බිල නොගෙවා රෝහලෙන් පැන්න අගමැතිවරයෙක්


 

 

හිටපු අගමැති දිමු ජයරත්න මහතා 2010 වසරේ දී මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ පසු බොහෝවිට ඔහුට කරන්නට ලැබුණේ රටේ නොයෙක් ප්‍රදේශවල පැවැති විවිධ නිල උත්සවවලට සහභාගි වීමය. එවැනි ඇතැම් උත්සව අවස්ථාවල දී ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වීමට නියමිතව තිබුණේ එකකට සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාය. 
අගමැතිතුමා මං වෙනුවෙන් මේ උත්සවේට සහභාගි වෙන්න යි කියන ජනාධිපතිතුමා ඒ සඳහා යාමට දිමුට හෙලිකොප්ටර් යානා පවා වෙන්කර දුන්නේය. ඊට අමතරව ඇතැම් ආගමික උත්සව සඳහා ද බොහෝවිට ආරාධනා කෙරුණේ අගමැතිටය. ඇතැම් විට එසේ වන්නට ඇත්තේ ඔහු මෙරට අග්‍රාමාත්‍ය ධුරයට අමතරව සියලු ආගමික කටයුතු පිළිබඳ ඇමැති ධුරය ද ඉසිලූ නිසා විය හැකිය.


ඒ අනුව එකම දිනයක දී රටේ විවිධ පළාත්වල පැවැති උත්සව කීපයකටම සහභාගිවීමට පවා ඔහුට සිදුවී තිබුණේය. එහෙයින් ඒවාට සහභාගිවීම සඳහා යාමට බොහෝවිට යොදා ගැනුනේ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාය.


සර් චොපර් එකෙන් ඉහළ අහසේ යනකොට කන්වලට සීතල සුළං වදිනවා. ඒ නිසා හොඳට කන්වැහෙන්න මේ විදියේ ඇබ කනේ ගහගන්න වෙනවායි කී එම හෙලිකොප්ටර් යානාවල නියමුවෝ දිමුට කන්වැසෙන සේ පැළඳීම සඳහා ඇබ විශේෂයක් ලබාදී තිබුණහ. ටික වෙලාවක් එම ඇබ විශේෂය කනේ ගසාගෙන සිටි අගමැතිවරයා ඊළඟ මොහොතේ ඒවා ගළවා ඉවත දැමුවේ ඒවා පැළඳගෙන ටික වෙලාවක් ගතවන විට තමන්ගේ කන් රිදුම් කෑමට පටන්ගත් බැවිනි.


ඒ අනුව 2009 පළාත් සභා මැතිවරණය පැවති කාලයේ දිමු බොහෝ විට හෙලිකොප්ටර් යානාවලින් ගමන් කළේ එම ආරක්ෂිත කන් ආවරණ පැළඳ නොගෙනය. යානයේ නියමුවන් දෙපළට අමතරව එහි ගමන් කළ ආරක්ෂක නිලධාරීන් ද එම කන් ආවරණ පැළඳ ගන්නා ලෙස කියා සිටිය ද දිමු ඒ පිළිබඳව දක්වන ලද්දේ අයහපත් ප්‍රතිචාරයකි. 
“අයිසෙලා තමන්ගේ වැඩක් බලා ගන්නවා....”යි කී දිමු ඔවුන්ට තරවටු කළේය.


මාස කීපයක් එලෙස කන් ආවරණ රහිතව හෙලිකොප්ටරයේ ගමන් කළ අගමැතිවරයාට එම ක්‍රියාව පුරුද්දක් බවට පත්වී තිබුණේ ඉබේටමය. එහෙත් තවත් ටික කාලයක් ගතවන විට ඔහුගේ එක කනක සුළු කුරු කුරුවක් සහ රිදුම්කෑමක් දැනෙන්නට තිබුණේය. 

 

  • “මේ වැඬේ හරියන්නෙ නෑ. කනේ වේදනාවත් එන්න එන්නම වැඩිවෙනවා වගෙයි මට දැනෙන්නේ”යි සිතූ දිමු ඊළඟ මොහොතේ දී දැඩි තීන්දුවක් ගත්තේය. ඒ අනුව ඔහු ඊළඟට කළේ තමන් නතර වී සිටි සුව පහසු කාමරයේ දොරත් ඇරගෙන පහළට බැසීමය. එහි නතර කර තිබූ තම ආරක්ෂක රියකට ගොඩවූ ඔහු තවත් විනාඩි කීපයක් තුළ විජේරාම පාරේ පිහිටි තම පෞද්ගලික නිවසට ගියේය. 


