බණ්ඩා කම් ටු ටවුන් යූ.එන්.පී. ඩවුන්


එදා, මැතිවරණ කාලයක් එළඹෙනතුරු ජනතාව බලා සිටියේ ඉමහත් වූ සතුටිනි. එය එතරම්ම විනෝද ජනක කාල පරිච්ජේදයක් විය. මෙවැනි අවස්ථාවන්වල දී ලංකාව පුරා විසිරී පැතිරී සිටින දේශපාලනඥයන් අතරෙන් ගාල්ලේ විජයානන්ද දහනායක මහතාට හිමිවන්නේ සුවිශේෂි වූ ස්ථානයකි. මැතිවරණ කාල පරිච්ජේදය ආරම්භවනවාත් සමඟම ඔහුගේ රැස්වීම් පැවැත්වෙන ස්ථානයන්ට ජනතාව එක් රොක් වන්නේ ඔහුගේ කතා ඇසීමට ඇති ආශාව නිසාමය. ඒ තරමටම ඔහුගේ කතා හාස්‍යයෙන් පිරී පැවතිණි.
 
දේශපාලනයට අවතීර්ණ වූ සමයේ සිටම ඔහු ගත කළේ අල්පේච්ඡ ජීවිතයකි. වැඩි වශයෙන් ඔහු ගමන් බිමන් ගියේ පා ගමනෙනි. ඔහු පදිංචිව සිටි නිවසට (ඔහු පදිංචිව සිටියේ ඔහුගේ නිවුන් සොහොයුරා වූ කල්‍යාණප්‍රිය දහනායක මහතාගේ නිවසෙහි ඉස්තෝප්පු කාමරේය.) මඳක් ඈතින් ඇති ජූල්ගහ හන්දියට පා ගමනින් යන ඔහු, එතැන් සිට ගාලු නගරයට ගියේ බසයෙනි. බසයට නැගගත් ඔහුට මඟියෙකු නැගිට ආසනයක් පිරිනැමුවත් එය බාර නොගෙන එම මඟියාටම හිඳගැනීමට සලසා දී හිටගෙන ගියේය. ගාල්ලේ සිට ඔහු පාර්ලිමේන්තුවට ආවේ ගියේද දුම්රියෙනි. ඔහුට දුම්රියේ ගමන් කිරීම සඳහා පළමුවැනි පංතියේ අවසර පත්‍රයක් ලබාදී තිබුණ ද ඔහු හැමවිටම ගමන් කළේ තුන්වැනි පංතියේය. තුන්වැනි පංතියේ ගමන් කරන්නේ මන්දැයි. ටිකට් පරීක්ෂකවරයෙකු ඇසූ ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේ ‘හතර වැනි පංතියක් නැති නිසාය’ ය යනුවෙනි. එසේ ඔහු තුන්වැනි පංතියේ ගමන් කළේ දුම්රිය මඟීන් හා එක්ව කතා බහ කිරීමේ දී රට තුළ සිදුවන බොහෝ කරුණු කාරණා අසා දැන ගැනීමට හැකි බැවිණි.
 
මේ අතරතුර කාලයේදී, එකට එක් වූ තරුණ පිරිසක්, ගෙන් ගෙට ගොස් මුදල් එකතු කර එම මුදලින් මිලදී ගන්නා මෝටර් රථය දහනායක මහතාට පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙළකට ද සූදානම් වෙමින් සිටියහ.
 
මෙම කාලය වන විට පැවති එක්සත් ජාතික පක්ෂ රජයත්, එහි අග්‍රාමාත්‍යධූරය දැරූ සර් ජෝන් කොතලාවල මහතාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුකොට ගෙන ඔහුවත්, ජනතා අප්‍රසාදයට පත්වෙමින් තිබූ කාලයක් වූ අතර, එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු වෙමින් තිබූ කාලයක් බවට පත්වෙමින් තිබුණි. භාෂා පෙරමුණ ඇතුළුව තවත් පෙරමුණු කිහිපයක් එක්ව, සංධානයක් බවට පත් වූ මහජන එක්සත් පෙරමුණට නායකත්වය ලබාදුන්, බණ්ඩාරනායක මහතාට එක්සත් භික්ෂු පෙරමුණෙහි සහාය මෙන්ම, සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයෙහි සහාය ද නොඅඩුව ලැබුණි.
 
