත්ත්වය වඩාත් උග්‍ර අතට හැරවූ තවත් හේතුවක් විය. 


1970 දී සමගි පෙරමුණු ආණ්ඩුවට පෙර සිටම තරුණ පෙළට රැකියා ලබාදීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය වූයේ තරඟ විභාග පවත්වා එමගින් සමත්වන තරුණ තරුණියන් එම රැකියා පුරප්පාඩු සඳහා බඳවා ගැනීමය. එවකට පැවති මධ්‍ය ලිපිකාර විභාගය, ශිෂ්‍යගුරු විභාගය සහ තැපැල් ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමේ විභාගය ඒ සඳහා උදාහරණයන්ය. 


එහෙත් සමගි පෙරමුණු ආණ්ඩුව එහිදී අලුත් ක්‍රමවේදයක් අනුගමනය කළේය. එහිදී සිදුවූයේ තරග විභාගවලින් සමත්වන තරුණ පිරිසගේ නාම ලේඛන ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සපයා ඔවුන් විසින් අනුමත කරන අය පමණක් අදාළ රැකියා සඳහා බඳවා ගැනීමයි. 


“එහෙම නැතුව කොහොමද?” අපට වැඩ කරපු අයට රස්සා දෙන්නේ? යි අසමින් එම දේශපාලනඥයන් තමන්ගේ ක්‍රමවේදය සාධාරණීකරණය කළද විරුද්ධකාරයාට වැඩකළ හෝ කිසිම දේශපාලන සම්බන්ධකමක් නොමැති අයට එමගින් සිදුවූයේ බලවත් අසාධාරණයකි. මේ අතර තරග විභාග පැවැත්වීමද සහමුලින්ම නතර කළ ආණ්ඩුව අ.පො.ස සා/පෙළ සහ උ/පෙළ විභාගවලින් සමත් වූවන් සඳහා නිශ්චිත ලකුණු ක්‍රමයක් හඳුන්වා දෙමින් තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ලබා ගන්නා ලැයිස්තුවලට අනුව රැකියා ලබාදීමේ නව ක්‍රමවේදයක් ආරම්භ කර තිබුණේය. 


එම ක්‍රමය නිසා එවකට පැවැති ආණ්ඩුවට සම්බ්න්ධ ඇතැම් මැති ඇමැතිවරුන්ට විවිධ දූෂණ සහ අල්ලස් චෝදනා එල්ලවූ බව නොරහසකි. රජයේ මැති ඇමැතිවරුන්ට පමණක් නොව ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන්ට එකල එවැනි දූෂණ සහ අල්ලස් චෝදනාවලින් ගැලවීමට නොහැකි විය. 


අ.පො.ස සා/පෙළ සහ උසස් පෙළ සමතුන් පමණක් නොව උපාධිධාරීන් පවා අති විශාල පිරිසක් එකල රැකියා විරහිත තත්ත්වයෙන් පසුවූ බව ප්‍රකට කරුණකි. ආණ්ඩුව 1975 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණ්‍ය 1977 දක්වා අවුරුද්දකින් කල් දමා තිබුණේද එවකට රට තුළ පැවැති ආහාර හිඟය, රැකියා වියුක්තිය සහ දේශපාලන අස්ථාවරභාවය මුල්කරගෙනය. ආණ්ඩුව එම තත්ත්වයට මුහුණ දීමේ පියවරක් වශයෙන් 1976 වසරේදී නොබැඳි ජාතීන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වූවද එමගින් රජය බලාපොරොත්තු වූ තරමට විදේශ ආධාර නොලැබිණි.


මේ අතර එවකට විපක්‍ෂ නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා රටේ පවතින අයහපත් වාතාවරණය දෙස විමසිල්ලෙන් බලා සිටියේය. එහිදී ඔහුට පෙනීගොස් තිබුණේ එවකට රට තුළ පැවැති ආහාර අහේනිය සහ ඉහවහා ගොස් තිබූ රැකියා වියුක්තියට සාර්ථක පිළියමක් ලබාදිය හැකිනම් ඉදිරි මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීම ඒ තරම් අරුමයක් නොවන බවයි.


“අද රටේ ප්‍රශ්න වැහිවැහැලා මිනිස්සු හාමතේ මැරිලා යනවා. ඒ අයට කන්න නෑ අඳින්න නෑ, තරුණ පෙළට රැකියා නෑ... යි ප්‍රසිද්ධියේ කියා සිටි එ.ජා.ප නායකයා ඉන් අනතුරුව කැට කඩමින් සහතික වූයේ තමන් විසින් පිහිටුවනු ලබන ආණ්ඩුව මගින් නව රැකියා දස ලක්‍ෂයක් ලබා දෙන බවය. එසේ කී ජේ. ආර්. ජයවර්ධන මහතා ඊළඟට කළේ සෑම මැතිවරණ කොට්ඨාසයක් පාසා පත් කර සිටි තම ආසන සංවිධායකවරුන් මගින් අලුතින් එ.ජා.පයේ සාමාජිකත්වය ලබන්නන්ගේ පවුල්වලට ‘ජොබ් කාඞ්’ ලබාදීමය. ඒ සඳහා අවශ්‍ය වූ එකම සුදුසුකම වූයේ රුපියලක මුදලක් ගෙවා එ.ජා.පයේ සාමාජිකත්වය ලබා ගැනීමය.


