56 මහජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණය ජනතා ජයක් බවට පත්කිරීම සඳහා පිලිප් ගුණවර්ධන කුඹුරු පනත ගෙනාවේය. අඳ ගොවි ප්‍රශ්නයට පවා විසඳුම් ඉදිරිපත් කර ඇති එම පනත ප්‍රගතිශීලි යැයි බහුතරයගේ මතයයි. එහෙත් පනතට එරෙහිව කැබිනට් මණ්ඩලයේ ඇතැම් ඇමැතිවරු පවා පෙළපාළි ගියහ.
ගොවි - ගෙවිලියන් ලෙස වෙස්ගැන්වූ හෝ සැරසුණු කොළඹ කුරුඳුවත්තේ නෝනා හාමුලා හා ළමාතැනීලා ගොවි ඇඳුමෙන් සැරසී එම පෙළපාළියේ ගමන් කළ බව සඳහන්ය. රෙදි හැට්ට හැඳ විලාසිතා පාවහන් දමා ලැසි ගමනින් පෙළපාලි ගිය ළමාතැනිලට පිලිප්ගේ හාබර් සහෝදරවරු හූ හඬ තළමින් පිළිගත් බවද පැවසේ. මේ ගෙවිලියන් හූ හඬට එරෙහිව ඉංග්‍රීසි බසින් බැණ වැදුණ බවද කියැවේ.
වත්මනයේද ගොවි පෙළපාළි ඇත. එම පෙළපාළිවල ගොවීන්ට සහන ලබාදීම හා ජනතා මතය පෙළගැස්වීමට අමතරව දේශපාලනයක්ද තිබේ. නායකත්වය දෙන කණ්ඩායමේ දේශපාලන ශක්තිය ප්‍රවර්ධනය කිරීම හා අභිමානය ප්‍රදර්ශනය කිරීම එම දේශපාලනයයි. නමුත් පාලකයෝ නෑසූ කන්ව සිටිති.
40 දශකය ආරම්භයේ ගොවි පෙළපාළි තුනකි. ඒ ලංකා සම සමාජ පක්ෂයේ හා ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මෙහෙයවීමෙන් පැවති ගොවි සංවිධාන හරහාය. බඩගිනි පෙළපාළිය, බඩගිනි නිවන පෙළපාළිය හා බඩගිනි පෙරහැර වශයෙන් එම පෙළපාළි හා උද්ඝෝෂණ පැවැත්විණි. සෝමවීර චන්ද්‍රසිරි බඩගිනි පෙරහැර සංවිධානය කර තිබේ. ගොවි ජනතාව බහුල වශයෙන් මෙම පෙළපාලි තුනටම සහභාගි වී තිබේ. ප්‍රමුඛ සටන් පාඨය බඩගින්නය.
විදේශයන්හි උසස් අධ්‍යාපනය හැදෑරු තරුණයින් පෙළක් දිවයිනට පිය තැබුවේ නවමු දේශපාලන සංකල්පයන්ද පෙරදැරිවය. ඒ 30 දශකයයි. ඇන්. ඇම්., පිලිප්, කොල්වින්, ලෙස්ලි, දොස්තර වික්‍රමසිංහ, එඞ්මන්ඞ් සමරක්කොඩි ඒ අතර වූහ. උඩකැන්දවල සිරි සරණංකර හිමියෝ ඔවුන්ගේ ප්‍රධානතම මඟ පෙන්වන්නා වූහ. ඔවුහු ලෙනින්ගේ නායකත්වයෙන් ජයග්‍රහණය ලද සෝවියට් විප්ලවයෙන් ආශ්වාදය ලද්දෝය. එම විප්ලවීය ගමන් මඟ තම උපන් බිමට ආදේශ කිරීම ඔවුන්ගේ අභිප්‍රාය විය.
