බිංගිරියෙන් දළ ඇතා නැගිටියි


 

ඈත පිටිසර සමහර ගම්වල ජනයා කුලභේදය නිසා පීඩාවට පත්වන ආකාරය විස්තර කළේ අසන්නන්ගේ දෙනෙත්වලට කඳුළු නංවමිනි. සමහර ගම්වල පහත්යැයි සම්මත කුලවල අයට ඉණෙන් ඉහළට ඇඳුමක් ඇඳීමට අවසර නැති බවත්, තවත් ප්‍රදේශයක මෙවැනි පීඩිත කුලවල කාන්තාවන්ට උඩුකය වැසෙන සේ ඇඳුමක් ඇඳීමට උසස් කුලවල අයගෙන් අවසර නොලැබෙන බවත් අබේසේකර මහතා විස්තර කළේය. 


“උපතින් කිසිවකු වසලයෙක් වන්නේවත් බ්‍රාහ්මණයෙකු වන්නේවත් නැතැයි දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගරුකරන එම ධර්මය පිළිපදින බහුතර ජනතාවක් සිටින රටක මෙවැනි දේ සිදුවිය හැකිදැයි අසන්නෝ විමසූහ. වෙනත් දෙයක් තබා මෙවැනි පීඩිත ජනතාවගේ දානය පිළිගැනීමටවත් සමහර පැවිද්දන් ඉදිරිපත් නොවන බවක් හෙළි දරව් විය. පිපාසයට දිය බිඳක් බීමට ළිඳකින් දිය බිඳක් දීමටවත් කුලීනයන් ඉඩ නොදෙන බවක් කියැවුණි.


මෙවැනි සමාජ අසාධාරණකම් විසි වැනි සියවසේ මැද භාගයේදීත් ලංකාවේ පවතීනම් ඒවා පිටු දැක එම ජන කොටස්වලට සාධාරණය ඉටු කර දීමට පෙරමුණ ගත යුතුයැයි ආරියරත්න මහතා ඇතුළු සමාජ සේවා සංගමයේ අය තීරණය කළහ. කොළඹ නාලන්දා විද්‍යාලයට ආරියරත්න මහතා ඉගැන්වීම සඳහා පැමිණියේ මෙවැනි කතිකාවක් සමාජගත වෙමින් තිබියදීය.


මේ වන විට පන්නල බෝපිටියේ සිට කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් කර සිටි ගාමිණී ජයවික්‍රම පෙරේරා, ශිෂ්‍යයා පාසලේ විෂය මූලික කටයුතුවලට මනා ප්‍රමුඛත්වයක් දෙමින්ද එමෙන්ම බාහිර ක්‍රියාකාරකම් ගැනද උනන්දුව දක්වමින් සිටියේය. විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස වර්ණ දිනාගත් ඔහු පසුව නාලන්දාවේ ක්‍රිකට් නායකයාද විය. විද්‍යාලයීය පාපන්දු කණ්ඩායමේද දිදුලන තරුවක් බවට පත්වීමට මෙම සිසුවාට වැඩි කලක් ගත වූවේ නැත. නාලන්දාවට නව ගුරු පියෙකු ලෙස පත්ව ආ ඒ. ටී. ආරියරත්න මහතා එම විදුහලේ ඒ වන විටත් ආරම්භ කර නමට පමණක් සීමා වී තිබුණු නාලන්දා විද්‍යාලයීය සමාජ සේවා සංගමය ප්‍රතිසංස්කරණය කර රටට ප්‍රයෝජනවත් දෙයක් කිරීමට මාර්ගයක් සකස් කළේය. එය කදිම වැඩපිළිවෙළකි.


කුලවන්තයැයි තමන් විසින්ම හංවඩු ගසාගත් නොමිනිසුන් විසින් නොසලකා හරින ලද රොඩී යැයි නම් ලද ජන කොට්ඨාසයක් වෙසෙන කනතොළුව නම් වූ ගමේ මිනිසුන්ගේ දෛනික අවශ්‍යතා සපුරාදීමේ ප්‍රජා සත්කාර සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි. කොළඹ නාලන්ද විදුහලේ ඉහළ පන්තිවල ඉගෙනුම ලැබූ ශිෂ්‍යයන් සියයක් පමණ තම ආචාර්යවරයා වූ ආරියරත්න මහතාගේ මූලිකත්වය යටතේ මෙම ගම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා එක්ව සිටියහ. ගාමිණී ජයවික්‍රම පෙරේරා වැනි ක්‍රීඩා පිටියේද කැපී පෙනෙන සිසුවෝ මෙහිදී වැඩි වගකීමක් භාර ගත්හ.