මෙවන් පසුබිමක් තුළ සර් ජෝන් කොතලාවල මහතා කොතරම් දඩබ්බර වීදයත්, විටෙක ඔහු, හාමුදුරුවරු වෙසින් පෙනී සිටින දුශ්ශීල චීවරධාරීන්ගේ තට්ටෙහි තාර ගෑ යුතු යැයි ද ප්‍රකාශයක් කළේය.
 
මෙවන් හේතුන් නිසා පැවති එක්සත් ජාතික පක්ෂ රජය කොතරම් මහජන අප්‍රසාදයට පත්වූවා ද යත්, රජයට විරුද්ධව නිර්මාණය කළ වස්කවි පෝස්ටර් පවා, තැන තැන අලවා ප්‍රදර්ශනය කරවීමට තරම් ජනතාව ප්‍රකෝපකාරි විය.
 
මුණු සයකි අත් දොළොසකි මයුරා පිට වාහනේ
රූණු රටේ පිහිටි කන්ද කදිර දේව රාජනේ
එෑනු - සීනි - හාල් ටිකේ මිල වැඩි කළ කාරණේ
වානු බැරිය සුන් කළ මැන, යූ.ඇන්.පී පාලනේ
 
යනුවෙන් මුද්‍රණය කළ එම කවිය සඳහන් පෝස්ටරය ලංකාවේ අස්සක් මුල්ලක් නෑර අලවා තිබෙනු දැක ගන්නට හැකිවිය.
 
එක්දහස් නවසිය පනස් හයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ආසන අටට බස්වමින්, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා නායකත්වය ලබාදුන්, මහජන එක්සත් පෙරමුණ, රජයක් පිහිටුවීමට ප්‍රමාණවත් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත්තේය. අත්තනගල්ල ආසනය තරග කළ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඡන්ද (45,016) ක් ලබාගත් අතර, ගාල්ල ආසනය තරග කළ විජයානන්ද දහනායක මහතා ඡන්ද (21,971) ක් ලබාගත්තේය. නව රජය පිහිටුවීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතාගේ ප්‍රථම කාර්යය වූයේ එතෙක් බි්‍රතාන්‍ය සතුව තිබූ කටුනායක ගුවන් තොටුපොළ හා ත්‍රිකුණාමලය වරාය ඇතුළු තෙල් ටැංකි සමූහය ලක් රජයට පවරා ගැනීමේ ප්‍රයත්නයයි. එය සාර්ථක කර ගැනීමට එතුමා සමත් විය.
 