ආරම්භයේදී තම කණ්ඩායම අතර දේශපාලන සංවාද, සාකච්ඡා, පවත්වමින්, නිතර හමුවෙමින් සබඳතා තහවුරු කරගත්හ. දෙවෙනුව සිය කාර්යයන් පුළුල් කිරීමට තරුණ පවුලක් පිහිටුවා ගනිමින් දේශපලන අත්පොත් තබා අවසානයේදී ලංකා සම සමාජ පක්ෂය නමින් ජනතාව ඉදිරියට අවතීර්ණ විය.
ඩොනමෝර් ආණ්ඩුක්‍රමයක් පැවති එකල පාලක සුදු ඒජන්තයින් හා පාලක කළු සුද්දන් සම සමාජ පක්ෂයේ බිහිවීම දුටුවේ අළුත් සතුරෙකු බිහිවීමක් ලෙසිනි. සම සමාජ තරුණයෝ ආරම්භයේදී තම න්‍යායන් ජනතාවගේ ප්‍රශ්න සමග ගැටගැසූහ. ඔවුන්ගේ කථිකත්වය, තාර්කණය, බුද්ධිමත් බව, කැපවීම, ආමන්ත්‍රණයේ සුහදශීලි බව තුළින් ජනතාව වසඟයට පත්කර ගත්හ. පිලිප්, රොබට්, දොස්තර වික්‍රමසිංහ, සමරක්කොඩි වැන්නවුන්ගේ කීර්තිමත් පරම්පරා අභිමානයද ජනතාව දිනා ගැනීමට මහෝපකාරී විය.
පරම්පරා අභිමානය ජනතාව පිළිගත්තද, ඒ තුළින් පෝෂණය වූ දරුවෝ එය ආභරණයක් ලෙස නොසැලකූහ. ප්‍රතික්ෂේප කළහ.
ක්‍රමයෙන් කම්කරු පංතිය තහවුරු වෙමින් පැමිණි සමසමාජ සහෝදරත්වය ගොවි ජනතාව දිනාගැනීම පිළිබඳව සාකච්ඡා කළහ. වැටුප් ශ්‍රමිකයින් මෙන් නොව රැක ගැනීමට කුඩා හෝ දේපොළක් ඇති, අස්වැන්න එකම ආදායම කරගත් ගොවි ජනතාව පින්, පව් හා කර්මයට සියල්ල භාරදුන් පිරිසක් බව බොහෝ දෙනෙකුගේ අදහස විය. සටනකින් ඔවුන්ට ජයග්‍රහණයක් ලබාදීම තුළින් ඉදිරි දේශපාලන ගමන් මග පිළිබඳව හොඳ පෙරවදනක් ලබාදීමට අපහසුවක් නොවන බවට වමේ නායකයෝ අදහස් කළහ. එම අදහස ක්‍රියාත්මක කිරීම පැවරුණේ පිලිප් ගුණවර්ධනටය.
න්‍යායාත්මක ගැටලු නිරාකරණය කර ගැනීමට නොහැකිවීමෙන් 1940 මාර්තු වලදී ලංකා සම සමාජ පක්ෂය දෙකඩ විය. ප්‍රධාන පක්ෂයෙන් ඉවත් වූ කණ්ඩායම සිරි සරණංකර හිමියන්ගේ හා දොස්තර වික්‍රමසිංහගෝ ප්‍රධානත්වයෙන් එක්සත් සමාජවාදී පක්ෂය පිහිටුවා පසුව එම පක්ෂය ලංකා කොමියුනිස්ට් පක්ෂය බවට පත්විය.
මෙම බෙදීම අනුව එම පක්ෂ දෙකම ගොවි ජනතාව සංවිධානය කරමින් ගොවි සමිති දෙකක් ආරම්භ කර එම සමිති ගොවි සම්මේලනයන් දක්වා පුළුල් කරගත්හ.
