විදෙස් අධ්‍යාපනයෙන් හා සමාජවාදී දර්ශනයෙන් පරිණතව අලූත් මිනිසකු ලෙස සියරට පැමිණ බණ්ඩාරනායක මැතිඳු එතෙක් තමා කොටුවී සිටි ධනවාදී සමාජ සංකල්ප එකිනෙකින් මිදුණේය. අධිරාජ්‍යාවාදී ගැති භාවයෙන් හා අනුකරණවාදයෙන් ජනතාව මුදවාගෙන ජාතික වාත්සල්‍යය ගොඩනංවා එතුළින් නව සමාජයක් බිහිකිරීමට ක‍්‍රියා කළේය.
”මෙරට කපු වැවීම හා රෙදි පිළි විවීමේ කර්මාන්තය දියුණුකර අපේ වස්ත‍්‍ර සඳහා පිටරටට ඇදී යන විශාල මුදල රට තුළම රඳවා ගත යුතුයි.”
මෙසේ පැවසූ බණ්ඩාරනායක තරුණයා එතෙක් තම පැලැන්තිය අනුව ඇඟලා සිටි ටයි, කෝට්, සපත්තු, කලිසම්, තොප්පි මෙන්ම හැඳි ගෑරුප්පු සංස්කෘතියද ඉවතලා ජාතික ඇඳුම් හෙළ බස හෙළ සිරිත හා බුදු දහම වැලඳගත්තේය.
එතුමා පිළිගැනීමේ මහා රැුලිය ආනන්ද විද්‍යාලයේදී ගිහිපැවිදි විද්වතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. කිව යුතුදේ මුහුණටම කියන ගත්කතු පියදාස සිරිසේනයෝ බණ්ඩාරනායක මැතිඳුගේ පියාවද විවේචනය කළහ.
”අසහය සිංහල ජන නායකයෙකැයි කියන සර්. සොලමන් ඩයස්ලාගෙන් අපේ රටට වුණු මොන යහපතක් වත් නෑ” ඔහු කීවේය. බණ්ඩාරනායක නැඟී සිටියේය.
”සර් සොලමන්ගෙන් ජනතාවට යහපතක් නොවුණාට ජනතාව වෙනුවෙන් එක පුතෙක් ලංකා මාතාවට දුන්න එක මදිද?” එම වදනින් මුළු සභාගර්භයම තුෂ්ණිම්භූත විය.
එහෙත් කලිසම් කෝට් සංස්කෘතියෙන් එකවර ගැලවීම අපහසු කාර්යයක් විය. එතුමාගේ පරපුරේ විනෝදංශ අතර උසස් වර්ගයේ සුනඛයන් ඇති කිරීමට සහ වාර්ෂිකව ධනවතුන් අතර පැවැත්වූ සුනඛ ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කිරීම ඒ අතර ප‍්‍රධාන තැනක් ගත්තේය.
බණ්ඩාරනායක තරුණයාද තම සුනඛයා තැබීම බටහිර ඇඳුමින් සැරසි තරගයට ඉදිරිපත්ව සම්මාන දිනාගත්තේය.
ඔබතුමා ජාතික ඇඳුම ගැන අපට බණ කිව්වට සුනඛ ප‍්‍රදර්ශනවලට යන්නේ ටයි කෝට් ඇඳලා. මොකක්ද? මේ දෙබිඩි පිළිවෙත”
විපක්‍ෂය චෝදනා කළේය.
”ආ ඒ ගැන කලබල වෙන්න එපා. බලූ වැඩවලට යන්න ඕන ඒකට ගැළපෙන විදියට ඇඳලා. ජාතික වැඩවලට යන්න ඕන ජාතික ඇඳුම ඇඳලා”
බණ්ඩාරනායක මහතාගේ පිළිතුර විය.