පනස් හයේ මැතිවරණ විජයග්‍රහණයෙන් පසු මුළු ගාලු පුරවරයම සැණකෙළි බිමක් බවට පත් විය. දහනායක මහතාගේ නිවස ආසන්නයෙහි තනා තිබූ ඡන්ද මඩුව දින හතක් තිස්සේ මඟුල් මඩුවක සිරි ඉසිලීය. එහි කැවුම්. කොකිස්, කිරිබත් ආදි කැවිලි පෙවිලි වලින් අඩුවක් නොවීය. එව, තව, බොව යන මියුරු තෙපුලින් මුව මුව හඬදෙන්නට විය. පක්ෂ බේදයක් නොතැකූ ඡන්දදායකයන් මෙන්ම, විවිධ වැඩ රාජකාරි සඳහා යන එන පුද්ගලයන්ද සංග්‍රහ භුක්ති විඳිමින් සතුටු වූහ. ඡන්ද මඩුව ඉදිරිපිට තුරු සෙවණට වී රබන් සුරල් පද වැයූ ඇලිස් අක්කා ප්‍රමුඛ ගැහැනු කණ්ඩායම මෙම දින හත අතරතුරේදී රබන් දෙකක් පලා දැමූහ. මේ අතර දහනායක මහතාගේ විශාල ප්‍රමාණයේ ඡායාරූපයක් ඇතෙකුගේ පිට මත තබාගත්, තරුණ පිරිසක්, ‘කවුද රජා, දහනායක - කෝ අලියා, කැලේ ගියා’ යනුවෙන් හඬනගමින් ගාලු නගරය පුරා සැරිසැරූහ. (කිසිදු විරුද්ධ පාක්ෂිකයෙකුට ශාරීරික මෙන්ම මානසික වධ හිංසාවක් නොකරන ලෙස දහනායක මහතා විසින් තම අනුගාමිකයන්ට ලබාදී තිබූ අවවාදය ද විශේෂයෙන් සඳහන් කළ යුතුය.) 
නව රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් පත්කරනු ලැබුවේ ගාල්ලේ විජයානන්ද දහනායක මහතාය. මේ වන විට ලංකාවේ නොයෙක් ප්‍රදේශයන්හි අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා පිළිගැනීමේ උත්සව සංවිධාන වෙමින් පැවතිණ. එහි තවත් එක් පිළිගැනීමේ උත්සවයක් ගාල්ල මහජන ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය වෙමින් තිබුණි (මෙම ක්‍රීඩාපිටිය වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට පත්ව ඇත) ගාලු ජනතාව විසින් මුදල් එකතුකර මිලට ගෙන දහනායක මහතාට පරිත්‍යාග කිරීම සඳහා සූදානම් කර තිබූ ෑගභ 5864 දරන ඔස්ටින් කේම්බි්‍රජ් වර්ගයේ මෝටර් රථය ද ජනතාවට ප්‍රදර්ශනය වන අයුරින් වේදිකාව මතට නංවා තිබුණි. දහනායක මහතා ද වේදිකාව මතට වී බණ්ඩාරනායක මහතා පිළිගැනීම සඳහා සැදී පැහැදී සිටියි. ගාල්ලේ කවුරුත් දන්නා හඳුනන ඇලිස් අක්කා. දෙපිට කැපෙන වචන හඬ නගා කියමින්, වේදිකාවට මඳක් නුදුරින් ගිනිකබල් තබා, රබාන රත්කරමින් තවත් ගැහැනු කිහිප දෙනෙක් සමඟ රබන් සුරල් වයයි. විටෙක ඇය රබන් සුරල් වැයීම නවතා “දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත - උන් හිටියානං කන්න දෙයක් නැත” හඬනගා කියා යළි ඒ අනුව රබන් සුරල් වයයි. දහනායක මහතා තමා හිඳගෙන සිටි අසුනෙන් නැගිට, වේදිකාව කෙළවරට විත් හිස ඔසවා වටපිට බලයි. ගාල්ල මහමෝදර පාලම අසලින් ආරම්භ වී, ජයඝෝෂා හඬ මධ්‍යයේ පෙළපාළයේ පැමිණි බණ්ඩාරනායක මහතා වේදිකාවට ගොඩවනවාත් සමඟම මයික්‍රෆෝනය අසලට ළඟා වූ දහනායක මහතා එයට මුව ළංකර, ‘බණ්ඩා කම්ටු ටවුන් - යූ.එන්.පී. ඩවුන්’ යනුවෙන් ඔහුටම ආවේණික වූ හඬින් ශබ්දනගා කීවේය. මෙය අසා සිටි බණ්ඩාරනායක මහතා. විනාඩි කිහිපයක් ගතවනතුරු සිනහව නවතා ගැනීමට නොහැකිව බලා සිටියේ සතුටු සයුරේ ගිලෙමින්ය.
(මෙකල ‘බණ්ඩා නගරයට පැමිණීම’ නමැති සිංහල සිනමා පටය දිවයින පුරා සිනමා හල්වල ප්‍රදර්ශනය වෙමින් තිබුණි)
දහනායක මහතා අධ්‍යාපන ඇමතිව සිටිය දී ගාල්ල රිච්මන්ඞ් විදුහලේ සිසුන් කිහිප දෙනෙක් දහවල් විවේක කාලයේ දී විදුහලෙන් කට්ටි පැන, රිච්මන්ඞ් රේල් ගේට්ටුව අසල තිබෙන තේ කඩයට විත් ඒ පසුපස ඇති කාමරයක සිට සිගරට් බොන ආරංචිය දහනායක මහතාගේ කනටද වැටෙන්නට විය. එම කඩ මංඩියට නුදුරින් දහනායක මහතා විසූ බැවින් වැඩි වේලාවක් ගතවීමට පෙර ඔහු එම කඩයට විත් කෙළින්ම ගියේ අර කාමරයටය. ඒ වන විටත් පාසල් සිසුන් කිහිප දෙනෙක් සිගරට් බොමින් සිටිනු දහනායක මහතාගේ අතටම හසුවිය.
“ඔය ළමයි නරක වැඩකට පුරුදුවෙලා වගෙයි. අද ඉඳලම ඔය නරක වැඬේ අත්හැරියොත් හොඳයි. වැරදි වැඩ දෙකක් කරලා තියෙනවා. එකක්, ඉන්ටවල් එකේදී කොලේජ් එකෙන් පිටවෙච්ච එක අනික, සිගරට් බොන එක’ දහනායක මහතා අවවාදාත්මක ස්වරයෙන් එසේ කියනවාත් සමඟම නැගිට ගත් එක් ළමයෙක් ‘ඇයි ඔයත් එහෙනං සිගරට් බොන්නෙ’ යනුවෙන් ප්‍රශ්න කළේය. ‘හොඳයි මගේ සිගරට් බීමත් අද ඉඳලම නවත්වන්නං, ඔය ළමයිනුත් අද ඉඳලම සිගරට් බීම නවත්වන්න ඕන” කියමින් දහනායක මහතා එතැනින් නික්ම ගියේය. ළමයින්ගේ සිගරට් බීම නවතා දැමීම කෙසේ වෙතත් ‘පාර්ලිමන්ට්’ නමැති සිගරට් වර්ගයට ඇබ්බැහි වී සිටි දහනායක මහතාගේ සිගරට් බීම එදා සිටම නවතා දැමුවේය.
ගාල්ල රිච්මන්ඞ් මෙතෝදිස්ත මිශ්‍ර පාසලේ පැවති වාර්ෂික ක්‍රීඩා උත්සවයේ වේදිකාව තනා තිබුණේ මඟුල් පෝරුවක ආකාරයටය. එම ක්‍රීඩා උත්සවයේ විශේෂිත ආරාධිතයා වූයේද අධ්‍යාපන අමාත්‍ය විජයානන්ද දහනායක මහතාය. ජයග්‍රාහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ත්‍යාග පිරිනැමීමෙන් අනතුරුව පැවති උත්සව සභාව ඔහු ඇමතුවේ එම වේදිකාව මත සිටය. පසු දින එම උත්සවය පිළිබඳ විස්තරය පුවත් පතක පළකර තිබුණේ, “අධ්‍යාපන ඇමති මඟුල් පෝරුවේ සිට කතා කරයි” යන මාතෘකාව යටතේය. එදා එම ප්‍රවෘත්තිය දුටු බොහෝ දෙනෙක් සිතුවේ. දහනායක මහතා විවාහ ගිවිසගත් බවය (එහෙත් ඔහු අභාවප්‍රාප්ත වන තුරුම අවිවාහකව සිටීමට වගබලාගත්තේය) සෙනසුරාදා දිනක පැවති එම ක්‍රීඩා උත්සව අවස්ථාවේදී එම පාසලට පමණක් එළඹෙන සඳුදා දින නිවාඩු දිනයක් බව දහනායක මහතා එම වේදිකාවේ සිටම ප්‍රකාශයට පත් කළේය.
 
