බින් ලාඩන් මතුවෙයි


■ 2002 පෙබරවාරි පළමුවැනිදා ඇමෙරිකානු මාධ්‍යවේදියෙකු වූ ඩැනියෙල් පර්ල් කරච්චියේදී පැහැරගෙන ගොස් මරා දමන ලදී.
■ 2002 අප්‍රේල් 11 වැනිදා ටියුනීසියාවේ ට්‍රක් රියකට පහර දී සංචාරකයන් 15 දෙනෙකු මරා දමන ලදී.
■ 2002 ඔක්තෝබර් ඉන්දුනිීසියාවේ බාලි දූපතේදී සමාජ ශාලාවක් අසල බෝම්බ පිපිරවීමෙන් 200 කට වැඩි පිරිසක් මරා දමන ලදී. තවත් දෙසීයක් පමණ මාරාන්තික තුවාල ලැබූහ.
■ 2002 නොවැම්බර් 28 කෙන්යාවේ මොම්බාසා නගරයේ පැරඩයිස් හෝටලයට එල්ල කළ ප්‍රහාරයෙන් 16 දෙනෙකු මරා දමන ලදී.
■ 2003 මැයි 12 වැනිදා සවුදි අරාබියේ රියාඞ්හි ඇමරිකා එක්සත් ජනපද කාර්යාලයකට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 34 දෙනෙකු මරා දමනු ලැබීය.
■ 2003 මැයි 16 වැනිදා මොරොක්කෝවේ කැසබ්ලන්කා ප්‍රහාරය නිසා 34 දෙනෙකු මරා දමන ලදී.
■ 2003 අගෝස්තු 5 වැනි දින ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරදී බෝම්බයක් පුපුරවා හැර 12 දෙනෙකු මරා දැමූ අතර එකසිය පනහකට තුවාල සිදුවිය.
■ 2003 නොවැම්බර් 15 වැනිදා තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී බෝම්බයක් පුපුරවා 57 දෙනෙකු මරා දැමූ අතර හත් සියයක් පමණ මාරාන්තික තුවාල ලැබූහ. 
■ 2003-2008 අතර දී වාර සියයකදී පමණ පහර දෙමින් ඉරාකයේ අහිංසක මිනිසුන් දහසක් පමණ මරා දැමුවේ අල්කයිඩා සංවිධානයයි.
■ 2004 මාර්තු 11 වැනිදා ස්පාක්‍ඳ්ක්‍ඳයේ මැඩි්‍රඞ් නගරයේදී බෝම්බයක් පිපිරවීමෙන් 190 දෙනෙකු මිය ගිය අතර 1800 ක් පමණ මාරාන්තික තුවාල ලැබූහ.
■ 2004 මැයි 29 දින සවුදි අරාබියේ අල් කොබාර්හිදී විදේශ ජාතිකයන් පනහක් අත්අඩංගුවට ගත් මෙම ත්‍රස්තයෝ විසි දෙනෙකු බෙලි කපා ඝාතනය කළහ.
■ 2004 ජූනි 18 දින ඇමෙරිකානු ජාතික පෝල් ජොන්සන් පැහැර ගෙන ගොස් පසුව මරා දමන ලදී.
■ 2005 ජූලි 07 වැනිදා ලන්ඩනයේ වෙළෙඳ සංකීර්ණයකදී බෝම්බ පුපුරුවා හැර 53 දෙනෙකු මරා දැමුණු අතර ත්‍රස්තයෝ පන්සියයක් දෙනාට තුවාල කළහ.
■ 2005 නොවැම්බර් 09 වැනිදා ජෝර්දානයේ අම්මාන් නගරයේදී අල්කයිඩා සංවිධානය මගින් පුපුරවා හරින ලද බෝම්බයක් නිසා 57 දෙනෙකු මරා දමා 120 දෙනෙකුට තුවාල සිදු කරන ලදී.
■ 2007 අප්‍රේල් 11 ඇල්ජීරියාවේ අගමැති කාර්යාලයේදී සහ පොලිසියේ බෝම්බ පුපුරුවා හැරීමෙන් තිස් තුන් දෙනෙකු මරා දමන ලදී.
■ 2008 ජුනි 2 වැනි දින පකිස්ථානයේ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මිනිසුන් හය දෙනෙකු මරා දමන ලද අතර විශාල පිරිසකට තුවාල සිදු විය.