එතුමාගේ විවාහය වලව් පැලැන්තියක කුල කුමරියක සමඟ සිදුවූ අතර දෙපාර්ශ්වයේ ඥාතීන් බටහිර පන්නයට හැඳපැලඳගෙන ඉංග‍්‍රීසි සිරිතට හැසිරෙද්දී මනාල යුවළ ඊට හාත්පසින්ම වෙනස්ව මංගල සිරිත් ඉටු කළේය. බණ්ඩාරනායක මැතිඳුගේ අදහස් තේරුම් ගත් සිරිමාවෝ රත්වත්තේ මනාලිය සුදු ඔසරියෙන් සැරසුණු අතර බණ්ඩාරනායක මනාලයා හැඳ සිටියේ මෙරට කපු නූලෙන් කටින ලද ආකර්ෂනීය ජාතික ඇඳුමින් සහ උතුරු සළුවෙනි.
1930 වසරේ අගභාගයේ සවසක සමිති රැුස්වීමකට සහභාගී වෙමින් සිටි බණ්ඩාරනායක මැතිඳුට එහි පැවති කම්මැලි ඒකාකාරිත්වය නිසා දැඩි කාංසියක් දැනිණ. මේ අතර කදාර් රෙද්දක් බැනියම් සාටකයත් හැඳ පැලැදි කුඩා මිනිසෙක් එතුමා හමුවට පැමිණියේය.
”ඔබ කවුද? ඔබ මෙසේ සැරසී ඉන්නේ ඇයි?”
බණ්ඩාරනායක මහතා කුතුහලයෙන් අමුත්තාගෙන් ඇසීය.
”මම වැල්ලම්පිටියේ ජයරම්දාස් ජයවර්ධන මහත්මාගාන්ධිතුමාගේ අනුගාමිකයෙක්. ඔබ තුමාට ජාතික හැඟීමක් තියෙන නිසා දකින්න තියෙන ආශාවටමයි ආවේ” අමුත්තා පැවසීය.
”මහත්මාගාන්ධි සුද්දන්ට විරුද්ධව ආත්ම විශ්වාසයෙන් නැගී සිටියා. එතුමාගේ එකම ආයුධය වුණේ චර්කයයි. චර්කය කියන්නේ තමන්ගේ රටේම කපු නිෂ්පාදනයෙන් තමන්ගේ රටට අවශ්‍ය රෙදි වියාගන්නා යන්ත‍්‍රයටයි. පිටරටට අතනොපා කරන මේ කර්මාන්තය දියුණු කළොත් රටට යහපතක්.
කලින් රාජ්‍ය සේවයේ යෙදී සිටි සොච්චම් වැටුපක් ලැබූ ජයවර්ධන මහතා කල්කටාවේදී මහත්මා ගාන්ධිගේ දෙසුමක් අසා පැහැදී සියලූ ආටෝප අත්හැර සබාමතී ආශ‍්‍රමයට ඇතුළත්ව 1925 දී මෙරට පැමිණ වහාම චර්කයෙන් රෙදි විවීම අරඹා තිිබිණි.
බණ්ඩාරනායක මැතිඳු ඔහු පිළිබඳ කෙතරම් පැහැදුණාද කිවහොත් එතැන් පටන් තම ගුරුවරයා ලෙස ජේ. එස්. පී. ජයවර්ධන මහතා සැලකූ අතර මහා පරිමාණයෙන් චර්ක ව්‍යාපාරය දීප ව්‍යාප්තව ඇරඹීය.
වැල්ලම්පිටියේ එතුමාගේ ආශ‍්‍රමයේදී රැුකියා විරහිත සෙල්ලක්කාර තරුණ තරුණියන් රැුසක්ම සංවර බව පේෂකර්මය හා සරල දිවිපෙවෙත ගැන උසස් පුහුණුවක් ලබා මුදල් ඉපයීමේ මාර්ගයද අවබෝධ කරගත්හ.
බණ්ඩාරනායක මැතිඳු එතුමාගේ සුවච කීකරු සිසුවකු වූවා මෙන්ම තම ඇඳුම් තමන් අතින්ම මසා ගැනීමේ පුහුණුව ලැබීය.