සිංහල අවුරුදු දිනය ළඟාවන තුරු අහළ පහළ තරුණයින් කල් මරමින් බලා සිටින්නේ දහනායක මහතාගේ නිවසට ගොස්, ඔහුට බුලත් කොළයක් දී ආචාර සමාචාර කර, ඔහු අවුරුදු ත්‍යාගයක් ලෙස පිරිනමනු ලබන රුපියල ලබා ගැනීමටය. එසේ ලබාගත් රුපියලේ මුදල් නෝට්ටුව (කොළය) අත මිට මොලවාගත් තරුණයින් රංචු ගැසී ගාලු නගරයේ පිහිටි සිනමාහල් වෙත යනුයේ ප්‍රදර්ශනය වන කුමක් හෝ චිත්‍රපටයක් නැරඹීමේ ආශාවෙනි. කොතෙක් පිරිසක් ඔහු වෙත පැමිණිය ද ඒ කිසිවෙකු හිස් අතින් නොයැවීමට ද ඔහු වගබලා ගත්තේය.
 
අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් (ගමනක අවසානයෙන්) පසු අග්‍රාමාත්‍ය තනතුරට පත් වූ දහනායක මහතාට ලබා දී තිබූ අගමැති නිල (කැඞ්ලැක්) රථය ඔහු විසූ නිවසෙහි වත්තට ඇතුළු කිරීමට නොහැකි වූයේ එහි තාප්පයෙහි ගේට්ටුව පටු වූ බැවිනි. එම රථය හැමවිටම නවතා තිබුණේ පාරට ඔබ්බෙහි වූ ඉදිරිපස නිවසේ මිදුලේය.
 
මෙම කාලය අතරතුර, අග්‍රාමාත්‍ය දහනායක මහතා, තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වූ බව දන්වා 1969 දෙසැම්බර් 07 වැනි දින ප්‍රකාශයට පත් කළේය. නමුත් පසු දින රැස්වූ ශ්‍රී.ලං.නි. පක්ෂ ක්‍රියාකාරි කමිටුව ඔහුගේ ඉල්ලා අස්වීම පිළිනොගෙන ඔහුව ශ්‍රී.ලං.නි. පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කළේය.
 