‘බඩගිනි පෙළපාළිය’
පිලිප් ගුණවර්ධන ගොවි ජනතාව අතර වැඩට බැස්සේය. 1941 අවසන් කාර්තුවේදී ඔහු හේවාගම් කෝරලයේ පළමු ගොවි සමිතිය ආරම්භ කළේය. දෙවැනි ලෝක මහා සංග්‍රාමයත් සමගම සහල් සුදු ආණ්ඩුවට පවරා ගත්තේ බලහත්කාරයෙන් මෙනි. සහල් සඳහා ගොවීන්ට ලැබුණේ සොච්චම් මුදලකි. තම අස්වැන්න සුද්දන්ට ලබාදී ගොවීන්ට සිදුවූයේ බජරි, කුරක්කන්, කව්පි වැනි ධාන්‍ය වලින් යැපීමටය.
වී බුසලක් සඳහා රුපියල් අටක් වැනි මුදලක් රජයෙන් ගෙවීය. ගොවිතැන සඳහා කිසිදු සහනාධාරයක් නොලැබිණ. සුදු ආණ්ඩුවේ අදහස වූයේ අස්වැන්න කොල්ලකෑම මිස, අස්වැන්න ලබාගන්නා මාර්ගය ප්‍රවර්ධනය කිරීම නොවේ. එම වෑයමට මාවත සකස් කළ කෝරාල, වෙල් විදානේ පංතියක්ද විය.
සුදු - කළු සුද්දන්ගේ ආණ්ඩුවේ මේ දුර්දාන්න ක්‍රියා පිළිවෙත හමුවේ ගොවි ජනතාව ගොවිතැනින් ඈත්වෙමින් සිටියහ. වගා බිම් පාළු විය. කුඹුරු පුරන් විය.
“ගොවි සහෝදරවරුනි, වගා නොකර ඉන්න එපා. පුළුවන් හැටියට වගාකරපල්ලා. එක වී ඇටයක්වත් ආණ්ඩුවට දෙන්න එපා. ආණ්ඩුවට විකුණන්න එපා. වී කොල්ල කන්න කමතට එන, අටුවට රිංගන්න හදන බත් බැලයෝ ගස් බඳින්න පෙරමුණ ගනිල්ලා.”
ගොවි සමිති එක්කර ගොවි සම්මේලනය බිහිකළ වේදිකාවේදී පිලිප්ගේ කටහඬ දෝංකාර නැන්විණ. ඔහුට ලැබුණේ ඉහළම ප්‍රතිචාරයකි.
“වී බුසලකට අඩු වශයෙන් රුපියල් 12 ක මිලක් ඕනේ.”
සුදු ආණ්ඩුව අසරණ විය. ආණ්ඩුවට වී විකිනීම නතර විය. අස්වැන්න නෙළද්දි එහි ආරක්ෂාවට සම සමාජ තරුණ කාඩර්වරු යෙදවිණ. අවසානයේදී තීරණය කළේ ගොවි පෙළපාළියකින් ගොස් ගෝල්පේස් මන්ත්‍රණ සභාව වැටලීමටය. පිලිප් ඇතුළු සම සමාජ නායකත්වය කොළඹට ඇදෙන ගොවි පෙළපාලිය මෙහෙයවමින් පෙරමුණ බැලූහ. ගොවියෝ උදළු, නගුල් කර තබාගත්හ. බඩගින්න ජයගැනීමේ පෙළපාළියට ගෙවිලියෝ පමණක් නොව ගොවි උපකරණ මෙන් පොලු - මුගුරු අතින් ගත් තරුණයෝද එක්වූහ. ඒ කොයිකාගෙත් හොඳටය.