මෙම අත්දැකීම් පාදක කරගෙන තම කුලූඳුල් ග‍්‍රන්ථය වන ‘චර්කය හා ගොයම් කෙත’ කෘතිය රටට දායාද කළ බණ්ඩාරනායක තරුණයා සුදු ජාතික ඇඳුම් ඉතිරිකර තමන් එතෙක් පරිහරණයට ගත් රටට නොගැළපෙන කෝට්, කලිසම්, ටොප් හැට්, වල්ගකබා ආදිය ප‍්‍රසිද්ධියේ ගිනිබත් කළේය.
දිනක් වැල්ලම්පිටිය ඡුයරාම්දාස් ජයවර්ධනයන්ගේ ගෙවත්තෙහි කපු නූල් කැටීමේ තරගයක් පැවැත්විණ. බණ්ඩාරනායක තරුණයාගේ විදේශීය ඇඳුම් පිළිස්සීමද එහි විශේෂාංග අතර විය.
මිල්ල අත්තක් කපා සිටුවා තම බටහිර ඇඳුම් පැලදුම් අලංකාර ලෙස එල්ලා එතුමාම පැට්‍රෝල් හලා ගිනි තැබීය.
1928දී ජයරාම්දාස් මහතා විසින් කිත්තම්පහුවේදී ප‍්‍රථම පේෂකර්ම මධ්‍යස්ථානය පිහිටුවන ලදී. ඊට සමගාමීව වැලිවට, බෝමිරිය, බුත්ගමුව, බියන්විල, වීරඟුල, මාදැල්ගමුව, බණ්ඩාරනායක මැතිඳුගේ ආසනය වූ වේයන්ගොඩ ඌරාපොළ කොට්ටල, කලල්පිටිය, දොම්පෙ හා දෙකටනද ශාඛා බිහිවූ අතර අම්බලන්ගොඩ කපු වගාව ඇරඹිණි.
බණ්ඩාරනායක මැතිඳු සැම ජාතික කටයුත්තකදීම ඇන්දේ ජාතික ඇඳුමයි. විවාහයේදී මෙන්ම රුදුරු මරණයේදීද එය ඔහුගේ සිරුර වසාගති. අදත් බණ්ඩරනායක කෞතුකාගාරයේදී ලේ වැකි එම ඇඳුම දැක බලාගත හැකිය.
අධිරාජ්‍යවාදීන්ගේ ග‍්‍රහණයට සහ අනුකරණයට යටත් වූ ඉන්දියාවට පුණර්ජීවය දුන් මහත්මාගාන්ධිතුමන් සහාසික වෙඩි පහරින් අවසන් හුස්ම හෙළුවේ සුදු කදාර් වස්ත‍්‍රය හැඳ දේව මෙහෙයේ යෙදී සිටිද්දීය.
ශ්‍රී ලංකාවට නව යුගයක් උදාකළ බණ්ඩාරනායක මැතිඳුට චීවර ධාරියකු වෙඩි තැබුවේ මහසඟරුවනට වැඳ වැටෙද්දීය.
එතුමා හැඳ සිටි සුදුවත් කාදර් ජාතික ඇඳුම ලෙයින් තෙත් විණ. එය පෞද්ගලිකව කළ ඝාතනයක් නොවිණ. ඒ වෙඩි වැදුණේ මෝදු වෙමින් ආ ජාතිකත්වයටය.
ඔහු මට වෙඩි තැබුවේ ඇයි?
අඥාන වූ ඔහුට අනුකම්පා කරන්න”
එතුමාගේ අවසන් වදන විය. අගමැති බලතල දැරූ තුන් වසර තුළ ජනතාවගේ හෘදයාංගම ගෞරව ආදරය දිනාගත් බෝසත් බණ්ඩාරනායක මැතිඳුගේ දේහය එතුමා විසින්ම ජාතියට හඳුන්වාදුන් සුදෝ සුදු කදාර් ජාතික ඇඳුමෙන් සරසා නිසලව යහන් වියල යට වැතිර තිබිණ.
ටී. බී. තෙන්නකෝන් කවියා එදා ජාතියේ වියෝ දුක මෙසේ කියා පැවේය.