“ඒක නං හොඳ වැඩක් වෙන්න බෑ. අපි යමු අප්පච්චි හොඳ ඩොක්ටර් කෙනෙක් ළඟට” යි කී දිමුගේ බිරිඳ ඔහු උගුර කන සහ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙතට කැඳවාගෙන ගියාය.


“මට නං පේන විදියට ඔබ තුමාගෙ එක කනක ලොකු ආසාදනයක් ඇතිවෙලා තිබෙනවා”යි කී වෛද්‍ය විශේෂඥයා ඔහුට වහාම පෞද්ගලික රෝහලකට ඇතුළුවී වෛද්‍ය පරික්ෂණ කීපයක් කරගන්නා ලෙස ද උපදෙස් දුන්නේය. 


ඒ අනුව කොළඹ නගරයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ දිමුට වෛද්‍ය පරීක්ෂණ කීපයකට මුහුණ දීමට පවා සිදුවී තිබුණේය. ඒ වන විට ඔහු එම පෞද්ගලික රෝහලට ඇතුළත් කර ගතවී තිබුණේ දින 7කටත් අඩු කාලයකි. ඒ වන විටත් ඔහුට දැනෙමින් තිබුණේ තම කන්වල රිදුම් කෑම වර්ධනය වී තිබෙන බවය. ඇතැම් අවස්ථාවල දී ඔහුට දැනුනේ ඉවසිය නොහැකි තරමේ වේදනාවකි.


“මේ වැඬේ හරියන්නෙ නෑ. කනේ වේදනාවත් එන්න එන්නම වැඩිවෙනවා වගෙයි මට දැනෙන්නේ”යි සිතූ දිමු ඊළඟ මොහොතේ දී දැඩි තීන්දුවක් ගත්තේය. ඒ අනුව ඔහු ඊළඟට කළේ තමන් නතර වී සිටි සුව පහසු කාමරයේ දොරත් ඇරගෙන පහළට බැසීමය. එහි නතර කර තිබූ තම ආරක්ෂක රියකට ගොඩවූ ඔහු තවත් විනාඩි කීපයක් තුළ විජේරාම පාරේ පිහිටි තම පෞද්ගලික නිවසට ගියේය. ඒවන විට දිමු අගමැතිවරයාගේ දුවත් බිරිඳත් සිටියේ රෝහලට යාමට සූදානම් වෙමිනි.


“ආ මෙන්න අප්පච්චි ගෙදර ඇවිත්....”යි කී ඔහුගේ බිරිඳත් දියණියත් තරගයකට මෙන් විමසන ලද්දේ වෛද්‍යවරයාගේ අවසර ගෙන ටිකට් කපාගෙන පැමිණියා ද යි යනුවෙනි. ඒ වන විට තම පියා කිසිවකුට නොදන්වා රෝහලේ සිට පැමිණ තිබෙන බවය. 


“කාට කියන්නද මට හිතුනා..... මම ආවා.. යි කී දිමු එක් කනක් අතකින් අල්ලා ගෙන වේදනාව දරා ගත්තේය.


දිමුගේ බිරිඳ ඒ මොහොතේම එම රෝහලට කතාකර අගමැතිතුමා මේ දැන් පැමිණියා....යි කියා සිටියේ වැඩි හොඳටය. එහෙත් රෝහලේ බලධාරින් කිසිවකු හෝ ඔහු මෙලෙස රෝහලෙන් පළා ගොස් ඇතැයි නොදැන සිටියහ. රෝහල් බලධාරින් ඒ බව ඊට පෙර දැනගත්තා නම් අගමැති අතුරුදහන් වෙයි යනුවෙන් පොල් ගෙඩි තරමේ සිරස්තල මෙරට සියලුම පුවත්පත්වල පළවීමට බොහෝසෙයින් ඉඩ තිබුණේය.

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය අන්තර්ජාලයෙනි