‘වී බුසලට - දොළහක් දියව්
අටට ගන්න - එන්න එපා
මංකොල්ලෙට - එන්න එපා
දෙකෙන් එකක් - බැලිය හැකියි
උදළු නගුළු - අපෙ අවියයි
අපේ අවිය - අතට හුරුයි”
සටන්පාඨ නොනවත්වා ම කියැවුණි. ගොවි පෙළපාළිය නැරඹීමට මඟ දෙපස රැස්වූවන්ද, මේ නවමු අත්දැකීම විඳ ගැනීමට අතරමගදි ගොවීන්ගේ බඩගිනි පෙළපාළියට එක්වූහ. පෙළපාළියට ගොවි සම්මේලනයට අනුබද්ධව සිටි ගොවි සමිති 63ක් සහභාගි වූ බව පැවසෙයි.
ගොවි පෙළපාළියට බඩගිනි පෙළපාළිය ලෙස අභිෂේක කළේද ජනතාව විසිනි. පෙළපාළිය බාධාවක් නොමැතිව කොළඹ නගරයට සමීපවූවත් ආණ්ඩුව විසින් විසුරුවා හැරිණ. ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළගැස්වීමේ චෝදනාව යටතේ සෑහෙන පිරිසක් අත්අඩංගුවට ගත්හ. සම සමාජ නීතිඥයින්ගේ මැදිහත්වීමෙන් වැඩි දෙනෙක් අත්අඩංගුවෙන් නිදහස් වූහ. එහෙත් කේ. එච්. පෙරේරා ඇතුළු කිහිප දෙනෙකුට කෙටි කාලීන සිරදඬුවම් හිමිවූහ.
බඩගිනි පෙළපාළියේ බලපෑම සුදු ආණ්ඩුවට නොදැනුණා නොවේ. රුපියල් අටට ගත් සහල් බුසලට රුපියල් දොළොසක්ද, කමතේදී සහල් බලයෙන් මෙන් ගැනීම වෙනුවට සමුපකාර සමිති හරහා මිලට ගැනීමේ ක්‍රමවේදයක් සකස්වීමද බඩගිනි පෙළපාළියේ ප්‍රතිඵලයන්ය.
“බඩගිනි නිවන පෙරහැර”
ලංකා කොමියුනිස්ට් පක්ෂයද ගොවි ජනතාව සංවිධානය කිරීමේ දේශපාලනික වටිනාකම තේරුම්ගෙන තිබිණි. පිලිප්ගේ ගොවි සටනින් ලද ජයග්‍රහණයන් සීමිත වූවන් එම ප්‍රතිඵලය සම සමාජයේ වර්ධනයට හේතු වූ අයුරු කොමියුනිස්ට් පක්ෂය දුටුවේය. ගම් මට්ටමින් සිටි ගොවි පාක්ෂිකයින් මූලික කර ගනිමින් ගොඩ නැඟු ගොවි සමිති ඒකාබද්ධකර සමස්ත ලංකා ගොවි සම්මේලනය 1943 අගෝස්තු මාසයේදී පිහිටුවා ගන්නා ලදී. ඒ රයිගම් කෝරලයේදීය.
ගොවිතැන ප්‍රධාන ආදායම කරගත් ගොවීන්ට වගා කිරීමට ඉඩම් නොතිබිණි. වගාකළ හැකි ඉඩම් බහුතරය අයත්වූයේ පාරම්පරික රදළ ප්‍රභූන්, නව ධනපති හා රබර්, කොකෝවා, කෝපි වැනි වාණිජ බෝග වගාකළ විදේශීය සුද්දන්ටය. හේන් ගොවිතැන සඳහා කැලෑ ඉඩම් යොදාගැනීමද තහනම්ය. හේන් වගාව සඳහා කැලෑබිම් සකස් කළ ගොවීන්ට අධිකරණයෙන් දඬුවම් පැමිණවිණ.