සමාජය කොතරම් දියුණුවට පත්ව ඇතැයි කීවද 1958 වසර වූ එම වකවානුවේත් සමාජය පැවතියේ කොතරම් පසුගාමීව දැයි දැනගැනීම වඩාත් උචිත වනු ඇත. මෙම රොඩී කුලයේ පිරිස වාසය කළ නිවාස සමූහය. හැදින්වුණේ කුප්පායම යනුවෙනි. එහි පැවති කුඩා නිවාස ශිෂ්ට මිනිසුන් වෙසෙන නිවාසයන්ගේ ගණයට අයත් නොවීය. ඒවා කුඩා අතුපැල් කොටවලින් සමන්විත විය. බිම අතු පතු නොගෑ පොළවෙ දූවිල්ලෙන් වැසී තිබුණි. ඔවුන්ගේ කුඩා දරුවෝ මේ දූවිලි සහිත අපිරිසිදු බිමෙහි කෙළි සෙල්ලම් කරමින් සුරතල් වූහ. මෙම කුප්පායම්වාසී ජනතාවට දිය බිඳක් ලබා ගැනීමට ළිඳක් තිබුණේ නැත. කිසිම නිවසකට වැසිකිළියක් තිබුණේ නැත. එම වැසියන්ගේ කිසිදු දරුවකුට පාසල් අධ්‍යාපනයක් ලැබුණේ නැත.


නාලන්දයේ ශිෂ්‍ය මානවකයින් සියයක් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සියයක් සහ ආරියරත්න මහතාගේ සම්බන්ධය මත මහරගම ගුරු ඇබෑසි විදුහලේ පිරිසක්ද වශයෙන් තරුණයෝ තුන් හාරසීයක් බිංගිරියේ කනනොළුව රොඩී ගම්මානයේ යටිතල පහසුකම් දියුණු කිරීමේ ක්‍රියාවලියේ නියුක්තව සිටියහ. කනනොළුවේ මිනිසුන්ගේ පානීය ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය තරම් ළිං කපනු ලැබීය. මාර්ග පද්ධතිය සකස් විය. නිවසකට එක බැගින් වැසිකිළි ලැබිණි. දරුවන්ට පාසලක්ද ඉදි කෙරුණි. රොඩී ජනයා සංචාරක ජන කොටසක් ලෙස සිඟාකෑමට යාමේ, අතීතයේ සිට පැවති චාරිත්‍රය ඉවත් කොට තමන්ගේම නිවාස ලාභීන් බවට පත් කිරීමට ආරියරත්න මහතා සහ ජයවික්‍රම පෙරේරා වැනි ඔහුගේ අනුගාමිකයෝ කටයුතු කළහ. 


කොළඹ නාලන්දා විදුහලේ එවකට විදුහල්පති ඇම්. ඩබ්ලිව්. කරුණානන්ද මහතාගේ පූර්ණ ආශිර්වාදය ඇතුව තම ශිෂ්‍ය ප්‍රජාවද මෙහෙයවමින් ආරියරත්න මහතාගේ මග පෙන්වීම යටතේ සිදුකළ මෙම පෙරළිය නිහඬ විප්ලවයක් වූ බව සඳහන් කළහොත් එය නිවැරදිය. එයින් දෙයාකාර යහපතක් සිදුවූ බව අවිවාදිතය. පළමුවැන්න කනතොළුව වාසීන්ට යහපත් ජීවන රටාවක් ලැබීමය. දෙවැන්න එම සිසුන්ට ජාති, ආගම්, කුලභේද ආදී සමාජ දුෂ්චරිතයන්ගෙන් සිත් කිලිටි කර නොගනිමින් සමාජ සේවකයන් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය ප්‍රයෝගික මග පෙන්වීමක් ලබා දීමය. එය හුදු ආකල්පමය වෙනසක් නොව ප්‍රායෝගික චිත්ත විප්ලවයක් ඇතිකිරීමට මෙම සර්වෝදය ක්‍රියාදාමය ඉවහල් වූ බව ඒ තුළින් ගොඩ නැගුණු දේශපාලන නායකයකු වශයෙන් ජයවික්‍රම පෙරේරා මහතා අද ද සිහිපත් කරයි.

 

 

 

 

 

 

 

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