ඉන් අනතුරුව ‘ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ නමින් නව පක්ෂයක් පිහිටුවාගත් ඔහු, භාරකාර ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සිටි ශ්‍රී.ලං.නි.පක්ෂ අමාත්‍යවරුන් නෙරපා දමා ඔහු පිහිටුවාගත් ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීන් පස්දෙනෙකුට අමාත්‍යධූර පිරිනැමීය.
දහනායක මහතා පිහිටුවාගත් නව පක්ෂයෙන් අපේක්ෂකයින් එකසිය එක් (101) දෙනෙකු මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කරවීය. එම පක්ෂයේ පාට දම්පාට වූ අතර, පක්ෂ සලකුණු වූයේ කුඩයයි. ඔහු මැතිවරණ ව්‍යාපාරය සඳහා රට පුරා සැරිසැරීය, රැස්වීම්වල කතා කළේ පක්ෂ සලකුණ වූ කුඩය ඉහළාගෙනය. එම රැස්වීම්වල දී ඔහු සිත් කාවදින ප්‍රකාශ ඉදිරිපත් කළේය. ‘මම ආව විතරයි ස්ට්‍රයික් යකා මූදට දැම්මා - මළ පෙරේතයො ආයෙත් හොල්මන් කරනවා - මම සිංදුවක් කියල දුන්න වැඩට පලයං නැත්නම් ගෙදර පලයං කියලා - ඇන්. ඇම්. පිලිප්, කෙනමන් මට සම්බෝලෙටවත් මදි - මම තමයි ගෝගියා පාෂා’ මෙසේ ඔහු විවිධ දේ ප්‍රකාශ කරමින් ඡන්ද සටන මෙහෙයවීය. දහනායක විරෝධි බලවේග උත්සන්න වෙමින් එනවිට අරලියගහ මන්දිරය වටා ඇති තාප්පය ද උස්කර බඳවා ගත්තේය. මෙම කරුන ද දහනායක විරෝධී බලවේගයන් විසින් ප්‍රයෝජනයට ගනු ලැබුවේ ඔහුට විරුද්ධව කතා කළ හැකි තවත් එක් තුරුම්පුවක් ලෙසය.
 
මේ අතර පුවත් පත් කෙරෙහි විශාල ගෞරවයක් හා ආදරයක් ඇතිව සිටි දහනායක මහතාට, ඒ පුවත් පත් විසින්ම දිගට හරහට පහර දෙන්නට විය. එම නිසා ඔහු පුවත්පත්වලට විරුද්ධව යුද ප්‍රකාශ කළේය. ඒ සඳහා ඔහු උපයෝගි කරගත්තේ ‘දේශපාලන සටහන් පොත”නමැති ගුවන් විදුලි වැඩ සටහනයි. එමගින් ඔහු පුවත්පත් වලටත් මාධ්‍යවේදීන්ටත් නිර්ධය ලෙස පහර දුන්නේය.
ඔහු ගාල්ලේ සිටි දවස්වල අගමැති නිල (කැඞ්ලැක්) රථය පොදු වාහනයක් බවට පත්විය. දහනායක නිවසෙහි රෑ මැදියම දක්වා ඡන්ද සටහන් ලියන පාක්ෂිකයන්, ‘සර් තේ එකක් බිව්වොත් හොදයි’ යනුවෙන් පවසයි. එය ඇසුණු සැණෙන් ක්‍රියාත්මක වන දහනායක මහතා, රියැදුරුට කතාකොට ඔහු අතට මුදලක්ද දී, ඔවුන් තේ බීම සඳහා කැටුව යන ලෙස අණකරයි. එම වචනය පිටවනවාත් සමඟම දිවයන තරුණ පිරිස රථයට ගොඩවන්නේ පොරකමින්ය. එකිනෙකාගේ උකුල් මත පවා වාඩිවන ඔවුන් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇති රාත්‍රී හෝටලයට ගොස් ආප්ප කා තේ බී, සප්පායම් වූවාට පසු යළි නිවෙස් කරා ඇරලන්නේද එම නිල රථයෙනි. කලින් සිටි අගමැතිවරු පරිහරණය කළ කාලයේ කැඞ්ලැක් රථයෙහි නොගැවුණු බුලත්කෙළ කහට, හුණු පැල්ලම් ආදිය තැන තැන ගෑවී තිබෙන අයුරු අඩුවක් නැතිව දකින්නට හැකිවිය. අගමැති නිල රථයට ගොඩ නොවූ කිසිවෙකු රිච්මන්ඞ් කන්ද පෙදෙසෙහි නොසිටියැයිද එකල අසන්නට ලැබුණි.
 