කොමියුනිස්ට් පක්ෂය විසින් ගොවි සමිතිය මෙහෙයවීම පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වූ ධර්මප්‍රිය ජයකොඩිට භාරකළේය. පක්ෂයේ ප්‍රකාශන අංශයේද, වෘත්තිය සමිති ව්‍යාපාරයේද සේවය කළ ධර්මප්‍රිය ජයකොඩි සිහින් සිරුරැති කුඩා මිනිසෙකි. එහෙත් ඒ කුඩා සිරුර තුළ වූයේ දැවැන්තයෙකි. අනාගාරික ධර්මපාලතුමාගේ සෙවණේ කලක් සිටි ඔහු ධර්මපාල චින්තනයේ ජාතික, ආගමික, සමාජමය මෙහෙවරට දායකවූවෙකි. දෙවැනි ලෝක මහා සංග්‍රාම සමයේ ගොවීන්ට හෝ නායකත්වය ලබාදීමට කටයුතු කිරීම පවා ප්‍රතිවිපාක ලබාදෙන්නක් විය. එම නිසා ඔහු රහසිගත විය යුතු තැන්වල රහසිගත විණි.
රයිගම් කෝරලයෙන් මුල් බීජ වැපිරූ ගොවි සම්මේලනයේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස හොරණ නගරය තෝරාගන්නා ලදී.
යුද්ධය නිසා ජනතාවට ආහාර හිඟවී තිබුණි. වගාකිරීමට ඉඩම් නැත. හේන් කෙටීමට කැලෑ නැත. එහෙත් සෑම බිම් අඟලක්ම වගාකරන ලෙස රජය දැන්වීම් අලවා තිබේ. ධර්මප්‍රිය ජයකොඩි නායකත්වය දුන් ගොවි සම්මේලනය එම දැන්වීමට ප්‍රති උත්තර බැන්දේය.
“වගා කරන්නේ ගුවනේද?”
“වගාවට ඉඩම් දියව්, ධනපතියන්ගේ මුඩු ඉඩම් ලබා දියව්”
“වගා කළ හැක්කේ ගුවනේ නොව පොළවේය”
මෙවන් පණිවිඩ රැගත් පෝස්ටර් ව්‍යාපාරයක් දියත් වුණි. එමගින් ලද ප්‍රතිඵලය රජයේ පෝස්ටරයට තිත වැටීම පමණකි.
හොරණ රාජ්‍ය සභා මන්ත්‍රී ඒ.පී. ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතාව දැනුවත්කිරීම සඳහා රැස්වීම් මාලාවක් පැවැත්වුණි. අරකාවිල රැස්වීම ඉතා උණුසුම් විය. වගාව රකිනවද, කැලෑව රකිනවාද යන්න පිළිබඳව රජයෙන් පිළිතුරු ලබාගත යුතුයැයි එහිදී ප්‍රකාශවිණ. එම පණිවිඩය රජයට භාරදීම ඒ. පී. ජයසූරිය මහතාට භාරවිය.
අනවසරයෙන් මුඩු ඉඩම් හා කැලෑ ඉඩම් අත්පත් කර ගැනීමට සමහරු යෝජනා කළහ. ඉඩම් හිමියෝ බියපත් වූහ. තම මුඩු බිම් ආරක්ෂා කර ගැනීමට ඔවුහුද සංවිධානය වූහ. ඉඩමට පැන්නොත් වෙඩි තබන බවට ප්‍රචාරයක්ද ගෙන ගියෝය.
මෙවැනි තත්ත්වයන් යටතේ ඉදිරියෙන් සිටි සමහරු නිහඬ වූහ. පසුබා ගියහ. ගොවි සම්මේලනය මෙහෙය වන්නා වූ ධර්මප්‍රිය ජයකොඩිට මරණීය තර්ජන පවා එල්ල විය. එයින් නොසැලුණු ඔහු හේන් ගොවිතැන සඳහා මූකලාන් කපා කැලෑව ගිනි තබා හේන් සකස් කිරීමට ගොවි සම්මේලනය තීරණ කර ඇති බවට ප්‍රචාරයක් ගෙන ගියේය. ලොකු අකුරෙන් ලියන ලද දැන්වීම් ගස් ගල් වල ඇලවිණ.