ජේ. ආර්. ගේ එම ඡන්ද පොරොන්දුව ගැන ඇසූ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට සිනා පහළ වූයේ ඉබේටමය. 


“එයා කොහොමද රස්සාවල් දස ලක්‍ෂයක් දෙන්නේ?” යි ඇසූ ඔවුන්ගේ පිළිගැනීම වූයේ ඔහුගේ රැකියා දස ලක්‍ෂයේ පොරොන්දුව මුළුමනින්ම ප්‍රෝඩාවක් බවය.


ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් එසේ කීවද එ.ජා.ප නායකයා ඒ වන විටත් තම පොරොන්දුව ඉටු කිරීමට අවශ්‍ය මූලික පිඹුරුපත් සකස් කරමින් සිටියේය. ඒ සඳහා ඔහුට සහය වූ එක් අයකු වූයේ ඒ වන විටත් විදේශ විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි ආචාර්ය වික්‍රම වීරසූරියය. (1977 මහ මැතිවරණයට ආසන්න කාලයක එ.ජා.පයෙන් ප්‍රකාශයට පත් කළ ‘සුප්‍රසිද්ධ පවුල් ගස ආචාර්ය වීරසූරියගේ සංකල්පයකි.)


අන්තිමේදී ජේ. ආර්. ජයවර්ධන මහතාගේ සියලු උත්සාහයන් මල්ඵල ගන්වමින් එවර මහ මැතිවරණයෙන් 5/6 ක පාර්ලිමේන්තු බලයක් එ.ජා.ප යට ලැබී තිබුණේය. එය එ.ජා.ප නායකයා පවා නොසිතූ විරූ ජයග්‍රහණයක් විය.


නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ජේ. ආර්. ජයවර්ධන මහතා හමුවේ පැවැති ප්‍රබලම අභියෝගය වූයේ එම මැතිවරණයටත් පෙර සිටම තමන් විසින් මෙරට ජනතාව හමුවේ දෙන ලද පොරොන්දු ඉටු කිරීමය.


“හැහ් දැන් බලන්න බැරියැ ජේ. ආර්. පොරොන්දු ඉෂ්ට කරන හැටි, ඊටත් වඩා එයා කොහොමද රස්සා දස ලක්‍ෂයක් දෙන්නේ?” යි අසමින් පරාජිත ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිවරුන් තමන්ට ඔලොක්කුවට සිනාසෙන බවද ජේ. ආර්. ට අසන්නට ලැබුණේය. 


ඒ ගැන විස්සෝප වෙමින් සිටි ජයවර්ධන මහතාගේ පිහිටට ආවේ නව ආණ්ඩුවේ මුදල් ඇමැති රොනීද මැල් සහ වෙළෙඳ ඇමැති ලලිත් ඇතුළත් මුදලිය.


මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වා දී ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමේ කාර්යය ලලිත් ඇතුළත් මුදලි මහතා භාරගත් අතර ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් සොයා දීමේ වගකීම රොනී ද මැල් මහතා විසින් භාරගනු ලැබුවේය.
නව ආණ්ඩුව පත් වූයේ 1977 ජුලි මස 22 වැනිදාය. එදින තම ඇමැති මණ්ඩලයද සමග මෙරට දසවැනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රථම වරට ජාතිය අමතමින් ප්‍රකාශ කළේ තමන් මැතිවරණයට පෙර ජනතාව හමුවේ දුන් සියලු පොරොන්දු අකුරටම ඉටු කරමින් තම ධර්මිෂ්ඨ පාලනය රට තුළ ප්‍රතිෂ්ථාපනය කරන බවය.


මේ අතර මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මෙරට තරුණ පෙළට රැකියා දස ලක්‍ෂයක් ලබාදීමේ වැඩ පිළිවෙළට පූර්වගාමීව එම රැකියා ලැබෙන තුරු රටපුරා වෙසෙන රැකියා විරහිත තරුණ පිරිසට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මසකට රුපියල් 50ක දීමනාවක් ගෙවීමට පියවර ගෙන ඇතැයි ප්‍රකාශ කළේය. ඩෝල් යනුවෙන් හැඳින්වෙන යැපීම් දීමනාවක් ඒ වන විට ඇමෙරිකාව වැනි රටවල වෙසෙන රැකියා විරහිත තරුණ තරුණියන්ට ගෙවමින් තිබුණේය.

 


මතු සම්බන්ධයි.

 

නිහාල් ජගත්චන්ද්‍ර