1960 මාර්තු මස 19 වැනි දින උදාවූයේ, වැසි අඳුරත් සමඟය, අග්‍රාමාත්‍ය දහනායක මහතා රිච්මන්ඞ් විදුහල ඡන්ද පොළට ගොස් සිය ඡන්දය ප්‍රකාශ කළේය. එදින ගාල්ල නගරය පුරා පැවතියේ දැඩි නිහඬතාවකි. කෙමෙන් කෙමෙන් දවස ගෙවීගොස් රෑ මැදියම ද ඉක්ම යමින් තිබිණ. සියල්ලන්ම නොඉවසිල්ලෙන් බලා සිටි ගාල්ල ආසනයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වූයේ මුළු රටම පුදුමයට පත්කරවමින්ය. අවුරුදු විසිදෙකක් පුරාවට අපරාජිතව පැවති ගාල්ල දහනායක බළකොටුව පුපුරා බිඳවැටිණ, අග්‍රාමාත්‍ය විජයානන්ද දහනායක මහතා ඡන්ද හාරසිය අසූතුනකි (483) න් පරාජයට පත්විය. ඔහුගේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයන් 101ක් දෙනා අතරෙන් ජයග්‍රහණය කළේ, අකුරණ පළමුවන මන්ත්‍රී ලෙස ඩී. එම්. ජයවික්‍රම මහතාත්, අක්මීමන මන්ත්‍රී ලෙස සේනපාල සමරසේකර මහතාත්, කොත්මලේ මන්ත්‍රී ලෙස, ජේ. ඩී. වීරසේකර මහතාත්, කල්මුණේ මන්ත්‍රී ලෙස එම්. එස්. කාරියප්පර් මහතාත් පමණි.
පරාජයට පත්වී නිවසට වී සිටින දහනායක මහතා හමුවී කතා බහකිරීම සඳහා පාක්ෂිකයන් පැමිණියේ නෙත්වල කඳුළු පුරවාගෙනය. ඔවුන් දහනායක මහතා ඉදිරියේ හඬා වැලපුණේය. ඒ අතර ඔහුට ඡන්දය නොදුන් පුද්ගලයන්ද වූහ ‘ඔය ගොල්ලො මාව පරද්දපු එක හොඳයි. මම දිනුවනම් බණ්ඩාරනායක මහත්තයට කරපු වැඬේම තමයි මටත් කරන්න සැලසුම් කරලා තිබුණේ. ඡන්දය ගණන් කරන තැන ඉඳල එන ගමන, ගාල්ලේ කොටුවෙ ලයිට් ඕෆ් කරලා මට වෙඩි තියන්න තමයි ලෑස්ති වෙලා ඉඳල තියෙන්නෙ. ඒක හින්ද කනගාටු වෙන්න එපා, ලබන පාර මම දිනනවා” දහනායක මහතා එසේ කියමින් තමා වෙත පැමිණෙන පුද්ගලයන් අස්වසාලීය. මේ අතර ගාල්ලේ මාළු වෙළඳපොළේ ව්‍යාපාරිකයෙක්, මළු කපන ලී කොටයත්, මන්නයත් අත්කරත්තයක තබාගෙන දහනායක මහතාගේ නිවෙස අසලට පැමිණියේ, දහනායක මහතාට ඡන්දය නොදුන් තමාගේ අත ලී කොටය මත තබා, මන්නයෙන් කපා වෙන්කර දැමීමටය. ඒ අවස්ථාවේ දී දහනායක මහතාගේ නිවෙස අසල සිටි පිරිස මැදිහත් වී ඔහු කරන්නට ගිය එම ක්‍රියාව වළකාලූයේ මහත් පරිශ්‍රමයකින් පසුවය. ඉන්පසු අත්කරත්තයක්, ලී කොටයත්, මන්නයත් තම බාරයට ගත් දහනායක මහතා, ඔහුට අවවාද කර අතට මුදලක්ද දී පිටත්කර හැටියේය.
 