“ආහාර දියව්, ළමයින් මන්ද පෝෂණයෙන්, වගාවට ධනපතියන් සතු මුඩු ඉඩම් දියව්, වගා සටනට එක් වෙයව්’‘ ධර්මප්‍රියගේ කටහඬ රයිගම් කෝරලය සිසාරා දෝංකාර නංවන්නට විය. හොරණ මන්ත්‍රී ඒ. පී. ජයසූරිය රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගොවි ප්‍රශ්නය ගෙන ගියේය. අනවසරයෙන් කැලෑ කැපීම හා නීත්‍යානුකූල හිමිකරුවන් ඇති මුඩු ඉඩම්වලට පවා ඇතුළුවීම වෙඩි තැබීමට හේතුවක් බව බලධාරීහු ප්‍රචාරය කළහ. පොලීසිය පවා ගත්තේ ඉඩම් හිමි ධනපති පංතියේ පැත්තය.
ගොවි සම්මේලනයේ සභාපති ඇල්. ආරියවංශය. උණුසුම්ව පවතින ගොවි සටන වේගවත් කිරීමට උපක්‍රමශීලි විය යුතුයැයි ඇල්. ආරියවංශ හා ධර්මප්‍රිය තීරණ කළහ. ඒ අනුව ගොවීන්, ප්‍රදේශවාසීන් හා පාක්ෂිකයින්ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් සූදානම් කෙරිණ. ආරක්ෂක අංශය නොමඟ යවමින් තම සටන ජයග්‍රහණය දක්වා ගෙනයාම එහි අරමුණයි.
එක් කණ්ඩායමක් ගොවිතැනට හා හේන් වගාවට බිම් සකස්කිරීමට යන බව හගවමින් බඩගිනි පෙරහැරක් සේ මාර්ගයේ ගමන් කළ යුතුය. පොලීසියට හා බලධාරින්ට මුහුණ දෙන්නේ බඩගිනි පෙරහැරයි. එදිනම එම අවස්ථාවේදීම හොර මාර්ග වලින් රජයේ මුඩුබිම් වලට ඇතුළුවී කැලෑව කපා ගොවිබිම් සකස් කළ යුතුය. එම කණ්ඩායම බඩගිනි පෙරහැරෙන් ආවරණය කිරීම එම ක්‍රියාමාර්ගයේ අරමුණ විය.
ආරම්භයක් ලෙස අරකාවිල, දොඹගස්කන්ද, මඩකඩ කන්ද රජයේ මුඩු බිම් එළි පෙහෙළි කිරීමට බඩගිනි නිවන පෙරළිකරුවෝ කැළයට ඇතුළුවූහ. එම අවස්ථාවේදීම කතිකා කරගත් පරිදි ධර්මප්‍රිය ජයකොඩි, ඇල්. ආරියවංශගේ නායකත්වයෙන් බඩගිනි පෙරහැර මාර්ගයට අවතීර්ණ වූහ. ප්‍රදේශයේ පන්සල් වල සංඝයා වහන්සේලා ඉදිරියෙන්ම වැඩම කළහ. එය පෙරහැරක් ලෙස හැඳින්වූ පෙළපාළියක් විය.
“අපේ ළමයි හාමතේ - කන්න අපිට මොකුත් නැතේ
හේන් කරන්න ඉඩක් නැතේ - කුඹුරු වගා බිම්ද නැතේ
ඉඩම් දියව් ඉඩම් දියව් - කැති පොලු ගන්නට ඉස්සර
වගා වැඩට ඉඩම් දියව් - ඉඩම් දියව් ඉඩම් දියව්”
(උපුටා ගැනීමකි)
මතු සම්බන්ධයි.
ගණේමුල්ල බුද්ධි බොල්ලත
සඳමුතු ශර්මි ශ්‍රී බුද්ධික
ඡායාරූප : අන්තර්ජාලයෙනි