ලෝකය යනු පුදුමාකාර තැනකි. එය සමතුලිතව පවතින්නේ හොඳ සහ නරක මිශ්‍රවීමෙන් බව කියනු ලැබේ. මේසා මනුෂ්‍ය ඝාතනයන් සිදුකර අපකීර්තියට පත් බින්ලාඩන් නමැති පුද්ගලයා තමන්ගේ පරමාදර්ශය කොට සැලකීමට තරම් දුෂ්ට මිනිස්සුද ලෝකයේ සිටියහ. අබු බුෂාම් අල් සර්කාමි එවැන්නෙකි. ජෝර්දානයට පලා ආ පලස්තීන දෙමාපිය යුවළකට උපන් දරුවෙකු වූ සර්කාවි ළමා අවධියේ සිටම ත්‍රස්තවාදය වෙත උනන්දුවක් දැක් වූ අයෙක් වූවේය. තරුණ වියට පත් හෙතෙම සෝවියට් ආක්‍රමණයෙන් පීඩිතව සිටි ඇෆ්ගනිස්ථානයට ගොස් සටන් කිරීමෙන් ඔහු තම සහයෝගය ලබා දුන්නේය. පසුව ඉරාකයට සම්ප්‍රාප්ත වූ ඔහු අල්කයිඩා - ඉරාක් නමින් සංවිධානයක් පිහිටුවා ගත්තේ ඔසාමා බින් ලාඩන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාමාර්ගය ආදර්ශයට ගනිමිනි.


මෙහිදී අපේ අවධානය 2011 වසරේ මාර්තු මාසයේ ඇති වූ අරාබි වසන්තය නම් වූ දේශපාලන ක්‍රියාදාමය දෙසට යොමු විය යුතුය. මධ්‍යධරණී මුහුදෙන් එතෙර ටියුනීසියාව නමැති රාජ්‍යයෙන් එය ආරම්භ වූවේ ඒකාධිපති අරාබි පාලකයන්ට එරෙහිව පැනනගින ජනතා උද්ඝෝෂණ රැල්ලක් වශයෙනි. දිගු කලක් එරට පාලනය කරමින් සිටි බෙන් අලි නමැති ජනාධිපතිවරයා දූෂණයෙන් වංචාවෙන් අයථා ලෙස මුදල් උපයමින් තම ඥාති මිත්‍රාදීන්ට ධනපතියන් වීමට මග සලසා දෙන්නේ යැයි චෝදනා කරමින් මහා සටන් ව්‍යාපාරයක් නැගී ආවේය. එම මහජන බලවේගයට මුහුණ දීමට අසමත් වූ බෙන් අලි තනතුරින් ඉල්ලා අස්විය. 


ඔහුගේ අනුප්‍රාප්තිකයා වූවේ විරෝධතාකරුවන්ගේ නායකයාය. අනතුරුව මෙම සටන් රැල්ල මතුවූවේ ඊජිප්තුවෙනි. නොඑසේ නම් මිසරයෙනි. සමස්ත අරාබියටම නායකත්වය දුන් ගමාල් අබ්දුල් නසාර් කලකට පෙර රෝගීව මිය ගියේය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූවේ ඔහුගේ උප ජනාධිපතිව සිටි අන්වර් සදාත් තම හමුදා ආචාර පෙළපාළියක් පරීක්ෂා කරමින් සිටියදී එහි සිටි ත්‍රස්තවාදියෙකුගේ වෙඩි පහරට ලක්වීමෙන් මිය ගියේය. ඊළඟ ජනාධිපතිවරයා වූවේ ඔහුගේ උප ජනාධිපතිවරයා වූ හොස්නි මුබාරක්ය. මිසරයේ රජකම් කළ ඒකාධිපති ෆාරුක් රජු බලයෙන් පහකර 1951 දී බලය අල්ලාගත් හමුදා සුළු නිලධාරින් පිරිසක් වූ මෙම කණ්ඩායම දසක කීපයක් මිසරය පාලනය කර තිබුණි. දිගු කලක් පවතින පාලනයන් මහජනයාට තිත්තවීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන දේශපාලන ප්‍රවණතාවකි. එමෙන්ම මොවුන් අතර දූෂණය අක්‍රමිකතාවන් රජකරන බවද නොරහසකි. එමෙන්ම වාමාංශික හා දක්ෂිණාංෂික අන්තවාද රජකිරීමද මෙම රටවල දක්නට ලැබෙන සුවිශේෂී ගුණාංගයකි. මිසරයේ කයිරෝ අගනගරය ගිගුම් දෙමින් පැනනැගුණු මෙම අරාබි වසන්තයේ රැල්ල පෝට්ෂේඞ් ඇලෙක්සැන්ඩි්‍රයා, වැනි තවත් නගර කරා පැතිර ගිය අතර එයට මුහුණදීමට රජයේ හමුදා ඉදිරිපත් නොවීම විශේෂ සිදුවීමකි. ඉන් පසු හොස්නි මුබාරක් කැරලිකරුවන්ගේ අත්අඩංගුවට පත්විය. අල් සිසී නම් නායකයා බලයට පත්විය. අධිකරණය හමුවට පමුණුවන ලද හොස්නි මුබාටක්ට දීර්ඝ කාලීන සිර දඬුවම් පමුණුවන ලදී.

 


මතු සම්බන්ධයි.

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය අන්තර්ජාලයෙනි