බලයට පත් වූ ඩඞ්ලි සේනානායක මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන පසුබිම මේ වන විට අවිනිශ්චිත තත්ත්වයට පත්වෙමින් තිබිණ. ඒ කොතරම්ද කිවහොත් රජයේ ප්‍රථම රාජාසන කතාවට විපක්ෂව ඡන්ද අසුහය (86) ක් ලැබුණු අතර පක්ෂව ලබාගත හැකිවූයේ. ඡන්ද හැටඑක (61) ක් පමණි. ඒ අනුව 1960 අප්‍රේල් 23 වැනි දින ලකිසුරු උපදෙස් මත ආණ්ඩුව විසුරුවා හැරියේය. නිදහස් ශ්‍රී ලංකාවේ කෙටිම පාර්ලිමේන්තු ආයු කාලය ලෙස එය ඉතිහාස ගතවිය. 
පරාජයට පත්වූ දහනායක මහතා කවදාවකටත් වඩා සිනහ මුසු මුහුණින් යුතුව කාලය ගත කළේය. එකල වෙසක් තොරණ නිර්මාණය කිරීමේ ප්‍රවීණයෙකු වූ සෝමසිරි බාස් උන්නැහේ ලවා (රාහුල කුමරු දායාද ඉල්ලීම කතා පුවත රැගත්) තොරණක් ඉදිකරවාගත් දහනායක මහතා, එය දින හතක් තිස්සේ මහජන ප්‍රදර්ශනය සඳහා තැබීය. එසේම ඔහු කැමරාවක් රැගෙන, ඓතිහාසික ස්ථාන මෙන්ම දර්ශනීය ස්ථාන රූපගත කරමින් ලංකාව පුරා සැරිසැරුවේය.
 
1960 ජූලි මාසය එළඹෙනවාත් සමගම යළි මැතිවරණ උණුසුම ලංකාව පුරා පැතිරෙන්නට විය. එවර 1960 ජූලි මස 20 වැනි දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් පෙර පරිදිම ඉදිරිපත් වූ දහනායක මහතා වැඩි ඡන්ද හාරසිය හතළිස් හතරකින් (444) න් ගාල්ල අසුන ජයගත්තේය.
 
මෙවන් අවස්ථාවන්වල දී තවත් එක් සුවිශේෂි සිද්ධියක් බවට පත්වන්නේ. සිනමා රංගන ශිල්පි ආනන්ද ජයරත්නයන් පැමිණ දහනායක මහතාට ලබාදෙන සහයෝගයයි. ඡන්දය පැවැත්වෙන දින එය ආරම්භ වූ අවස්ථාවේ සිට අවසන් වන අවස්ථාව දක්වාම ඡන්ද දායකයන් වැඩි ප්‍රමාණයක් ඡන්ද පොළ වෙත ආවේ ගියේ ඔහුගේ මෝටර් (මොරිස් මයිනර්) රථයෙනි. ඔහු මේ සහයෝගය ලබාදෙන්නේ දහනායක මහතාට කරන කෘතගුණ සැලකීමක් වශයෙනි.
 
රජයේ පාසල් ගුරුවරයෙකු වූ ආනන්ද ජයරත්නයන් ‘සුරතලී’ සිනමා පටයෙහි රඟපෑම සඳහා ඉන්දියාවට ගොස් සිටින අතරතුර නොදන්වා සේවයට නොපැමිණීමේ හේතුව මත වැඩ තහනමට ලක්විය. කාලයාගේ ඇවෑමෙන් පසු, තිරගත කළ ‘සුරතලී’ සිනමා පටයෙහි මංගල දර්ශනයේ විශේෂිත ආරාධිතයා වූයේ අධ්‍යාපන අමාත්‍ය විජයානන්ද දහනායක මහතාය. සිනමා පටය නැරඹීමෙන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයේ දී දහනායක මහතා එහි නිෂ්පාදකවරයා කැඳවා’ අර සිරියමෙ සාරා ගීතය ගයමින් රඟපාන නළුවා කවුදැ’ යි ඔහුගෙන් විමසීය. වහා ක්‍රියාත්මක වූ නිෂ්පාදකවරයා, ආනන්ද ජයරත්නයන් කැඳවාගෙන විත් දහනායක මහතාට හඳුන්වා දුන්නේය. දෙදෙනා අතර පැවති සතුටු සාමීචියේදී, තමාට සිදු වූ සියලු දේ දහනායක මහතා ඉදිරියේ කියා පෑවේ කිසිදු පැකිලීමකින් තොරවය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඊට පසුදින ඔහුට අමාත්‍යාංශයට පැමිණෙන ලෙස දැන් වූ දහනායක මහතා හිඟ වැටුප් සහිතව, ඔහුගේ ඉල්ලීම මත ඔහු එතෙක් සේවය කළ පාසලේම සේවය සඳහා යොදවන ලෙස නිර්දේශකර අදාළ අංශවලට දන්වා යැවීය.
එයට කෘතගුණ සැලකීමක් වශයෙන් දහනායක මහතාගේ විවිධ වූ විශේෂිත අවස්ථාවන්වල දී පැමිණ ඔහුට සහයෝගය දැක්වීම, ආනන්ද ජයරත්නයන්ගේ ජීවිතයෙහි තවත් එක් සුවිශේෂි අංගයක් බවට පත්වී තිබිණ.
 
ගෙවී ගිය කාලය අතර දහනායක මහතාද වසර 1965 දී එක්සත් ජාතික පක්ෂයට නැඹුරුව තරගකර ජයග්‍රහණය ලබා, එම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය ධූරයද, ඉන්පසු සමූපකාර අමාත්‍ය ධුරය ද හෙබවීය. ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි, උග්‍ර වාමාංශික අදහස් දැරූ දහනායක මහතාගේ ක්‍රියා කලාපයත් එසේ වුවානම්, වර්තමාන දේශපාලනඥයන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව පුදුම විය යුතු නැත.
 
නාගරික මන්ත්‍රකම් , පාර්ලිමේන්තු මන්ත්‍රීකම්, ඇමතිකම්, අගමැතිකම් දැරූ ඔහු, අනිසි වරප්‍රසාද ලබා ගැනීම සඳහා කිසිවිටෙකවත් තම බලය ආයුධයක් කර නොගත්තේය. එම කාල වකවානු තුළ ඔහු ලබාගත් එකම වරප්‍රසාදය වූයේ, ඔහු විසූ නිවස ඉදිරිපිට මාර්ගයේ එකිනෙකට සමීප විදුලි කණු තුනකට මර්කරි බල්බ් තුනත් සවිකරවා ගැනීම පමණි.
එසේම, සමුළු සඳහා හෝ උපදෙස් ලබාගැනීමට හෝ රාජ්‍ය නායකයන් හමු වී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට හෝ එතුමා කිසිදු දිනක විදේශගත වූයේද නැත. ඔහු විශ්වාසයෙන් යුතුව ප්‍රකාශකර සිටියේ. අවංක වුවමනාවක් ඇත්නම් ලංකාවේ තිබෙන සම්පත් ප්‍රයෝජනයට ගනිමින්, ලෝකයේ අන් සියලු රටවල්වලට වඩා ඉහළින් ලංකාව ඔසවා තැබීමට හැකි බවය.
 
රෙදි මිල ඉහළ ගිය අවස්ථාවක අමුඩයකින් සැරසී පාර්ලිමේන්තුවට යෑමට සූදානම් වූ අන්දම, එකල දුප්පත් ජනතාවගේ පෝෂ්‍යදායක ආහාරයක් වූ වියළි හාල්මැස්සන් මිල ඉහළ ගිය අවස්ථාවක ඒවා රැගෙන පාර්ලිමේන්තුවට ගිය අන්දම, නීතිඥයෙකුගේ සහය නොපතා නීති තර්ක ඉදිරිපත් කරමින් නීත්‍යානුකූලව තම අභිමතාර්ථයන් මුදුන්පත් කරගත් අන්දම ආදි බොහෝ දෑ එතුමා හා බැඳී පැවති මතකයන් අතර ඉස්මතු වෙමින් එන්නේ හුදකලාවී ගිය සිතුවිලිත් සමගය.
 
නීති චක්‍රවර්ති විරුදාවලියෙන් හා සාහිත්‍යශූරී සම්මානයෙන් පිදුම් ලත් අග්‍රගණ්‍ය දේශපාලඥයෙකු වූ ආචාර්ය විජයානන්ද දහනායක මහතාගේ ක්‍රියා කලාපය හා සසඳා බැලීමේදී එදා දේශපාලනඥයන් හා ජනතාව අතර පැවතියේ සුන්දරවුත්, විනයගරුකවුත් සමීප සබඳතාවක් බව කිව යුතුය. එම සුන්දර වූ දේශපාලන මතකයන් මෙනෙහි කිරීමේදී සිතෙහි වැඩෙනුයේ සතුට ඉහවයා යන ගෞරවාන්විත වූ සිතුවිලි සමුදායකි.
 
 
 
 
 
 
 
 
 
 
 
 
සමරවීර හෙට්ටිආරච්චි